Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංගලිදේශයේ පාවෙන පේර වෙළෙඳපොළ

දකුණු ආසියානු කලාපයේ රටක් වන බංග්ලාදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය යි. බංග්ලාදේශයේ ප්‍රධාන වශයෙන් වගාකරන භෝග අතරට වී, තිරිඟු, සහ ජූට් යන බෝග අයත්. බංග්ලාදේශයේ ඊට අමතරව සරුවටම කරන වගාවක් වන්නේ පේර යි. එනිසා ලෝකයේ වැඩිම වාර්ෂික පේර නිෂ්පාදක රටවල් 10 අතර බංගලිදේශයේ නාමය ද රැඳී තිබෙනවා. 

විම්රුල් පාවෙන පේර වෙළෙඳපොළ (Global Times)

සරුවටම පේර වගාව සිදුකෙරෙන දකුණු බංගලිදේශයේ බොහෝ ප්‍රදේශවල විශාල පේර වෙළෙඳපොළවල් දැකගන්නට පුළුවන්. එවැනි විශාල පේර වෙළෙඳපොළක් බරිශාල් පළාතට අයත් ජලෝකාති දිස්ත්‍රික්කයේ විම්රුල් ග්‍රාමයේ පිහිටා තිබෙනවා. “විම්රුල්හි පාවෙන පේර වෙළෙඳපොළ” වශයෙන් හැඳින්වෙන එහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ගංගාවක පාවෙන ඔරු මත සිට පේර වෙළෙඳාම සිදුකිරීම යි. 

වෙළෙඳපොළ සියවසකට වඩා පැරණි යි 

විම්රුල් ග්‍රාමයේ පාවෙන පේර වෙළෙඳපොළ ආරම්භ වුණු නිශ්චිත කාලය පිළිබඳ සඳහන්ව නැහැ. නමුත් ගමේ පැරැන්නන් පවසන්නේ මීට වසර 150කට පමණ පෙර පැවති බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මෙම වෙළෙඳපොළ පවතින්නට ඇති බව යි. 

වර්තමානයේ පේර වෙළෙඳපොලේ වෙළෙඳාම් කරන 50 හැවිරිදි සිරාජුල් ඉස්ලාම් පවසන්නේ, ඔහු කුඩා කාලයේ සිට සීයාගේ වෙළෙඳාමේ උදව්වට මෙහි පැමිණි බව යි. එකල සීයා විසින් කරගෙන ගිය ව්‍යාපාරය පසු කලෙක සිරාජුල්ගේ පියාට ලැබීමෙන් පසුව ඔහු සමගත් මෙහි පැමිණ වෙළෙඳාම් කළ බව සිරාජුල් පවසා සිටියා. එය ඔවුන් පාරම්පරිකව කරගෙන ආ ව්‍යාපාරයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. දැනට වසර 80ක පමණ කාලයක සිට සිය පරම්පරාවේ උදවිය මෙම පේර ව්‍යාපාරය මඟින් යැපුණු බව සිරාජුල් පවසන්නේ  මහත් ආඩම්බරයෙන්. 

6) පේර වෙළෙඳපොළේ වෙළෙඳුන් පිරිසක් (pronobghoshphoto.wordpress.com)

වෙළෙඳපොළ ආශ්‍රිත ජල මාර්ග පද්ධතිය

බංග්ලාදේශය, මහා ගංගාවන් බොහොමයක බිමක්. එම ගංගාවලින් සෑදුණු කුඩා අතු ගංගා රටේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිරී තිබෙනාවා. 

විම්රුල් පේර වෙළෙඳපොළ  පිහිටි ප්‍රදේශය හරහා සුගන්ධා, සන්ධා, බිෂ්කාලි, ගබ්කාන් යන කුඩා ගංගා හතර ගලා බසිනවා. එම ගංගාවලින් පෝෂණය වන ප්‍රදේශ සාරවත් බවින් වැඩියි. එනිසා එම ප්‍රදේශවල සරුවටම පේර වගාව සිදු කෙරෙනවා. මේ පේර වගාබිම්වලින් ලබාගන්නා අස්වැන්න අලෙවි කරන්නේ විම්රුල් පාවෙන පේර වෙළෙඳපොළේ දී යි. 

විම්රුල් පේර වෙළෙඳපොළ පිහිටන්නේ පෙර කී කුඩා අතු ගංගා මඟින් නිර්මාණය වුණු ඇළ මාර්ග මත යි. මේ ඇළ මාර්ගවලට පේර පිරවූ යාත්‍රාවලින් පැමිණෙන වෙළෙන්ඳන් එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පේර අලෙවි කිරීම සිදු කරනවා.

ඇළ මාර්ගයක පේර කඩන වෙළෙන්දෙක්  (gettyimages)

වෙළෙඳපොළට පේර එන්නේ මෙහෙම යි

ජූලි මාසය එළඹෙද්දී බංගලිදේශයේ පේර අස්වනු නෙලීම ආරම්භ වනවා. ජලෝකාති දිස්ත්‍රික්කයට අයත් බොහෝ පේර වගාබිම් පිහිටා තිබෙන්නේත් කුඩා ඇළ මාර්ග ආශ්‍රිත බිම්වලම යි. පේර අස්වනු නෙලන කාලයට ඔරුවල නැගුණු මිනිසුන් හිමිදිරියේම වගාබිම්වලට ගොස්, ඔරුවට පැටවිය හැකි තරම් පේර ප්‍රමාණයක් කඩා ගන්නවා. පේර පිරවීමෙන් පසුව එම ඔරු පාවෙන පේර වෙළෙඳපොළ වෙත රැගෙන යනවා. 

සාමාන්‍යයෙන් ජූලි මාසයේ මුල සිට සැප්තැම්බර් මාසයේ අග දක්වා විම්රුල් පාවෙන පේර වෙළෙඳපොළ  සක්‍රීය යි. එම කාලය තුළ පේර වෙළෙන්ඳන්ට දිනපතාම වගාබිම්වලට ගොස් පේර කඩන්නට සිදුවනවා. එය කෙතරම් කටුක අත්දැකීමක් වුණත් ඔවුන් දිනපතාම එම කාර්යයෙහි යෙදෙන්නේ ඔවුන්ට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති නිසා යි. එනිසා ජූලි, අගෝස්තු, සහ සැප්තැම්බර් මාසවල සෑම උදෑසනකම, පේර පිරවූ ඔරු විම්රුල් පාවෙන වෙළෙඳපොළ වෙත පැමිණෙන ආකාරය දැකගන්නට පුළුවන්. 

අසීරුවෙන් පේර අස්වැන්න නෙළාගන්නා ආකාරය (gettyimages)

පේර වෙළඳපොළේ දිනක් 

පේර අස්වනු නෙළන කාලයට, උදෑසන හතේ පමණ සිට පේර රැගත් ඔරු වෙළෙඳපොළ වෙත පැමිණෙනවා. උදෑසන කාලයේ දී වෙළෙඳපොළ තුළ වැඩි ඔරු ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දහවල් වන විට වෙළෙඳපොළට පැමිණෙන පේර ඔරු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවනවා. විම්රුල් පේර වෙළෙඳපොළ වඩාත් සක්‍රීයව පවතින්නේ දහවල් 12 සිට සවස 3ක් දක්වා ගෙවෙන පැය 3ක පමණ කාලයේ දී යි. සාමාන්‍යයෙන් එම පැය කිහිපය තුළ පේර ඔරු 100ක් පමණ වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙනවා.

මෙහි වෙළඳාම් කරන බොහෝ ඔරුවල ප්‍රධාන වෙළෙන්දාට සහ සහායකයෙකු සිටිනවා. නමුත් සහායට පුද්ගලයෙකු බඳවා ගැනීමට තරම් වත්කමක් නොමැති වෙළෙන්දන් තනිවම වෙළෙඳාමේ නිරත වනවා. තවත් සමහර වෙළන්දන් තම සහායකයා ලෙස පවුලේ කුඩා දරුවන් රැගෙන එන ආකාරය සුලබව දකින්නට ලැබෙන දෙයක්. සහායකයන් ලෙස පේර වෙළෙඳපොළට පැමිණෙන කුඩා දරුවන් පසු කලෙක පේර වෙළෙන්දන් බවට පත්වීම ද සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. 

පේර වෙළෙඳාමේ නිරත වන උදවියට සහ එහි පැමිණෙන ගැණුම්කරුවන්ට ආහාර ගැනීම සඳහා ආපන ශාලා ද ඒ අසල ඉදිකර තිබෙනු දැකගන්නට පුළුවන්.

සාමාන්‍ය දිනයක පේර වෙළෙඳපොළ (Global Voices)

විම්රුල් වෙළෙඳපොළේ ගැණුම්කරුවෝ

පේර අස්වනු නෙළන කාලයට, අඩුම මිලකට පේර විකිණීමට තිබෙන්නේ මෙම පාවෙන වෙළෙඳපොළේ යි. එනිසා ඈත ප්‍රදේශවලින් පවා පේර තොග වෙළෙන්දන් විම්රුල් වෙත පැමිණෙනවා. ඔවුන් බොහෝ විට පේර මිල දී ගැනීමට පැමිණෙන්නේ පුද්ගලික බෝට්ටුවලින්. ඔවුන් මිලට ගන්නා පේර තොග වෙනත් ප්‍රදේශවල සිටින කුඩා පරිමාණයේ වෙළෙඳුන්ට අලෙවි කරනවා. එමඟින් පේර තොග වෙළෙඳුන්ට විශාල ලාභයක් ලැබෙනවා. 

සාමාන්‍යයෙන් මෙම වෙළෙඳපොළට තොග වෙළෙන්දන් පැමිණෙන්නේ හවස් වරුවේ යි. එයට හේතුව වන්නේ බොහෝ පේර වෙළඳුන් සවස් වරුව වන විට ඉතුරු වී තිබෙන පේර තොග අඩු මිලකට විකුණා දැමීම යි. තොග වෙළෙන්දන්ට  අමතරව නැවුම් පේර මිළ දී ගැනීමට කැමති ගැණුම්කරුවන් ද මෙම පේර වෙළෙඳපොළට පැමිණෙනවා. 

දැන්  දැන් ඇතැම් විදේශීය සංචාරකයන් ද විම්රුල් පේර වෙළෙඳපොළ නැරඹීමට පැමිණෙනවා. ඔවුන්ට පේර වෙළෙඳපොළ තුළ සංචාරය කිරීම සඳහා වෙනම බෝට්ටු සේවාවක් ද ස්ථාපිතකොට තිබෙනවා.   

පේර මිල දී ගැනීමට පැමිණෙන ගැණුම්කරුවන් (Global Voices) 

විම්රුල් පාවෙන පේර වෙළෙඳපොළේ වෙළෙන්දෙකු දිනකට ටකා 10000කට වැඩි මුදලක් උපයනබව පැවසෙනවා. ගැණුම්කරුවන් වැඩිපුර පැමිණෙන දවසට එම මුදල ටකා 20000 ද ඉක්මවා යන බව ඔවුන් සඳහන් කරනවා. පේර වෙළඳාම් කෙරෙන ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ පේර වෙළෙන්දන්ට සැලකිය යුතු තරම් විශාල මුදලක් උපයාගන්නට පුළුවන්. නමුත් ඒ සඳහා ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩකළ යුතු යි. 

පේර වෙළෙඳපොළ නිසා අවට ඇළ මාර්ගවල බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක කරන උදවියටත් සැලකිය යුතු තරම් ආදායමක් ලැබෙනවා. ඒ, ගැණුම්කරුවන් සහ විදෙස් සංචාරකයන් පේර වෙළෙඳපොළ වෙත යෑමට ඔවුන්ගේ බෝට්ටු භාවිතා කරන නිසා යි. එසේම පාවෙන වෙළෙඳපොළ තුළ ආපන ශාලා පවත්වාගෙන යන උදවියටත් මෙමඟින් සැලසෙන්නේ මහත් සෙතක්. 

කවරයේ ඡායාරූපය- විම්රුල් පාවෙන පේර වෙළෙඳපොළ (fanpop.com)

මූලාශ්‍රයයන්- gazetteupdate.blogspot.com

                         dailyasianage.com

                         travelmate.com

                         arabnews.com

Related Articles