Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ දියුණුවට ඔන්ලයින් මැප්ස් යොදාගත හැකි ආකාර

ඔන්ලයින් මැප්ස් කියන්නේ ස්මාට්ෆොන් ඉන්ටනෙට් යුගයේ දී තැනක් ස්ථානයක් සොයාගන්න තිබෙන පහසුම ආකාරය වේ. සාම්ප්‍රදායික මැප් එකකින් ලබාගන්නා දත්ත වලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ඔන්ලයින් මැප්ස් වලින් ලබාගත හැකිය. ඔන්ලයින් මැපින් නම් විශාල පරාසයක වූ යෙදවුම් අතර ගූගල් මැප්ස් යනු තවත් එක් ජනප්‍රිය වූ නිමැවුමක් පමණි. එයින් ගූගල් මැප්ස් නම් සරල යෙදවුම හරහා ලබාගත හැකි වාසි කිහිපයකි.

  • ගුවන් ඡායාරූප සහ ස්ට්‍රිට් විව් මගින් අදාල තැන් නිරීක්ෂණය කළ හැකි වීම.
  • පහසුම මාර්ගය තෝරාදී එහි ඇති ට්‍රැෆික් ආදිය දැක්වීම.
  • තවත් අයෙකුට පහසුවෙන් ස්ථාන හෝ මාර්ග සලකුණු කොට යැවිය හැකි වීම.
  • යම් පළාතක අවන්හල්, හෝටල් සහ වැදගත් ස්ථාන පිහිටි ස්ථාන සහ ඒවායේ ස්වභාවය දැනගැනීමට හැකිවීම.
  • ඒ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ලබාගත් ස්ථාන වල තොරතුරු බලාගැනීමට හැකිවීම.

ආදී සාමාන්‍ය මැප් එකකින් ලබාගැනීටම අපහසු දත්ත රැසක් ඔන්ලයින් මැප් හරහා අපිට ලබාගන්නට හැකියාව ඇත. ඔන්ලයින් මැප්ස් හරහා හුදෙක් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු වලට වඩා එහා ගිය තොරතුරු සමුදායක් හැසිරවීමට හැකිය. ඒ තුලින් විශාල පරිමාණයේ යෙදිම් සඳහාද මෙම ඔන්ලයින් මැප්ස් දියුණු රටවල රජයන් සහ පළාත් පාලන ආයතන විසින් භාවිතා කෙරේ.  ඔන්ලයින් මැප්ස් වල තිබෙන මහා පරිමාණ යෙදීම් සහ රජයකට හෝ පාලන ආයතනවලට එහි ඇති වැදගත්කම ගැන අපි ටිකක් සලකා බලමු.

සංචාරක කර්මාන්තය

අප රට සැබැවින්ම සුන්දර රටකි. ගූගල් ස්ට්‍රිට් වීව් හරහා සම්බන්ධ වී ලෝකයේ ඕනෑම අයෙකුට අපේ රටේ සුන්දරත්වය දැකබලාගැනීමට හැකිය. සංචාරක කර්මාන්තයේදී වර්තමානයේදී පෙර මෙන් විශාල සංචාරක ගයිඩ් බුක් සංචාරකයින් විසින් රැගෙන යන්නේ නැහැ. ඒ ඒ පළාත්වල ඒ ඒ තැන්වල කළ හැක්කේ කුමක්ද? ඒ ස්ථානවල ඇත්දැකීම කුමක්දැයි කෙලින්ම ඔන්ලයින් සිතියම් ආශ්‍රයෙන්ම බලාගැනීමට හැකියාව ලැබේ. 2012 වර්ෂයේදී ඉන්දුනීසියානු රජය ඔවුන්ගේ රටේ සංචාරක කර්මාන්තය වර්ධනය කරගැනීමට ඔන්ලයින් මැප්ස් සේවාවක් වන ගූගල් මැප්ස් පාවිච්චි කළා. ඒ හරහා රටට පැමිණෙන සංචාරකයින්ට ඔන්ලයින්ම තොරතුරු සපයන්නත් ඒවා යාවත්කාලීන කරන්නට පිංතූර අලුත් කරන්නට හැකියාවත් ඉන්දුනීසියානු රජයට ලැබුණා. ගූගල් ස්ට්‍රිට් වීව් සහ ඔන්ලයින් මැප් සේවාවන් ඔස්සේ ලංකාවේ ස්ථාන පිළිබඳ වඩාත් යහපත් චිත්‍රයක් මවාපෙන්වන්නට හැකි නම් අපේ රට දෙස බලන සංචාරකයින් රටට එන්නට එය තවත් උත්තේජකයක් ද වේවි.

ගූගල් ස්ට්‍රිට් වීව් හි ඉන්දුනීසියානු දිවයිනක්  https://www.google.com/streetview/#indonesia-highlights/padar-island

පරිසර ආරක්ෂණය

මෑතකදි ලංකාවේ ඇතිවූ කැළඹීම් සහගත පාරිසරික ගැටලු දෙකක් සිතියම්කරණයේ දෝෂ නිසා වඩ වඩාත් උඩු දුවමින් පැතිරෙන්නට වුණා. එකක් සිරිපා මායිමේ හෝටලයක් ඉදිකිරීම. එහිදී සිරිපා රක්ෂිත අඩවිය කුමක්ද එය අවසාන වන්නේ කොතැනින්දැයි දැක්වෙන ඔන්ලයින් සිතියමක් ඉදිරිපත් කරන්නට බළධාරින් සමත් වුණේ නැහැ. ඒ වගේම විල්පත්තුව මාර්ගයක් දෙපස මීටර සියගණනක් ඈතට වනාන්තරය විනාශ වී ඇති බව ගුවන් සේයාරූ මගින් සනාථ කළත් ඒ වන සංරක්ෂණ මායිම් නිසි අයුරින් යාවත්කාලීන කරන්න බලධාරින් කටයුතු කළේ නැහැ. පැරණි ආකාරයට කඩදාසි සිතියමට යට නොවී දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන වනාන්තර සිමා මායිම් රක්ෂිත සිමා ලකුණු කරන්නේ නම් සාමාන්‍ය ජනතාවට වුවත් යම් කිසි වනාන්තර එලි පෙහෙලි කිරීමකදී එය නිවැරදිව හඳුනාගන්නට හැකියාව ලැබේවි.

2011 වර්ශයේදි බ්‍රසීලයේ ඇමසන් නදිය අසබඩ වසන ගෝත්‍රිකයින්ගේ ඉල්ලීම පිට ඇමසන් නදියේ කොටස් තුල රිවර් වීව් යනුවෙන් ස්ට්‍රිට් වීව් වල වෙනත් සංස්කරණයක් නිකුත් කළා. ඒ තුලින් ඇමසන් නදියේ අතු ගංගා සහ නදියේ ඉවුරු අසබඩ ගෝත්‍රික ජිවන රටාමෙන්ම ඒ පරිසර පද්ධති විනාශවෙන ආකාරයද ලෝකයාට විදහා දක්වන්නට ඒ ගෝත්‍රික ප්‍රජාවට උවමනා වුණා. අප රටේද වනෝද්‍යාන තුල සහ මායිම් ආශ්‍රිත මාර්ග ස්ට්‍රිට් වීව් වැනි පහසුකමකින් වසර කිහිපයකට වතාවක් හෝ යාවත්කාලීන වෙයි නම් ඒ තුලින් වනයට සිමා මායිම් වලදි සිදුවන හානි පහසුවෙන්ම හඳුනාගත හැකිවේවි.

විල්පත්තු විනාශය ගුවන් ඇසින් http://srilankamirror.com/news/2258-175-acres-of-wilpattu-forest-land-for-fruit-cultivation

ට්‍රැෆික් ප්ලෑනින්

ඔන්ලයින් තොරතුරු ආශ්‍රයෙන් වාහන තදබදය කළමනාකරණය කිරීම බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේද සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඒ සඳහා ඇප් එකක් මගින් තොරතුරු ලබාගන්නා අතර ඒ හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන අයටත් මාර්ග තදබද තත්ත්වයන් ගැන දත්ත නිකුත් කරනවා.

කොළඹ නගරයේද සතියේ දිනවල අධික වාහන තදබදයක් ඇති වෙනවා. එවැනි අවස්ථාවල ට්‍රැෆික් ඇතිවෙන ස්ථාන ඒවා සමනය කළ හැකි ආකාර ඔන්ලයින් දත්ත මගින් නිරීක්ෂණය කළ හැකිනම් කොළඹ ට්‍රැෆික් ගැටළුවට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සොයාගත හැකියි. දැනටම ගූගල් මැප්ස් ආශ්‍රයෙන් අධික වාහන තදබද ඇති තැන් සහ වේලාවන් සටහන් කරන අතර වඩාත්ම විශ්වාසදායී මූලාශ්‍රයක් නොවූවත් මූලික පියවරක් වශයෙන් ගූගල් මැප්ස් වුවද රථවාහන පාලනය පිණිස යොදාගන්නට හැකියි.

නගර නිර්මාණය සහ මහජන සෞඛ්‍යය

පසුගිය කොළඹ නගරයේද කොටසක් යටවෙමින් ගංවතුර ඇතිවූ කළ අනවසර ඉදිකිරීම් නිසා ගංවතුර තත්වයන් තීව්‍ර වූ බවත් ජලය බැසයෑමේ මාර්ග ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට නියෝග කරනු ලැබුවත් ඒ නියෝග හරිහැටි ක්‍රියාත්මක වූ බවක් නම් නොපෙනුණි. කැළණි ගඟේ ඒ ඒ ජල මට්ටම අනුව යටවෙන පළාත් කවරේද ඒ කුමන හේතු නිසාදැයි සෙවීම විද්‍යාත්මක කටයුත්තකි. භූ විද්‍යාඥයින් ද දායක කරගෙන කළ යුතු එවන් කරුණකදී වර්ෂාපතනය සමග කොළඹ යටවෙන පහත් බිම් සහ ඒ ජනයාට සහනය පිණිස නික්මිය හැකි ස්ථාන කලින් දැනුම් දීමට ඔන්ලයින් මැප් යොදාගත හැකිය. නගර නිර්මාණ කටයුතු වලදීද ඔන්ලයින් මැප් හරහා වගුරුබිම්, ජල මාර්ග, යටිතල පහසුකම්, උද්‍යාන, මංමාවත් ආදී දේ ටද අවධානය යොමු කිරීම තුලින් වඩාත් සාර්ථක ලෙස නාගරික අවකාශය සැලසුම් කළ හැකිය.

ඇමරිකාව වැනි නිතර සුළි කුණාටු වලින් කරදර වන රටවල ජනයාට සුළි කුණාටු ගැන මෙන්ම ඒ අවස්ථාවලදී යා යුතු ආරක්ෂක ස්ථාන ගැනද සිතියම් ඔස්සේ දැනුවත් කරනු ලැබේ.

ඩෙංගු පැතිරෙමින් තිබූ අවස්ථාවලදී එහි ව්‍යාප්තිය සොයන්නට ඩයලොග් සමාගම වෙටා  නැමැති ඇප් එකක් හරහා තම නිවසේ සහ යාබද නිවෙස්වල ඩෙංගු පැතිරීම ගැන ජනතාවගෙන් තොරතුරු ගන්නා ක්‍රමවේදයක් පර්යේෂණ මට්ටමෙන් හඳුන්වාදෙනු ලැබුණි. ඒ තුලින් ඩෙංගු පැතිරීම වැඩි කුමන ස්ථානද ඒ ස්ථානවල මදුරුවන් පළවාහරින්නේ කෙසේදැයි අදහසක් ගන්නට බළධාරින්ට හැකිවුණි. එහෙත් එය සාර්ථක වන්නට නම් පුද්ගලයින් විශාල නියැදියක් විසින් තම නිවස සහ අවට ඇති ඩෙංගු රෝගින් ගැන ඇප් එක හරහා වාර්තා කිරීම කළ යුතුයි. එවැනි ක්‍රමයක් වඩාත් විශ්වාසනීය ලෙස සකස් කළ හැකිනම් ඩෙංගු වැනි රෝග ව්‍යෘප්ත වනවිට ඒ වඩාත්ම අවධානමට ලක් වූ පළාත් සදහා පිරිසිදු කිරීම් දුම් ගැසීම් ආදී ප්‍රතිකර්ම මෙන්ම දීර්ඝකාලීන විසඳුම්ද ලබාගැනීම වඩාත් පහසු වේ.

ආපදා කළමණාකරණ

අප රටේ පසුගිය අවුරුදු කිහිපය පුරාවටම සෑම දැඩි වර්ෂාවක් ආසන්නයේදීම නාය යෑම් ඇති වුණි. ඒ නායයෑම් වලින් ජනයා නිවෙස් සමගම පස් කඳු වලට යට විය. ශ්‍රී ලංකාවේදී මෙම නායයමේ අවධානම අධ්‍යනය කරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගිනි. ඒ ආයතනය මගින් ලංකාවේ නාය යෑම් සහ ගිලාබැසීමේ අවධානම ඇති ප්‍රදේශ සිතියම් ගත කොට අන්තර්ජාලයටද තොරතුරු සපයා තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් වෙන් කොට ඒ ඒ ප්‍රදේශ අනුව ඇති සිතියමට වඩා කෙලින්ම මුළු ලංකාවම අනාවරණය වන පරිදි ඔන්ලයින් සිතියමක් තිබේනම් නාය යෑමේ අවධානම වැඩි පෙදෙස් කෙලින්ම හඳුනාගත හැකියාව ලැබේ. නව ඉඩමක් මිලදී ගැන්මකදී අධික වර්ෂා සමයකදී එම ප්‍රදේශය නාය යාම් අවධානම සහිත එකක්දැයි එවිට ඒ ඔස්සේ පරික්ෂා කළ හැකියි.

කළුතර පළාතේ නාය යෑමක් http://www.nbro.gov.lk

සිතියම්කරණය සහ ජන ජීවිතය

එකල සිතියම් පොතක් ගත් විට විවිධ ආකාරයේ සිතියම් රැසක් ඒ පොත තුල අන්තර්ගතව තිබුණි. අද දවසේ ඔන්ලයින් සිතියම් කරණය පැමිණීමත් සමග සිතියම් කියවීමත් සිතියම් ඔස්සේ දත්ත ලබාදීමත් වඩාත් පහසු වී තිබේ. පසුගිය කාලයේ පලවූ පුවත්පත් නිවේදනයකින් ලංකාවේ පොලීසීය කියා තිබුණේ ගූගල් මැප්ස් ආධාරයෙන් සොරුන් මාර්ග සොයාගෙන ඉක්මණින් පැන යන බවකි. දියුණුරටවලදී ඔන්ලයින් දත්ත සිතියම් වලින්  ආරක්ෂක අංශ විශාල ප්‍රයෝජන ලබා ගනී. අපරාධ සිදුවන පළාත්, අපරාධකරුවන් ගැවසෙන ස්ථාන, පොලීසිය සහ කැමරා ස්ථානගත කළ යුතු ස්ථාන, ආදිය ගැන ඔවුන් ඔන්ලයින් මැප්ස් ආධාරයෙන් තොරතුරු ලබාගනිති.

සිතියම්කරණය අපගේ ජීවනරටාව පහසුකිරීමට යොදාගත හැකි ආකාර රැසකි. හුදෙක් ස්මාට්ෆෝනයෙන් පාරක් සොයාගෙන යනවාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ඔන්ලයින් සිතියම්කරණයෙන් සංවර්ධන කටයුතු පිණිස ලබාගත හැකිය. ඒවා ගැන අවධානයෙන් නව මානයේ සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කළොත් අපිට වඩාත් යහපත් සමාජයක් ගොඩනැගීමට ඔන්ලයින් සිතියම් දායක කර ගත හැකිවනු ඇත.

Cover Photo – https://www.androidcentral.com/how-use-google-maps-street-view-your-phone-or-tablet

Related Articles