අතීතයේ ඉඳලම කලාව සහ දේශපාලනය අතරෙ තිබුණෙ සෑහෙන්න ළඟ සම්බන්ධයක්. රට, සංස්කෘතිය මොකක් වුණත් ලෝකයේ එදා මෙදාතුර බිහිවුණු පාලකයො හැමෝම වගේ තමන්ගෙ මතවාදය ජනතාව අතරට අරගෙන යන්න කලාව පාවිච්චි කළා.

මේ කාරණය ගැන කතා කරද්දි ජර්මානු ආඥාදායක හිට්ලර්ට හිමි වෙන්නෙ සුවිශේෂී තැනක්. තමන්ගෙ අධිපති දෘෂ්ටිවාදය ජර්මන් ජනතාව අතරට ගෙනියන්න සිනමාව, සංගීතය වගේ සම්භාව්‍ය කලාවන් ඉතාම සාර්ථකව පාවිච්චි කරපු පාලකයෙක් විදියටයි එයාව හඳුන්වන්න වෙන්නෙ. හිට්ලර් තමන්ගෙ ඒ මෙහෙයුම වෙනුවෙන් යොදාගත්ත ප්‍රමුඛ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් තමයි Leni Riefenstahl. ලෙනීගේ සිනමාව සහ ‘කලාවේ සැබෑ අරමුණ විය යුත්තේ කුමක් ද?’ කියන කාරණය ගැනයි මේ සටහන.

නර්තන වේදිකාවෙන් රිදී තිරයට

ලෙනී රෆෙන්ස්ටාල් (Leni Riefenstahl) එහෙමත් නැත්නම් Berta Helene Amalie Riefenstahl 1902 අගෝස්තු 22 වෙනිදා, ජර්මනියෙ බර්ලින් නුවර දි. චිත්‍ර ශිල්පය සහ නර්තනය හදාරමින් කලාවට පිවිසෙන ඇය  මුල් කාලීනව සෑහෙන ජනප්‍රියත්වයක් නර්තනයෙන් ලබා ගන්නවා. හැබැයි දීර්ඝ කාලීනව නර්තන ශිල්පිණියක් විදියට කටයුතු කරන්න නම් ලෙනීට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඊට පස්සෙ ඇයව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නෙ 1926 තිරගත වුණු DER HEILIGE BERG චිත්‍රපටයෙන්. එතන ඉඳලා DER GROSSE SPRUNG (1927), DAS SCHICKSAL DERER VON HABSBURG (1928), DIE WEISSE HÖLLE VOM PIZ PALÜ (1929), STÜRME ÜBER DEM MONTBLANC (1930), DER WEISSE RAUSCH (1931), DAS BLAUE LICHT (1932), SOS EISBERG (1933) සහ TIEFLAND (1954) කියන චිත්‍රපටවලට රංගන ශිල්පිණියක් ලෙස තමන්ගෙ දායකත්වය ලබා දෙන ලෙනී අධ්‍යක්ෂණයට පිවිසෙන්නෙ DAS BLAUE LICHT (The Blue Light) චිත්‍රපටයෙන්.

English Titles – The Holy Mountain(1926), The Great Leap (1927), Fate of the House of Habsburg (1928), The White Hell of Pitz Palu (1929), Storm Over Mont Blanc (1930), White Ecstasy (1931), The Blue Light (1932), S.O.S. Iceberg (1933), Lowlands (1954)

ලෙනී සිනමා නිළියක ලෙස – S.O.S. Eisberg (1933)
(Source – imdb.com)

නිළියක්, ඡායාරූප ශිල්පිණියක්, ලේඛිකාවක් සහ චිත්‍රපට නිෂ්පාදිකාවක් විදියට කලාවේ විවිධ ඉසව්වල සැරිසැරුවත් නම කියපු පමණින්ම ලෝකයේ ගොඩක් අයට ලෙනීව මතක් වෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් විදියට. තවත් පැහැදිළිව කිව්වොත්, ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙනියන්න තමන්ගේ සිනමාව ඍජුවම පාවිච්චි කරපු කෙනෙක් විදියට.

සුපිරිසිදු ජර්මනියක් උදෙසා; ‘Triumph of the Will’

The Blue Light චිත්‍රපටයෙන් පස්සෙ හිට්ලර්ගෙ නාසි පක්ෂයේ සහයෝගයත් ඇතුව Victory of the Faith (1933) කියන වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන ලෙනී, එයාගෙ සිනමා ජීවිතයේ වැදගත්ම චිත්‍රපටයක් විදියට සැලකෙන Triumph of the Will අධ්‍යක්ෂණය කරන්නෙ 1935 අවුරුද්දෙ. ඒක ඇත්තටම අති දැවැන්ත නිෂ්පාදනයක්. සිනමා භාෂාව පැත්තෙන් ගත්තත්, තාක්ෂණය පැත්තෙන් ගත්තත් 1935 වගේ කාලෙක නිර්මාණය වෙන්න පුළුවන් ඉහළම මට්ටමේ චිත්‍රපටයක් විදියට ඒ වාර්තා චිත්‍රපටය හැඳින්වීම අතිශයෝක්තියක් නෙමෙයි.

හිට්ලර්ගෙ පක්ෂය නියුරම්බර්ග්වල පවත්වපු ඓතිහාසික රැලිය පාදක කරගෙනයි Triumph of the Will නිර්මාණය වෙන්නෙ. ජනතාව ඉදිරියේ හිට්ලර්ගෙ ඒකාධිපති ගමන සාධාරණීකරණය කරලා, ඒ ගමනට වීරත්වයක් ආරෝපණය කරන්න නාසි පක්ෂය විසින් ලෙනීගෙ සිනමාව ඉතාම සාර්ථකව යොදා ගන්නවා.

හයින්රිච් හිම්ලර් සහ ජෝසප් ගොබෙල්ස් සමග ලෙනී…
(Source – wikipedia.org)

එතන ඉඳලා Tag der Freiheit – Unsere Wehrmacht (1935), Olympia Part One: Festival of the Nations (1938), Olympia Part Two: Festival of Beauty (1938) කියන වාර්තා චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වෙන ලෙනී දිගු නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සිනමාවට එන්නෙ Tiefland (1954) චිත්‍රපටයෙන්. එයාගෙ අන්තිම අධ්‍යක්ෂණය තමයි Impressions under Water (2002) වාර්තා චිත්‍රපටය.

කොයි තරම් සිනමාත්මක වුණත් ලෙනීගෙ බහුතරයක් චිත්‍රපට වැඩ කළේ මනුෂ්‍යත්වය වෙනුවෙන් නෙමෙයි. නොගිණිය හැකි තරම් ප්‍රමාණයක් මනුස්ස ජීවිත ගෑස් කාමරවලට ගාල් කරන තැනට පාර කපපු දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන්. ඒ නිසාම මොන තරම් උසස් තාක්ෂණයක් භාවිතා කළත්, කොච්චර හොඳින් සිනමා භාෂාව මෙහෙයවලා තිබුණත් ලෙනීගෙ චිත්‍රපට ‘උසස් කලා කෘති’ විදියට හඳුන්වන්න පුළුවන්ද කියන ගැටළුව නම් පැන නගිනවා. ඒත් සමහර ‘දවල් මිගෙල් රෑ දනියෙල් සිනමාකරුවන්ට’ වඩා පැහැදිලිව ලෙනී තමන් විශ්වාස කරපු දේශපාලනය වෙනුවෙන් පෙනී හිටපු බවත් මෙතනදි අමතක කරන්න බැහැ. මොකද එයා තමන් දරපු නාසි මතවාදය වෙනුවෙන් අවංකවම වැඩ කළා. ඒ විතරක් නෙමෙයි, පක්ෂයේ නිල කබාය ඇඳගෙන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න තරම් හයියක් ලෙනීට තිබුණා. යටින් යුදවාදී වෙන අතරෙම මතුපිටින් යුද විරෝධී බවක් පෙන්නන සමහර ශිල්පීන්ට වැඩිය එතනදි ලෙනීගෙ සිනමා භාවිතාව අවංකයි.

පෝලන්තයේ දී රූගත කිරීමක් අතරතුර ලෙනී (1939)
(Source – wikipedia.org)

මනුෂ්‍යත්වයේ කලාව

නමුත් ඕනම කලා කෘතියක උසස් පහත් බව තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නෙ ඒ කෘතිය මහ පොළොවේ වැඩ කරන විදිය. ශිල්පීය දක්ෂතාව, තාක්ෂණය සහ අනිත් හැම දෙයක්ම අතුරු කරුණු. මේ බව තහවුරු කරන්න හොඳම උදාහරණයක් තමයි ඩේවිඩ් ලීන් කියන බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කරපු The Bridge On The River Kwai (1957) චිත්‍රපටය. ඒක හැදෙන්නෙ Pierre Boulle කියන ප්‍රංශ ජාතික ලේඛකයගෙ අතිශයින් ජනප්‍රිය වුණු නවකතාවක් පදනම් කරගෙන.  ජපන්නු ම්ලේච්ඡයි, බ්‍රිතාන්‍ය හමුදාව අතිශයින්ම ශිෂ්ඨසම්පන්නයි කියන අදහස පාඨකයගෙ හිතට කාවද්දන්න ඕන තරම් අමුද්‍රව්‍ය ඒ නවකතාව ඇතුළෙ තිබුණා; කිසිම අඩුවක් නැතුව. ඒත් ඒක සිනමාවට නගද්දි ඩේවිඩ් ලීන් තමන්ගෙ නිර්මාණයට එකතු කරනවා ඊට වඩා හාත්පසින්ම වෙනස් දැක්මක්. යුද්ධය කියන්නෙ කවුරු කළත් මනුෂ්‍යත්වයට එරෙහි, පිස්සු, ම්ලේච්ඡ ක්‍රියාවක් බව තමයි ලීන් තමන්ගෙ චිත්‍රපටය හරහා කියන්නෙ.

දෙවෙනි ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය වුණු ‘The Pianist (2002)’, ‘Schindler’s List (1993)’ වගේ තවත් ගොඩාක් චිත්‍රපට ඉතිහාසයට එකතු වෙන්නෙ ජීවිතය සහ ආදරය ගැන මිනිස්සුන්ට නැවත නැවතත් මතක් කරන නිර්මාණ විදියටයි. ඒත් ඒ දෙවෙනි ලෝක යුද්ධයම පාදක කරගත්ත සමහර කෘතීන් බිහි වුණේ ඒ වගේ උත්තරීතර අරමුණු වෙනුවෙන් නෙමෙයි. වෙන වෙන දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන්. මේක දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වුණු රටවල්වලට විතරක් අදාල දෙයක් නෙමෙයි; යුද්ධ තිබුණු, ඉවර වුණු හැම රටකටම අදාල කාරණයක්.

මූලාශ්‍ර –

www.leni-riefenstahl.de

www.britannica.com

http://www.imdb.com

අද්‍යතන සිංහල සිනමාවේ යුදවාදය සහ ජාතිවාදය ඇසුරෙන් උපන් දෘෂ්ටිවාදී ආගාධය – හිනිදුම සුනිල් සෙනෙවි, (14 ප්‍රකාශනයට අවකාශයක්, 2014 ජනවාරි / මාර්තු)

ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ – සුනිල් මිහිඳුකුල

Cover Image – http://www.imdb.com

(Olympia Part One: Festival of the Nations (1938) දර්ශනතලයේ දී…)