ළමුන්ට වැළඳෙන “කවසාකි” රෝගය

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව හිස ඔසවන තවත් රෝගී තත්ත්වයක් ලෙස කවසාකි රෝගී තත්ත්වය මේ වන විට රටවල් කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග කුඩා දරුවන් අතර (විශේෂයෙන් අවුරුදු පහට අඩු දරුවන් අතර) පැතිරිය හැකි රෝගී තත්ත්වයක් ලෙස යි මෙය සැලකෙන්නේ. කවසාකි රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ලංකාව තුළ වාර්තා වෙන නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග එය මඳක් ඉහළ යා හැකි බවත්, මේ වන තුරු එම රෝගයේ දැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකය සඳහන් කරනවා. 

මෙය රුධිර නාලවල ප්‍රදාහ තත්ත්වයන් ඇති කරන බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බව ද, ඒ නිසා දරුවා පිළිබඳ වඩාත් වැඩි අවධානයක් යොමුකර, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන ලෙසත් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කවසාකි ඉතිහාසය 

තොමිසකු කවසාකි (huffingtonpost)

ස්වයංනාශක ප්‍රතිශක්ති රෝරෝගයක් ලෙස හැඳින්වෙන කවසාකි රෝගය මුලින්ම වාර්තා වන්නේ 1961 වසරේ ජපානයේ ටෝකියෝහි රෝහලකින්. තොමිසකු කවසාකි නම් වෛද්‍යවරයා ඇග පුරාම රතු දද හා උණ රෝගයෙන් පෙළුණු දරුවෙකුට වැළඳී ඇති රෝගය නව තත්ත්වයක් ලෙස වාර්තා කරනවා. ඉන් පසුව තවත් එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් 50 දෙනෙකු වාර්තා වෙනවා. රෝගය පිළිබඳව ලොවට හෙළි වන්නේ 1960 – 1970 කාල වකවානුව තුළ වුවත් ඊට පෙර ද මෙම රෝග තත්ත්වයට සමාන ලක්ෂණ සහිත ළමා රෝගීන් වාර්තා වී ඇති බව පසුව සොයාගනු ලබනවා.

රෝග ලක්ෂණ  හා ප්‍රතිකාර 

රෝග ලක්ෂණ (kawasakikidsfoundation)

අවුරුදු පහට වඩා අඩු දරුවන්ට සාමාන්‍යයෙන් මෙම රෝගය වැළඳෙන අතර දින පහකට වැඩි කාලයක් පවතින අඩු නොවන තද උණ ගතිය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය යි. පැරසිටමොල් ලබා දීමෙන් මෙම උණ තත්ත්වය අඩු වන්නේ නෑ. ඇග පුරාම රතු පැහැති පලු මතු වීම, දිව, ඇස්, හා තොල් රතු වීම (විශේෂයෙන් මෙහිදී දිව ඉතා රතු පාට වීමක් සිදුවෙනවා. එය ස්ට්‍රෝබෙරි පැහැති දිවක් (strawberry tongue) ලෙස හඳුන්වනු ලබනවා) . ඊට අමතරව බෙල්ලේ වසා ගැටිති විශාල ඉදිමීම හා දම්පැහැයෙන් යුතුව පතුල් හා අත්ල ඉදිමීම ද මෙහිදී දැකිය හැකි යි. එම රෝග ලක්ෂණ සමග පාචනය, වමනය මෙන්ම සන්ධි වේදනාව ද ඇතිවිය හැකි යි. 

අවුරුදු පහට අඩු දරුවන්ට මෙන්ම ඊට වඩා වයස වැඩි අවුරුදු 10 හා 15 වයස් මට්ටමේ සිටින දරුවන්ට ද ඉතා කලාතුරකින් මෙය වැළඳිය හැකි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ.

මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙක්ව නියමිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවීමෙන් සම්පූර්ණයෙන් සුව කළ හැකි නමුත්, රෝග ලක්ෂණය පෙන්වීමෙන් දින 10ක් පමණ ඇතුළත ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ හෘදයට බරපතල හානි ගෙන ඒමේ හැකියාව පවතිනවා. රුධිරවාහිනී ඉදිමීමේ සංකූලතාවය හේතුවෙන් හෘද කපාටවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමෙන් රෝගය මාරාන්තික තත්ත්වයට පත්විය හැකි යි. 

රෝග ලක්ෂණ පෙන්වීමේ දී ඉතා යුහුසුළුව ළමා රෝග විශේෂඥයෙකු වෙත දරුවා පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුවකර ගත හැකි අතර අනතුරුව රෝගයෙන් හෘදයට ඇති වී තිබෙන හානිය පිළිබඳව ද හෘද රෝග විශේෂඥයකුගේ නියමිත පරික්ෂාවට ලක් විය යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ තත්ත්වය 

ස්ට්‍රෝබෙරි පැහැති දිවක් (medicalbag)

මෙම රෝගී තත්ත්වය ලංකාවට නව රෝගයක් නොවන බවත්, ඉකුත් වසර 20 තුළ කවසාකි රෝගයට ගොදුරු වූ දරුවන් වරින් වර වාර්තා වී ඇති බවත් මෙරට සෞඛ්‍ය අංශ විසින් සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව 50 – 60ත් අතර කවසාකි රෝගී දරුවන් ප්‍රමාණයක්  වාර්තා වන වෙනවා. මේ වන විට ද කවසාකි රෝගයට ගොදුරු වූ මෙරට දරුවන් කිහිපදෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නවා. ඔවුන් සියලු දෙනාම කොරෝනාවෛරසය සඳහා වන PCR පරීක්ෂණයට බදුන් කර ඇති බවත්, ඉන් කිසිම දරුවෙකුට එම වෛරසය වැළඳී නොමැති බවත් තහවුරු වී තිබෙනවා. 

කුඩා දරුවන් සිටින දෙමාපියන් මේ සම්බන්ධයෙන් බිය විය යුතු ද?

කවසාකි වැළඳුනු දරුවෙක් (kpbs)

ඉතාම දුර්ලභ රෝගයක් ලෙස සැලකෙන මෙය තම දරුවාට වැළදීමේ සම්භාවිතාවක් ඇත්තේම නොමැති බව නොසිතා කටයුතු කළ යුතු බවත්, ඉහත රෝග ලක්ෂණ සියල්ල හෝ කිහිපයක් තම දරුවාගෙන් පෙන්නුම් කෙරේ නම් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ නිර්දේශය වනවා. ඒ සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වඩා සුදුසු වෙනවා. රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීම අවශ්‍ය නොවන අතර නියමිත ප්‍රතිකාර සිදු කිරීමෙන් එය සම්පූර්ණයෙන් සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

Related Articles