Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා සැකසෙන අසාමාන්‍ය ආහාර වර්ග – 1 කොටස

ලෝකය පුරා විවිධ ස්ථාන වල ජීවත් වෙන මිනිසුන් ආහාරය හැටියට පාවිච්චි කරන්නේ විවිධ දේවල්. මෙයට හේතුව වෙලා තියෙන්නේ ඒ ඒ පරිසර වල පහසුවෙන් වගා කර ගන්නට හෝ සොයා ගන්නට පුළුවන් දේවල් පදනම්ව ඔවුන්ගේ ආහාර රටා ගොඩනැඟී තිබීමයි. ඝර්ම කළාපීය මෝසම් දේශගුණයක් ඇති ශ්‍රී ලංකාව වැනි රට වල ප්‍රධාන ආහාරය වශයෙන් බත් යොදා ගැනීමත්, ශීතල යුරෝපීය රට වල හොඳින් වැඩෙන තිරිඟු වලින් ඒ රටවල් වල වැසියන් තම ප්‍රධාන ආහාර සකස් කර ගැනීමත් මීට නිදසුන්. මේවා වලට අමතරව විවිධ සංස්කෘතික රාමු තුළ තවත් විශේෂ ආහාර නිපදවෙනවා. සිංහල හින්දු අළුත් අවුරුද්දට සෑදෙන කොණ්ඩ කැවුම්, අතිරස, මුං කැවුම් වැනි දේ යුරෝපියයෙකුට ආගන්තුක දේවල් වෙන්නට පුළුවන්. ඒ කෙසි නමුත් ඉහත සඳහන් ආහාර නිපදවීමට යොදාගන්න අමුද්‍රව්‍ය සාමාන්‍යයෙන් ලෝකයේ ආහාර සඳහා යොදාගන්නා ඒවා නිසා ආහාරයේ ආගන්තුක බව හැරුණු විට පිටරැටියෙකුට ඉන් එහා අසාමාන්‍ය බවක් එහි දැනෙන්නේ නැහැ. ඒත් ලෝකයේ සමහර රටවල සමහර සමහර සමාජ කොට්ඨාසවල සෑදෙන සමහර ආහාර නම් යොදාගන්න අමුද්‍රව්‍ය හා පිළියෙල කරන ක්‍රමවේදයේ සිටම ලොව දර්ශීය මිනිසෙකුගේ නළල රැළි ගන්වන්නට සමත්. මේ එවැනි ආහාර කිහිපයක් ගැන තොරතුරුයි.

බදින ලද මකුළුවන් – කාම්බෝජය

alchetron.com

කාම්බෝජය පුරාවටම මේ ආහාරය යමෙකුට ලබා ගත හැකියි. විශේෂයෙන්ම ස්කුඔන් (Skuon) නම් නගරයේදී සාධාරණ මිලකට මේවා ලබාගන්න පුළුවන්. බදින ලද මකුළුවන් පිළියෙල කරන්නේ සුදුළූණු තෙලේ ගැඹුරු බැදීමක් සිදු කිරීමෙනුයි. නියම පදම පැමිණුනු විට පිටත පෙදෙස කර කර ගා හැපෙන අතර මධ්‍යය මෙලෙක් හා ඇලෙනසුළු ගතියෙන් යුක්තයි. වැඩි වශයෙන් දිවි මකුළුවන් මේ සඳහා යොදාගන්නා අතර මේ ආහාරයේ උපත ඒ තරම් සතුටුදායක එකක්නම් නෙවෙයි.

පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කෙමර් රූජ් පාලනය තිබූ සමයේ ආහාර හිඟය නිසා කාම්බෝජ වැසියන්ට විකල්ප ආහාර ප්‍රභව සොයාගන්නට සිදු වුණා. පසු කලෙක මේ ආහාරය කෙටි ආහාරයක් ලෙස ජනප්‍රිය වූ අතර සංචාරකයින් සඳහා අලෙවියට පිළියෙල කෙරුණා. දිවිමකුළුවන් ආහාරයට ගැනීමෙන් රූප සොබාව වැඩි වන බවටත් කාම්බෝජයේ මතයක් පැතිර පවතිනවා.

කුරුමිණි පිලවු – පේරු

andrewzimmern.com

පේරු රාජ්‍යයේ ඇමසන් වනය අසබඩ ජීවත් වන ජනයා පොල් කුරුමිණි පිලවුන් එක්කාසු කර ඉරටුවක් වැනි යමක අමුණා ගින්දරෙන් පුළුස්සා කෑමට ගන්නවා. මේවා ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර හොදින් පිළිස්සුණු පිළවුන් කුකුළු සමක් මෙන් රසයෙන් යුතු බව පැවසෙනවා. අර්ධ වශයෙන් පිළිස්සුණු පිලවුන් ඇලෙනසුළු ගතියෙන් යුක්තයි.

බලුත් හෙවත් කළල සහිත බිත්තර – පිලිපීනය

change.org

බලුත් (Balut) යනුවෙන් හැඳින්වෙන තාරා බිත්තර පිලිපීනයේ ජනප්‍රිය ආහාරයක්. සාමාන්‍යයෙන් ලොව පුරා මිනිසුන් ආහාරයට ගන්න බිත්තරයකට වඩා මෙහි ඇති වෙනස මේ බිත්තරය තුළ සංසේචිත කළලයක් අන්තර්ගත වීමයි. මේ කළලය හොඳින් වැඩුණු එකක් වන අතර එය පිටින්ම තම්බා පසෙකින් විවෘත කර, ලුණු, මිරිස්, විනාකිරි වැනි දේ යොදා පිටත සිට ඇතුළතට ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. සාමාන්‍යයෙන් මෙය ආහාරයට හන්න විට මුලින්ම දියරමය අන්තර්ගතය පානය කර හැන්දක් වැනි යමකින්  තරමක් වැඩී ඇති පිහාටු, අස්ථි වැනි දේ ද අන්තර්ගත කළලය ආහාරයට ගැනීම සිදු වෙනවා.

ප්‍රෙයරීය ඔයිස්ටර් – කැනඩාව

Robert Sietsema

කැනඩාවේ සැකසෙන මේ ආහාරයට කිසි සේත්ම ඔයිස්ටර් හෙවත් බෙල්ලන් යොදාගන්නේ නැහැ. ප්‍රෙයරී හෝ රොකී කඳු ඔයිස්ටර ලෙස හැඳින්වෙන මේවා සෑදීමට ඒ වෙනුවට ඔවුන් යොදාගන්නේ හරකුන්ගේ අණ්ඩයි. සාමාන්‍යයෙන් ගවමස් ගොවිපල වලින් ඉවත ලන හරකුන්ගේ අණ්ඩකෝෂ පුරවා, බැද හෝ තෙල් දමා මේ ආහාරය සකසා ගන්නවා. කැල්ගරි නුවර බසාඩ්ස් (Buzzards) ආපනශාලාව මේවා සඳහා ප්‍රසිද්ධයි.

හගිස් – ස්කොට්ලන්තය

Foodfolio/The food passionates/Corbis

ස්කොට්ලන්තයේ ජාතික ආහාරය ලෙස සැළකෙන මෙය සකසාගැනීමට බැටළුවන්ගේ හදවත, අක්මාව, හා පෙනහළු යොදාගන්නවා. මේවා කැබලි කොට අඹරා ළූණු, ඕට්ස්, කුළුබඩු වැනිදේ සමඟ මුසුකොට  බැටළුවන්ගේ අන්ත්‍රායකට පිරවීම සිදු කෙරෙනවා. අනතුරුව තම්බාගැනීම සිදු කෙරෙනවා. මේ ආහාරය සඳහා ඉතා දිගු ඉතිහසයක් ඇති අතර සාමාන්‍යයෙන් පොඩි කර්න ලද අල වර්ග සමඟ ආහාරයට ගැනෙනවා. මේ ආහාරය යකඩ හා තන්තු බහුල එකක් වන අතර ස්කොට් ජාතිකයින් මේත් සමඟ අනර්ඝ ස්කොච් විස්කි උගුරක් තොලගෑමටත් අමතක කරන්නේ නැහැ.

කොරල් පණුවන් – සැමොවා

mrlavalava.blogspot.com

ප්‍රාදේශීය ව්‍යවහාරයෙන් ‘පැලොලො’ (Palolo ) යනුවෙන් හැඳින්වෙන පණු වර්ගය ජීවත් වන්නේ සැමොවා දූපත් වලට මදක් ඈතින් පැසිෆික් සාගරයේ පිහිටා ඇති කොරල් පර වලයි. සාමාන්‍යයෙන් දේශගුණික වෙනස් වීම් වලට අනුකූලව වසර කීපයකට වතාවක් මොවුන් කොරල් පර වලින් ඉවතට පැමිණෙනවා. මොවුන් ඉවතට පැමිණෙන කාලය ගැන හොඳින් දන්නා දේශීය ජනයා මොවුන් ඉවතට පැමිණි විට කොරල් මතින් උන් සූරාගෙන අමුවෙන්ම ආහාරයට ගන්නවා. මීට අමතරව තෙල් දමා හෝ පාන් වල තැවරුමක් හැටියටත් යොදා ගන්නවා. මේවා දීප්තිමත් නිල් පැහැයෙන් යුතු අතර මෙහි රසය ‘ලුණු වතුරේ තබන ලද හරක් පීකුදු’ වල රස වැනි යැයි කියැවෙනවා.

පසවන ලද මාළු – කොරියාව

eatinkorea.com

පසවන ලද මාළු කොරියානුවන් ඉතා ප්‍රිය කරන ආහාරයක් වන අතර ‘හොන්ගෙයො’ ලෙස හඳුන්වනු ලබනවා. මේ අහාරය හුරු නැති කෙනෙක්ට එක් වරම මින් දැනෙන්නේ තිනර් මුසු වුණු ආරෝග්‍යශාලා පවිත්‍රකාරකයක දියරයක ගන්ධයක්. සාමාන්‍යයෙන් මේ ආහාරය පිළිගන්වන්නේ කිසිදු පිසීමක් නොකර අමුවෙන්මයි. ගන්ධය පරයමින් මෙහි රසට කොරියානුවන් බොහෝ දෙනා වහ වැටී තිබෙනවා.(2)

පළඟැටියන් -ඊශ්‍රාඇලය

Amir cohen/Reuters

ඊශ්‍රාඇලය මෑතකදී පළඟැටි වසංගතයකටද මුහුණ දුන්නා. සාම්ප්‍රදායනුකූල කොෂෙර් (Kosher) හෙවත් යුදෙව් ආහාර නීතිය ට අනුව ආහාරයට ගත හැකි එකම කෘමියා පළඟැටියා නිසා ඔවුන් වඳ කිරීමට සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග ඊශ්‍රාඇල් ජාතිකයන් ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් උන්ව ආහාරයට ගත්තා. ගැඹුරු තෙලේ බැද චොකලට් තැවරූ පළඟැටියන් අළෙවි වන්නට ගත්තේ උණු කැවුම් මෙන්. ඊශ්‍රාඇලයට අමතරව තවත් රටවල් ගණනාවකම පළඟැටියන් ජනප්‍රිය කෑමක්.

Huitlacoche – මෙක්සිකෝව

CIMMYT/Flickr

ඉරිඟු වගා වලට Ustilago maydis  නම් දිළීරය ආසාදනය වූ විට එහි  ආහාරයට ගන්නා මද කොටස් වල නිල්-කළු පැහති ගැටිති ඇති වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් රට වල මේවා ඉවත් කළත් මෙක්සිකෝවේ නම් සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. මෙක්සිකෝවේ මේවා Huitlacoche  ලෙස හඳුන්වන අතර රසවත් ආහාරයක් වශයෙන් සැළකෙනවා. මේවායේ ඇත්තේ දැව හා, පස් වැනි රසක් බව ආහාරයට ගත් අය පවසනවා.

තවත් මෙවැනිම ‘අමුතුම ආහාර’ කීපයක් ගැන තොරතුරු දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

Cover Image – (independent.co.uk)

Related Articles