Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු ක්ලීව්ලන්ඩ් ඝාතන සිද්ධීන්

අමානුෂික හා ක්‍රෑර මිනිස් ඝාතන පිළිබඳ ඉතා ඈත අතීතයේ පටන් වාර්තා වෙනවා. මේවායින් කොටසක් සිදුකරන ලද අයවලුන් හඳුනාගෙන නිසි දඬුවම් පමුණුවන්නට නිසි බලධාරීන් සමත් වී ඇති අතර, තවත් සමහර සිද්ධීන්වලට අදාල අයවළුන් කිසිවෙකුත් හඳුනාගන්නට කවරෙක් හෝ සමත් වී නැත්තේ ඒවා සදාකාලික අභිරහසක් කරමිනුයි. 1930 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ ‘ක්ලීව්ලන්ඩ් ඝාතන සිද්ධි කිහිපයත් අයත් වන්නේ ඒ ගොන්නට යි.

සිද්ධීන්වල ආරම්භය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයට අයත් ක්ලීව්ලන්ඩ් පෙදෙස පිළිබඳව 1930 දශකය පුරාවටම ඇමෙරිකානු ජනයා හට වරින් වර සිය අවධානය යොමන්නට සිදුවුණා. ඒ, වසර කිහිපයක කාල රාමුවක් තුළ අමානුෂික ලෙස ඝාතනය කොට, කැබලි වෙන් කරන ලද මළසිරුරු කිහිපයක්ම එම පෙදෙසින් හමුවීම යි. ගණනින් 12ක් වූ මේවා සිදු කර තිබූ පිළිවෙල අනුව එකම අයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදුකළ ඒවා බවට බැලූ බැල්මට පෙනී ගියා. කෙසේ නමුත් ඒවායේ සුළමුල සෙවීම නම් සිතූ තරම් පහසු වූයේ නැහැ.

ඝාතන සිද්ධියක්- Bettman/Getty Images

මේ සිද්ධි දාමයේ ආරම්භය සනිටුහන් කරමින් පළමුවන මළසිරුර හමුවූයේ 1934 වසරේ දී යි. ඊරි විල අසල ඔබමොබ සක්මන් කරමින් සිටි තරුණයෙකුට එය හමුවනවා. ඇත්තෙන්ම ඔහුට එය හමුවන අවස්ථාව වන විට එය සිරුරක්යැ යි එක්වරම හඳුනාගත නොහැකි තරමට කැබලි කර තිබුණා. තරුණයාට හමුවූයේ කාන්තා යටිකය කොටසක් වන අතර, එහි ද පාද යුගල දණහිස අසලින් වෙන්කොට තිබුණා. සිරුරු කොටස් පුරාවටම යම් රසායන ද්‍රව්‍යයක් ගල්වා තිබූ අතර මේ හේතුවෙන් සිරුරෙහි සම ඝණ වී රත් පැහැ ගෙන තිබුණා.

තරුණයා විසින් වහාම පොලිසිය දැනුවත් කරන ලදුව පොලිස් නිලධාරීන් එම සිරුර හමුවූ පෙදෙස පුරාවට පරීක්ෂා කළ නමුදු සිරුරෙහි ඉතිරි කොටස හමුවූයේ නැහැ. මේ හේතුවෙන් එය කාගේදැ යි හඳුනාගන්නටත් නොහැකි වුණා. ‘විල අසබඩ දී හමු වූ කාන්තාව’ යැයි එම සිරුරට නම පටබැඳුණු අතර, එම සිරුරු කොටස් හඳුනාගන්නටවත් කිසිවෙකුත් ඉදිරිපත් නොවූ නිසා කෙමෙන් කෙමෙන් ඒ පිළිබඳ මතකය කාගෙනුත් දුරස් වුණා. මේ පිළිබඳව අදහස් දැක්වූ බොහෝ දෙනා පැවසුවේ මෙය පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන් සිදුවූ මිනිමැරුමක් බව යි. තනි මිනිමැරුම වූ මෙය සිදුකර ඝාතකයා පළායන්නට ඇතැයි ඔවුන් අනුමාන කළා. කෙසේ නමුත් මේ තත්ත්වය පැවතියේ කෙටි කලක් පමණ යි.

පළමු සිරුර හමු වී වසරක් ගිය තැන ඒ පන්නයේම සිරුරක් නැවත හමුවනවා. ඔහායෝහිම කින්ස්බරි රන් පෙදෙසේ කඳුගැටයකට ගිය ගැටවරයන් දෙදෙනෙක් හට, එහි පාමුල තිබූ කැබලි කරන ලද සිරුරක කොටස් හමුවනවා. පුරුෂ ශරීරයක් වූ මෙය 28 හැවිරිදි එඩ්වඩ් ඇන්ඩ්‍රෙසි නම් අයගේ බැව් හඳුනාගන්නා අතර එම සිරුරෙහි තිබුණේ මේස් යුගලක් පමණ යි.

එඩ්වඩ් ඇන්ඩ්‍රෙසි ගේ සිරුර- Dr. James J. Badal

මේ සොයාගැනීමත් සමග ඔහායෝ පොලිසිය ඒ පිළිබඳව උනන්දුවෙන් සොයන්නට පටන්ගත්තා. කෙටි කලක් තුළ ඒ පෙදෙස ආසන්නයේ තිබී තවත් එවැනිම මළසිරුරු කිහිපයක්ම හමුවූ අතර මුළු ඔහායෝ ප්‍රාන්තයම භීතියෙන් ඇළලී ගියේ මිනිසුන් මරා කැබලි කරන ‘උමතු ඝාතකයෙක්’ ප්‍රදේශය පුරා සැරිසරන බවට ප්‍රත්‍යක්ෂ වූ නිසා යි. මුල දී වසරකට පෙර හමුවූ කාන්තා මළසිරුර මේ සිද්ධි දාමයට සම්බන්ධයක් නැති බවට පොලිසිය විසින් තීරණය කළත්, පසුව හෙළිවූයේ එයත් සිදුකරන ලද්දේ එකම පුද්ගලයෙකු විසින් බව යි. එකල මේ හඳුනා නොගත් ඝාතකයා ‘කින්ස්බරි රන්හි උමතු මස් කපන්නා’ ලෙස හැඳින්වුණා.

මළසිරුරු කිහිපයක් හමුවෙයි

1934 වසරේ සැප්තැම්බර් මස සිට 1938 වසරේ අගෝස්තු මස අතර කාලය තුළ ක්ලීව්ලන්ඩ් පෙදෙසෙන් හමු වූ කැබලි කරන ලද මළසිරුරු ගණන 12ක්. මේ සියල්ලෙහිම හිස් වෙන් කොට සඟවා තිබූ අතර, සමහරකගේ අත් පා ද තිබුණේ නැහැ. මේ බහුතරයක මරණයට හේතුව ලෙස අනාවරණය වූයේ හිස කැපීම හෝ අත් පා සිඳීමෙන් වූ ලේ වහනය යි. සමහරක් සිරුරුවල අත් පා එම සිරුරු අවටම තිබූ අතර, තවත් සමහරකගේ කැබලි සොයාගන්නට දින කිහිපයක් ගත වුණා. සමහරක් ඒවායේ ශරීර කොටස් හමුවූයේම නැහැ.

ෆ්ලෝරන්ස් පොලිලෝ- Wikimedia commons

උක්ත සිරුරු 13න් වෙනස් ආකාරයට ඝාතනය කොට තිබුණේ 2ක් පමණ යි. සිරුරු 9කම උරස් හා උදර කුහරය පලා අතුණුබහන් හා හෘදය ඉවතට ගෙන තිබුණා. එක් සිරුරක රුධිරයේ මත්ද්‍රව්‍ය තිබුණා.

හමු වූ සිරුරු 12න් හඳුනාගන්නා ලද්දේ 3ක් පමණ යි. එයිනුත් නිශ්චිතවම හඳුනාගැණුනේ 2ක් පමණ යි. ඇන්ඩ්‍රෙසිට අමතරව නිවැරදිවම හඳුනාගත් අනෙක් සිරුර ෆ්ලෝරන්ස් පොලිලෝ නම් කාන්තාවකගේ වූ අතර තෙවැනි සිරුර දන්ත වාර්තාවලට අනුව රෝස් වොලස් නම් අයෙකුගේ බැව අනුමාන කෙරුණා.

පොලිසිය යුහුසුළුව පර්යේෂණ කටයුතු දිගටම මෙහෙයවුව ද ඒවායේ එතරම් සාර්ථකත්වයක් තිබුණේ නැහැ. සැක පිට දෙදෙනෙක් අත් අඩංගුවට පත් වුව ද සාක්ෂ්‍ය මඳකම නිසා ඔවුන් දෙදෙනාම නිදහස් කෙරුණා.

අසාර්ථක වූ පරීක්ෂණ

1936 වසරේ දී දිගින් දිගටම හමුවන සිරුරු පිළිබඳ පරීක්ෂණ කිරීම එලියට් නෙස් නම් අතිදක්ෂ පොලිස් නිලධරයාට පැවරුණා. කෙසේ නමුත් වසර දෙකක් ගත වන තුරු ඔහුටත් සාර්ථක වන්නට නොහැකි වුණා.

එලියට් නෙස්- Getty Images

1938 වසරේදී හමු වූ අවසන් සිරුරු දෙක කසළ ගොඩක තිබී හමු වූ අතර නිල් පැහැ බ්ලේසරයක ඔතා තිබුණා. මේවා තිබූ ස්ථානය නෙස් ගේ කාර්යයාලය අසලම තිබූ එකක් බැවින් මේවා හිතාමතාම එතැනට ගෙනැවිත් දමා තිබූ බැව් කාටත් ප්‍රත්‍යක්ෂ වුණා. වහාම ක්‍රියාත්මක වූ නෙස් පොලිස් කණ්ඩායමක් සූදානම් කොටගෙන කින්ස්බරි රන් නගරය පීරමින් සෝදිසි මෙහෙයුමක් දියත් කළා. මේ හදිසි මෙහෙයුම ඉතා ආක්‍රමණශීලී වූ අතර සමහරක් දෙනාගේ දේපළවලට පවා හානි වුණා. මේ හේතුව නිසා නෙස් සමාජයේ විවේචනවලට ද බඳුන් වුණා.

නෙස්ගේ ක්‍රියා පිළිවෙත නිසා ක්ලීව්ලන්ඩ්හි ඝාතකයාට බලපෑමක් වේයැ යි කිසිවෙකු අපේක්ෂා කළේ නැහැ. කෙසේ නමුත් ඉන් පසුව එක් වර උක්ත ඝාතන වැල නතර වුණා. දින කිහිපයකට පසු ෆ්‍රැන්සිස් ස්වීනි නම් ශල්‍ය වෛද්‍යවරයෙකු සැක පිට පොලිස් භාරයට ගැණුනු අතර ඔහු ඝාතකයා යැයි බොහෝ දෙනා විශ්වාස කළා. කෙසේ නමුත් වැඩිදුර පරීක්ෂණ කිරීමට පෙර ඔහු නෙස් ගේ දේශපාලනික විරුද්ධවාදියෙකුයැ යි යන්න ප්‍රසිද්ධ වූ අතර ඔහු මුදාහරින්නට නෙස්ට සිදු වූයේ අදාල අවස්ථාව වන විටත් ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඔහුට එරෙහිව ගොනු කරගන්නට නොහැකි වූ නිසාවෙනුයි.

ක්ලීව්ලන්ඩ්හි ගොදුරුවලට අනුකූලව පරීක්ෂණ කටයුතු සඳහා සාදන ලද අනුරූ කිහිපයක්- divertingjourneys.wordpress.com

උක්ත ඝාතන සිද්ධීන්වලට සැකපිට පොලිස් භාරයට ගත් දෙවැන්නා වූයේ 1939 වසරේ දී අත්අඩංගුවට ගැණුනු ෆ්‍රෑන්ක් ඩොලෙසල් නැමැත්තා යි. ඔහු ඒ වන විට හඳුනාගෙන තිබූ එක් මරණකාරියක වන ෆ්ලෝ පොලිලෝ සමග එකට දිවි ගෙවා ඇති බැව් හෙළි වූ මුත් ඉන් එහා කිසිවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂ්‍ය පෙළගස්වන්නට පොලිසිය අසමත් වීම නිසා ඉක්මණින්ම නිදහස ලැබුවා. මුල දී ඝාතන පිළිබඳව ඩොලෙසල් පාපොච්ඡාරණය කළ බැව් පොලිසිය පැවසුවත් පසුව හෙළි වූයේ පොලිසිය එසේ කරන ලෙස ඔහුට බල කළ බව යි. එහි ඇත්ත නැත්ත නිසි ලෙස සොයා බැලීමට පෙර ඩොලෙසල් බන්ධනාගාරය තුළම ගෙළ වැල ලා ගෙන මියයනවා. මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ පොලිසිය විසින් ඔහුට අමානුෂික ලෙස සලකා ඇති බව යි. මේ නිසා ක්ලිව්ලන්ඩ් පොලිසිය ද මහත් අපකීර්තියකට ලක් වුණා.

1938 වසරෙන් පසු සිරුරු හමු නොවීම නිසා නිසි විසඳුමක් නොමැතිවම ක්ලීව්ලන්ඩ් ඝාතන පිළිබඳව වූ පරීක්ෂණ යටපත් වුණා. 1939 වසරෙන් පසුව ඝාතකයා හෝ ඒ පිළිබඳව සිදුවූ පරීක්ෂණ පිළිබඳව ඉතිහාස පොත්වල කිසිදු සටහනක් නැහැ.

Related Articles