එංගලන්තයේ SAS බළකාය අනුව නිර්මාණය වූ පොලිස් විශේෂ කාර්ය බළකාය

“ක්ෂණික ප්‍රහාර එල්ල කරන ලෝකයේ සාර්ථකම විශේෂ බළකා” නමින් ඉදරිපත් කළ පසුගිය ලිපියකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකාය පිළිබඳව හැදින්වීමක් ඔබ වෙත ගෙන ආවා මතක ඇති. එම ලිපිය කියවූ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පොලීසියට අයත් විශේෂ කාර්ය බළකාය පිළිබඳවත් ලිපියක් පල කරන ලෙස අපෙන් ඉල්ලා සිටියා. පාඨකයන්ගේ අදහස් හා යෝජනා ඉහළින් අගය කරන අපි අද ඔබේ ඉල්ලීම ඉටු කරන්නටයි මේ සුදානම් වෙන්නේ.

විශේෂ කාර්ය බළකාය නිර්මාණය වීමට බලපෑ හේතු, නිර්මාණයට මූලික වී කටයුතු කළ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ වගකීම් හා ඔවුන් විසින් සිදු කළ මෙහෙයුම් පිළිබඳවයි මෙහිදී විස්තර වෙන්නේ. ඉතින් කියවලාම බලන්න. දන්නා තවත් දේවල් තියනවානම් ඒ පිළිබඳව comment එකකින් සදහන් කර යන්නත් අවස්ථාව ඔබට තිබෙනවා.

උතුරේ පොලිස්‌ ස්‌ථානවලට එල්ල වන ප්‍රහාර නතර කිරීම සඳහා නිර්මාණය වූ එස්‌. එෆ්. ස්‌කොඩ්

83 කළු ජූලිය – කොළඹ (BBC)

80 දශකය ආරම්භ වීමත් සමඟ උතුරේ අවිගත් කණ්ඩායම් වල නැගිටීමක් දක්නට ලැබෙනවා.. LTTE, ටෙලෝ, ඊරෝස්‌  හා EPRLF වැනි සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් උතුරේ පිහිටි පොලිස් ස්ථාන වලට ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන්නේ මෙම කාලයේදීයි. එම ප්‍රහාර නතර කිරීම සඳහා රජයට දැඩි අවශ්‍යතාවයක් මතු වෙනවා.

ඊට පිළියමක් ලෙස එවකට ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුල් වී එස්‌. එෆ්. ස්‌කොඩ් නමින් පොලිස් නිලධාරීන් 120 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් නිර්මාණය කරනවා. මෙම නව බළකායට පුහුණුව ලබා දෙන්නේ එවකට යුද හමුදාවේ මේජර්වරයකු වූ ආනන්ද වීරසේකරයි. එස්‌. එෆ්. ස්‌කොඩ් බළකායේ මුල්ම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ එවකට පොලිස්‌ අධිකාරිවරයකු වූ බෝධි ලියනගේයි.

මෙම නව ඒකකය උතුරේ පොලිස් ස්ථාන වල අනුයුක්ත කිරීමෙන් අනතුරුව සන්නද්ධ කණ්ඩායම් වල ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වෙන අතර 1980 දශකයේ මුල් කාලයේ ඇති වූ සිංහල – දමිළ ගැටුම් මැඩපැවැත්වීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ මෙම ඒකකයේ නිලධාරීන් ස්ථානගත වෙනවා. එසේම ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වීමේ අවධානමක් තිබූ වෝඩ් පෙදෙසේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව සඳහාත් මෙම භටයන්ව යොදවනු ලබනවා. ජනාධිපති ආරක්‍ෂක අංශයට අමතරව එස්‌. එෆ්. ස්‌කොඩ් භටයන්ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සම්බන්ධ වන්නේ ඒ ආකාරයෙන්.

පොලිස් විශේෂ බළකායක අවශ්‍යතාව

කපිතාන් රවී ජයවර්ධන (www.sundaytimes.lk)

මේ වන විට යුධ, නාවික හා ගුවන් හමුදා වල වෙනම විශේෂ ඒකක පිහිටුවා තිබුණත් පොලිස් දෙපාර්තුමේන්තුව සතුව එවැනි බළකායක් තිබුනේ නෑ. එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය පුහුණු කරවන යුධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් අතර යම් මතභේදත් මේ කාලයේ ඇතිවූ බැවින් පොලීසියට පමණක් වෙන් වූ විශේෂ ඒකකයක අවශ්‍යතාව තදින් දැනෙනවා.

එයට පිළිතුරක් ලෙස ත්‍රස්ත ඉලක්ක බවට පත්වී සිටි ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට, උතුරු නැගෙනහිර ප්‍රදේශ වල මෙන්ම කොළඹ වැනි නාගරික ප්‍රදේශ වලද සාමාන්‍ය ජනතාව අතර සිටිමින් ඒ අතර සැඟවී සිටින ත්‍රස්තයන්ට සාමාන්‍ය ජනතාවට හානියක් නොවන සේ ප්‍රහාර එල්ල කිරීමට, කැරලි මර්ධනයට හා නවීන අවි උපයෝගී කරගනිමින් මෙහෙයුම් සිදු කිරීම සඳහා එස්‌. එෆ්. ස්‌කොඩ් බළකාය වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකායක් ආරම්භ කිරීමට මූලික වන්නේ එවකට ජනාධිපති ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කල රවී ජයවර්ධනයි.

එංගලන්තයේ SAS බළකාය අනුව නිර්මාණය වූ පොලිස් විශේෂ කාර්ය බළකාය

පුහුණුවීම් (Getty Images)

ජයවර්ධන ජනාධිපතිවරයාගේ පුතා වූ කපිතාන් රවී ජයවර්ධන විසින් ඕමාන් පොලිස්පතිවරයා හරහා එංගලන්තයේ SAS (special air service ) බළකායේ පුහුණුව මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරනවා. එම බළකාය ලෝකයේ වැඩිම මෙහෙයුම් ගණනක් සිදු කළ සාර්ථකම විශේෂ බළකායක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධයි.

SAS යුද විශේෂඥයන්ගෙන් පහළොස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර 1984 වර්ෂයේ පෙබරවාරී මාසයේදී පොලිස් දෙපාර්තුමේන්තුවෙන් තෝරා ගත් පළමු කණ්ඩායම ලෙස උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 48 දෙනෙක්‌ සහ පොලිස්‌ සැරයන්වරුන් 12 දෙනෙක්‌ සඳහා කටුකුරුන්ද පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේදී SAS යුධ පුහුණුව ලබා දෙනවා. විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මූලික පුහුණුවීම් මාස 3 හමාරකට සීමාවුවද පසුව ඔවුන් වසරක කාලසීමාවක්‌ යනතුරු විවිධ ආකාරයේ පුහුණුවීම් සඳහා යොදවනු ලැබුවා.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට නවීන ස්‌වයංක්‍රීය ගිනි අවි පරිහරණය පිළිබඳව මනා පුහුණුවක්‌ ලබා දෙන අතර SAR 80, MP5, M16 හා LMG වැනි එවකට ඇමරිකානු පාබල හමුදා විසින් භාවිතා කළ අවි ලංකාවට ගෙන්වනවා. එසේම ජර්මනියේ නිෂ්පාදිත මැෂින් තුවක්‌කු වර්ගයක් විශේෂ කාර්ය බළකාය වෙත ලබා දීමට කටයුතු කරන්නේ සතුරා සමඟ සටන්කර ඔවුනට බරපතළ හානි සිදු කිරීම සදහායි.

දක්ෂ වෙඩික්කරුවන් බිහි කිරීම සඳහා කටුකුරුන්ද කඳවුරේ වෙඩි පිටි 3 ක්‌ ස්‌ථාපිත කරන අතර එක්‌ නිලධාරියෙක්‌ ගිනි අවියකින් උණ්‌ඩ 7000 කට අධික ප්‍රමාණයකින් වෙඩි තබා අවි පරිහරණය පිළිබඳව මනා පුහුණුවක්‌ අවසාන වන විට ලබා ගැනීමට කටයුතු කරනවා. රැක සිට ප්‍රහාර එල්ල කරන ආකාරය, සාමාන්‍ය ජනයා අතර සිටින සතුරන් හඳුනා ගෙන ඔවුන් විනාශ කරන ආකාරය, හෙලිකොප්ටර්වලින් පහළට බැස සතුරාට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු නවීන සටන් ක්‍රම රැසක්‌ පුහුණු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් කටුකුරුන්ද කදවුරේ ඉදිකරනු ලබනවා.

සියළු පුහුණුවීම් කටයුතු ඉතාමත් රහසිගතව සිදු කරන්නට ආරක්ෂක අමාත්‍යංශය විසින් තීරණය කර තිබුනේ මෙරට යුධ තත්වය දෙස ඉන්දියාව අවධානයෙන් සිටීම හේතුවෙන්. SAS පුහුණුකරුවන් පවා තම අනන්‍යතාව සඟවා “කීනි මීනි” යනුවෙන් හැඳින්වූ පෞද්ගලික ආරක්‍ෂක අංශයක නිලධාරීන් පිරිසක්‌ ලෙසයි ලංකාවට පැමිණෙන්නේ.

පළමු කණ්ඩායමේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට ඊශ්‍රායලයේ විශේෂ පුහුණුවකට යාම සිදුවන්නේත් ඉතා රහසිගතවයි. එම කාලයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධතා පැවතීම ඉන්දියාවට හෙළිදරව් වුවහොත් එයට දැඩි විරෝධය පළ කරන හේතුවෙන්.

පුහුණුවීම් (Getty Images)

මේ ආකාරයෙන් ගොඩනැගුනු විශේෂ කාර්ය බළකාය  හතරවන ඊළාම් යුද්ධයේදී නැගෙනහිර මුදා ගැනීමේ සටනේදී මාවිල්ආරු, සාම්පුර්, වාකරේ, තොප්පිගල හා මඩකලපුව උතුරු ප්‍රදේශ මුදවාගැනීමේ මෙහෙයුම හා උතුර මුදා ගැනීමේ අවසන් සටනේදී ඕමන්ත සිට කනගරායන්කුලම් දක්වා වූ A – 9  මාර්ගයේ ආරක‍්ෂක රාජකාරී භාර ගනිමින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

2008 වසරේ බිජිං ඔලිම්පික් උළෙලේ ආරක්ෂක කටයුතු සඳහා මෙම බළකායේ සහාය ලබා ගැනීම හේතුවෙන්, ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකාය ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනා සිටි ආරක්ෂක ඒකකයක් බව ඉතා හොදින් තහවුරු වෙනවා.

කවරයේ ජායාරූපය – STF භටයන් පිරිසක් (Getty Images)

Related Articles