Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අදටත් නොවිසඳුණු ජේමිසන් පවුලේ අබිරහස් මරණ

දශකයකටත් වැඩි කාලයක සිට එක්සත් ජනපද අපරාධ ඉතිහාසයේ දැඩි ලෙස විවාදයට බඳුන් වූ සිදුවීමක් ලෙස ජේමිසන් පවුලේ මරණ හැඳින්විය හැකි යි. ඔක්ලහෝමා ප්‍රාන්තයට අයත් ඉයුෆෝලා ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ මේ ඛේදජනක මරණ ත්‍රිත්වය වටා බොහෝ අවිනිශ්චිතතා පවතින අතර, තර්කානුකූලව පිළිතුරක් ලබා ගැනීමට ඉතා දුෂ්කර වූ ගැටලු රාශියක් සමඟ ඒවා බැඳී පවතිනවා.

ජේමිසන් පවුලේ සාමාජිකයන් වූ බොබී ජේමිසන්, ඔහුගේ බිරිඳ වන ෂෙරිලින් සහ ඔවුන් දෙපළගේ දියණිය වූ සය හැවිරිදි මැඩිසන්, ඔක්ලහෝමා හි සැන්ස් බොයිස් කඳුකර ප්‍රදේශයට 2009 ඔක්තෝබර් 8 වැනිදා ගමන් කළ අතර, කිසි දිනෙක යළි පෙරළා පැමිණියේ නැහැ. ආරම්භයේ දී ජේමිසන් පවුලේ ඛේදවාචකය ප්‍රචලිත වූයේ අබිරහස් අතුරුදහන් වීමක් වශයෙන්. වසර හතරකට පසු ඔවුන්ගේ සිරුරු සොයා ගත් නමුත්, මරණවලට හේතුව පැහැදිලි වුණේ නැහැ. අනතුරුව ඔවුන්ගේ මරණවලට හේතුව පැහැදිලි කර ගැනීම සඳහා විවිධ කල්පිත ගොඩ නැඟුණා. එහෙත්, සත්‍යය තවමත් ඇත්තේ යටපත්ව යි.

අතරමඟ දමා ගිය වාහනය – www.dailymail.co.uk

කඳුකරයේ අතුරුදහන් වූ ජේමිසන්වරු

ජේමිසන්වරුන් පදිංචිව සිටියේ ඔක්ලහෝමා හි ඉයුෆෝලා ප්‍රදේශයේ වුවත්, ඔවුන් සිය පදිංචිය වෙනස් කිරීමේ අදහසකින් පසු වුණා. ඉයුෆෝලා සිට සැතපුම් 30 ක් පමණ දුරින් පිහිටි සැන් බොයිස් කඳුකරයේ “රෙඩ් ඕක්” නමැති ප්‍රදේශයෙන් අක්කර 40 ක ඉඩමක් මිල දී ගැනීමට ඔවුන් සූදානම් ව සිටියේ ඒ නිසා යි.

තීරණාත්මක දිනයේ දී බොබී සහ ෂෙරිලීන් මිලට ගැනීමට සිටි ඉඩමේ හිමිකරුගේ සහායකයකු හමු වූ අතර, හමුව අවසන් වූ පසු GPS ඒකකය ආධාර කර ගනිමින් කඳු බෑවුමේ පිහිටි නිස්කලංක ස්ථානයක් සොයා ගැනීමට ඔවුන් සමත් වුණා. අලුත් භූමියක් මිලට ගැනීමට පෙර අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත ජේමිසන් පවුලත් මෙහි දී අනුගමනය කළා විය හැකි යි. නැවතත් සිය පෞද්ගලික වාහනය වෙත පෙරළා පැමිණ ජේමිසන්වරුන්, සැන්ස් බොයිස් කඳුකරයේ වනගත ප්‍රදේශය තුළට තව දුරටත්  ගමන් කිරීමෙන් පසු වාහනය අතරමඟ දමා අතුරුදහන් වී තිබෙනවා.

කැලඹිලි සහගත පවුල් පසුබිම

ජේමිසන් පවුලේ ගෘහස්ථ ජීවිතය තරමක් කැලඹිලි සහගත එකක් බව පැවසෙනවා. 2003 දී අත්විඳි රිය අනතුරක් හේතුවෙන් බොබී නිදන්ගත රෝගයකින් පීඩා විඳි අතර, එය ඔහුගේ මානසිකත්වයට යම් බලපෑමක් එල්ල කොට තිබුණා. ෂෙරිලීන් සිටියේ ද යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් නොවෙයි. ඇය “ද්විධ්‍රැව අක්‍රමිකතාව” නමැති මානසික සංකූලතාවෙන් පෙළී තිබෙනවා. බරපතල ම කාරණය වන්නේ ඇය තම සංකූලතාව වෙනුවෙන් නියම කළ බෙහෙත් නිතිපතා නොගැනීම යි.

මේ හේතුවෙන් තමා වටා සිටි පුද්ගලයන් සමඟ යහපත් සබඳතාවක් පවත්වා ගෙන යෑම ෂෙරිලීන්ට අභියෝගයක් වී තිබුණා. දෙදරා යමින් තිබූ ඔවුන්ගේ පවුල් ජීවිතය නැවත පිළිසකර කර ගැනීම උදෙසා අලුත් ආරම්භයක් දෙදෙනාට ම අවශ්‍ය වී තිබුණා. ඉයුෆෝලා පෙදෙස අතහැර දමා වඩාත් නිස්කලංක සහ හුදෙකලා ස්වභාවයක් ඉසිලූ රෙඩ් ඕක් වෙත සංක්‍රමණය වීමට ඔවුන් අදහස් කළේ ඒ නිසා යි.

ඉයුෆෝලා පෙදෙසේ පිහිටි ජේමිසන් පවුලේ නිවස – medium.com 

ජේමිසන් පවුල ස්වභාවයෙන් ම පෞද්ගලිකත්වය දැඩි සේ රැක ගත් පවුලක්. ඔවුන්ගේ සමීපතමයන් පවා ජේමිසන් පවුල තුළ සිදුවන විපර්යාස ගැන දැනුම්වත් ව සිටියේ නැහැ. බොබී සහ ෂෙරිලීන් යන දෙදෙනා ම ආගමට දැඩි ඇලීමක් පෙන්නුම් කළ අතර, ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. කෙසේ නමුත්, ඉයුෆෝලා හි පිහිටි ජේමිසන් නිවස කිසියම් නපුරු බලවේගයක බලපෑමට යටත්ව ඇතැයි බොබී සහ ෂෙරිලීන් විශ්වාස කළ අතර, ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් ධර්මදේශකයකුගේ සහය ලබාගත් බව ද සඳහන්.

නිවසට අරක් ගත් අඳුරු බලවේගය ඔවුන්ගේ දියණිය වූ මැඩිසන් සමඟ සම්බන්ධ වන බවත් ෂෙරිලීන් සැක පහළ කළා. මැඩිසන් නිතර ම එමිලි නමැති අදෘෂ්‍යමාන පුද්ගලයකු සමඟ කතා බස් කරන අයුරු ඇය දැක තිබීම ඊට හේතුව යි. ඇතැම් විට පවුල තුළ පවත්නා ගැටලුකාරී වාතාවරණය හමුවේ කුඩා මැඩිසන් සිය පාළුව, කාන්සිය සහ පීඩනය අවම කර ගැනීම සඳහා ඇයට ම අනන්‍ය වූ ක්‍රියාකාරකමක් අනුගමනය කළා විය හැකි යි.

නිවස තුළ සිටියායැ යි ඔවුන් විශ්වාස කළ ආත්ම ගැන බොබීට තිබුණේ වෙනස් ම අදහසක්. නිවසේ වහලය මත වාසය කරන ආත්ම විනාශ කිරීම සඳහා “විශේෂ උණ්ඩ” මිලට ගත හැකි ස්ථානයක් ගැන ඔහු ධර්මදේශකයා ගෙන් විමසූ බව පැවසෙනවා. ඔහු සතු ව යක්ෂයා පිළිබඳ ග්‍රන්ථයක් තිබූ අතර, එය භාවිතයෙන් නිවසේ සිටි නපුරු ආත්ම පලවා හැරීමට සැලසුම් කරගෙන සිටි බවත්, පසුව අනාවරණය වුණා. ඒ අනුව ඉතා අසාමාන්‍ය පසුබිමක් ජේමිසන් පවුල තුළ ගොඩනැඟෙමින් තිබුණා. ඇතැම් විට ඔවුන් පසු වූ මානසික ස්වභාවය සහ ඒවා නොතකා හැරීමත්, මෙවැනි අර්බුද සඳහා හේතු වන්නට ඇති.

අසල්වැසියන්ට පවා ප්‍රශ්නාර්ථයක් වූ ජේමිසන් පවුලේ භාණ්ඩ බහාලුම – www.talkmurderwithme.com 

ගබඩා බහාලුමේ කුරුටු චිත්‍ර

ඉයුෆෝලා හි පිහිටි ජේමිසන් නිවස ආසන්නයේ ඔවුන්ට අයත් භාණ්ඩ බහාලුමක් තිබුණා. රෙඩ් ඕක් පෙදෙසේ ඔවුන්ගේ ස්ථිර නිවාසය ඉදි කරන තුරු එම භාණ්ඩ බහාලුම තාවකාලික නිවසක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අදහස් කරගෙන සිටි බව පරීක්ෂණවල දී උපකල්පනය කෙරුණා. මෙම බහාලුමේ බිත්ති ෂෙරිලීන් කළ කුරුටු චිත්‍ර සහ අක්ෂරවලින් වැසී තිබූ අතර, ඉයුෆෝලා වැසියන්ගේ අවධානය පැහැර ගැනීමට පවා එම භාණ්ඩ බහාලුම සමත් වුණා. ඇය සතුව සිටි කළු පැහැති බළලුන් විස වීමකින් මිය ගිය බවත්, එවැනි ක්‍රියාවලට මායාකාරියන් කැමති නොවන බවත්, භාණ්ඩ බහාලුමේ බිත්ති මත ලියා තිබුණා.

ඇය විශ්වාස කළේ අසල්වැසියන් සිය බළලුන් මරා දැමූ බව යි. ඒ පිළිබඳ දැනුම් දීමේ හෝ අනතුරු හැඟවීමේ මාර්ගයක් ලෙස ඇය භාණ්ඩ බහාලුම යොදා ගත් බව විශ්වාස කෙරෙනවා. කෙසේ හෝ ඇයගේ වෑයම ඉතා සාර්ථක වූ අතර, ෂෙරිලීන්ගේ කුරුටු අක්ෂර හමුවේ අසල්වැසියන් බලවත් අපහසුතාවට පත් වුණා. අවසාන ප්‍රතිඵලය ලෙස අසල්වැසියන් ජේමිසන් පවුල හැකි තරම් මඟ හැරීමට උත්සහ කළා. ෂෙරිලීන් සහ බොබීට අවශ්‍ය වුණෙත් හැකි තරම් හුදෙකලා වීමට යි.

සැන්ස් බොයිස් කඳුකර ප්‍රදේශයේ දර්ශනයක් – www.backcountryhunters.org 

මීට අමතරව, තමාට කිසියම් අස්වාභාවික බලයක් ඇති බව ෂෙරිලීන් විශ්වාස කළ අතර, ඇය තමාගේ මිතුරියක් වන නිකී ෂෙනෝල්ඩ් සමඟ මළවුන් සමඟ සන්නිවේදනය කිරීමේ වත් පිළිවෙත් පවා අනුගමනය කළා. කෙසේ නමුත්, නිකී ෂෙනෝල්ඩ් ෂෙරිලීන්ගේ ක්‍රියා පිළිවෙත් එතරම් බැරෑරුම්ව  සැලකුවේ නැහැ. ජේමිසන් පවුල අතුරුදහන් වුණේ මෙවැනි අභූත හැසිරීම් හරහා පැන නැඟුණු ප්‍රශ්නාර්ථ රැසක් ලොවට ඉතිරි කරමින්

අගුළු දැමූ වාහනය

ජේමිසන් පවුලේ සමීපතමයන් පවසන පරිදි බොබී, ෂෙරිලීන් සහ මැඩිසන් කිසිවකුට නොදන්වා අතුරුදහන් වීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ජේමිසන්වරුන් හුදෙකලාවට සහ සොබාදහමට ප්‍රිය කළ අතර, බොහෝ විට යථාර්තයෙන් මිදී ඔවුන්ගේ ම ලොවක තනි වීමට උත්සහ කළා. මේ හේතුවෙන් ඔවුන් ගැන දින කිහිපයක් යනතුරු කිසිදු තොරතුරක් නොලැබීම ඔවුන්ගේ සමීපතමයන්ට සාමාන්‍ය කාරණයක් බවට පත් වුණා.

ජේමිසන් පවුල සදහට ම සමු ගත් තීරණාත්මක දිනයේ දී පවා ඔවුන් ගැන දන්නා පුද්ගලයන් අතුරුදහන් වීම ගැන එතරම් කලබල නොවුණේ ඒ නිසා යි. පදිංචිය වෙනස් කිරීමට යන නිසා මැඩිසන් ඉවත් කර ගන්නා බව ඇය ඉගෙන ගත් පාසල දැනුම්වත් කර තිබූ හෙයින්, පාසලේ ගුරුවරුන් ද මැඩිසන්ගේ නොපැමිණීම ගැන එතරම් විශේෂයෙන් සැලකුවේ නැහැ.

ජේමිසන් පවුලේ අතුරුදහන් වීම පොලිසියේ අවධානයට ලක් වුණේ පැනෝලා කඳු මුදුනේ (සැන්ස් බොයිස් කඳුවැටියට අයත්) අතහැර දැමූ වාහනයක් පිළිබඳ දඩයක්කරුවන් පැමිණිලි කිරීමත් සමඟ යි. වාහනය අගුළු දමා තිබූ අතර, ජේමිසන් පවුලේ සුරතල් සුනඛයා සහ පවුලට අයත් ජංගම දුරකථන, මුදල් පසුම්බි සහ තවත් පෞද්ගලික භාණ්ඩ රැසක් වාහනය තුළ ඔවුන් දමා ගොස් තිබුණා. ජේමිසන්වරුන් අතුරුදහන් වී දින කිහිපයක් ගත ව තිබුණත්, මන්දපෝෂණයෙන් පෙළුණු සුනඛයා කෙසේ හෝ දිවි රැක ගැනීමට සමත් වී තිබුණා.

විවාදයට තුඩු දුන් මැඩිසන්ගේ අවසාන ඡායාරූපය – medium.com

අවසාන ඡායාරූපය

පැනෝලා කඳු මුදුනේ පවතින ඉහළ ශාක ඝනත්වය සහ සැරි සැරීමට අපහසු භූ විෂමතාව හේතුවෙන් ජේමිසන් පවුල වනාන්තරයේ කුමන හෝ ස්ථානයක අතරමං වී ඇතැයි පොලිසිය විශ්වාස කළා. එහි දී බොබී සහ ෂෙරිලීන් ගේ ජංගම දුරකථන වල GPS ඛණ්ඩාංක පොලිසියට මනා සහයෝගයක් ලබා දුන් අතර, ජේමිසන්වරුන්ගේ ගමන් මඟ සිතියම් ගත කිරීමටත් ඔවුන්ට හැකි වුණා. සිතියම ඔස්සේ පොලිස් නිලධාරීන් කන්ද මුදුනට ම පැමිණියත්, කුඩා මැඩිසන්ගේ පා සටහන් හැරෙන්න වෙනත් කිසිවක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. කෙසේ නමුත්, ජංගම දුරකථනයක මතක ගබඩාවේ තිබූ මැඩිසන්ගේ අලුත් ම ඡායාරූපය ප්‍රබල සාක්ෂියක් ලෙස පෙනෙන්නට තිබුණා.

 ඡායාරූපය හරහා ඇයගේ මුහුණෙන් ප්‍රකාශ වන හැඟීම් වටහා ගැනීම අසීරු වූ නිසා ඡායාරූපය සම්බන්ධයෙන් විවිධ මත පළ වීම ඇරඹුණා. ඇතැමුන් එම ඡායාරූපය ඇයගේ මාපියන් ලබා ගත් එකක් නොවන බව විශ්වාස කරනවා. මතවාදවල විවිධත්වය නිසා ම මැඩිසන්ගේ අවසාන ඡායාරූපය ප්‍රබල සාක්ෂියක් වීමේ හැකියාව ක්‍රමයෙන් දුර්වල වුණා.

බොබී සහ ෂෙරිලීන් ගේ ජංගම දුරකථනවල GPS ඛණ්ඩාංක පොලිසියට මනා සහයෝගයක් ලබා දුන්නා – www.strangeoutdoors.com 

ද්වේෂයෙන් පිරුණු ලියුම

පොලිසිය අනුමාන කරන පරිදි ජේමිසන් පවුලේ සාමාජිකයන් කඳු මුදුනේ මිනිත්තු 15 ක පමණ කාලයක් රැඳී සිට තිබෙනවා. ඉන් පසු සිදු වූ දෙය කිසිවෙක් නොදන්නා බැවින්, සැබෑ අබිරහස ඇරඹෙන්නේ පැනෝලා කඳු මුදුනින් බව පොලිසියට වැටහුණා. අතුරුදහන් වූ දිනයට පසු දින පොලිස් නිල සුනඛයන් සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් සෙන්ස් බොයිස් කඳුකරයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ඇරඹුවා.

පොලිසියේ වෑයම අසාර්ථක වූ අතර, ඔවුන් සතුව තිබූ එක ම හෝඩුවාව වුණේ ජේමිසන් පවුලේ පෞද්ගලික වාහනය පමණ යි. ඔවුන් දිගින් දිගට ම එම වාහනය සෝදිසි කිරීමේ දී තවත් වැදගත් සාක්ෂි දෙකක් සොයා ගැනීමට සමත් වුණා. එයින් එකක් ඩොලර් 32,000 ක මුදල් නෝට්ටු සහිත බෑගයක් වූ අතර, එය ඉදිරිපස අසුන යට සඟවා තිබුණා. දෙවැනියට සොයා ගත් වැදගත් ම සාක්ෂිය වන්නේ ෂෙරිලීන් බොබීට ලියූ ලියුම යි. පිටු 11 න් යුක්ත එම දීර්ඝ ලියුම හරහා ෂෙරිලීන් තම ස්වාමි පුරුෂයා දැඩි ලෙස විවේචනය කොට තිබුණා.

මැඩිසන් සිය සුරතල් සුනඛයා සමඟ – www.talkmurderwithme.com

2013 නොවැම්බර් 13

පොලිසිය සහ රෙඩ් ඕක් ප්‍රදේශයේ වැසියන් කොතරම් උත්සහ කළත් ජේමිසන් පවුලේ සාමාජිකයන් සොයා ගැනීමට නොහැකි වුණා. එකල ඔක්ලහෝමා ප්‍රාන්තය පමණක් නොව, මුළු එක්සත් ජනපදයේ ම අවධානයට ලක් වූ සිදුවීමක් ලෙස ජේමිසන් පවුලේ අතුරුදහන් වීම පැවතුණා. කාලයත් සමඟ අමෙරිකානු ජනයාගේ මතකයෙන් ජේමිසන්වරුන් වියැකි ගියේ ඔවුන්ගේ අපරාධ ඉතිහාසයට තවත් නොවිසඳුණු ගැටලුවක් ඉතිරි කරමින්. කෙසේ නමුත්, වර්ෂ හතරකට පසු එනම්, 2013 නොවැම්බර් 13 වැනිදා සෙන්ස් බොයිස් කඳුකරයේ අබිරහස නැවතත් කරළියට පැමිණුනා.

ජේමිසන්වරුන් මහ වනය මැද අතහැර දැමූ වාහනයට සැතපුම් තුනක් පමණ දුරකින් වැඩිහිටියන් දෙදෙනකුගේ සහ කුඩා දරුවකුගේ අස්ථි කොටස් එක්තරා දඩයක්කරුවකුට හමු වූ අතර, ජේමිසන් පවුලේ අබිරහසත් සමඟ එම අහඹු සොයා ගැනීම සම්බන්ධ කිරීමට මිනිසුන් උත්සහ ගත්තා. අදාළ අස්ථි කොටස් ඔක්ලහෝමා වෛද්‍ය පරීක්ෂකයා තහවුරු කළ යුතුව තිබුණා. 2014 ජූලි මාසයේ දී සොයාගත් අස්ථි කොටස් ජේමිසන් පවුලට අයත් බව තහවුරු වුණා.

අබිරහස් මරණ සහ කල්පිත

අතුරුදහන් වූවන් ලෙස ජේමිසන් පවුලේ සාමාජිකයන් තව දුරටත් නොසැලකුණත්, ඔවුන්ගේ මරණවලට හේතුව විසඳා ගැනීමට අපරාධ අංශ අපොහොසත් වුණා. වසර හතරක් මුළුල්ලේ සිදු වූ පුළුල් දිරාපත් වීමෙ හේතුවෙන් මරණයට හේතුව තහවුරු කිරීම ඉතා දුෂ්කර වුණා. බොබීගේ හිස් කබලේ කුඩා සිදුරක් තිබූ අතර, එය වෙඩි උණ්ඩයකින් ඇති වූ සිදුරක් බව මුල දී නිගමනය වුණා. කෙසේ නමුත්, අස්ථි කොටස් හමු වූ ස්ථානය ආශ්‍රිත ව හෝ අතහැර දැමූ වාහනය තුළින් ගිනි අවියක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. මරණ වලට හේතුව අපහැදිලි නිසා ම විවිධ කල්පිත ඔස්සේ ජේමිසන් පවුලේ අබිරහස් මරණ විසඳීමට අපරාධ අංශ උත්සහ කළා.

වඩාත් ප්‍රචලිත ම කල්පිතය ලෙස සලකන්නේ මෙම මරණ ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමක් අරබයා සිදු වූ බව යි. ෂෙරිලීන්ගේ මානසික සංකූලතාව සහ ඇය බොබී කෙරෙහි යම් ද්වේෂ සහගත සිතිවිලිවලින් පසු වූ නිසා කල්පිතයට සහය දැක්විය හැකි සාධාරණ සාක්ෂි එම කල්පිතය වටා තිබුණා. ජේමිසන් පවුලේ සමීපතමයන් එම කල්පිතය පිළි ගත්තේ නැහැ. ඔවුන්ගේ පවුල් සංස්ථාව දෙදරීමකට ලක් ව තිබුණත්, ෂෙරිලීන්ට එවැනි දරුණු තීරණයකට පැමිණිය නොහැකි බව ඔවුන් විශ්වාස කළා.

ජේමිසන් පවුලේ වාහනය සොයාගත් වනගත ප්‍රදේශය – medium.com 

ෂෙරිලීන්ගේ මිතුරිය වන නිකී ඇතුළු අනෙකුත් සමීපතමයන් වඩාත් පිළි ගන්නේ මෙය පැහැර ගැනීමක් බව යි. ඔවුන්ගේ වාහනය තුළ කලබලයක් සිදු වූ බවට සළකුණු හමු නොවූ හෙයින්, කිසියම් ආගන්තුකයෙන් ඔවුන්ට ආයුධ පෙන්වා වාහනයෙන් ඉවත් කර ගත් බව ජේමිසන් පවුලේ හිතවතුන් අනුමාන කරනවා. ජේමිසන්වරුන් හදිසියේ ම වාහනය අතහැර දැමූ බවක් පෙනෙන්නට තිබූ නිසා එම කල්පිතය සත්‍යයට වඩාත් සමීප බව සිතිය හැකි යි. විශේෂයෙන් ම මැඩිසන් සිය සුනඛයා ඇය යන සෑම තැනකට ම රැගෙන යෑමේ පුරුද්දක් අනුගමනය කළා.

ජේමිසන් පවුල තුළ තිබූ ගැටලුකාරී හැසිරීම් ඔවුන්ගේ මරණවලට සම්බන්ධ කිරීමෙන් ගොඩ නැඟුණු කල්පිත කිහිපයක් ද පවතිනවා. ඔවුන් යක්ෂයා (සාතන්) සහ අඳුරු බලවේග ගැන අවධානයක් යොමු කර තිබූ හෙයින්, මෙම මරණ කිසියම් ඇදහිල්ලක් හේතුවෙන් සිදු වූ බව අනුමාන කෙරෙනවා. එමෙන්ම, ඔවුන් අතුරුදහන් වූ සෙන්ස් බොයිස් කඳුකරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් බහුල ව පවතින ප්‍රදේශයක් බව සැලකෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑමක් නිසා මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ජේමිසන් පවුල ගොදුරු වූ  බව ඇතැමුන් විශ්වාස කරනවා. මීට අමතරව, බොබී සහ ඔහුගේ පියා අතර පැවතුණු ආරවුල් ඔවුන්ගේ මරණවලට සම්බන්ධ විය හැකි ආකාරය ගැන විමර්ශන පවත්වා තිබෙනවා. කෙසේ නමුත්, ජේමිසන් පවුලට අත් වූ ඉරණම පිටුපස ඇති සැබෑ තතු දන්නේ සැන්ස් බොයිස් කඳුකරයේ සොබාදහම පමණ යි!

කවරයේ ඡායාරූපය: ජේමිසන් යුවළ සහ ඔවුන්ගේ දියණිය- www.dailymail.co.uk

මූලාශ්‍ර:

www.talkmurderwithme.com

www.strangeoutdoors.com 

Related Articles