Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ කොමඩු වගාව ගැන තොරතුරු බිඳක්

තදින්ම අව්ව වැටී තිබෙන දහවල් වරුවක මිහිරි රසයෙන් යුත් කොමඩු කෑල්ලක් කන්න කවුරුත් කැමතියි. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම නගරයකින් කොමඩු ගෙඩියක් පහසුවෙන් සොයාගත හැකියි. ඒ අප රට තුළ කොමඩු බෝගය සාර්ථක ලෙස වගා කරන නිසා යි. කෙටි කලක දී අස්වනු ලබාදීම සහ වගා වියදම අඩුවීම යන හේතූන් නිසා කොමඩු වගාව ගොවියන් අතර ප්‍රචලිත යි. එම නිසා වාර්ෂිකව සැලකිය යුතු බිම් ප්‍රමාණයක් කොමඩු වගාව සඳහා යොදාගනු ලබනවා.

කොමඩු වගාවට හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වය

කොමඩු සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන බෝගයක් නොවෙයි. එයට වඩාත් හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වයන් තිබෙනවා.

1) කොමඩු වගාව සඳහා අධික වර්ෂාවක් පවතින ප්‍රදේශ සුදුසු වන්නේ නැහැ. හොඳින් හිරු එළිය වැටෙන වියළි උණුසුම් ප්‍රදේශවල මෙම වගාව හොදින් සිදු කළ හැකියි.

2) කොමඩු වැවීමට නම් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවා පැවතිය යුතු යි. 

3) පරිසරයේ ආර්ද්‍රතාවය 65-75% අතර පරාසයක පැවතිය යුතු යි.

4) කාබනික ද්‍රව්‍ය අඩංගු වන ජලය හොඳින් බැස යන වැලි පසක් වගාව සඳහා වඩාත් යෝග්‍ය යි. එම පසෙහි PH පරාසය 5.5-7 අතර පැවතිය යුතුයි. කොමඩු බෝගයේ මුදුන් මුල එතරම් ශක්තිමත් නොවන නිසා මැටි පස වගාව සඳහා සුදුසු වන්නේ නැහැ.

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ 

කොමඩු වගාවට වඩාත් හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වයන්ට අනුව එම වගාව අප රට තුළ බහුලවම දක්නට ලැබෙන්නේ වියළි සහ අතරමැදි කලාප තුළ යි. ඒ අනුව දැනට වඩාත්ම හොඳින් කොමඩු වගාව සිදුකරන දිස්ත්‍රික්ක කිහිපයක් වන්නේ මොණරාගල, පුත්තලම, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, සහ  කුරුණෑගල යි. එම දිස්ත්‍රික්කවල මහා පරිමාණයේ කොමඩු වගා බිම් දක්නට ලැබෙනවා.

ලංකාවේ කොමඩු වගා බිමක් (Asia Farming)

කොමඩු ප්‍රභේද 

උද්භිද විද්‍යාත්මක ලක්ෂණවලට අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි. පහත දක්වා ඇත්තේ එම කොටස් දෙකයි. 

1) පැණි කොමඩු (Sweet Melon)

2) පත්තක්කා (Water Melon)

Muskmelon, Cantaloupe, Honeydew වැනි ප්‍රභේද පැණි කොමඩු කාණ්ඩයට අයත් වුණත් ඒවා මෙරට තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. 

Cantaloupe ප්‍රභේදය (Wikipedia)

ශ්‍රී ලංකාව තුළ සුලභව වගා කරන්නේ පත්තක්කා ප්‍රභේද යි. ඒවායේ මඳයේ අධික ජල ප්‍රමාණයක් අඩංගු වී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් තිළිණි නම් විශේෂය දේශීය ගොවියන් අතර වඩාත් ජනප්‍රිය යි. විදෙස් වෙළඳපොලේ දී එය Sugar Baby ලෙසින් හඳුන්වනු ලබනවා. 

sugar Baby ප්‍රභේදය (Southern Exposure)

ඊට අමතරව Kinaree, Stone One A, Rocky Red, Rocky Yellow, Hirock වැනි පත්තක්කා විශේෂයන්  දක්නට ලැබෙනවා. ඉන් සමහර ප්‍රභේදවල බීජ ආනයනය කර මෙහි වගා කරනවා.

Rocky Red ප්‍රභේදය (USDA)

කොමඩුවලින් කරන විවිධ නිෂ්පාදන 

සාමාන්‍යයෙන් කොමඩු වැඩි වශයෙන් යොදාගන්නේ පළතුරක් ලෙස පරිභෝජනය කිරීම සඳහා යි. එසේම පළතුරු සලාද සෑදීම සඳහා ද කොමඩු යොදාගන්නවා. ඊට අමතරව  කොමඩු භාවිතා කර නිපදවනු ලැබූ විවිධ නිශ්පාදන වෙළඳපොල තුළ දක්නට ලැබෙනවා.

1) සිසිල් බීම              2) මාමලේඩ් 

3) අයිස් ක්‍රීම්              4) කෝඩියල් 

5) ජෑම්                      6) ටොෆී වර්ග 

7) පුඩින් වර්ග            8) විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන 

කොමඩු ජෑම් (cookist)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

කොමඩු වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ වට පණුවා නම්  පළිබෝධකයා යි. එසේම දිලීර සහ බැක්ටීරියා රෝග කිහිපයක් නිසා කොමඩු වගාවට විශාල වශයෙන්  හානි සිදුවනවා. 

මූල ගැටිති වටපණු හානිය 

මෙම රෝගය වැළඳුණු විට  මුල් අසාමාන්‍ය ලෙස මහත් වී ගැටිති ඇති වනවා. එමඟින් පැළ දුර්වල වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වය වැඩි කාලවල දී පැළ ඉක්මනින් මලානික වීම සිදුවනවා. මෙම හානියෙන් ආරක්ෂා විය හැකි ක්‍රම පිළිබඳව පහත දක්වා තිබෙනවා. 

1) භෝග මාරුව සිදුකිරීම 

2) බීජ සිටුවීමට සතියකට පමණ පෙර සකසා ගත් වලවල්වලට කුකුල් පොහොර යොදා කළවම් කර, ජලය සපයා බීජ සිටුවීම 

බැක්ටීරියා කොළ අංගමාරය 

මෙම රෝගය වැළඳුණු විට පත‍්‍රවල අසාමාන්‍ය හැඩයෙන් යුත් කහ දුඹුරු ලප හටගනියි. ඒවා නිසා ක්‍රමයෙන්  සම්පූර්ණ පත‍්‍රයම මැරී යා හැකියි. එසේම කොමඩු  වැල ද විවිධ ස්ථානවලින් මැරී යාමට ඉඩ තිබෙනවා. තව ද පත‍්‍ර හැලී යාම නිසා වර්ධනය දුර්වල වී අස්වැන්න අඩුවීම සිදුවනවා. බීජ මඟින් ද මෙම රෝගය පැතිරීම සිදුවිය හැකියි. බැක්ටීරියා කොළ අංගමාර රෝගය පාලනය කිරීම සඳහා රෝගී පත්‍ර පත්‍ර සහ වැල් පුළුස්සා විනාශ කර දැමිය යුතුයි.

දියමලන් කෑම 

දියමලන් කෑම නම් රෝගය වැළඳුණු විට  බීජ ප‍්‍රරෝහනය වීම සිදුවන්නේ නැහැ. එවිට  කුඩා බීජ පැළ මැරී යාම සිදුවනවා. එම නිසා සිටු වීමට පෙර බීජ සමග කැප්ටාන් හෝ දුරාම් වැනි දිලීර නාශකයක් මිශ‍්‍ර කළ යුතු යි. එවිට කුඩා බීජ පැළවල දියමලන් කෑම රෝගයෙන් ආරක්ෂා කරගත හැකියි.

පිටිපුස් රෝගය 

පිටිපුස් රෝගය ඇතිකරන රෝගකාරක දිලීරය නිසා පත්‍ර මතුපිට සුදු පැහැති ලප හට ගනියි. මෙම රෝගය වගාව තුළ බහුලව පැතිර ගියහොත් නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කිරීම වඩාත් සුදුසු යි. 

යටි පුස් රෝගය 

මෙම දිලීර රෝගය වැළඳෙන්නේ ඵල හට ගන්නා අවස්ථාවේ ඇති වැල්වලට යි. තෙත් කාලගුණයක් පවතින කාල සමයක මෙම රෝගය දරුණු ලෙසින් පැතිර යා හැකියි. නමුත් ඵලවලට රෝගය නිසා හානියක් ඇති වන්නේ නැහැ. යටි පුස් රෝගය පාලනය කිරීම සඳහා නිර්දේශිත දිලීර නාශකයක් යෙදිය යුතු යි.

කළු ලප රෝගය 

දිලීර රෝගයක් වන මෙය ඇතිවුණු විට ගෙඩිවලින් මැලියම් වෑස්සීම සිදුවනවා. එසේම කොමඩු ශාක කඳේ කළු ලප ඇතිවනවා. මෙම රෝගය පාලනය කිරීම සඳහා නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කළ යුතුයි. එසේම භෝග මාරුව ද සිදුකළ යුතුයි.

පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය 

මෙම රෝගය වැළඳුණු විට පත‍්‍රවල කහ පැහැති විචිත‍්‍ර ස්වභාවයක් ඇති වී පසුව විකෘති වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම රෝගී වැල්වල පත‍්‍ර කුඩා වන ආකාරය දැකිය හැකියි. තව ද හටගන්නා ගෙඩි කුඩා වීම නිසා ආර්ථිකයමය වශයෙන් පාඩු සිදුවන්නට ද පුළුවන්. කූඩිත්තන් මඟින් ව්‍යාප්ත වන මෙම රෝගයෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා රෝගී වැල් ගලවා ඉවත් කළ යුතු යි. එසේම මෙම රෝගය වැළඳී ඇති වෙනත් භෝග ආසන්නයේ කොමඩු වගා කිරීමෙන් වැළකිය යුතුයි.

ඇන්ත්‍රැක්නෝස් රෝගය 

දිලීර රෝගයක් වන මෙය වැළඳුණු විට පත‍්‍රයේ නාරටි අසලින් කෝණාකාර හෝ රවුම් ලප හට ගනියි. එලෙස හටගන්නා ලප අසලින් මැලියම් වැගිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රෝගී පත‍්‍රවල වර්ධනය ක්‍රමයෙන් අඩු වී පසුව මැරී යයි. එසේම  රෝගී වගාවක ගෙඩිවල ගිලුණු  ලප දක්නට ලැබෙන නිසා ඒවා විකෘති තත්ත්වයකට පත්වෙයි. බීජ සහ  ජලය මඟින් රෝගය පැතිරෙන මෙම රෝගය පාලනය කිරීම සඳහා නිර්දේශිත දිලීර නාශකයක් යෙදිය යුතු යි.

කවරයේ ඡායාරූපය- කොමඩු (peckish Me)

මූලාශ්‍රයන්- dea.gov.lk

Related Articles