අදින් වසර 250 කට පමණ පෙර විදුලි අලෝකය නොතිබුණු යුගයේ ඉටි යොදා ගත්තේ ආලෝකය ලබා දෙන ඉටි පහන් නිපදවීමට යි. නමුත් මධ්‍යතන යුගයේ පටන් ම ජීව රූප සැකසීම සඳහා ඉටි යොදා ගත් බවට සාක්ෂි පවතිනවා. මෙසේ සකසන ලද ඉටි රූප බොහෝමයක් යොදාගෙන ඇත්තේ මිය ගිය වංශවතුන්ගේ අවමංගල උත්සවයන් හි ප්‍රදර්ශනය කිරීම සඳහා යි.

නමුත් 18 වැනි සියවස වන විට ඉටි රූපවල සාම්ප්‍රදායික භාවිතය අබිභවා ගොස් මිය ගිය අය සඳහා මෙන් ම ජීවත් ව සිටින්නන් වෙනුවෙන් ද සකසන ලද ඉටි රූපවලින් සමන්විත කෞතුකාගාර ආරම්භ කිරීමේ ප්‍රවණතාවක් ඇති වුණා. මේ සඳහා මූලිකත්වය ගත් අයෙක් ලෙස මරියා ටුසෝඩ් මැතිණිය හැඳින්විය හැකි යි. අද වන විට ලොව පුරා විසිරී ඇති ටුසෝට් මැතිණියගේ ඉටි රූ කටු ගේ ගැන තොරතුරු යි මේ.

වෛද්‍යතුමාගෙන් ඉටි රූ කලාව උගත් මරියා ගෘෂොල්ට්ස්

කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ටුසෝඩ් මැතිණියගේ ඉටි රුව (© Immanuel Giel)

ප්‍රංශ ජාතික ඇනා මරියා ගෘෂොල්ට්ස්, 1761 දෙසැම්බර් 1 වැනි දින උපත ලබන්නේ ස්ට්‍රාස්බර්ග් නම් කුඩා නගරයේ දී යි. ඒ වන විටත් ඇගේ පියා මිය ගොස් සිටි අතර දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ ඇගේ මව කෙටි කලකින් ම ස්විට්සර්ලන්තයේ බර්න් නුවර කරා පැමිණ එහි වාසය කළ ප්‍රාදේශීය වෛද්‍යවරයෙකු වූ ෆිල්ප් කර්ෂස්ගේ නිවසේ සේවිකාවක් ලෙස සේවයට බැඳුණා.

මිනිස් සිරුරේ ව්‍යුහය පෙන්නුම් කරන ඉටි රූ ඇඹීමට රුචියක් දැක් වූ වෛද්‍ය කර්ෂස්ගේ කටයුතු ගැන කුඩා මරියා මහත් උනන්දුවක් දක්වා තිබෙනවා. මේ නිසා ඉටි රූ නිර්මාණය ගැන තමන් දැන උගත් දේ මරියාට කියා දුන් වෛද්‍ය කර්ෂස්, ඔහුගේ නිර්මාණකරණ කටයුතු සඳහා ඇය ව දායක කර ගත්තා. 1767 දී පමණ වෛද්‍යතුමා පැරීසියට සංක්‍රමණය වීම හේතුවෙන් මරියාට සහ ඇගේ මවට යළිත් වරක් තම මව්බිමට පා තැබීමට වාසනාව ලැබුණා. පැරීසියට පැමිණි වෛද්‍ය කර්ෂස් කෙටි කලකින් ම ඉටි රූ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළ අතර ඒවා ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ බව පැවසෙනවා.

මරියාගේ අතින් නිම වූ ඉටි රූ

ප්‍රකට ප්‍රංශ ලේඛක වොල්ටෙයා (© Matthew King)

කුඩා කල සිටි ම ඉටි රූ නිර්මාණයට දස්කම් දැක් වූ මරියාට 1777 වැදගත් වර්ෂයක්. ඒ ප්‍රකට ප්‍රංශ ජාතික ලේඛකයෙකු වන වොල්ටෙයාගේ ඉටි රුවක් නිමැවීම සඳහා ඇයට අවස්ථාවක් ලැබීම හේතුවෙන්. අති දක්ෂ අයුරින් නිම වන ලද එම ඉටි රුව නිසාවෙන් ප්‍රංශ සමාජය තුළ ඇයට ඉමහත් පිළි ගැනීමක් හිමි වන අතර එ් නිසාම මීළඟ වර්ෂ කිහිපය තුළ ජීන් ජැක් රූසෝ සහ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වැනි දාර්ශනිකයන්ගේ ඉටි රූ නිර්මාණයට අැයට අවස්ථාව ලැබෙනවා.

ඉටි රූ කලාව සම්බන්ධයෙන් මරියා ලද ප්‍රසිද්ධිය නිසා ම ප්‍රංශයේ 16 වැනි ලුවී රජුගේ සොයුරියට ඉගැන්වීමට පවා ඇයට ඇරයුම් ලැබෙන අතර ප්‍රංශ විප්ලවය ඇරඹෙන තෙක් ම ඇය වාසය කරන්නේ වර්සායි මන්දිරයේ යි. නමුත් ප්‍රංශ විප්ලවය සමයේ දී විප්ලවවාදීන් ඇය ව සහ ඇගේ මව ව සිර ගත කරනවා. එහෙත් ඔවුන් කෙටි කලකින් ඇයට නිදහස ලබා දෙන්නේ විප්ලවයට සහයෝගය ලබා දෙන බව පෙන්වමින් විප්ලව සමයේ දී ඝාතනය කරන ලද ප්‍රංශ වංශවතුන්ගේ සහ රාජකීය සාමාජිකයන්ගේ මරණීය වෙස් මුහුණු නිර්මාණය කරන ලෙස බල කරමින්.

(© Madame Tussauds)

මේ කාලය තුළ දී ඇයට ඉටි රූ කලාව ඉගැන්වූ වෛද්‍ය කර්ෂස් මිය යන අතර ඔහුගේ ඉටි රූ එකතුව උරුම වන්නේ මරියා ගෘෂොල්ට්ස් යි. ඒ අතරතුර දී ම සිවිල් ඉංජිනේරුවෙකු වන ප්‍රංශුවා ටුසෝඩ් සමග විවාහ වන මරියා, ප්‍රංශ විප්ලවය අවසන් වූ පසු ව ඉටි රූ ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා මහා බ්‍රිතාන්‍යයට පැමිණීමට තීරණය කරනවා.

මහා බ්‍රිතාන්‍යයේ දී ඇරඹූ ඉටි රූ කටු ගේ

ඉටි රූ ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා මහා බ්‍රිතාන්‍යයට පැමිණි මරියා ටුසෝඩ්ට නැපෝලියන් සංග්‍රාමයන් ආරම්භ වීම නිසා යළිත් ප්‍රංශය බලා යාමට නොහැකි වුණා. මේ නිසා ඉටි රූ ප්‍රදර්ශන පවත්වමින් බ්‍රිතාන්‍ය දූපත් හි සංචාරය කළ ඇය 1835 දී ලන්ඩන් නුවරට පැමිණි ඇගේ පුතුන් දෙදෙනා සමග එක් වී ‘ටුසෝඩ් මැතිණිය සහ පුත්‍රයෝ’ යන නමින් බේකර් වීදියේ ඉටි රූ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කරනවා. මෙහි ඇය විසින් නිම වන ලද ඉටි රූ මෙන් ම වෛද්‍ය කර්ෂස්ගේ ඉටි රූප ද ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර, ඇණවුම් කරන්නන්ට ඉටි රූ නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් ද ඇය පවත්වාගෙන ගොස් තිබෙනවා.

(© G. Colle)

මේ ටුසෝඩ් මැතිණියගේ ඉටි රූ කෞතුකාගාරයේ ඇරඹුම යි. මෙහි පැවති සුවිශේෂී ම ප්‍රදර්ශන කාමරය ‘Chamber of Horrors’ ලෙස හඳුන්වන ලද අතර එහි තැන්පත් කර තිබුණේ ප්‍රංශ විප්ලවයේ බිහිසුණු මතක අවදි කරන නෂ්ටාවශේෂ යි.

1850 දී වයස අවුරුදු 89 ක් ව තිබිය දී ටුසෝඩ් මැතිණිය මිය ගිය අතර එයින් පසු ව ඇගේ ව්‍යාපාර කටයුතු ඇගේ පුතුන්ට සහ මුණුපුරන්ට පැවරුණා.

ටුසෝඩ් මැතිණියගේ කෞතුකාගාරය අද

ටුසෝඩ් මැතිණියගේ කෞතුකාගාරයේ ලන්ඩන් ශාඛාව (© Mark Hillary)

අද වන විට ටුසෝඩ් මැතිණියගේ ලන්ඩන් කෞතුකාගාරය ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පමණක් නොව එංගලන්තයේ ඇති ප්‍රකට ඓතිහාසික විචිත්‍රාංගයක් බවට පත් වී හමාර යි. මේ වන විට එහි හිමිකරු ලෙස Merlin Entertainments සමාගම කටයුතු කරනවා.

ලන්ඩන් නුවරින් ඇරඹුණු ටුසෝඩ් මැතිණියගේ කෞතුකාගාරය වර්තමානය වන විට උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව ලෙස මහද්වීප 4 ක් පුරා පැතිරුණු ශාඛා 24 කින් යුතු ජාලයක් බවට පත් වී අවසාන යි. ඒවායේ රාජකීයයන්ගේ පමණක් නොව නළු නිළියන්, ගායකයින්, ක්‍රීඩකයින් සහ ජනප්‍රිය මිනීමරුවන්ගේ ද ඉටි රූ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

නිව්යෝක් ශාඛාවේ තැන්පත් කර ඇති ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් (© Oleg Anisimov)

ලන්ඩන් ශාඛාවේ තැන්පත් කර ඇති බ්‍රිතාන්‍ය රාජකීයයන් (© Joanne Brady)

ලාස් වේගාස් ශාඛාවේ නිරූපිත සඳ මත ගොඩ බැසීම (© Langwidere)

ටුසෝඩ් මැතිණියගේ කෞතුකාගාරය නැරඹීමට යන අයට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් මිල දී ගැනීම සඳහා පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා වැය වන්නේ පවුම් 29 ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 6,000/-) මුදලක් පමණ යි.

කවරයේ පින්තූරය : Picture 9 (© Getty Images)