Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රියශීලී වන්නට කාය භාෂාව භාවිතය – 2 කොටස

සමාජය ආශ්‍රය කිරීමේදී සන්නිවේදනය කරගැනීම සඳහා භාවිතා කරන වාග් භාෂාවට වැඩි අරුතක් එක් කරන්නට සහ මුල් දැක්මෙන්ම ප්‍රිය උපදවන සුළු භාවයක් ලබා දෙන්නට කාය භාෂාව බෙහෙවින් උපකාර වෙනවා. අපි පෙර ලිපියෙන්ද කථා කළා වගේ මෙය සහජාශයෙන් ලැබෙන්නක් නිසා එය විශේෂ අවධානයකින් යුතුව සලකා බලමින් සකසාගත යුත්තක්. එසේම බොහෝ දෙනෙක් කාය භාෂාව අධ්‍යයනය කරනවා යැයි නොදන්නා නමුත් අනිච්ඡානුගවම අනෙක් අයගේ කාය භාෂාව කියවමින් ඒ හරහා පුද්ගල අන්තර්ගතයන් හරහා තීරණ ගනු ලබනවා.  එය මානව පරිණාමය වීම සඳහා ඉවහල් වූ හැකියාවක් මෙන්ම ලොව ඕනෑම කෙනෙක් එය අවබෝධ කරගන්නා දෙයක් නිසා අපි එය විශ්ව භාෂාවක් ලෙසින් ද හැඳින්වූවා. ඉතින් අද කාය භාෂාව භාවිතා කරන ආකාරය යටතේ ඉරියව් පවත්වා ගැනීම පිළිබඳව ඉගෙන ගනිමු.

මෙහි එන සියළුම දේ සඳහා පුහුණු වීමේදී ඔබ කණ්ණාඩියක් ඉදිරියේ හිඳිමින් ඔබ පිළිබඳව ශ්‍රේෂ්ඨ හැඟීම් ඇති කරගනිමින්, ඔබ ශ්‍රේෂ්ඨයෙක් බවත්, ඒ සඳහා ඔබ ඍජුව ක්‍රියා කරන බවත් ඔබේ තීරණයන් පිළිබඳව ඔබ ඔබේ සිතට එකඟ බවත් මෙනෙහි කරන්න. සමාජය ඔබව පිළිගන්නට පෙර ඔබ ඔබව පිළිගෙන ඉහළ අසුනක තබන්න.

ඔබේ ශරීරය ඔබට මුණගැසෙන හැම කෙනෙක්ටම නිමක් නැතිව සංඥා කරනවා. හැබැයි ඊට හිතාමතා කරන ඇස් ගැසීම් නම් අදාල වෙන්නේ නෑ. ඔබ ඇවිදින ආකාරය, සිටගෙන සිටින ආකාරය, හිසේ පිහිටීම, දෑත තබාගෙන සිටින ආකාරය ආදීවූ හැම දේකින් ම ඔබේ සිතේ තිබෙන දේවල්, මනෝභාවයන් සහ ස්ව අභිමානය පිළිබඳව කරුණු රැසක් කෑ ගසා පවසනවා. ඒ නිසා ඔබේ සෑම ඉරියව්වක් පිළිබඳ මනා අවබෝධයකින් සිටිමින් ඒවා හැඩගස්වා ගත යුතු වෙනවා.

සෘජුව සිටගන්න – ඒත් සැහැල්ලුවෙන්

(yoga.com)

(yoga.com)

සිතේ සෘජු බව සැමවිටම ගතින් පෙන්නුම් කෙරෙනවා. ඔබ හොඳින් අධ්‍යයනය කළොත්, තනි කකුලකට බර දී පැද්දෙමින් සේ සිටින අය මඩේ හිටවපු ඉන්නක් වගේ ස්ථිර බවින් තොරව අදහස් ප්‍රකාශ කරන ආකාරය දකින්න ලැබේවි. ඉතින් ඔබේ අදහස්වල සහ තීරණවල සෘජු බව ඒවා පවසන්නටත් පෙර හඟවන්නට නම් ප්‍රථමයෙන් සෘජු කාය විලාසයක් පවත්වා ගැනීම වැදගත්. ඉන් ඔබේ ආධිපත්‍යය පැතිරවීමට පෙර අන් අයගේ හදවත් තුළ ඒ සඳහා පදනමක් ගොඩ නගන්නටත් ඔබ යනු විශ්වාස කළ හැකි පුද්ගලයෙක් බව දැනවීමටත් ඉන් අවස්ථාව ලැබේවි.

  1. උකුළ සමඟ සමාන්තරව පළල්ව යන පරිදි කකුල් පිහිටුවා ගන්න.
  2. ශරීරය හැකිතාක් උස්ව සිටින සේ සිටින්න. හරියට, ඉහළින් හිසෙන් ඇද ඔබව ඇදගෙන ඉන්නවා වගේ.
  3. ඒ හැඟීම තබාගෙන ම උරහිස් නිදහස් කරන්න.
  4. සාමාන්‍ය උසක පුද්ගලයකුගේ දෑස් මට්ටම බැලීමට උඩ හෝ පහත බැලීමට සිදු නොවීමට හැකිවන සේ ගෙලෙන් හිස සෘජු කරන්න. එනමුත් ගෙලෙහි පේශි ලිහිල්ව තබා ගන්න.

මෙම සෘජු ඉරියව්වෙහි පිහිටීමේදී හැමවිටම පේශි තද කරගෙන අපහසුතාවෙන් නොසිටීමට වගබලා ගත යුතු අතර ඉරියව්ව තබා ගනිමින් නිදහසේ සිටිය යුතු වෙනවා. එසේ ම ඔබේ පපුව කෘත්‍රීමව පුම්බන්නේ නැතිව, හරියට බිම සමතලාව සිටින්නාක් මෙන් පැතලිව තබා ගන්න. දෙඋර ස්වල්ප වශයෙන් පසුපසට යමින් පපුවේ පරිමාව වැඩි කරන්න. ඒත් අනවශ්‍ය ලෙස පසුපසට යවමින් කොන්දේ ආබාධයක් ඇතිවාක් මෙන් කෘත්‍රීම බවක් ඇති කරන්න එපා. කණ්ණාඩියක් ඉදිරියේ සිට කිරීමෙන් ඔබට එය නිසි සේ මෙහෙයවා ගැනීමට හැකි වේවි.

සෘජුව හිඳගන්න – ඒත් නිදහස්ව

(longevityforyou.com)

(longevityforyou.com)

කිසිවකු ඔබට හිඳගැනීම සඳහා ආරාධනා කරනු ලැබූ විට එය ඔබට කරන ලද ගෞරවයක් සේ සලකමින් ඊට ස්තූතිවන්ත වෙන්න. එහිදී මඳ සිනහවක් සහ ස්ථානයට උචිත භාෂාවකින් ස්තුතිය පළ කරන අතරතුර ගෙලෙන් හිස මඳක් නැවීම හොඳයි. ඔබට විශේෂිත ආසනයක් නොපෙන්වා ආසන රැසක් අතර තෝරාගැනීමකට ඉඩ ලැබුණොත්, ආරාධිත අමුත්තන් වැනි සුවිශේෂී අය නොමැති නම් එහි තිබෙන හොඳම අසුනක හිඳගන්න. එහිදී එම ආසනවල හිඳගත් විට ඔබේ දෙපා පැද්දෙන තරම් උස නොවනවා නම් හොඳයි. එය උස වෙනස් කරගත හැකි ආසනයක් නම් එය අවශ්‍ය පරිදි සකසා ගන්න. මේසයක වාඩි වෙනවා නම් ඔබේ වැලමිට මේස පෘෂ්ඨයේ ඕනෑවට වඩා තද නොවන පරිදි පවතින සේ සකසා ගැනීම හෝ හිඳ ගැනීම සිදු කරන්න. එහිදී දෙපා වැසෙන නිසා අසුන මඳක් උස් වූවාට මහත් ගැටළුවක් වන්නේ නැහැ.

  1. හිඳ ගැනීමේදී පුටු ඇන්දෙහි වදින සේ කොන්ද සෘජුව තබා ගන්න.
  2. කිසි විටෙක වත් පුටුවේ ඉදිරියට වන්නට, පිටුපසින් ඉඩ තිබෙන සේ අයිනෙන් හිඳ ගන්න එපා.
  3. පුටුවේ දෑත් තබා ගැනීම සඳහා දෙපස ඇඳි තිබෙනවා නම් ඒවා වැසී යන සේ ඔබේ වැලමිටේ සිට ඉදිරියට අත් නිදහසේ තබා ගන්න.
  4. දෙපය ඕනෑවට වඩා පළල් හෝ පටු නොකර උකුලට සමාන්තරව තබාගනිමින් නොවැනෙන සේ පොළොවෙහි රඳවන්න.

මෙය නිවැරදිව සිදුවූවා නම් ඔබට අනිත් එය කෙතරම් මිටිද කියලා සිතේවි. ඔබ පිළිබඳව උසස් හැඟීමක් ඇති වේවි. එහෙත් ඕනෑවට වඩා පපුව ද පුම්බා ගනිමින් ඍජු වුණොත් ඔබට වැඩි වේලා නොගොස් කොන්ද ආශ්‍රිත කැක්කුම් ගතියක් දැනෙන්නට ගන්නා නිසා වෙනදාටත් වඩා කුදුවී අපහසුවෙන් ඉන්නයි වෙන්නේ. ඒ නිසා ඔබේ පහසුව පිළිබඳව නිතරම සිතන අතරතුරේම ඔබව පුටුවක් වගේ සෘජු කර ගනිමින් ඕනෑවට වඩා පිළිමයක පෙනුමක් ඇතිවීමත් මඟහරවා ගැනීම ඉතාම වැදගත්. කොට ඇඳුම් හැඳි කාන්තාවන් ඉංග්‍රීසි V අකුර උඩු-යටිකුරු කොට තැබුවාක් සේ හෝ පොළොව සමඟ ඍජුකෝණීව පවතින සේ සදාචාරමත් බව පවත්වා ගැනීමට උත්සුක වෙන්න.

(jointventurespt.com)

(jointventurespt.com)

ඔබ මෙය පුහුණු වීමේදී අසුනක මේ ආකාරයෙන් හිඳගෙන ඔබේ දෑත පිහිටා ඇති ආකාරය, පාද පිහිටා ඇති ආකාරය, කොන්ද විහිදී ගිය ආකාරය පිළිබඳ සිත යොමමින් ඔබ යනු වැදගත් පුද්ගලයෙක් ය යන අදහස ඇති කරගන්න.

සිතට ගත යුතු දේ

(fineartamerica.com)

(fineartamerica.com)

මෙසේ ඉරියව් හුරු කිරීමෙන් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්නේ තවත් කෙනෙක් වෙත අපෙන් නොදැනුවත්ව ප්‍රකාශ විය හැකි අනවශ්‍ය හැඟීම් අවම කර ගැනීම මිස අනවශ්‍ය පරිදි අපේ කාය විලාසයන් උද්දීපනය කරලීම නොවෙයි. මෙහි සඳහන් වන ශ්‍රේෂ්ඨ හැඟීම් ඇති කර ගැනීමේදීද අධි මාන්නය ඇති කර නොගනිමින්, ඔබ ශ්‍රේෂ්ඨ යැයි උදම් අනන වදන් මුවින් පිට නොවන පරිද්දෙන් කළ යුතුයි. මනෝ විද්‍යාව යනු කෘත්‍රීම පුද්ගලයන් බිහි කරන්නක් නොවෙයි, එහි තිබෙන මූලධර්ම භාවිතයෙන් අපේ කෘත්‍රීම ගති පැවතුම් නැති කරගැනීමටද යොදා ගත හැකි පුළුල් විෂයයක්. ඉතින් ඉරියව් සැකැස්මේදීද ඉතා ප්‍රවේශමෙන් කෘත්‍රීම හැඟීමක් අන් අයට ඇති නොවන පරිද්දෙන් ඔබේ ඉරියව් පිළිබඳව හොඳින් අවධානය යොමු කරමින් සකසා ගන්නට ඕනෑ. ඔබේ ඇතුලත සිත සෘජු නම්, පිටත කයත් නිතැතින් ම සෘජු වේවි.

අපි ඉදිරි කොටස් වලින් සමාජය රැස්වන ස්ථානවලට පිවිසෙන ආකාරය, ඔවුන් සමඟ සුහදශීලී වීමට මුහුණේ ඉරියව්, කථා කරන අතරතුර කාය බස හැසිරවිය යුතු ආකාරය ආදී දේ පිළිබඳව පුළුල්ව ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර: Life Hack, Psychology Today, Mind Training – Victor G. Rocine

කවරයේ පින්තුරය: meganwerner.co.za

Related Articles