Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනපති පුටුවේ සිටියදීම මියගිය ඇමෙරිකානු ජනපතිවරු – 1 කොටස

වසර 229 ක ඉතිහාසයකට උරුමකම් කියන ලෝක පොලිස් කාරයාගෙ හෙවත් ඇමෙරිකානු ජනපති භූමිකාවට පණ පෙවීම සඳහා පත් වීම ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඇමෙරිකානු ජනපති පුටුවට පත් වූ විට ඉතාම දැඩි සැප පහසුකම් විඳීමට හැකි බව පිටත සිට බලන්නෙකුට පෙනුණත් එය ඉතාම දැඩි වගකීම් සහිත වෘත්තියක්. ඇමෙරිකානු ජනපති පුටුවට සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට උපරිම වශයෙන් තේරී පත්විය හැක්කේ දෙවරක් පමණයි. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් එක වරකට අවුරුදු 4 බැගින් අවුරුදු 8ක් වෙන තුරු කෙනෙකුට ඇමෙරිකානු ජනපති තනතුර හෙබවිය හැකියි. මෙය වෙනස් වී තිබෙන්නේ ඉතිහාසයේ එක් වරක් පමණයි.

ඇමෙරිකානු ජනපති ලෙස තේරී පත් වෙන සමහරුනට විවිධ හේතු නිසා දෙවන වර පත් වීම සඳහා ජන වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වාගේම රිචර්ඩ් නික්සන් ජනපති තුමා සිය දෙවන දූර කාලය සඳහා තේරී පත් වුණු පසුවත් ඉල්ලා අස් වුණා. මේ අතර ජනවරම තිබියදීම හෙවත් ජනපති ලෙස කටයුතු කරද්දීම ජීවිතයෙන් සමුගන්නට සිදුවුණු අවාසනාවන්තයින් කීප දෙනෙකුත් ඉතිහාසය පරීක්ෂා කිරීමේදී අපට හමු වෙනවා. ගණනින් 8 ක් දෙනෙක් වන මොවුන්ගෙන් සිව් දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් සිව් දෙනෙක් මිය ගොස් ඇත්තේ ස්වභාවික හේතු නිසායි. එවැනි ‘වාසනාවන්ත අවාසනාවන්තයින්’ ගැන කියවෙන ලිපි දෙකෙහි පළමු වැන්නෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එසේ ඝාතනයට ලක් වූ ඇමෙරිකානු ජනපතිවරු සිව් දෙනා ගැනයි.

ඒබ්‍රහම් ලින්කන්- 1865

heightline.com

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිහිවුණු ජනපතිවරුන් අතරින් විශිෂ්ටතම ජනපතිවරයෙක් හැටියට ඒබ්‍රහම් ලින්කන් අදටත් සැලකුම් ලබනවා. ක්‍රි.ව 1861 ජනපති හැටියට තේරී පත් වූවාට පසු ඔහු ගත් වැදගත්ම තීරණය වහල් සේවය අහෝසි කිරීමයි. මේ සඳහා ලොව පුරා බොහෝ දෙනා ඔහුට ප්‍රශංසා කළත් වහලුන්ගෙන් ප්‍රයෝජන ගත් දකුණු දිග ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 11 ක වෙසෙමින් සිටි සුදු ජාතික වතු හිමියෝද සමහරක් අන්තවාදී සුදු ජාතික ඇමෙරිකානුවෝද ඔහු සමඟ බද්ධ වෛරයක් ඇති කරගනු ලැබුවා. එකල වේදිකා නළුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුළමින් සිටී ජෝන් විල්කිස් බූත් ගැණෙන්නේද මේ කොට්ඨාසයටයි.

ජෝන් විල්කිස් බූත් -theverge.com

1865 වසර වන විට වහල් වෙළඳාම නිසා ඇවිලී ගිය ඇමෙරිකානු සිවිල් යුද්ධය වතුකාර වහල් හිමියන්ට අවාසි වන පරිද්දෙන් අවසන් වෙමින් පැවතුණා. වහල් සේවයට පක්ෂ බූත් ඇතුළු කණ්ඩායම් විශ්වාස කළේ මේ වාතාවරණය වෙනස් කිරීමටනම් ජනපති ලින්කන් අඩුම ගණනේ පැහැරගත යුතු බවයි. ක්‍රි.ව 1865 මාර්තු මස 20 වනදා ජනපති පැහැර ගැනීමට බූත් හා සහචරයින් සය දෙනෙක් සියළු සැළසුම් ඇන්දත් අදාල ස්ථානයට අවසන් මොහොතේ ජනපති නොපැමිණීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වෙනවා. මේ අනුව ඔවුන්ගේ වෛරය තවත් වැඩි වන අතර හැකි ඉක්මණින් ලින්කන් ඝාතනය කිරීමට සැළසුම් කෙරෙනවා.

ක්‍රි.ව 1865 අප්‍රේල් මස 14 වැනි දින ජනපති ලින්කන් හා ඔහුගේ ආර්යාව වොෂින්ටනයේ ෆෝර්ඩ් රඟහලට පැමිණෙන්නේ ප්‍රහසන නාට්‍යයක් නැරඹීම සඳහායි. මේ සඳහා ඔහු විශේෂ කුටියක් වෙන් කරගෙන තිබුණා. රාත්‍රී 10.15 ට පමණ කුටියට කඩා වැදුණු බූත් ජනපති තුමාගේ හිස පිටුපසට වෙඩි තබා ඉන් පිටතට පැනගත්තා. බූත් ජනප්‍රිය නළුවෙකු නිසා බොහෝ ප්‍රේක්ෂකයන් සිතුවේ ඒ නාට්‍යයේ කොටසක් ලෙසයි. නමුත් ලින්කන් ආර්යාවගේ කෑ ගැසීමට සියළු දෙනාට යමක් සිදු වී ඇති බව වැටහුණා. එහෙත් ඒ අවසරයෙන් බූත්ට එතැනින් පැනගන්නට ලැබුණා.

බූත් ජනපති ලින්කන්ට වෙඩි තබනු දැක්වෙන සිතුවමක් -didyouknowfacts.com

ජනපති තුමාට වෙඩි වැදී තිබුණු ආකාරය අනුව බේරා ගැනීමට නොහැකි බව තීරණය කෙරුණු අතර එය සපථ කරමින් පසු දින උදෑසන හේ ජීවිතයෙන් සමුගත්තා. ඉක්මණින්ම සිවිල් යුද්ධය නිමා වුණු අතර හමුදා ග්‍රහණයට ලක් වූ බූත් කෙරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණා.

ජේම්ස් ගාර්ෆීල්ඩ් -1881

history.com

ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ 20 වන ජනපති වන ජේම්ස් ගාර්ෆීල්ඩ් 1880 ජනපතිවරණයෙන් තේරී පත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. ක්‍රි.ව 1881 වසරේ දී සිය ධූර කාලය ඇරඹීමත් සමඟම  සිය රිපබ්ලිකන් සහෘදයන් සමඟ මත ගැටුමත් ඇති කර ගැනීමත් ජනපති ආර්යාව මැලේරියාව වැළඳී තදබල ලෙස අසනීප වීමත් නිසා ගාර්ෆීල්ඩ් මානසිකව පීඩනයට ලක් වෙනවා. මේ නිසා කෙටි නිවාඩුවක් ගැනීම්ට සිතූ ඔහු 1881 ජූලි දෙවන දින  බැල්ටිමෝර් හා පොටොමැක් දුම්රිය ස්ථානයට පැමිණෙනවා.

මේ අතර යම් මානසික ව්‍යාධියකින් පෙළුණු චාල්ස් ගුටෝ නම් නීතීඥයෙක් ජනපති ඝාතනයට මාන බලනවා. ගාර්ෆීල්ඩ් දුම්රිය ස්ථානයට ඇතුළු වනවාත් සමඟම පසුපසින් පැමිණි චාල්ස් ඔහුට වෙඩි තබනවා. පළමුවන වෙඩිල්ල ඔහුගේ අතකට වදින අතර දෙවැන්න සිරුරේ පසුපසට වදිනවා.

චාල්ස් ගුටෝ-biography.com

වාසනාවකට ජනපතිට එල්ල වී තිබුණු වෙඩි ප්‍රහාර දෙකම මාරාන්තික තත්ත්වයේ තිබුණේ නැහැ. අතට වැදුණු මූණිස්සම ඉතා සුළු තුවාල සිදු කර තිබුණු අතර පසුපසට වැදුණු මූණිස්සම ඔහුගේ උදර කුහරයේ සියළු වැදගත් අවයව බේරා අග්න්‍යාශය අසල තැන්පත්ව තිබුණා. නමුත් අවාසනාවට සනීපාරක්ෂක ද්‍රව්‍ය හා තාක්ෂණය ඉතා අවමව තිබුණු ඒ කාලයේ ජනපති පරීක්ෂාවට එතැනට පැමිණුනු වෛද්‍යවරු රාශියෙන් කිසිවෙකුට දෙවන මූණිස්සම සොයාගත නොහැකි වෙනවා. ඒ වෙනුවට ඔවුන්ගේ අපිරිසිදු අත් වල තිබුණු විශබීජ වලින් ජනපතිගේ තුවාල ආසාදනය වෙනවා.

www.history.com-චාල්ස් ජනපති ගාර්ෆීල්ඩ් ට වෙඩි තබමින්

මේ අතර වෙඩි තැබූ චාල්ස් යටත් වන අතර රිපබ්ලිකන් සහායකයෙකු වූ ඔහු ජනපතිවරණයෙන් පසු පිළිගැනීමට ලක් නොවීම මේ වෙඩි තැබීමේ අරමුණ බව පැහැදිළි වෙනවා. ජනපතිගේ තත්ත්වය නරක අතට හැරෙනු ඇතැයි බිය පළ වුණද ඉක්මණින්ම ධවල මන්දිරයට ගෙන ඒමෙන් අනතුරුව කෙමෙන් කෙමින් ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරෙන බවක් දිස් වුණා. නමුත් වෛද්‍යවරුන් ඔහුට නිර්දේශකළ ක්විනින්, මෝෆීන් හා ඇල්කොහොල් අධි මාත්‍රා නිසා වමනය ඇති වී ඔහු තවත් දුර්වල වෙනවා. මේ අතර ධවල මන්දිරය ඇලෙක්සන්ඩර් ග්‍රැහැම් බෙල් ගෙන්වන්නේ ඔහු නිපදවා ඇති ලෝහ නිරීක්ෂණ යන්ත්‍රයක් පිහිටෙන් සිරුරේ රැඳුණු මූණිස්සම සොයාගන්නටයි. නමුත් ඔහුට එය නොහැකි වෙනවා.

මෙලෙස සති කීපයක් ගත වන තුරු ජීවිතය සමඟ සටන් කරමින් සිටි ගාර්ෆීල්ඩ් ගේ තත්ත්වය සැප්තැම්බරය උදා වීමත් සමඟම නරක අතට හැරෙනවා. ඉතා තද උණක් හා සිරුරේ සැරව ගෙඩි හටගත් ඔහුගේ තත්ත්වය මරණාසන්න බව වෛද්‍යවරුන් සුවයක් බලාපොරොත්තුවෙන් නිව් ජර්සියේ සීතල සුළං විඳීම සඳහා ඔහුව ගෙන ගියද 1881 සැප්තම්බර් 19 වනදා ඔහු සදහටම දෙනත් පියාගන්නවා. පසු කලෙක සොයා ගන්නේ මරණාසන්න ත්තත්වය ඇති වුණු ආසාදනය ඇති වී තිබෙන්නේ සාත්තු කිරීමේදී බවයි.

විලියම් මැකෙන්ලි -1901

pinterest.com

විලියම් මැකෙන්ලි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති වශයෙන් මුල් වරට තේරී පත් වන්නේ 1896 ජනපතිවරණයෙනුයි. වසර 4 ක සිය පළමු ධූර කාලය සාර්ථකව නිමා කරන නිසා ඔහුට 1900 ජනපතිවරණයෙනුත් සිය දෙවන ධූර කාලය සඳහා උචිත ජනවරමක් ලැබෙනවා. විශේෂයෙන් මේ කාලය වන විට මැකෙන්ලි ස්පාඤ්ඤ- ඇමෙරිකානු යුද්ධය සාර්ථකව නිමා කර මහජනතාව අතර ඉතාම ප්‍රසිද්ධ වී සිටියා.

ක්‍රි.ව 1901 දී ඇමෙරිකාවේ බෆලෝ නුවර Pan-American Exposition නම් විශාල වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. මාස කිහිපයක් පුරාවට පැවතුණු මෙය නැරඹීමට සැප්තැම්බර් මාසයේදී ජනපති සැළසුම් කරනවා. මින් ජනතාව අමන්දානන්දයට පත් වන අතර සැප්තැම්බර් 5 වනදා ඔහු බෆලෝ නුවරට පැමිණෙන්නේ දෙදින නිල සංචාරයක් සඳහායි.

සංචාරයේ පළමු දිනය කරදරයකින් තොරව ගත වන අතර දෙවන දිනයේදී ඔහුට Temple of Music නම් රංග ශාලාවක හමුවකට ඇරයුමක් ලැබෙනවා. රාජතාන්ත්‍රකයන් කිහිප දෙනෙක්ම එහි ආරක්ෂාව මඳයැයි අනතුරු හැඟවූවත් මැකෙන්ලි එහි යන්නට තීරණය කරනවා.

Temple of Music රංග ශාලාව -C. D. Arnold, Buffalo

මේ අතර දින කිහිපයකට පෙර බෆලෝ නුවරට පැමිණි, දුප්පත් පොහොසත් බේදය නිසා ජනපති සමඟ උරණව සිටි ලියොන් චුගොස් නැමති නිදහස් මතධාරියෙක් ජනපති ඝාතනයට මාන බලනවා. මැකෙන්ලිගේ මේ ගමන ගැන හොඳින්ම දැනගත් ඔහු පිස්තෝලයක්ද අතැතිව එම රංග ශාලව වෙත පිය මනිනවා. සවස වරුවේ මැකෙන්ලි පැමිණ ජනයාට ආචාර කිරීමට සරසෙත්ම සිය පිස්තෝලය ඇදගන්නා ඔහු වෙඩි දෙකක්ම මැකෙන්ලිට තබනවා. තෙවන වෙඩිල්ල තැබීමට පෙර ක්‍රියාත්මක වන අයෙක් චුගොස්ට පහර දී ඔහුව පාලනය කරගන්නවා. උදරයට වැදුණු වෙඩි දෙකෙන් මැකෙන්ලිට තරමක් බරපතල තුවාල සිදු වෙනවා.

ලියොන් චුගොස් -en.wikipedia.org

මැකෙන්ලි ඉක්මණින්ම ලඟම ඇති රෝහලට ගෙන යන අතර එක් මූණිස්සමක් වැඩි හානියක් ගෙන නොදී සිරුර මතුපිට රැඳී තිබියදී හමුවන අතර උදර කුහරයට කිඳා බැස තිබූ දෙවැන්න එක් වරම සොයා ගැනීමට වෛද්‍යවරුන් අසමත් වෙනවා. ඒ කෙසේ නමුත් රුධිර වහනය ඉක්මණින්ම නවත්වාගැනීමට ඔවුන්ට හැකි වෙන්නේ බොහෝ දෙනා සැනසීමට පත් කරමින්.

චුගොස් ජනපති මැකෙන්ලිට ට වෙඩි තබමින්-emerjencywebb.wordpress.com

මැකෙන්ලිගේ තත්වය හොඳ අතට හැරෙමින් පැවතුණු නිසාත් වෙනත් කිසිදු අපහසුතාවයක් නොදැනෙන බව ඔහු ප්‍රකාශ කළ නිසාත් මූලික ප්‍රතිකාර දීමෙන් අනතුරුව වෛද්‍යවරු ඔහු ධවල මන්දිරය වෙත පිටත් කර හරින්නේ ඉතිරි මූණිස්සම ඔහුගේ ශරීරයේ අනතුරුදායක නොවන තැනක රැඳී ඇතැයි උපකල්පනය කරමින්. ඉතිරි සතියක කාලය ඉතා සතුටුදායක අන්දමින් ගෙවෙන අතර මැකෙන්ලි හිඳගෙන පුවත්පත් කියවීමට තරම් සුවයක් ලබනවා. නමුත් සැප්තැම්බර් 13 වනදා එක්වරම ඔහුගෙ තත්වය නරක අතට හැරෙන්නේ ඉතා දරුණු ලේ විෂවීමක් සමඟයි. උදරයට කිඳාබැස තිබූ මූණිස්සම නිසා එය රැඳී තිබුණු ස්ථානය අවට අතුණු බහන් වල පටක කුණු වීමට ලක් වීම මේ තත්වයට තුඩු දුන් හේතුව වුණා. සැප්තැම්බර් 14 දින අළුයම මැකෙන්ලි මරු වසඟයට පත් වෙනවා. මේ කාලයේ එක්ස් රේ ය්න්ත්‍රය සොයාගෙන තිබූණු අතර මූණිස්සම සෙවීමෙහි ලා වෛද්‍යවරු එය යොදාගෙන නොතිබුණේ අතුරු ආබාධ සැකය හා ජනපති සුව අතට පත්වීම සළකා ‘අවදානමක්’ ගන්නට මැළි වූ නිසා බව දැක්වෙනවා.

ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි -1963

en.wikipedia.org

ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකානු ජනපති ඉතිහාසයේ හමුවන ආකර්ශනීයම ජනපති කෙනෙක්. ඔහුගේ කඩවසම් රූපයත්, නායකත්ව ලක්ෂණත් නිසා 1960 ජනපතිවරණයෙන් ඇමෙරිකානු ජනපති හැටියට තේරී පත්වන්නේ එතෙක් බිහිවූ ලාබාලම ඇමෙරිකානු ජනපති ලෙසිනුයි.  වසර දෙකක් පුරාවට හොඳින් ජනපති පුරුවේ කටයුතු කළ කෙනඩි 1963 වසරේ නොවැම්බර් මාසයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවරට නිළ සංචාරයක් සැළසුම් කරනවා. මේ සඳහා ඔහුගේ බිරිඳ වන ජැකලයින් කෙනඩිද සහභාගී වෙනවා. නොවැම්බර් මස 22 දා ඩලස් නුවර වීථි වල සංචාරය කරන  කෙනඩි රැගත් රථ පෙළපාලියට මහජනයාගෙන් මහත් හරසර ලැබෙනවා. කෙනඩි හා ආර්යාව විවෘත මෝටර් රථයක ගමන් කරමින් සිටි අතර මේ මොහොදේදී අසළ ඇති ගොඩනැඟිල්ලක ඉහළ මාලයක සිටි ලී හාවි ඔස්වල්ඩ් නැමත්තෙක් සිය ගිණි අවියෙන් කෙනඩි ඉළක්ක කොට වෙඩි 3ක්ම තබන අතර ඔහුගේ ඉලක්කය සාර්ථක වෙනවා. හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා ගෙන ගියත් මිනිත්තු 30ක් තුල ඔහු මරණයට පත් වූ බව ප්‍රකාශ කෙරෙනවා.

ලී හාවි ඔස්වල්ඩ්-nytimes.com

කෙනඩිගේ ඝාතකයා වූ ලී හාවි ඔස්වල්ඩ් ට රුසියාව හා කියුබාව සමඟ සම්බන්ධකම් තිබුණත් ඊට දින කීපයකට පසු ජැක් රූබි නැමැත්තෙකු විසි එල්ල කරන ලද වෙඩි පහරකින් ඔහු මිය යන්නේ කෙනඩි ඝාතන සිද්ධියට හේතුවත් ඒ පිටුපස සිටි අදෘශ්‍යමාන හස්තයනුත් ලෝකයට සදාකාලික රහසක් කරමින්.

වෙඩි තැබීමේ සිද්ධියෙන් මොහොතකට පසු-Mary Evans / Ronald Grant Archive / Everett Collection

(කවරයේ පින්තූරය- youtube.com)

Related Articles