මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

මේ දිනවල අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් නිසා “තානාපති විනිර්මුක්තිය” පිළිබඳ ලිපියක් ඔබ වෙත ගෙන ඒමෙන්, එම සිදුවීම් සම්බන්ධව ඔබට වඩා අවබෝධයක් ලැබෙනු ඇතැ යි අපි තීරණය කළෙමු. සැබැවින්ම තානාපති විනිර්මුක්තිය යනු කුමක් ද? තානාපතිවරයෙකුට රටක නීති අදාල නොවේ ද? මේ ඒ පිළිබඳව සොයා බැලීමකි.

සාමාන්‍යයෙන් විනිර්මුක්තිය ප්‍රධාන කොටස් 2කි. ඒ,

  • රාජ්‍ය විනිර්මුක්තිය
  • තානාපති විනිර්මුක්තිය ලෙස ය.

මෙහිදී අපගේ අවධානය යොමු කෙරෙන්නේ “තානාපති විනිර්මුක්තිය” වෙතට යි.

තානාපති විනිර්මුක්තියේ අතීතය

තානාපති විනිර්මුක්තිය දුරාතීතයේ සිටම පැවත එන සංකල්පයකි. චීනය, ඉන්දියාව, හා බටහිර රටවල් අතර ක්‍රිස්තු පූර්ව 200 පමණ සිටම තානාපති සබඳතා පැවති බවට සාධක හා සාක්ෂ්‍ය හමුවී ඇත. ලංකාවේ තානාපති පිරිසක් රෝමයට ගොස් තිබූ බවට ද සඳහන් වේ. කෙසේ වෙතත් විධිමත් හා ක්‍රමානුකූල ලෙස තානාපති සේවය ආරම්භ වන්නේ මධ්‍යතන යුගයේ දී ය. ස්ථිර තානාපති සේවයක් පළමු වරට ආරම්භ කරන්නේ ප්‍රංශයේ 14 වැනි ලුවී රජතුමා යි. තානාපතිවරුන්ගේ අයිතීන් හා වරප්‍රසාදයන් පිළිබඳ නීතියක් ප්‍රකාශයට පත් වන්නේ 1961 දී ය. ඒ තානාපති සබඳතා පිළිබඳ වූ වියානා සම්මුතියෙනි (VCDR).  

තානාපති සබඳතා

සාමාන්‍යයෙන් තානාපති සබඳතාවයක් ලෙස හඳුන්වන්නේ, “තමන්ගේ අධිකාරිය ලත් නියෝජිතයින් මාර්ගයෙන් රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යනු ලබන ඕනෑම මූලයකි”. වියානා සම්මුතියේ (VCDR) දෙවන වගන්තියට අනුව දෙරටක් අතර තානාපති සබඳතා ඇතිකර ගැනීමට නම් දෙපාර්ශවයේම කැමැත්ත සහ උවමනාව තිබිය යුතු ය. නමුත් එම සබඳතාව අවසන් කිරීමට එක් රාජ්‍යයක ක්‍රියාකලාපය වුව ද හේතු වේ.

වරප්‍රසාද

මුල්කාලීනව තානාපතිවරයෙකුට, අදාළ රාජ්‍යයේ පාලකයාට සමාන වරප්‍රසාද හිමිවිය යුතුයැ යි පිළිගැනුණි. තානාපතිවරයකුට හිරිහැර කිරීම අදාල රටේ පාලකයාට එරෙහිවීමක් ලෙස සැලකුණි. නමුත් වර්තමානය වන විට එම පිළිගැනීම වෙනස් වී ඇත. වර්තමානයේ තානාපතිවරුන්ට විනිර්මුක්තිය ලබා දෙන්නේ තම රාජකාරිය ඵලදායි ලෙස ඉටු කිරීමටත්, දේශීය වශයෙන් එල්ල විය හැකි තර්ජන හා බාධාවන්ගෙන් නිදහස්ව කටයුතු කිරීමත් යන අරමුණුවලින් යුක්තව ය.

විනිර්මුක්තිය හිමි වන පුද්ගලයින්

සාමාන්‍ය පිළිගැනීමට අනුව යම් පුද්ගලයකුට තානාපති විනිර්මුක්තිය හිමිවීමට නම් අදාළ පුද්ගලයා,

  • අදාළ රාජ්‍යයේ නොවන අන්‍ය රාජ්‍යයක පුරවැසියෙකු විය යුතු ය.
  • තානාපති මෙහෙවර ඉටු කිරීමේ නියෝජිතයෙකු විය යුතු ය.
  • රාජකාරියේ ක්‍රියාකාරී දායකත්වයක් දක්වන්නෙකු විය යුතු ය.

රාජකාරි

VCDR හි 3 වැනි වගන්තිය අනුව අදාල දූත පිරිසට හිමිවන රාජකාරි නම්,

  • යවන රාජ්‍ය (sending state) ලබන රාජ්‍යය (receiving state) තුළ නියෝජනය කිරීම.
  • යවන රාජ්‍යයේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා කිරීම.
  • යවන රාජ්‍යය සමග සබඳතා හා ගනුදෙනු පවත්වා ගැනීම.
  • යවන රාජ්‍යයට අවශ්‍ය වාර්තා සැපයීම.
  • දෙරට අතර (යවන රාජ්‍ය හා ලබන රාජ්‍ය) මිත්‍රත්වය, සංස්කෘතිය, හා ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම.

සේවක මණ්ඩලය

VCDR හි 1 වැනි වගන්තියට අනුව තානාපති දූත මෙහෙවරට අදාළ සේවක මණ්ඩලය වන්නේ,

  • තානාපති කාර්යයමණ්ඩලය
  • තානාපතිවරයා, සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්
  • උප තානාපතිවරයා, සහ කොන්සල්වරු
  • පරිපාලන හා කාර්මික සේවයේ නිරතවන්නන්
  • ගෘහස්ථ සේවක මණ්ඩලය

පීඩා කළ නොහැකි බව 

තානාපති භූමිය සහ ගොඩනැගිල්ල

වියනා සම්මුතියේ 25 වන වගන්තිය යටතේ, ලබන රාජ්‍යය විසින් අදාළ දූත පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු ය. 21 වැනි වගන්තිය යටතේ තානාපති පිරිසට වාසයට අවශ්‍ය ස්ථානයන් සොයා දීමට සහාය විය යුතු ය. එම ස්ථානයන්ට ද පූර්ණ විනිර්මුක්තිය හිමිවේ. ඒ අනුව අධිකරණ නියෝග, තහනම් නියෝග මඟින් එම ස්ථානයන් පරික්ෂා කළ නොහැකි ය. පොලීසියට තානාපතිවරයාගේ අවසරයකින් තොරව අදාළ ස්ථානයන්ට ඇතුල්විය නොහැකියි. අපරාධකරුවකු (ලබන රාජ්‍යයේ පුරවැසියෙකු වන, තානාපති වරප්‍රසාද භුක්ති නොවිඳින) එම භූමියේ සිටී නම්, ඔවුන් පොලිසියට භාරදීමට තානාපති පිරිසට සදාචාරාත්මක යුතුකමක් ඇත.

22 වගන්තිය අනුව තානාපතිවරයා වාසය කරන ගොඩනැගිලිවලට ද පූර්ණ විනිර්මුක්තිය හිමි වේ. ඒවායේ ඇති බඩු බාහිරාදිය, දේපල සෝදිසි කිරීමට ද පොලිසියට අවසරයක් නොමැති ය.

උදාහරණයක් ලෙස ටෙහෙරාන් නඩුව ගනිමු.

1979 දී ඉරානයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් ඇමෙරිකානු තානාපති කාර්යයාලයට බලහත්කාරයෙන් ඇතුළු වී, එහි කාර්යයමණ්ඩලයේ පනස් දෙදෙනෙකු පූර්ණ ප්‍රාණ ඇපයට ගත්තෝ ය. මෙම ක්‍රියාවට ඉරාන පොලිසිය එරෙහි වූයේ ද නොවේ. මේ සම්බන්ධව පැවති නඩු විභාගයක් මඟින් තහවුරු වූයේ මේ හරහා වියානා සම්මුතියේ 22, 24, 25, 29, 27, 28, සහ 29 යන වගන්ති කඩකර ඇති බව යි. මෙම සිදුවීමෙන් පසු සුළු කාලයකින් ඇරඹුණු ඉරාන-ඉරාක යුද්ධයේ දී ඉරානයට ජාත්‍යන්තර සහයෝගය නොලැබීමට ද මෙම සිදුවීම හේතු විය.

ප්‍රාණ ඇපකරුවෙකු සමග සිටින කැරලිකරුවන්/ Britannica

තානාපති රැකවරණය

තානාපති රැකවරණය පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති ය. නමුත් 41 වැනි වගන්තියේ දක්වා ඇත්තේ විශේෂ එකඟතාවයන් තුළ තානාපතිවරයෙකුට කිසියම් තැනැත්තෙකුට රැකවරණය ලබාදිය හැකි බව යි. කෙසේ නමුත් ප්‍රධාන සම්ප්‍රදායට අනුව අපරාධකරුවෙකුට තානාපති රැකවරණය ලබාදීම තානාපතිවරයාගේ යුතුකමක් නොවන බවට විශ්වාස කරයි.

තානාපති බෑගය සහ ලියකියවිලි

27 (2) වගන්තිය යටතේ කිසිවෙකුටත් තානාපතිවරුන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කළ නොහැකි ය. එම සම්මුතියේම 27 (3) වගන්තිය යටතේ තානාපතිවරුන්ගේ බෑගය පරික්ෂා කළ නොහැකි බව සඳහන් වේ. එහි Diplomatic Bag ලෙස සඳහන් කර තිබිය යුතු ය.

1964 රෝම ගුවන් තොටුපලේ දී “තානාපති බෑගය” ලෙස සඳහන්ව තිබුණු, ඊජිප්තු තානාපති කාර්යයාලයට අයත් තැපැල් මල්ලක් තුළ බැඳ දමා සිටි ඊශ්‍රායල ජාතිකයකු සොයාගන්නා ලදී. ඔහු ඊජිප්තු ජාතික ඔත්තුකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, තානාපති කාර්යයාලයේ දී මත්කර මල්ලට දමා, රටින් පිට කිරීමට තානාපති විනිර්මුක්තිය භාවිතා කිරීමට උත්සාහ දරා තිබේ. එම මල්ල මිට පෙරත් මිනිසුන් රටින් පිට කිරීමට භාවිතා කර ඇතැ යි සොයාගැනීමත් සමග, ඉතාලිය විසින් ඊජිප්තු තානාපතිවරයා ආපසු සිය මව් රාජ්‍යයට පිටත් කර යවා ඇත.

තානාපති බෑගයක්/ Amazon

තානාපති විනිර්මුක්තිය

වියානා සම්මුතියේ 29 වගන්තිය යටතේ තානාපතිවරුන් පරීක්ෂා කිරීම, සහ අපරාධ හෝ සිවිල් චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැකි ය. යම් හෙයකින් එම තානාපතිවරයා අදාළ රටේ නීති කඩ කර ඇත්නම්, ලබන රාජ්‍යයට ගතහැකි පියවර වන්නේ, එක්කෝ ඔහුව තම රාජ්‍යයෙන් පිටත් කර යැවීම හෝ තානාපතිවරයාගේ මව්රටට තානාපති පැමිණිල්ලක් සිදු කිරීම යි.

තානාපතිවරයාට සමාන වරප්‍රසාද තානාපති කාර්යයමණ්ඩලයට හිමි නොවේ. ඔවුනට හිමි වන්නේ පරිපාලන කටයුතුවල දී විනිර්මුක්තිය පමණි. නමුත් තානාපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ට පූර්ණ විනිර්මුක්තිය හිමිවේ.

37 (2) වගන්තිය යටතේ තානාපතිවරුන් දේශීය බදුවලින් නිදහස් බව ද දක්වා ඇත. නමුත් මෙම බදු කාණ්ඩයට අයත් නොවන බදු වර්ග කිහිපයක් ඇත. ඒ අනුව වක්‍ර බදු, සහ ගැනුම් බදුවලින් ඔවුන් නිදහස් නොවේ. පෞද්ගලික නිශ්චල දේපළ සඳහා වන බදු, සහ පෞද්ගලික ආදායම් බදුවලින් ද තානාපතිවරුන් නිදහස් නොවේ. කෙසේ වුවත් තානාපතිවරුන් තම මව් රාජ්‍යයෙන් ගෙන්වාගනු ලබන බඩුබාහිරාදියට බදු අය නොකරයි.

කොන්සල්වරුන්ගේ මුක්තිය

මොවුන් තානාපතිවරුන්ගෙන් වෙනස් වේ. මොවුන්ව පත් කරන්නේ රටේ නාවික හා වාණිජ්‍ය කටයුතු සම්බන්ධයෙනි. එසේම වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යයන් ද මොවුන් වෙත පැවරේ. මුල්කාලීනව මොවුන්ට වරප්‍රසාද හිමි නොවුණි. නමුත් 1975 සිට සීමිත වරප්‍රසාද කිහිපයක් වර්තමානය වනවිට හිමි වී ඇත. ඒ අනුව මොවුන්ගේ නිල කටයුතු දේශීය අධිකරණ බලයෙන් විනිර්මුක්තිය ලබන නමුත්, ඔවුන් තානාපතිවරුන් මෙන් පුද්ගලික ක්‍රියාවන්හි නිර්මුක්තිය නොලබයි.

කොන්සල්වරයා අදාල රාජ්‍යයේම පුරවැසියෙකු නම් ඔහුට එම රාජ්‍යයේ නීතිය බල පැවැත්වේ.

විනිර්මුක්තිය හිමි වන කාල පරාසය

යවන රාජ්‍යය විසින් දූත පිරිසට නැවත පැමිණෙන ලෙස නියෝග කළ විට හෝ, අදාළ රාජ්‍යයන් දෙක අතර යුද්ධයක් පවතී නම් හෝ දූත මෙහෙවර නිමා වූවායැ යි සලකයි. දූත පිරිස ලබන රාජ්‍යයට ගොස් තමා අක්ත්‍රපත්‍ර භාර දුන් මොහොතේ සිට ඔවුනට තානාපති විනිර්මුක්තිය හිමිවේ. දූත පිරිසේ දූත මෙහෙවර අවසන් වී සාධාරණ කාලපරාසයක් ඉකුත් වී ඇත්නම් හෝ ඔවුන් රටින් පිට වී ඇත්නම් තවදුරටත් විනිර්මුක්තිය අදාළ නොවේ.

සේවය අවසන් කිරීම

9 වැනි වගන්තිය යටතේ ලබන රාජ්‍යයට, පැමිණෙන තානාපති දූත පිරිස තම රාජ්‍යයට වද්දගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය. එය persona non grata ලෙස හඳුන්වයි. එවිට එම රාජ්‍යයට ඔවුන් පැමිණි පසු ඔවුන්ව නැවත ආපසු හරවා යැවිය හැකිය. ඒ වෙනුවෙන් කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් කළ යුතු නැත.

මේ සියල්ලෙන්ම අප අවබෝධ කර ගත යුතු මූලිකම දෙය වන්නේ තානාපති විනිර්මුක්තිය වරප්‍රසාදයක් මිස, පරම උත්තරිතර බලයක් නොවන බව යි. මෙය දෙරටේම අවබෝධය හා විශ්වාසය මත රඳා පවතී.

මූලාශ්‍රයය:

ජාත්‍යන්තර හා තුලනාත්මක නිතිය, නොයෙල් ඩයස් පියතුමා
කුයින්ටින් ඩයස් ප්‍රකාශන (page 193-211)