Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් අනතුරකින් වූ මරණයන්ට යුක්තිය සෙවූ රුසියානුවා

එදා සඳුදා දිනයක්. දිනය හරියට ම 2002 ජූලි මාසයේ 1 වැනි දා, විතාලි කාලෝයෙව් ඉක්මනින් වැඩ අවසන් කරලා යෑමට තිරණය කරනවා. ඔහු සේවය කරමින් සිටියේ ස්පාඤ්ඤයේ බාසිලෝනාවෙහි ධනවතෙකුගේ නිවසක ඉදිකිරීම්වල වැඩ පරික්ෂා කරන නිලධාරියෙකු ලෙස යි. විතාලි එදින ඉක්මනින් වැඩ අවසන් කර, බාසිලෝනා අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත යන්නේ නිවාඩුවක් සඳහා රුසියාවේ සිට පැමිණෙමින් සිටි ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ව පිළිගැනීමේ අරමුණ ඇතිව යි.

විතාලි කාලෝයෙව් පමණක් නොව, එදා බොහෝ දෙනෙකු බාසිලෝනා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ රුසියාවේ, මොස්කව් නුවර සිට පැමිණෙමින් තිබු Bashkarian Airlines Flight 2973 දරන Tupolev Tu-154 වර්ගයේ මඟී ප්‍රවාහන ජෙට් ලයිනර් ගුවන් යානයේ පැමිණීම අපේක්ෂාවෙන්. නමුත් ජුලි 1 වැනි දා රාත්‍රීයේ ගුවන් යානාවට තමන්ගේ ගමනාන්තයට ළඟා වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මොස්කව් නුවර සිට බාසිලෝනාව බලා පිටත් වෙමින් තිබූ බෂ්කාරෙයින් එයාර්ලයින් සමාගමේ ගුවන් යානය, දකුණු ජර්මනියේ  උබර්ලින්ග් ගුවන් කලාපයේ දී අනතුරට පත් වෙන්නේ අනපේක්ෂිත ලෙස යි. ඒ ඉතාලියේ සිට බෙල්ජියම බලා යමින් තිබු DHL සමාගමට අයත් Boeing 757 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන  DHL Flight 611 ගුවන් යානායත් සමග එකිනෙක ගැටීම හේතුවෙන්.

ගුවන් යානා දෙක ගමන් ගත් මාර්ගය දැක්වෙන උබර්ලින්ග් ගුවන් කලාපයේ සිතියම. (Skybarry.com)

මෙම අනතුර සිදු වුණේ ස්විටර්ලන්තයේ පුද්ගලික ගුවන් යානා මෙහෙයවීම් සිදුකරනු ලබන ආයතනයක් වන ස්කයිගයිඩ් (Skyguide) නම් ස්විස් ගුවන් පාලන සේවා සපයන ආයතනයට අයත් ගුවන් කාලපයක දී.අනතුර සිදුවන අවස්ථාවේ දී එම ආයතනයේ ගුවන් මෙහෙයුම් මැදිරිය තුළ සිට ඇත්තේ එක් ගුවන් ගමන් පාලකවරයෙකු පමණි. පීටර් නීල්සන් නම් මෙම නිලධාරීයා තනිව ම ගුවන් ගමනාගමන පාලන සේවා ස්ථාන දෙකක් නිරික්ෂණය කරමින් සිටි බව සඳහන්.

තනිව ම සේවා ස්ථානයන් දෙකක් බාර ව සිටි පීටර්, කාර්යබහුල බව හේතුවෙන් රේඩාර් දත්ත ලබා ගන්නේ ගුවන් යානා දෙක ම ගුවන් කලාපය වෙත ඇතුල් වූවාට පසු ව යි. ඔහු රුසියානු ගුවන් නියමුවා සමග සම්බන්ධ වී යානා දෙක ගැටීම වැළැක්වීම සඳහා ගුවන් යානා  එකිනෙක ගැටීම් වළක්වන ස්වයංක්‍රීය පද්ධතිය අනුව ක්‍රියාකරන ලෙස පවසා සිටියා.

මේ අතර DHL සමාගමේ ගුවන් යානයේ නියමුවාට කළ යුතු දේ පිළිබඳ ගුවන් ගමන් පාලකවරයාගෙන් උපදෙස් නොලැබී යාම නිසා, ඔහු ම ගුවන් යානා අනුව එකිනෙක ගැටීම් වළක්වන ස්වයංක්‍රීය පද්ධතිය අනුව ක්‍රියාකරන්නට කටයුතු කරන්නේ, ඔහුගේ රේඩාර් පද්ධතියට අනිත් ගුවන් යානය පිළිබඳ දත්ත ලැබීම නිසා යි.

පීටර් දිගින් දිගට ම සම්බන්ධතාවයන් පැවැත් වූයේ රුසියන් ගුවන් යානය සමග පමණයි. ඔහු රුසියන් ගුවන් යානයට උපදෙස් දීමෙන් පසු ව DHL-611 යානයේ ගුවන් මාර්ගය පරික්ෂා කරනවා. DHL යානයත්, ගුවන් යානා එකිනෙක ගැටීම් වළක්වන ස්වයංක්‍රීය පද්ධතිය අනුව ක්‍රියාකරන බව දකින පීටර්ට සිදුවෙන්නට යන අනතුර ගැන දැනී, වහා ම රුසියන් ගුවන් නියමුවාට ගමන් මාර්ගය වෙනස් කරන ලෙස පවසා තිබුණා. නමුත් මුලින් ලැබුණු උපදෙස් අනුව ක්‍රියා කළ රුසියන් ගුවන් නියමුවා, ගමන් මාර්ගය වෙනස් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. පීටර් නීල්සන් ගුවන් යානා දෙක ගැටීම වැළැක්වීම සඳහා ආරක්ෂිත දුරකට වෙන් කිරීමට අසමත් වෙනවා. ගත වුණේ තප්පර කිහිපයක් පමණි, අඩි 36,000ක් පමණ ඉහළ උබර්ලින්ග් අහසේ දී ගුවන් යානා දෙක ම එකිනෙක ගැටෙනවා. මෙම එකිනෙක ගැටුණු ගුවන් යානා දෙක ම ඇද වැටෙන්නේ දකුණු ජර්මනියේ ගම්බද කලාපයක් වූ ලේක් කොන්ස්ටෙන්ස් නම් ප්‍රදේශයට යි.

අනතුරට පත් රුසියන් ගුවන් යානයේ කොටස් (Twitter)

මෙම අනතුර නිසා 71 දෙනෙකුට දිවි අහිමි වෙනවා. DHL සමාගමේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සිටි නියමුවා සහ සහාය නියමුවා ද, රුසියානු ගුවන් යානයේ සිටි දරුවන් 49 දෙනෙකු ද, වැඩිහිටියන් 15 දෙනෙකු, සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු මියගිය 71 දෙනා අතරට අයත්. රුසියානු ගුවන් යානය බාර්සිලෝනාව වෙත පැමිණෙමින් තිබුණේ යුනේස්කෝ සංවිධානය විසින් පවත්වනු ලබන සංස්කෘතික වැඩසටහනක සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි දරුවන් පිරිසක් ද රැගෙන යි. මියගිය දරුවන් අතර විතාලි කාලෝයෙව්ගේ අවුරුදු 10ක් වුණු පුතා ද, අවුරුදු 4ක් වුණු දියණිය ද සිටියා.

ගුවන් යානා දෙක ගැටුණු ආකාරය පෙන්වන සටහන (Global Aviation Media)
අනතුරට පත් වු Bashkarian Airlines Flight 2973 ගුවන් යානය (Wikipedia)
අනතුරට පත් වු DHL Flight 611 ගුවන් යානය (Wikipedia)

අනතුරින් පසු ව ස්කයිගයිඩ් ස්විස් ගුවන් පාලන සේවා සපයන ආයතනයේ ගුවන් මෙහෙයුම් පාලන කටයුතුවල අනතුර සිදුවන දිනයේ, සේවයේ යෙදී සිටි ගුවන් පාලකවරයා වූ පීටර් නීල්සන් පිළිබඳ ව පරික්ෂණයක් ආරම්භ කළේ ගුවන් අනතුර ගැන සිදුකරනු ලැබූ පරීක්ෂණයට සමගාමී ව යි. පීටර්ගේ එදින තිබූ කාර්යබහුල බවත්, අනතුරට හේතුව ගුවන් නියමුවන් නිවැරැදි උපදෙස් අනුව ක්‍රියාකාරිමට අපොහොසත් වීම නිසා බව අනාවරණය වීමත් සමග පීටර් ව චෝදනාවලින් නිදහස් කරනු ලබනවා.

ඔහුට ස්කයිගයිඩ් ආයතනයේ දිගට ම සේවය කරන්නට ඉඩකඩ තිබුණ ද, ඔහු සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කරනු ලබනවා.

ගුවන් ගමන් පාලක පීටර් නීල්සන් (Irish Mirror)

විතාලි ක්ලෝව් තමන්ගේ මියගිය පවුලේ අයව සොයාගැනීම සඳහා ජර්මනියේ ලේක් කෝන්ස්ටෙන්ස් ප්‍රදේශය වෙත යනවා. මියගිය අයගේ පවුල්වල ඥාතීන්ගෙන් සිදුවීම වූ ස්ථානය සොයා ගෙන මුලින් ම එම ස්ථානයට ගිය පුද්ගලයා වුණේ ද, විතාලි කාලෝයෙව් ය. විතාලිට මුලින් ම හමුවන්නේ ඔහුගේ වයස අවුරුදු 4ක් වුණු දියණිය ඩයානා ක්ලෝව් ව යි. තවත් සුන්බුන් අතර සෙවීමේ කටයුතු කරපු විතාලිට බස් නැවතුමක් අසලට වැටී සිටි ඔහුගේ අවුරුදු 10ක් වුණු පුතා කොන්ස්ටන්ටයින් ක්ලෝව් ව සොයා ගන්නා අතර, බඩ ඉරිඟු වගා භූමියක වැටී සිටි ඔහුගේ බිරිඳ වූ ස්වැට්ලානා ව සොයා ගැනීමට හැකි වෙනවා. විතාලිගේ පවුලේ අයගේ මරණය ඔහුට කිසිම විටක දරා ගැනීමට නොහැකි එකක් වුණා.

මියගිය පවුලේ අය වෙනුවෙන් ක්ලෝව් නිවසේ අනුස්මරණ කටයුතු සිදු වූ අවස්ථාව (Irish Mirror)

ස්කයිගයිඩ් සමාගම විසින් විතාලිට බිරිඳ වෙනුවෙන් ස්විස් ෆ්‍රෑන්ක් 60,000ක මුදලක් ද, දියණිය සහ පුතා වෙනුවෙන් ස්විස් ෆ්‍රෑන්ක් 50,000ක මුදලක් ද වන්දි වශයෙන් දීමට උත්සාහ කරනවා. නමුත් ස්කයිගයිඩ් ආයතනය තමන් කළ අපරාධය වසා ගැනීමට මෙම මුදල ගෙවීමට උත්සාහ කළ බවට විතාලි චෝදනා කරනවා. විතාලි ක්ලෝව් මෙම අනතුරට සම්බන්ධයැ යි මුලින් චෝදනා ලැබූ පීටර් නීල්සන් ව හමුවීමට ස්කයිගයිඩ් ආයතනයෙන් අවසර ඉල්ලුවත්, ඔහුට එයට ඉඩ ලැබෙන්නේ නැහැ. පීටර් නීල්සන් ඔහු කළ වරදට සමාව අයැදිය යුතු බව විතාලි ස්කයිගයිඩ් ආයතනයේ ප්‍රධාන නිලධාරීන්ට පැවසූවත්, ඔහුගේ ඉල්ලීමට ඉඩක් ලැබුණේ නැහැ.

වසර 2ක කාලයක් තමන්ගේ දරුවන්ගේ සහ බිරිඳගේ මරණයෙන් ශෝකයට පත් ව සිටි විතාලිගේ මානසික මට්ටම සම්පුර්ණයෙන් ම බිඳ වැටී තිබුණා. ඔහු අවසානයේ දී ඔහුගේ අහිමි වීම වෙනුවෙන් පීටර් නීල්සන් වගකිව යුතුයැ යි සිතා, ඔහු ව සොයාගෙන පළිගන්නට උත්සාහ කරනවා.

විතාලි කාලෝයෙව් දරුවන් දෙදෙනා සමග (Irish Mirror)

පීටර් නීල්සන් ව සොයා ගැනීම, ඔහු කුලී රහස් පරික්ෂකවරයෙකුට භාර කරනවා. රහස් පරික්ෂකයාගේ හෝඩුවාවන් අනුව විතාලි කාලෝයෙව්, ස්විටර්ලන්තයේ පීටර් නීල්සන් ජීවත් වූ නිවස සොයා ගැනීමට සමත් වෙනවා. නිවස වෙත ගිය විතාලි, නිවසේ දොරට තට්ටු කර පීටර් එළියට පැමිණෙන තුරු බලා සිටිනවා.

පැමිණි සිටි ආරාධිතයා කවුරුන් දැ යි බැලීමට පැමිණි 36 වන වියේ පසු වූ පීටර් නීල්සන් හට, විතාලි පිහි ඇනුම් කිහිපයක් ම එල්ල කරන්නේ පීටර්ට මාරාන්තික තුවාල සිදුකරමින්. පීටර් ඔහුගේ දරුවන් දෙදෙනාගේ සහ ගැබිණියක ව සිටි බිරිඳගේ අත්මත අවසන් හුස්ම හෙලනවා. පීටර්ගේ ඝාතනයට විතාලි, ස්විස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා අතර දිර්ඝ නඩු විභාගයකින් පසු 2005 ඔක්තොම්බර් 26 ඔහුට වසර 8ක සිර දඬුවමක් හිමි වෙනවා. දඬුවම් නියම කළ වෙලාවේ දී ඔහු පවසා තිබුණේ ගුවන් අනතුර සිදු වූ දිනයේ දී ඔහු ද මියගිය බවත්, ගෙවී ගිය වසර 2ක පුරාවට ම ඔහු පවුලේ අයගේ සොහොන් ගැබ අසලට වී කාලය ගත කළ බවත් ය.

විතාලි කාලෝයෙව් ඔහුගේ පවුලේ සොහොන් ගැබ අසල (Justinjin.Photoshelter)

2007 අගෝස්තු 23 වැනි දා ඔහු උසාවිය වෙත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කරන අතර, උසාවිය විසින් ඔහුගේ ඇප අයැදුම්පත සලකා බලා ඔහුගේ මානසික මට්ටම සම්පුර්ණ දඬුවම් කාලය ලැබීම තරම් ස්ථාවර නොවු නිසා ඔහු ව නිදහස් කරනු ලබනවා. නැවතත් ඔහු රුසියාව බලා පිටත් වෙනවා. විතාලි කාලෝයෙව් ඔහු ජීවත් වූ ප්‍රදේශය වන උතුරු ඔසෙටියාව වෙත ගිය පසු ඔහුට ලැබුණේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. මන්ද, පීටර් නීල්සන්ගේ ඝාතනය සිදුවීම ජාත්‍යන්තරය උණුසුම් කරන්නට හැකි වූ පුවතක් වී තිබුණු නිසා යි. උතුරු ඔසෙටියාව වෙනුවෙන් කීර්තියක් ඔහු අත්කර දුන්නායැ යි පවසමින් උතුරු ඔසෙටියානු ප්‍රාන්ත රජය ඔහුට “To the Glory of Ossetia” නමින් පදක්කමකින් ද පුදනු ලබන්නේ, ඔහුගේ 60 වන උපන්දිනය දවසේ දී යි.

විතාලි කාලෝයෙව් උතුරු ඔසෙටියානුවන් පිළිගත් අයුරු (Irish Mirror)

විතාලි, පීටර්ගේ මරණය හා සිදුවීම ගැන කියා තිබුණේ, ඔහු ව මීනිමරුවෙකු ලෙස හඳුන්වන්නේ තමන්ගේ දරුවන්ගේ හා රටේ ගෞරවය පාවා දෙන උදවිය බවත්, ඔහු මේ මීනිමරුම සිදුකළේ ඔහුගේ දරුවන්ගේ ගෞරවය හා ආත්ම ආරක්ෂාව වෙනුවෙන් බව යි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, තමන්ට පීටර් නීල්සන් මුල් අවස්ථාවේ දී හමුවන්නට ඉඩ ලබා දුන්නා නම් මෙම ඝාතනය කිසිමදාක සිදු නොවන්නට ඉඩ තිබුණු බව යි.

2012 වසරේ දී ගුවන් අනතුර සිහි කරමින් පැවැති 10 වන අනුස්මරණය සඳහා සහභාගී වීමට ජර්මනියට ගිය විතාලි ව, ජර්මානු බලධාරීන් විසින් රඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ විතාලි ස්විස් සිරගෙදරට ඔහු ව රඳවා තබා ගෙන සිටි කාලය වියදම් වූ මුදල නැවත ගෙවීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු ව පොරොත්තු ලේඛනයේ රැඳවීම නිසා යි. රුසියානු ජර්මන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ දැඩි විරෝධය හමුවේ අවාසනයේ ඔවුන් සමග ම විතාලිට කාලෝයෙව් හට අනුස්මරණය සඳහා සහභාගී වීමට අවසර ලබා දීමට ජර්මානු බලධාරීන් කටයුතු කරනවා.

විතාලි කාලෝයෙව් උතුරු ඔසෙටියාවේ වීරයෙකු බවට පත් වී දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ සොහොන් අසලට වී කාලය ගත කරමිනුයි.

විතාලි කාලෝයෙව්ගේ කතාව අලලා 2017 අප්‍රේල් 07 වැනි දා එලියට් ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයෙන් “Aftermath” නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය. මෙහි විතාලි වෙනුවෙන් ආර්නොල්ඩ් ස්වච්නගර් විසින් රඟපානු ලබයි.

 

Related Articles