යුධ පුහුණුවට නොදෙවෙනි පුහුණුවක් ලැබූ “කොමියුනිස්ට් බාලදක්ෂයෝ”

1922 පටන් 1991 දක්වා කාලය තුල රුසියාව හඳුන්වනු ලැබුවේ සෝවියට් සමූහාණ්ඩුව හෙවත් සෝවියට් සමාජවාදී ජනරජය යන නමිනුයි. කොමියුනිස්ට්වාදය ගුරු කොට ගනිමින් රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සැකසීම සිදු කෙරුණු මේ කාල වකවානුව තුළ එම දේශපාලනික දෘෂ්ටි කෝණයට අනුකූලව සමාජයද විවිධ වෙනස්කම් වලට භාජනය වුණා. එසේ වෙනස්කම් වලට ලක් වුණු දෑ අතර රුසියානු බාලදක්ෂ ව්‍යාපාරයත් වනවා. 1922 වසර වන විට රුසියාව තුළ ක්‍රියාත්මක වුණු බාලදක්ෂ ව්‍යාපාරය කොමියුනිස්ට් ව්‍යාපාරය සමග සබඳතා පැවැත්වූයේ නැහැ. මේ නිසා, කොමියුනිස්ට් ආණ්ඩුවට සහයෝගය නොසැපයීමේ හේතුව මත රුසියානු බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණේ කොමියුනිස්ට් පාලනය විසින්මයි.

නමුත් පොදු මහජනතාවගේ අදහස වුණේ රට තුළ බාලදක්ෂ ව්‍යාපාරයක් පැවතීම යහපත් අංගයක් ලෙසයි. බාලදක්ෂයින් විසින් සිදු කරන ලද සමාජ සේවාවන් ඇතුළු ක්‍රියා අගය කිරීමට ජනතාව පෙළඹී සිටීම නිසා, බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කිරීමෙන් ඇති වුණු හිස්තැන පිරවීම සඳහා නවතම මුහුණුවරකින් යුත් ව්‍යාපාරයක් ඇරඹීමට එවකට රජය කටයුතු සූදානම් කළා. ව්ලැඩ්මීර් ලෙනින් සර්ව – සමූහාණ්ඩු පුරෝගාමී සංවිධානය හරහා සෝවියට් රුසියාවේ තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරය (Young pioneers’ youth group of Soviet Russia) ආරම්භ කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

තරුණ පුරෝගාමීන්ගේ උත්සව අවස්ථාවක් (photoshelter.com)

ව්‍යාපාරයේ සැබෑ අරමුණ

එකමුතු භාවය සහ වෙහෙස වී වැඩෙහි යෙදීම ආදී කොමියුනිස්ට්වාදී ආකල්ප රටේ නව යෞවන යෞවනියන් අතර ප්‍රචලිත කිරීම එහි මූලිකතම අරමුණක් වුණා. ඔවුන්ට අත්‍යවශ්‍ය වන නිපුණතා ලබා දෙන අතරම කොමියුනිස්ට්වාදී ආකල්ප ඔවුන්ගේ සිත් තුළ තැන්පත් කිරීමට මෙම ව්‍යාපාරය කටයුතු කළේ එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිසයි. මෙසේ තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරයට බඳවා ගැණුනේ වයස අවුරුදු දහයත් පහලවත් අතර දරු දැරියන්වයි. සංවිධානයට බැඳීම ස්ව කැමැත්තෙන් සිදු කෙරුණද, ඕනෑම දරුවකු එම වයට එළඹෙන විට ඔහු හෝ ඇය තරුණ පුරෝගාමියකු විය යුතු බවට සමාජය දැරූ මතය හේතුවෙන්, තරුණ පුරෝගාමියකු වීම අනිවාර්ය කරුණක් ලෙසින් සැළකුනා.

යුද සමය තුළ ව්‍යාපාරයේ දායකත්වය

සෝවියට් රුසියාවටම ආවේණික වූ මෙම පුරෝගාමී ව්‍යාපාරය විශාල කොමියුනිස්ට් ව්‍යාපාරයේම කොටසක් ලෙස හඳුනාගත හැකියි. කියුබාව, චීනය හා මෙක්සිකෝව පමණක් නොවෙයි, ෆින්ලන්තය දක්වාද මෙම ව්‍යාපාරය ඒ වන විට පැතිරී ගොස් තිබුණා. මේ ව්‍යාපාරය කෙතරම් රුසියානු දරුවන්ගේ හිත් තුළට කාවැදී තිබුණාද කිවහොත්, දෙවන ලෝක යුද්ධය (සෝවියට් සමූහාණ්ඩුවට අනුව එය “දේශප්‍රේමී සටනක්” වුණා) ආරම්භ වීමත් සමගම එම ළමුන් එතෙක් කළ “හොරා පොලිස්” සෙල්ලම් වෙනුවට “ජර්මානුවෝ සහ සෝවියට් වැසියෝ” (Soviets against Germans) ක්‍රීඩාවෙහි යෙදෙන්නට පුරුදු වුණා.

තරුණ පුරෝගාමී ව්‍යාපාරය විසින් සංවිධාන කරන ලද (බාලදක්ෂ ව්‍යාපාරයේ ජම්බෝරි වැනී විශේෂ කඳවුරු තුළදී මෙම දරුවන්ට මූලික යුද පුහුණුවකට සමාන පුහුණුවක් ලබා දීමට සෝවියට් රජය කටයුතු කර තිබෙනවා. එකල පළ කෙරුණු පුවත්පත් වලට සිය අදහස් දැක්වූ පුරෝගාමී කණ්ඩායමේ දරුවන් ප්‍රකාශ කොට ඇත්තේ එම කඳවුරු තුළදී තමන් “අත් බෝම්බ විසි කිරීම, රයිෆල් තුවක්කු පාවිච්චිය අධ්‍යනය කිරීම සහ රුසියානු ලේඛක නිකොලායි ගොගොල්ගේ මියගිය ආත්ම (Dead Souls) නැමති පොත කියවීම” වැනි ක්‍රියාකාරකම් වල නිරත වූ බවයි.

තරුණ පුරෝගාමීන්ගේ කඳවුරක දසුනක් (weirdrussia.com)

ගොවිපලවල් වල වැඩ කළ තරුණ සහ වැඩිමහල් පුරුෂයින් යුද හමුදාවට බැඳුණු පසු ඔවුන් වෙනුවට එම ගොවිපලවල් වල වැඩ කිරීම, යුද කටයුතු සඳහා නැවත යොදාගත හැකි ලෝහ හා කඩදාසි කැබලි එකතු කර දීම මෙන්ම යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ සොහොන් පිරිසිදුව තබාගෙන පවත්වාගෙන යාම වැනි කටයුතු වල පවා මෙම පුරෝගාමී ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් නියැලී තිබෙනවා. 1944 පමණ වන විට එම ව්‍යාපාරයේ මුළු සාමාජික සංඛ්‍යාව මිලියන 5ක් පමණ වූ නිසා මෙම කටයුතු වල නියැලෙන්නට අවශ්‍ය තරම් දරු දැරියන් කොමියුනිස්ට් ව්‍යාපාරය සතුව සිටීම ඔවුන්ට වාසිදායක වුණා.

ජර්මානු හමුදාවන් විසින් අත්පත් කොටගෙන තිබූ භූමි තුළ සටන් වැදීමටද මෙම පුරෝගාමීන් සහභාගී වී ඇති අතර, එහිදී ඇතැමුන් මියගිය අතර, දිවි බේරාගෙන යළි පැමිණි සිව්දෙනෙකු වෙත  “සෝවියට් සමූහාණ්ඩුවේ වීර පදක්කම” හෙවත් රන් තරු පදක්කම පවා ලබා දීමට සෝවියට් සමූහාණ්ඩුව කටයුතු කොට තිබෙනවා. වැලෙන්ටින් කොට්‍යික් යනු ඒ අයුරින් මියගිය ලාබාලතම පුරෝගාමියායි. සටන් වලදී දෙවරක් තුවාල ලැබූ ඔහු තුන්වන සටනේදී මිය යද්දී වයස අවුරුදු 14ක නව යෞවනයෙක්. අදටත් රුසියාව පුරා තරුණ පුරෝගාමීන්ගේ කඳවුරු තුළ ඔහුව සිහිපත් කෙරෙන්නේ වීරයකු ලෙසින්.

messynessychic.com

වර්තමාන තත්වය

අදටත් ලොව පුරා මෙම තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරය දියත්ව පැවතියද, කොමියුනිස්ට්වාදී අදහස් පැතිරවීම වැනි කටයුතු සඳහා එය භාවිතා නොකෙරෙන හෙයින් මෙම ව්‍යාපාරය වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් තවත් එක් බාලදක්ෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත්, මේ දක්වා තිබෙන ඡායාරූප මගින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ, කුඩා දරුවන් පවා යුද්ධයේ යථාර්තයෙන් ඉවත් කළ නොහැකි බවයි. රාජ්‍යයන් යුද වදින්නට තීරණය කරන්නේ නම්, දරුවන් අනිවාර්යයෙන්ම එහි බිල්ලක් වන බවට ඉතිහාසයද සාක්ෂි දරන බව මේ සේයා රූ කියාපානවා.

http://thehill.com -(වත්මන් බාලදක්ෂවරුන්ගේ ඡායාරූපයක්)

කවරයේ ඡායාරූපය – 1937 වසරේ ලෙනින්ග්‍රාඩ් නගරයේ සිවිල් ආරක්ෂක පුහුණුවකට සම්බන්ධ වීම සඳහා ගෑස් ආවරණ  පැළඳි තරුණ පුරෝගාමී දරු දැරියෝ (allthatsinteresting.com)

තොරතුරු උපුටා ගැනීම – allthatsinteresting.com වෙබ් අඩවියේ “Life inside the Young Pioneers” ලිපිය ඇසුරිනි.

Related Articles