වස් විසීමේ ඉතිහාසය

ඇසළ පොහෝ දිනෙන් ආරම්භ වී වප් පොහෝ දින අවසන් වන තුරු බෞද්ධ විහාරස්ථානයන්හි ක්‍රියාත්මක වන්නේ වස් කාලයයි. බුදු දහමට අනුව මෙම කාලය තුල පැවිදි භික්ෂූන්, විශේෂ අවශ්‍යතාවයකට හැරුණු කොට විහාරස්ථානයෙන් නික්මෙන්නේ නැත. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුව තම අධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කළ යුතු අතර එම කාලය තුල භික්ෂූන්ට දානමානාදියෙන් සංග්‍රහ කිරීම විහාරස්ථානයේ දායකයින්ගේ යුතුකමක් වෙනවා. වස් කාලය තුළ විහාරස්ථානයන්හි සෑම දිනකම හවස් වරුවේ බෝධි පූජා පිංකම් පැවැත්වෙන අතර වස් කාලය නිමා වෙන්නේ කඪින පිංකම නම් බෞද්ධ සංස්කෘතියේ ඇති ප්‍රධාන උත්සවයකින් අනතුරුවයි.

ඉතින් අද ලිපිය තුලින් අපි අදහස් කලේ වස් විසීමේ ඉතිහාසය පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. අද වන විට නොයෙකුත් බලපෑම් වලට ලක්ව ඇති වස් විසීමේ ක්‍රියාවලිය බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියායැයි සැලකෙන යුගයේ සිට ආරම්භ වූ අයුරු, ඊට හේතු වූ කරුණු, බෞද්ධ ධර්මයට අනුව වස් විසීමේ වැදගත්කම, හා වස් විසීමේ වත්මන් තත්වය පිළිබඳව මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.

වස් විසීම ආරම්භ වූ ආකාරය

භික්ෂූන්ගේ අධ්‍යාත්මික දියුණුව සළසා ගැනීමට මෙම වස් කාලය ප්‍රයෝජනවත් වෙනවා. (dahampasela.wordpress.com)

බුදු හිමියන් විසින් භික්ෂු නීති රීතින් බොහොමයක් පනවන ලද්දේ සංඝ සමාජයේ ඇති ගැටළු නිරාකරණය කිරීමට වුවත් වස් විසීම සම්බන්ධයෙන් පනවන ලද නීති සමාජයේ ප්‍රසාදය දිනා ගැනීමේ අරමුණින් පැනවූ බවට ශාසන ඉතිහාසයේ සදහන් වෙනවා.

බුදුන් වහන්සේ විසූ කාලයේදී, සංචාරක දිවියක් ගත කරන ලද භික්ෂූන් වර්ෂා සමය පිළිබඳව තැකීමක් නොකර ධර්ම චාරිකාවේ නිරත වූ අතර, එම කාලයේ ඉන්දියාවේ සිටි බොහොමයක් ශ්‍රාස්තෘවරුන්ගේ අනුගාමිකයන් වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ සංචාර දිවිය අත්හැර එක්තැනකට වී වර්ෂා සමය අවසන් වන තුරු රැදී සිටීමට හුරුව සිටියා. ඔවුන් ඒ සඳහා හේතුව ලෙස සදහන් කරන්නේ වර්ෂා සමයත් සමඟ කුඩා සතුන් මෙන්ම නැවුම් තෘණ ශාක වලට ජීවය ලැබෙන හෙයින් කුඩා සතුන් හා අලුතෙන් හටගන්නා තණපත් පෑගීම තමන් විසින් පිළිපදින අවිහිංසාවාදී දර්ශණයට පටහැනි බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ බුදුන් ප්‍රමුඛ සංඝයා පමණක් මේ පිළිබඳව තැකීමක් නොකර වර්ෂා කාලයේද ධර්මය දේශනා කරමින් සංචාරය කිරීම නිසා ජනතාව අතර අප්‍රසාදයක් හටගන්නවා. එය සමනය කිරීමට බුදු හිමියන් විසින් වස් විසීමේ නීතියක් භික්ෂු සමාජයට පැනවූ බවට ශාසන ඉතිහාසය තුළ සදහන් වෙනවා.

වස් විසීමේ චාරිත්‍ර වාරිත්‍ර

මෙම කාලයේදී සෑම දිනකම පාහේ විහාරස්ථානයන්හි ආගමික වතාවත් සිදු කරනු ලබනවා. (Ceylon Buddhist Congress)

ඉන් පසුව කාලයෙන් කාලයට සංශෝධනය වෙමින් විනය නීතියක් ලෙස වස් විසීම හා ඒ වටා ගොඩ නැඟුණු චාරිත්‍ර වාරිත්‍ර වර්ධනය වූ අතර වර්තමානය වන විට වස් විසීමේ නිශ්චිත කාල පරාසය තුන් මාසයකට සීමා කර තිබෙනවා.  වස් විසීම ආරම්භ කරන අවස්ථා දෙකක් දකින්නට ලැබෙනවා. ඇසළ පොහොයට පසු දින, භික්ෂුන් වහන්සේ නමක් විසින් වස් විසීමට ආරම්භ කිරීම “පෙර වස් සමාදානය” ලෙස හදුන්වන අතර, එදින යම්කිසි හේතුවක් නිසා වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන්ට නිකිණි පොහොය දිනට පසු දින වස් විසීම ආරම්භ කළ හැකි වෙනවා. එය හදුන්වන්නේ “පසු වස් සමාදානය” ලෙසයි. උපසම්පදා වූ සෑම භික්ෂුවක්ම වස් විසීම සඳහා සහභාගී විය යුතු අතර වර්තමානය වන විට මෙම කාලසීමාවන් වෙනස් කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.

වස් විසීම සඳහා දායකයන්ගේ ආරාධනාව ලැබිය යුතු අතර ඔවුන් විසින් ඒ සඳහා අවශ්‍ය දැහැත් ගොටු හා වැසි සළු සංඝයා වහන්සේලාට පුජා කළ යුතු වෙනවා. නමුත් උපසම්පදා වූ භික්ෂුවගේ වගකීම වන්නේ ආරාධනා ඇතිව හෝ නැතිව වස් විසීමයි.

වස් සමාදන් වීමේ විනය නීති රීති

වස් විසීම සඳහා ගිහියන් විසින් භික්ෂූන්ට ආරාධනා කිරීම (lankadeepa.lk)

වස් කාල සීමාවේදී අවටින් දානය ලබා ගත යුතු අතර විශේෂ අවශ්‍යතා අනුව සීමා සහිතව බැහැරව යාමේ හැකියාව පවතිනවා. එහෙත් වස් ශික්ෂාපද ආරක්ෂා වන්නේ දවස් හතක් තුළ වස් විසූ තැනට නැවත පැමිණියහොත් පමණයි.

දවස් හතක තුළ නැවත පැමිණීමේ අරමුණින් පිටව යා හැක්කේ  භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා, සාමණේර, සාමණේරි, දසසිල් මාතා යන සත් කොට්ඨාශයට අයත් කවුරුන් හෝ ශාසනික අවශ්‍යතාවක් සඳහා වහා පැමිණිය යුතුයැයි බවට කරන ලද ආරාධනාවක අනුව විය යුතු වෙනවා. එම අවශ්‍යතාවය පමා නොකළ හැකි අවශ්‍යතාවයක් විය යුතුයි. තවද භික්ෂුවක් මෙම කාලය තුළ රෝගී පුද්ගලයෙක් බැලීමට යනවා නම්, එම රෝගියා භික්ෂුවගේ මව, පියා සහෝදරයා, සහෝදරිය හෝ භික්ෂුව පෝෂණය කරන්නෙකු විය යුතුයි.

වස් අවසානයේදී වස් පවාරණය කර නේවාසික භික්ෂූන් එලෙසම සිටින අතර අනෙක් භික්ෂූන් පිටව යාම සිදු වෙනවා. පවාරණය කිරීමේදී තමන් අතින් මෙම තුන් මාසය තුල සිදු වූ වැරදි හා අතපසු වීම් පිළිබඳව අනෙකුත් භික්ෂූන්ගෙන් සමාව ඉල්ලීමද අඩංගු වෙනවා. පවාරණයෙන් අනතුරුව අළුත් සිවුරු ලබා ගැනීමට භික්ෂූන්ට හැකියාව ලැබෙනවා.

වස් විසීමේ අරමුණු

වස් විසීමේ අරමුණු ලෙස බුදුන් වහන්සේ විසින් සදහන් කරන්නේ නව මසක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා භික්ෂූන් ගත කරන සංචාරක දිවිය නිමකර තුන් මසක් එක් තැනක සිට තමන්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනා ආදියේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි.

තවද මෙම කාලය තුළදී භික්ෂූන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා කටයුතු කිරීම තුලින් ගිහි-පැවිදි සම්බන්ධතාවය වර්ධනය වීමද අපේක්ෂා කරනු ලබනවා.  තවද භික්ෂූන් තම ජ්‍යෝෂ්ඨ භික්ෂූන්ගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒ අනුව තම දිවිපෙවත හැඩ ගසා ගැනීමටද අවස්ථාවක් මේ තුළින් උදා වෙනවා.

මෙම කාලය තුලදී විහාරස්ථාන වලදී නිරතුරුවම ධර්ම සාකච්ජා වැනි ප්‍රතිපත්ති පූජා ද, බෝධි පූජාමය පිංකම් වැනි ආමිස පූජා ද වැඩි වශයෙන් දකින්නට පුළුවන්.

වර්තමානය තුළ ආරාමික ජීවිතයකට භික්ෂුන් වහන්සේලා හුරු වී සිටින බැවින් මෙම සියලු කාර්යයන් අවශ්‍යතාවයන්ට වඩා හුදු චාරිත්‍රයක් බවට පත්වී තිබෙන බව දකින්නට පුළුවන්. නමුත් මෙම ක්‍රියාවලිය මඟින් ගිහි පැවදි කොටස් දෙකේම අධ්‍යාත්මික සංවර්ධනයක් මෙන්ම මනා සම්බන්ධතාවක් ගොඩ නැගෙන බව සටහන් කළ යුතු වෙනවා.

කවරයේ ජායාරූපය – Sri Jayawardenepura Jayasekararamaya

මුලාශ්‍ර  –

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය – බෞද්ධ ධර්මාචාර්ය විභාගය – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව (2004)

බුද්ධ චරිතය – දහම් පාසල් අවසාන සහතික පත්‍ර  විභාගය – බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව (2000)

Related Articles