Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ත්‍රිවාදය; පිතෘමූලික සමාජයක අසාධාරණයට ලක්වූ කාන්තවන්ගේ සටන

අප තවමත් ජීවත්වන්නේ පීතෘ මූලික සමාජයක බව කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පිළිගත යුතු කරුණකි. එය එසේ නොවේයැයි කරන තර්කයකට එරෙහිව සාක්ෂි රැසක් ඇහැ කණ ඇර අවට බැලුවහොත් සොයාගත හැක. ගැහැණියක් වීම නිසාම ගැහැණිය අසාධාරණයට ලක් වුණු අවස්ථා බොහෝමයකට ඉතිහාසයද සාක්ෂී දරාවි.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහිවූ ලංකාවෙම කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමේදී දෙවරක් සිතූ බව අපි දනිමු. අදටත් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද බොහෝ අණ පනත් වලද නීතිය ලියා ඇත්තේ ‘ඔහු’ යන්න යොදා ගනිමිනි. ‘ඇය’ යන්න සඳහන් කර නැති හේතුව ‘ඔහු’ තුළ ඇයද ඇතුළත් නිසාලු. ‘ඇය’ගේ පැවැත්ම ‘ඔහු’ තුළද? නීති භාෂාවේ ‘ඇය’ සොයාගත නොහැකි සේ නීතියෙන්ද ඇය කෙරෙහි ලබා දෙන අවධානය ඉතා අඩුය. මුළු ලෝකයේම ‘ඇය’ කෙරෙහි අවධානය අඩුව ඇය අසාධාරණයට ලක් වූ මොහොතක ඇරඹි ව්‍යාපාරය ෆෙමිනිසම් නොහොත් ස්ත්‍රීවාදයයි.

පිතෘමූලික සමාජයක ජීවත් වන නිසාම ‘ස්ත්‍රීවාදය’ට එතරම් හොඳ පිළිගැනීමක් ලෝකයේ බොහෝ රටවලින් හිමිවූයේ නැත. ලංකාවේද තත්වය මෙසේමය. අවාසනාව නම් ‘ස්ත්‍රී’ යන්න ගෑවී ඇති නිසා ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ කියු පිරිමි ස්ත්‍රීවාදය යනු ඇත්තෙන්ම කුමක්ද යන්න පවා නොදැන එය ප්‍රතික්ෂේප කිරීමයි. ඇතැම් කාන්තාවන් තමන් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනමුත් ස්ත්‍රිවාදිනියක නොවේයැයි කියනු අසන්නට ලැබේ.

‘ස්ත්‍රිවාදය’ යනු කුමක්ද?

තම අයිතිවාසිකම් උදෙසා සටනේ. AFP PHOTO / OZAN KOSE

තම අයිතිවාසිකම් උදෙසා සටනේ. AFP PHOTO / OZAN KOSE

ෆෙමිනිසම් නැත්නම් ස්ත්‍රීවාදය යනු දේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය වශයෙන් විග්‍රහ කළ හැකි මතවාද රැසක එකතුවකි. ස්ත්‍රීවාදය කෙරෙහි එල්ල වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ස්ත්‍රීවාදිහූ සියළු දෙනාටම එකඟ විය හැකි එක් ප්‍රධාන මතවාදයක් නැති අතර ඔවුන් එකිනෙකට විරුද්ධ මත ඉදිරිපත් කරන බවයි.

නමුත් මෙම මතවාද සියල්ලෙහි එක් පොදු ලක්ෂණයක් හඳුනාගත හැකිය. ඒ, සියළු මතවාද බිහිව ඇත්තේ පිතෘමූලික සමාජයක් තුළ කාන්තාවන් මුහුණ දුන් අභියෝග හමුවේ වීම සහ සියළුම මතවාද කාන්තාවන්ගේ සමාජයීය, ආර්ථිකමය, පෞද්ගලික, සහ දේශපාලනමය අයිතිවාසිකම් අර්ථකථනය කරමින්, ඒවා සමාජයේ ස්ථාපනය කල යුතුය යන පොදු අරමුණ පෙරදැරි කරගෙන ගොඩ නැඟී ඇති ඒවා වීමයි.

ලොව පුරා ස්ත්‍රීවාදිහූ ඡන්දය බල අයිතිය, දේපල හිමිකර ගැනීම සහ කළමනාකරණය කිරීම, පිරිමින් හා සමානව වැඩ කිරීම සහ ඔවුන්ට සමානව වැටුප් ලබා ගැනීම, අධ්‍යාපනය ලබා ගැනීම, ගිවිසුම් වලට එළැඹීම, විවාහ ජීවිතය තුල සම අයිතිවාසිකම් ලබා ගැනීම ආදී වූ කාන්තාවන්ට අහිමිව තිබූ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළෝය. දැනටත් සටන් කරමින් සිටිති.

එපමණක් නොවේ. කාන්තාවන්ට අවාසිදායකව ගොඩ නැඟී තිබු සමාජ ක්‍රමය තුළ ස්ත්‍රී දූෂණය, ගෘහස්ථ හිංසනය ආදී වූ විවිධ කාන්තා හිංසනයන්ට එරෙහිව නීතිය දැඩි කිරීම, නිසි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සටන් කලේ ස්ත්‍රීවාදිහුය.

ඉතිහාසය

පිතෘමූලික සමාජය තුළ ගොඩනැඟී තිබු ඒකාකෘතීන්ට විරුද්ධව හඬ නැඟීමට එකතු වූ කාන්තාවෝ

පිතෘමූලික සමාජය තුළ ගොඩනැඟී තිබු ඒකාකෘතීන්ට විරුද්ධව හඬ නැඟීමට එකතු වූ කාන්තාවෝ

ෆෙමිනිසම් යන වචනය ප්‍රථමයෙන් භාවිතා කරන ලද්දේ චාල්ස් ෆෝරියර් නම් ප්‍රංශ ජාතික දාර්ශනිකයා විසින් 1837 වර්ෂයේදීය. ලොව පුරා ස්ත්‍රීවාදය ඇති වීමට මූලික වූවා යැයි සැලකිය හැකි එක් ප්‍රධාන සංසිද්ධියක් නැත. ස්ත්‍රීවාදය ඇතිවීමට එක් එක් රටවලට එක් එක් හේතු තිබිණි. නමුත් ඒ සියළු හේතුවලට මුල් වූයේ පිතෘමූලික සමාජය විසින් ස්ත්‍රීන් අරඹයා ගොඩ නඟා තිබු ඒකාකෘතික (Stereo types) ලක්ෂණයැයි කිව හැකිය.

ස්ත්‍රීවාදයේ බිහිවීම සහ ව්‍යාප්තිය ඉතිහාසඥයින් විසින් අවධි තුනකට බෙදා දක්වා ඇත.

ඒ අනූව ස්ත්‍රීවාදයේ පලමු රැල්ල ඇතිවන්නේ 19වන සියවසේ සහ 20 වන සියවසේ මුල් අවදියේදීය. මෙහිදී කාන්තාවන්ගේ වෛවාහක අයිතිවාසිකම්, ගිවිසුම් වලට එළැඹීමේ අයිතිය, දරුවන් සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය, දේපල වලට ඇති අයිතිය ආදි දේ පිළිබඳ අවධානය යොමු කරන ලදි. 19වන ශතවර්ෂයේ අග වන විට ස්ත්‍රීවාදය තනිකරම දේශපාලන ව්‍යාපරයක් බවට වර්ධනය වී තිබිණි.

ස්ත්‍රීවාදයේ දෙවන රැල්ල ලෙස සැලකෙන 20වන සියවසේ මැදභාගයේදීද කාන්තාවන්ට ඉතා වැදගත් බොහෝ අයිතීන් ලැබී තිබුණේ නැත. එයින් ප්‍රධාන අවධානය යොමුව තිබුණේ ඡන්දබල අයිතිය කෙරෙහිය.

20 වන සියවසේ පසුභාගය සහ 21 වන සියවසේ වර්තමානය දක්වා වන ස්ත්‍රීවාදයේ තුන් වන රැල්ල ආරම්භ වුයේ දෙවන රැල්ලේ සිදු වූ බිඳවැටීම් පරාජය කොට නැඟිසිටීම උදෙසාය. කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට පටන්ගත්තේ මේ අවධියේදීය.

ස්ත්‍රීවාදයේ වර්තමානය සහ අනාගතය

කුමන අරමුණු පෙරදැරි කරගෙන කුමන තත්වයන් යටතේ ආරම්භ වුවද ස්ත්‍රීවාදය අද වන විට අසාධාරණයට ලක්ව ඇති ස්ත්‍රී හෝ පුරුෂ හෝ තෙවන ලිංගික පාර්ශවයකට අයත් වන කෙනෙකුගේ හෝ කුමන ආගමකට, ජන්මයකට, කුලයකට අයත් කෙනෙකුගේ හෝ විශේෂයෙන්ම ළමයින්ගේ හෝ කොටින්ම කිවතොත් අසාධාරණය ලක් වූ ඕනෑම අයෙකුගේ (සතුන්ගේ පවා) අයිතීන් වෙනුවෙන් හඬ නඟන, සටන් කරන දේශපාලනික සමාජීය ව්‍යාපාරයක් බවට පත් වී හමාරය.

A woman listens to a rally with her mouth taped shut during the

A woman listens to a rally with her mouth taped shut during the “Justice For All” march December 13, 2014 in Washington, DC. Thousands of people descended on Washington to demand justice සියළු දෙනාගේ අයිතීන් වෙනුවෙන් ස්ත්‍රීවාදය. AFP PHOTO/BRENDAN SMIALOWSKI

ස්ත්‍රීන් මුහුණ දුන් සමාජීය අත්දැකීම් වලින් අසාධාරණයන්ගෙන් පන්නරය ලැබූ ස්ත්‍රීවාදිහු ඕනෑම අයෙකුගේ අසාධාරණය වෙනුවෙන් නැඟී සිටීමට තීරණය කර ඇත්තේ ඔවුන් මුහුණ දුන් කටුක අත්දැකීම් වලට තවත් අයෙකු මුහුණ දිය යුතු නැත යන උදාරතර අපේක්ෂාව පෙරදැරි කරගෙන විය යුතුය.

ඔබත් ස්ත්‍රීවාදියෙක්ද?

ස්ත්‍රීවාදය යනු කුමක්දැයි වටහා ගැනීමට පෙර ඔබ ස්ත්‍රීවාදියෙක්ද?

ස්ත්‍රීවාදය කුමක්දැයි හඳුනාගත් පසු ඔබ ස්ත්‍රීවාදියෙක්ද?

ස්ත්‍රීවාදියෙකු වීමට ස්ත්‍රීයක් විය යුතු නැත. තිබිය යුත්තේ අනෙකාගේ දුක වෙනුවෙන් සංවේදනයයි.

 

Related Articles