Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකාවේ Seal Team Six හි ආරම්භය සහ විකාශය

ලෝකයේ බලවත් රටවල් සෑම විට ම සිය හමුදාවල ශක්තිය වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෙවුණු දශක කිහිපය තුළ ඇතැම් රටවල් රහසිගත හමුදා කණ්ඩායම් නිර්මාණය කළා. ලොව ප්‍රබලත ම හමුදාවක් සිටින අමෙරිකාව 1980 දශකය ආරම්භයේ දී බිහි කළ Seal Team Six ද එවැනි භට කණ්ඩායමක්.

එරට නාවික හමුදාවට අනුයුක්තව සිටින විශේෂ භට කණ්ඩායම් වන Seal Team Six රහසිගත මෙහෙයුම් ගණනාවක් සාර්ථක ව නිමා කිරීමට සමත් වුණා. එනිසා ඔවුන්ගේ නාමය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණා. මෙතැන් සිට ඔබට කියන්නේ කාගේත් අවධානය දිනා ගෙන සිටින අමෙරිකානු Seal Team Six ඒකකයේ ආරම්භය සහ විකාශනය පිළිබඳ තොරතුරු යි. 

Seal Team Six ආරම්භ කිරීමට හේතුවුණු සිදුවීම

1979 නොවැම්බර් 4 වැනිදා ඉරාන අන්තවාදී කණ්ඩායමක් ටෙහෙරාන් හි අමෙරිකානු තානාපති කාර්යාලය අල්ලා ගත්තා. ඉන් පසු ව අමෙරිකානු ජාතිකයන් 52ක් ඔවුන්ගේ ප්‍රාණ ඇපයට ගත්තා. ඒ වන විට අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා ඉරාන රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කළා. නමුත් එම සාකච්ඡා අසාර්ථක වුණා. මාස කිහිපයක් පුරා පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි කාටර් 1980 අප්‍රේල්  7 වැනිදා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දුන්නා. ඒ ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දමන ලෙස යි. 

ජිමී කාටර් (gettyimages.com)

 

ඉන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක කවුන්සිලය රැස් වුණා. එම හමුවේ දී කාටර් එරට රාජ්‍ය ලේකම්වරයා ලෙසින් කටයුතු කළ සයිරස් වෑන්ස්ට නියෝග කළේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා මෙහෙයුමක්  අරඹන ලෙස යි. ජනාධිපතිවරයා ලබා දුන් නියෝගයට අවනත වුණු අමෙරිකානු ආරක්ෂක ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා හදිසි මෙහෙයුමක් සැලසුම් කළා.

එම මෙහෙයුම ඔපරේෂන් ඊගල් ක්ලෝ යන නමින් හැඳින්වුණා. 1980 අප්‍රේල් 24 සහ 25 දිනවල ක්‍රියාත්මක වුණු මෙහෙයුම සඳහා ඩෙල්ටා බළකාය, රේන්ජර් බඵකාය, විශේෂ බළකාය, සහභාගි වුණා. ඒ වාගේ ම අමෙරිකානු ගුවන් සහ නාවික හමුදා මෙන්ම  මැරීන් බළකාය ද ඒ සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

ඊගල් ක්ලෝ මෙහෙයුම – wikimedia.org

 

දින 2ක් පුරා පැවති මෙහෙයුම සාර්ථක ව අවසන් කිරීමට අමෙරිකානු හමුදාවලට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි දී මෙහෙයුමට සහභාගි වුණු අමෙරිකානු භටයන් 8 දෙනකු මරණයට පත් වුණා. අමෙරිකානු හෙලිකොප්ටර් සහ ගුවන් යානා විනාශයට පත් වුණා. ඉරානයට එරෙහි ව සිදු කළ එම මෙහෙයුම අසාර්ථක වීම නිසා අමෙරිකානු ආරක්ෂක අංශ අවමානයකට ලක් වුණා. නැවත එවැනි පරාජයක් නොලැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එදා අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රදානීන් තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පූර්ණ කාලීන ත්‍රස්ත මර්දන ඒකකයක් ආරම්භ කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වුණා. 

Seal Team Six ආරම්භ කිරීම

නව පූර්ණ කාලීන ත්‍රස්ත මර්දන ඒකකය ආරම්භ කිරීමේ කාර්යය රිචඩ් මාර්සින්කෝ නම් නිලධාරියාට පැවරුණා. මුලින් ම ඔහු නව ත්‍රස්ත මර්දන ඒකකය සඳහා එක්වීමට කැමති අයට අයදුම්පත් යොමු කරන මෙන් ඉල්ලා සිටියා. එම ක්‍රියාවලිය ඉතාමත් රහසිගත ව සිදුවුණා. 1980 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී අයදුම්පත් යොමු කර තිබුණු හමුදා සෙබළුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. ඉන් අනතුරුව වෙඩික්කරුවන් 75 දෙනෙකු නව ත්‍රස්ත මර්දන ඒකකය සඳහා තෝරා ගත්තා. 

රිචඩ් මාර්සින්කෝ – wsj.com

 

1980 නොවැම්බර් මාසයේ දී එම ඒකකය නිල වශයෙන් ආරම්භ කළා. එම කාල වකවානුව වන විට Seal Team One, Seal Team Two ලෙසින් අමෙරිකානු හමුදාව යටතේ සීල් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වුණා. නමුත් අලුතින් ආරම්භ කළ සීල් බළකාය Seal Team Six ලෙසින් නම් කළා. එහි දී අමෙරිකානු හමුදා නව ත්‍රස්ත මර්දන ඒකකයට Seal Team Six යන නම ලබාදුන්නේ ඔවුන් සතු ව සිටින සීල් හමුදා කණ්ඩායම් ප්‍රමාණය සෝවියට් බුද්ධි අංශවලින් සැඟවීම සඳහා යි.  ඒ අයුරින් ආරම්භ කළ Seal Team Six ඒකකය DEVGRU, NSWDG, සහ Task Force Blue යන අන්වර්ථ නාමවලින් හැඳින්වුණා. 

පුහුණුවීම් සිදුකළ ආකාරය 

Seal Team Six ඒකකය සඳහා බඳවා ගත් සෙබළුන්ට භාරදූර රාජකාරි රැසක් පැවරී තිබුණු නිසා ඔවුන්ට දුෂ්කර පුහුණුවීම් අභ්‍යාසවල නිරත වීමට සිදුවුණා. එහි දී ඔවුන්ට වෙඩි තැබීම, පැරෂුට් අභ්‍යාස, දිය යට කිමිදීම, දිය යට සටන්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් පැදවීම, දුෂ්කර ප්‍රදේශ ආශ්‍රිත ව දිවීම, කඳු නැගීම, නිරායුධ සටන් ශිල්පීය ක්‍රම වැනි අවදානම් පුහුණුවීම්වල නිරත වීමට සිදුවුණා. එම පුහුණුවීම් ඉතාමත් අසීරු වුණු නිසා සමහර සෙබළුන් තුවාල ලබද්දී තවත් සමහර සෙබළුන්ට මරණය පවා උරුම වුණා.  

Seal Team Six භටයන්ගේ පුහුණුව- nbcnews.com

 

ඒ වාගේම සෙබළුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව මැන බැලීමට විශේෂ පරීක්ෂණ කිහිපයක් ද පැවැත්වුණා. මෙවැනි ඒකකයක රාජකාරි කිරීම සඳහා ඉහළ ශාරීරික සහ මානසික යෝග්‍යතාවක් අත්‍යවශ්‍ය වුණා. Seal Team Six ඒකකයට අයත් වුණු සෙබළුන් මූලික පුහුණු වැඩසටහනේ දී මෙම සියලුම අභ්‍යාස සම්පූර්ණ කිරීම අනිවාර්ය වුණා.

මූලික පුහුණුවෙන් පසුව ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ ව තක්සේරු කර ඔවුන්ට ගැළපෙන රාජකාරි සඳහා අනුයුක්ත කළා. ඒ අනුව ඔවුන්ට වෙඩි තැබීම, පැරෂුට් ක්‍රියාත්මක කිරීම, දිය යට සටන් කිරීම, කිමිදීම වැනි  රාජකාරි පැවරුණා. 

Seal Team Six භට පිරිස් – yahoo.com

 

Seal Team Six ඒකකයට අයත් බළඝණ 

මුල් අවධියේ දී Seal Team Six ඒකකයට සීමිත පිරිසක් බඳවා ගත්ත ද පසු කලෙක එය තව තවත් පුළුල් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 වසර වන විට 1787ක පමණ පිරිසක් මෙම ඒකකය සඳහා අනුයුක්ත කර තිබුණා. ඒ අතරට  සෙබළුන් 1342ක් ද, සිවිල් පුද්ගලයන් 445ක් ද ඇතුළත් වුණා. මෙම ඒකකයට අනුයුක්ත ව සිටි පිරිසේ දක්ෂතාවලට අනුව ඔවුන් බළඝණවලට වෙන් කර තිබුණා. එම එක් එක් බළඝණය හැඳින්වීම සඳහා වර්ණ ද ලබා දී තිබුණා. පහතින් දක්වා තිබෙන්නේ එම බළඝණ සහ ඔවුන්ට ලබා දී තිබුණු වර්ණ යි.

1) රතු, නිල්, රන් සහ රිදී බළඝණ- ප්‍රහාර එල්ල කිරීම 

2) අළු බළඝණය- කිමිදුම්කරුවන් සේ ක්‍රියා කිරීම සහ ප්‍රවාහන කටයුතු 

3) කළු බළඝණය- ඔත්තු බැලීමේ කටයුතු සහ නිරීක්ෂණ කටයුතු 

4) හරිත බළඝණය- සෙබළුන් තෝරාගැනීම සහ පුහුණුකිරීම 

ප්‍රහාරක බළඝණයක සෙබළෙක් – sofrep.com

පැවරී ඇති රාජකාරි  

අමෙරිකානු නාවික හමුදාව යටතේ පවතින මෙම හමුදා ඒකකයට භාරදූර රාජකාරි රැසක් පැවරී තිබෙනවා. ත්‍රස්තවාදීන්ට එරෙහි ව මෙහෙයුම් සිදු කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, අධි අවදානම් කලාපවලට ඇතුළු වී තොරතුරු එක් රැස් කිරීම, විශේෂ මෙහෙයුම් සිදුකිරීම වැනි ඒවා ඒ අතරට අයත්. මෙම බළකායේ විශේෂ ඔත්තු බැලීමේ ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව කල් ඇතිව ම හඳුනාගැනීමට හැකියාව ලැබුණා.

එසේ රහසිගත ලෙස ක්‍රියාත්මක වුණු මෙම ඒකකයට 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව තොරතුරු සොයා ගැනීමට නොහැකි වීම තරමක් විමතිය දනවනසුලු සිදුවීමක් වුණා. නමුත් 1980 නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන Seal Team Six ඒකකය ගෙවුණු දශක 3කට වැඩි කාලය තුළ සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වුණු බව මෙහි දී කිව යුතු යි. 

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය- theatlantic.com

 

සිදු කළ සුවිශේෂී මෙහෙයුම් 

අමෙරිකානු  Seal Team Six ඒකකය සිදු කළ විශේෂ මෙහෙයුම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා අතුරින් වඩාත් ප්‍රසිද්ධ මෙහෙයුම් දෙකක් පිළිබඳ ව තොරතුරු පහතින් දක්වා තිබෙනවා.

2009 අප්‍රේල් මාසයේ දී MV Maersk Alabama නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ  ග්‍රහණයට නතුවුණා. ඉන් පසුව කොල්ලකරුවන් එහි කපිතාන් රිචඩ් ෆිලිප්ස් අල්ලාගෙන කුඩා සංවෘත ජීවිතාරක්ෂක බෝට්ටුවක් තුළ ප්‍රාණ ඇපයට තබා ගත්තා. එහි දී කොල්ලකරුවන් ඔහු නිදහස් කර ගැනීම සඳහා විශාල කප්පම් මුදලක් ඉල්ලා තිබුණා. එලෙස ප්‍රාණ ඇපයට ලක්ව සිටි කපිතාන්වරයා බේරාගැනීම සඳහා USS Bainbridge නෞකාව යොදවූවා.

එහි දී නෞකාවේ සිටි Seal Team Six ඒකකයේ ස්නයිපර්කරුවන් තිදෙනකු ෆිලිප්ස් රඳවා ගෙන සිටි සෝමාලියානු මුහුදුකොල්ලකරුවන් මරා දැමීමට සමත් වුණා. එදා Seal Team Six ඒකකය සිදු කළ එම මෙහෙයුම විශාල ලෙස ප්‍රසිද්ධියට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේ දී කැප්ටන් ෆිලිප්ස් නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. 

කපිතාන් රිචඩ් ෆිලිප්ස්  – voi.com

 

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව ඔසාමා බින් ලාඩන් අමෙරිකාවේ ප්‍රධානත ම සතුරකු බවට පත්වුණා. ඉන් පසුව බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ අනුව 2011 වසර වන තුරු බින් ලාඩන් රහසිගත ජීවිතයක් ගත කළා.

එසේ අමෙරිකාට අවශ්‍ය ම පුද්ගලයකු වුණු ඔසාමා බින් ලාඩන් 2011 මැයි 2 වැනිදා පාකිස්තානයේ ඇබොටාබාද් ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට Seal Team Six ඒකකයට හැකියාව ලැබුණා. එය මෙම ඒකකය සිදුකළ ඉහළ ම පෙළේ මෙහෙයුමක් ලෙසින් ඉතිහාසගත වුණා.

ඔසාමා බින් ලාඩන් – bbc.com

 

කවරයේ ඡායාරූපය- Seal Team Six භටයන් - sandboxx.us 

මූලාශ්‍ර:

history.com 

nytimes.com 

dallasnews.com 

sofrep.com 

Related Articles