වන්නි සටන – ඊළම පරාජය කිරීමේ අවසන් යුද්ධය

කොටි ත්‍රස්තයන්ට නැගෙනහිර  අහිමි වීමත් සමඟම ප්‍රභාකරන් පවසන්නේ ආරක්ෂක හමුදාවට වන්නියට ඇතුළුවීමට ඉඩක්‌ නොදෙන බවයි. එසේ ඇතුළු වුවහොත් ආණ්ඩුවට අමතක නොවන පාඩමක් උගන්වන බවත් ඔහු පවසනවා. ඒ වන විටත් සමහර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ වන්නි මෙහෙයුම ආපිට හැරෙනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටියා.

ප්‍රභාකරන් යනු නැපෝලියන්ටත් වඩා යුධ වීරයකු බවත් චීනයේ මාඕ සේතුන්ටත් වඩා දක්‍ෂ ගරිල්ලා සටන් නායකයකු බවත් සමහර විදෙස් රජයන් මෙන්ම විදේශීය රාජ්‍ය නොවන සංවිධානද මහත් උජාරුවෙන් වර්ණනා කරමින් වන්නියට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඇතුළු වුවහොත් හමුදාවට දැඩි පරාජයක් හිමිවන බවත් පුන පුනා පවසනවා.

මේ අතර ඉහළ නිලධාරීන්ගේ මගපෙන්වීම සහ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ආරක්ෂක හමුදා නිලධාරීන් හා විරෝධාර සෙබළුන් එසේ වහසි බස් දෙඩු ප්‍රභාකරන්ගේ සිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයා ගනිමින් 2009 මැයි 19වනදා මිනීමරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට සමත් වෙනවා. අද ලිපිය ලියවෙන්නේ දශක තුනක් උඩු දුවා තිබූ බිහිසුණු ඊළාම් ත්‍රස්තවාදයට “වන්නියේ අවසන් මෙහෙයුම” මඟින් තිත තැබූ ආකාරය පිළිබඳවයි.

නැගෙනහිරෙන් උතුරට

උතුර මුදා ගැනීමේ සටනේ ප්‍රධාන සේනාංක වල සේනාධිපතිවරුන් (SlideShare)

2006 වසරේ ජූලි 21වන දින මාවිල්ආරු සටනින් ආරම්භ වූ නැගෙනහිර මුදා ගැනීමේ සටනේ දී පියවරෙන් පියවර LTTE සංවිධානයට දැඩි පරාජයක් උරුම වන විට උතුරු පළාත ද සේනාංක කිහිපයක් යොදාගනිමින් වට කර පහරදීමේ නිර්භීත යුද උපක්‍රමය යොදා ගන්නට සැලසුම් කෙරෙනවා. ජයසිකුරු මෙහෙයුම අසාර්ථක වීමට මූලික ලෙස බලපෑ පැති කිහිපයකින් සතුරාට පහර නොදීම වැනි අසාර්ථක යුධ උපක්‍රම තුළින් පාඩම් ඉගෙනගත් නිලධාරීන් සිටීම LTTE ත්‍රස්තයන්ගේ පරාජයට ප්‍රධානම හේතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ පිළිබඳව වරෙක යුද හමුදාපති සරත් ෆොන්සේකා මෙලෙස ප්‍රකාශ කරනවා. “යුද්ධය ජයග්‍රහණය කලේ එක පැත්තක්වත් දුර්වල නොකරපු හේතුවෙන්. ආදී කාලයේ නැගෙනහිර සටන් කලොත් උතුර අත් හරිනවා. උතුරේ ක්‍රියාන්විතයක නියැළුනොත් නැගෙනහිර සියළු ප්‍රදේශ අත් හරිනවා. මෙහිදී අපි එක් පැත්තක්වත් දුර්වල වෙන්න දුන් නෑ.”

ඒ අනුව නැගෙනහිර මෙහෙයුම් සිදු වන විටදීම උතුර මුදා ගැනීමටද සේනාංක කිහිපයක් යොදවනවා. මුලින්ම ඒ සඳහා 2007 මාර්තු වනවිට 57 වැනි සේනාංකයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ගේ නායකත්වයෙන් වන්නිය මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබනවා.

නොනැවතී ඉදිරියටම ඇදුණු සේනාංක

සිංහ රෙජිමේන්තුව විසින් මඩු පල්ලිය මුදා ගැනීමෙන් පසුව (Sinha Regiment)

2007 මාර්තු වනවිට 57 වැනි සේනාංකය මේජර් ජනරාල් ජගත් ඩයස්‌ගේ නායකත්වය යටතේ වන්නිය මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කිරීම වන්නිය මුදා ගැනීමේ සටනේ ප්‍රථම පියවරයි. ඒ අනුව 2008 අප්‍රේල් 24 වැනිදා වනවිට 57 වන සේනාංකය විසින් මඩු පල්ලියද, 2008 සැප්තැම්බර් 2 වනදා වනවිට මල්ලාවි නගරයේද සිය බලය තහවුරු කරනවා. මේ අතර බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත යටතේ 2008 වසරේ ජනවාරි මාසයේදී 59 වන සේනාංකය වැලිඔයෙන් ආරම්භ කර තන්නිමුරුප්පු ප්‍රදේශය ඔස්සේ ඉදිරියට ඇදී වව්නියාව ප්‍රදේශයේදී ප්‍රථම කළු කොටි ගුවන් යානය විනාශ කරනවා.

2007 සැප්තැම්බර් මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලද ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකයට 2008 ජුලි 16 වන විට වෙඩිතලතිව් අල්ලා ගැනීමට හැකි වූ අතර 2009 ජනවාරි 1 වනදා වැදගත් යුධ නගරයක් වන පරන්තන් නගරය මුදා ගැනීමට හැකි වෙනවා. ඒ වන විට පරන්තන් නගරයට ඉතා ආසන්නව පිහිටා තිබුණු කොටින්ගේ ප්‍රධාන නගරය වන කිලිනොච්චිය අල්ලා ගැනීමට ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකය අනෙක් පසින් ගමන් කරනවා.

කොටින්ගේ හදවත – කිලිනොච්චිය අල්ලා ගැනීම

කිලිනොච්චිය මුදාගත් පසු ඉදිකරන ලද යුධ ස්මාරකය (Will Baxter)

කොටි සංවිධානය විසින් යෝජනා කර තිබූ සිහින ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය වූ කිලිනොච්චිය, යුද හමුදාව විසින් අල්ලා ගැනීම රාජපක්ෂගේ දවල් හීනයක් බව ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පවසන්නේ 2008 වසරේ “මහාවීර” දිනයේ සිය කතාවේ දීයි. එසේම කොටි හිතවාදී විදෙස් සංවිධාන වල අදහස වූයේ ආරක්ෂක හමුදාව කිලිනොච්චියට ඇතුල් වුවහොත් ජර්මන් හමුදා ස්‌ටලින්ග්‍රාඩයට ඇතුල් වී ලැබූ අන්ත යුද පරාජයට සමාන පරාජයක් ලබන බවයි.

2008 නොවැම්බර් හා දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකා යුද හමුදාව කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට තෙවරක් උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර කිහිපයක් කිලිනොච්චි LTTE මර්මස්ථාන වෙත එල්ල කිරීමෙන් පසු 57 වැනි සේනාංකයට ජනවාරි 2වන දින කිලිනොච්චි නගරයේ සිය බලය තහවුරු කර ගැනීමට හැකිවෙනවා. කිලිනොච්චි සටන පරාජයෙන් පසු LTTE සංවිධානය විසින් පවසන්නේ රජයේ හමුදා අත්පත් කරගත්තේ “මළවුන්ගේ නගරයක්” බවත් එම පරාජය තමන්ගේ ඉතා සුළු පසු බැස්මක් පමණක් බවයි.

අවුරුදු 13ක් පුරා රැකගත් මුලතිව් නගරය LTTE සංවිධානයට අහිමි වීම

පුදුකුඩුඉරිප්පු සටනේදී කොටින් විසින් විනාශ කර දමා ගිය ඔවුන්ගේ වාහන (Panoramio)

යුධ, නාවික හා ගුවන් හමුදා එක්ව මේ වන තෙක් ඉදිරියට ගෙන ආ සටන හේතුවෙන් LTTE සංවිධානය ඉතිහාසයේ ලද දැවැන්තම පරාජයට උරුමකම් කියමින් සිටින විට කිලිනොච්චිය සටන අතරේදීම 59 වන සේනාංකය LTTE ප්‍රධාන බලකොටුව වන මුලතිව් නගරය අත්පත් කරගන්නේ 1996 වසරෙන් පසුවයි.

ලබා ඇති අන්ත පරාජය හමුවේ ප්‍රභාකරන්ට කිලිනොච්චිය රැක ගැනීමටත් මුලතිව් ආරක්ෂා කරගැනීමටත් එකවර LTTE කාඩර්වරු යෙදවීම අපහසු වුණා. පනස් දහසක පමණ හමුදාවක් මෙසේ වන්නිය සෑම පැත්තකින් ආක්‍රමණය කරන විට 2009 අප්‍රේල් 5වන දින පුදුකුඩුඉරිප්පු ආන්දපුරම් සටනේදී ප්‍රධාන ත්‍රස්ත නායකයෙක් වන තීපන්, මාලතී රෙජිමේන්තුවේ නායිකා විදූෂා, ජෙයනන්දන් බලකායේ කීර්ති ඇතුළු සාමාජිකයන්  625 දෙනෙක්‌ මරණයට පත්වෙනවා. මෙම දැවැන්ත පරාජයත් සමඟ LTTE නායකයන් පුදුමාතලන් දක්වා පලා යනවා.

අවසන් සටන

වන්නිය මුදා ගැනීමෙන් පසු ජනපති, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති හා සේනංකාධිපතිවරුන් (Kath Noble)

පුදුකුඩිරිප්පු සටනින් පරාජය වී පුදුමාතලන් යුධ මුක්ත කලාපයට ඇතුල් වන කොටි නායකයන් සියළු දෙනා එහි සිටින සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස තබා ගනිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරනවා.

2009 අප්‍රියෙල් 20වනදා, 58 හා 59 සේනාංක සමඟ එක් වූ කමාන්ඩෝ බළකාය හා විශේෂ බළකාය යුධ මුක්ත කලාපයේ ජනතාව බේරා ගැනීමේ තියුණු සටනක නිරත වෙනවා. ප්‍රථමයෙන් පුදුමාතලන් පස් බැම්ම අල්ලා ගන්නා ආරක්ෂක හමුදාව පසුව සාමාන්‍ය වැසියන් 1,28,000 කගේ පමණ ජිවිත බේරා ගැනීමට සමත් වෙනවා.

පසුව දරුණු සටන් මෙම ප්‍රදේශයේ ඇවිලී ගිය අතර 2009 මැයි 18වනදා සවස වනවිට නඩේෂන්, ඉලංගෝ හා රමේෂ් ප්‍රභල කොටි නායකයන් ඇතුළු කොටි සාමාජිකයන් 106කගේ මළ සිරුරු විශේෂ බළකාය විසින් සොයාගන්නවා. මෙම දිනයේ දී ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හමු වී ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් බව දැනුම් දෙන අතර මැයි 19 වනදා උදෑසන 10 ට පමණ තම සංවිධානය කිසිදා පරාජය කළ නොහැකි යැයි පැවසු LTTE නායක ප්‍රභාකරන්ගේ මලසිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයා ගන්නට 53 වැනි සේනාංකයේ රණවිරුවන් සමත් වෙනවා.

දශක තුනක් ඔස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තයන්ගේ ඊළාම් යුද්ධය එසේ අවසන් වූයේ එසේයි.

කවරයේ ජායාරූපය – Shareyouressays

මුලාශ්‍ර – Wikipedia, BBC News,  The Daily Mirror, The Hindu, Ministry of Defence, Sangam.org, දිවයින

Related Articles