Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘සිස්ටම් චේන්ජ්’ එකට තොරතුරු දැනගැනීමේ අයිතියත් භාවිත කරමු

බොහෝ රටවල තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය නෛතික පදනමක් සහිත ව තහවුරු කළේ මීට බොහෝ කලකට පෙර ය. කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හරහා ශ්‍රී ලාංකිකයන් වන අපට තොරතුරු දැන ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කෙරුණේ 2016 දී තරම් මෑතකදී ය.

විවිධ පාර්ශව, පැවැති ආණ්ඩු සමඟ වසර ගණනාවක් තිස්සේ සිදු කළ අරගලයක ප්‍රතිපලයක් වශයෙන් 2015 දී බලයට පත් වූ එක්සත් ජාතික පෙරමුණු (යහපාලන) රජය මෙම පනත හඳුන්වා දීමට කටයුතු කළා. ඒ හරහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය ආයතනවලට සේවා සපයන යම් යම් පුද්ගලික ආයතන ගන්නා තීරණ සහ ක්‍රියාත්මක කරන වැඩසටහන්  පිළිබඳ ව තොරතුරු ද, ඔවුන්ගේ ආදායම් මෙන් ම වියදම් ඉල්ලා සිටීමේ අයිතිය ද ජනතාවට එමඟින් ලැබිණි.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකාවක්/ www.rti.gov.lk

මෙම ලිපිය තොරතුරු දැනගැනීමේ පනත සහ පවතින තත්ත්වය තුළ මහජනතාවට එය පලදායී ආකාරයෙන් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව යි.

තොරතුරු දැන ගැනීමේ පනත හරහා ලබාගත හැකි තොරතුරු

2016 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සම්මත වූ තොරතුරු දැන ගැනීමේ පනත හරහා රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ආයතනවලට විවිධ සේවා සපයන පුද්ගලික ආයතන සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබේ. අදාළ තොරතුරු ඉල්ලීම තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සිදු කළ හැකි ය.

එවැනි ඉල්ලීමක් හරහා රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා, ටෙන්ඩර් පත්‍රිකා, කාර්ය මණ්ඩලවලට අදාළ රාජකාරිමය තොරතුරු, රාජකාරි ලිපි සහ විද්‍යුත් තැපැල් පණිවිඩ වැනි දෑ ලබාගැනීමට හැක. ඊට අමතර ව පාර්ලිමේන්තු සහ විවිධ කොමිෂන් සභා වාර්තා ලබාගැනීමට ද මෙම පනතින් ප්‍රතිපාදන සලසා දී තිබේ.

තොරතුරු නිලධාරී

ලැබෙන තොරතුරු ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට අමාත්‍යංශ, පාසල් සහ ප්‍රාදේශීය/ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතනවල මෙන් ම, සංස්ථා සහ මණ්ඩල වැනි අර්ධ රාජ්‍ය අයතනවලට ද තොරතුරු නිලධාරියකු අනුයුක්ත කර ඇත. යම්කිසි ආයතනයක් සඳහා තොරතුරු නිලධාරියකු විශේෂයෙන් නම් කර නැති අවස්ථාවල අදාළ ආයතනයේ ප්‍රධානියා නිරායාසයෙන් ම එහි තොරතුරු නිලධාරියා බවට පත් වේ.

පාසල්වල තොරතුරු නිලධාරියා ලෙස බොහෝ විට කටයුතු කරන්නේ විදුහල්පතිවරුන් ය. ශ්‍රී ලංකා පොලිසියට අයත් පොලිස් ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කරන්නේ උසස් පොලිස් නිලධාරියෙකි.

තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලිය – www.sundaytimes.lk

තොරතුරු ඉල්ලීමක් යොමු කළ හැක්කේ කෙසේ ද?

ඉහත සඳහන් කළ තොරතුරු නිලධාරීන් හරහා ඕනෑම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය ආයතන හා සම්බන්ධ පුද්ගලික ආයතනයක් පිලිබඳ තොරතුරු ඉල්ලා සිටීමට ඔබට හැකියාව ලැබේ. ඒ සඳහා වාචික ව මෙන් ම ලිඛිත ව ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි අතර ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මඟින් වඩාත් කාර්යක්ෂම ව සහ විධිමත්ව අදාළ තොරතුරු ලබාගැනීමට හැකි ය. එවැනි ලිඛිත ඉල්ලීමක් යොමු කිරීමේ දී භාවිත කළ හැකි ආකෘති පත්‍ර www.rti.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක.

තොරතුරු නිලධාරී හරහා ඉල්ලා සිටි තොරතුරු නොලැබෙන්නේ නම්?

තොරතුරු දැන ගැනීමේ පනත තුළ ජනතාවට ලබා දිය නොහැකි බවට සඳහන් කර ඇති සමහර කරුණු සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් වූ අවස්ථාවල ඒවා ලබා නොදීමට තොරතුරු නිලධාරියාට හැකියාව ඇත. කෙසේ වෙතත් යම්කිසි තොරතුරක් ලබා දීමෙන් සිදුවන අයහපතට වඩා එය ලබාදීමෙන් සිදුවන යහපත වැඩි නම් එවැනි තොරතුරු ලබා දීමට තොරතුරු නිලධාරියා බැඳී සිටී.

මීට අමතර ව වෙනත් කරුණක් නිසා තමන් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම, තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳ අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියාට ඉහළින් සිටින නම් කළ නිලධාරියාට අභියාචනා කිරීමට ඉල්ලුම්කරුට හැකියාව ඇත.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවිය – www.rti.gov.lk

නම් කළ නිලධාරියා හරහා ද අදාළ තොරතුරු නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු කොමිසමට අභියාචනා කිරීමට ඉල්ලුම්කරුට හැකියාව තිබේ. වර්තමානය වන විට අදාළ කොමිසම සාමාජිකයන් පහකගෙන් සමන්විත වන අතර අභියාචනය පිළිබඳ ව සලකා බලා අදාළ ආයතනය වෙත නියෝගයක් නිකුත් කිරීමට කොමිසම කටයුතු කරයි.

වර්තමාන අර්බුදකාරී තත්ත්වය තුළ තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කිරීමේ වැදගත්කම

මේ වන විට රට තුළ උද්ගත වී තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදකාරී තත්ත්වය තුළ විවිධ වැරදි තොරතුරු ඉතා වේගයෙන් පැතිර යන බව නොරහසකි. වර්තමානය වන විට බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන බැවින්, වැරදි තොරතුරු විශාල පිරිසක් වෙත ළඟා වෙන්නේ විදුලි වේගයෙනි. සමාජ මාධ්‍ය ජාලා පමණක් නොව සමහරවිට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පවා එවැනි වැරදි තොරතුරු සමාජගත වීම සිදු වේ.

මෙම තත්ත්වය තුළ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා හඳුන්වා දී ඇති තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව නිසි අවබෝධයක් ලබාගෙන, එය ප්‍රයෝජනවත් ආකාරයෙන් භාවිත කිරීම අපේ වගකීම වේ.

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති බරපතල ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය සහ ශ්‍රී ලංකාව විදෙස් රටවලට ගෙවිය යුතු ණය ප්‍රමාණය, වැනි කරුණු සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් විවිධ පාර්ශව පසුගිය කාලය පුරාවට නිවැරදි නොවන හෝ තහවුරු කර නොගත් දත්ත ඉදිරිපත් කළ බව අපි දනිමු. කෙසේ නමුත් බොහෝ දෙනකු ඔවුන් පවසන දෑ විශ්වාස කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව ය.

තොරතුරු දැනගැනීම පිළිබඳ පුහුණු සැසියක්/ www.rti.gov.lk

 විදෙස් රටවලින් ලබාගත් ණය මුදල් සහ හදිසි අවස්ථාවල දී මෙරටට ලැබුණු විවිධ විදෙස් ආධාර වැනි දෑ වැය වූයේ සැබැවින් ම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ද, එසේත් නැත්නම් හුදෙක් ජාතික වශයෙන් වැදගත්කමක් නොමැති ව්‍යාපෘති සඳහා ද යන්න පිළිබඳ ව මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ. ඊට අමතර ව ආණ්ඩු කලින් කලට ගන්නා, ජනතාවට සෘජුව ම හෝ වක්‍රව බලපාන තීරණ සම්බන්ධයෙන් පුරවැසියන් වන අපට සැබැවින් ම නිසි අවබෝධයක් තිබේ ද යන්න බරපතල ගැටළුවකි.

ඊට හේතුව බොහෝ දෙනෙක් තොරතුරු දැනගැනීමේ වැදගත්මක සහ ඒ සඳහා අපට ඇති අයිතිය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගෙන නොතිබීම යි. අමාත්‍යවරුන්, වෙනත් දේශපාලඥයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ පවසන සියල්ල ඒ අයුරින් ම විශ්වාස නොකර, ඔවුන් පවසන දෑ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගෙන, ඒවා තවදුරටත් විශ්ලේෂණය කර සැබෑ තොරතුරු සමාජගත කිරීමට අප උත්සහ කළේ නම් මෙරට දේශපාලන ක්ෂේත්‍රය සහ රාජ්‍ය සේවය මෙතරම් දූෂිත නොවන්නට ද ඉඩ තිබිණි.

පුරවැසි වගකීම හඳුනා ගනිමු

දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය ආයතනවල විවිධ දූෂණ වංචා පිළිබඳ සොයාබලා තොරතුරු වාර්තා කිරීම, විමර්ශන සහ මාධ්‍ය ආයතන වැනි පාර්ශව කිහිපයක් වෙත පමණක් පවරා පසෙකට වී සිටි යුගය අවසන් කර පුරවැසියන් ලෙස සියලු දෙනා ඊට මැදිහත් විය යුතු කාලය දැන් එළැඹ තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ අරගලයක ප්‍රතිපලයක් වශයෙන් දිනා ගත් තොරතුරු දැනගැනීමේ පනත වැනි දැනට පවතින ක්‍රමවේද ඒ සඳහා පලදායී අයුරින් යොදාගත හැක.

www.indiatimes.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් විගණනය කිරීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය තුළ ඒ සඳහා ද තොරතුරු දැනගැනීමේ පනත ඉතා පලදායි ලෙස යොදාගත හැක. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කිරීමට ඕනෑම අයකුට හැකියාව තිබේ.

එහිදී අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට පවා හැකියාව ඇත. ඒ නිසා මෙරට දේශපාලනඥයන්ගේ වත්කම් සහ අයථා මුදල් ඉපයීම් වැනි දෑ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අපි ම උත්සුක වෙමු.

ඒ හරහා ලබාගත් නිවැරදි, තහවුරු කරගත් තොරතුරු සමාජගත කිරීම සඳහා යොදාගත හැකි, වේදිකා ඕනෑ තරම් නිර්මාණය වී තිබේ. එබැවින් දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැනි රටක් අර්බුද කරා රැගෙන යන විසබීජ විනාශ කිරීමට මෙවැනි ක්‍රමවේද පලදායීව යොදාගැනීමට පුරවැසියන් වන අපි සියලු දෙනා අදිටන් කරගනිමු. 

කවරයේ ඡායාරූපය- තොරතුරු දැනගැනීම - www.rti.gov.lk

මූලාශ්‍ර:

තොරතුරු දැනගැනීමේ පනත - ශ්‍රී ලංකාව

www.rti.gov.lk

www.sundaytimes.lk

Related Articles