Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අංශභාගය ගැන දැන ගනිමු

ජීවිතයේදී පුද්ගලයෙකුට අත්විඳින්නට ලැබෙන රෝග තත්ත්ව අතරින් බොහෝ විට වැඩිහිටි වියත් සමග ඇති වන රෝග තත්ත්වයක් ලෙස අංශභාගය හඳුන්වන්නට පුළුවන්. නමුත් වැඩිහිටි වියට පමණක් සීමා නොවූ තත්ත්වයක් වන මෙම අංශභාග තත්ත්වය අප සිරුරේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම් කරන රෝග තත්ත්වයක් වන අතර ඒ සඳහා ගොදුරු වීම කෙරෙහි බොහෝවිට අපගේ ජීවන පැවැත්මද හේතු විය හැකියි. එනිසා ඒ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වෙනවා. අංශභාගය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

අංශභාගය යනු කුමක්ද?

dunyanews.tv (අංශභාගය රෝගයේ ලක්ෂණ දැක්වෙන පින්තුරයක්)

අංශභාගය යනු මොළය ආශ්‍රිතව සිදු වන අක්‍රිය වීමක් හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වීම නිසාවෙන් ඇතිවන තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇති වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගත හැකි වන්නේ ආඝාතය (sroke) තත්ත්වයයි. එහිදී මොළයට රුධිරය සැපයෙන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම නිසා මෙම ආඝාතය තත්ත්වයක් ඇති වෙනවා. එවිට ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා එම රුධිර වාහිනිය හරහා රුධිරය සපයන මොළයේ කොටස මියයාම සිදු වෙයි. එම නිසා මෙලෙස මොළයේ අක්‍රිය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. මෙම ක්‍රියාවලිය අංශභාගය ලෙස හඳුනාගත හැකිය. එහිදී මොළයේ හානි වූ කොටසට විරුද්ධ පැත්තෙහි ශරීරයේ ක්‍රියාකාරකම් අඩාල වීම සිදු වෙනවා. මන්ද මොළයේ දකුණුපස කොටසින් ශරීරයේ වම්පස ක්‍රියාකාරකම්ද මොළයේ වම්පස කොටසින් ශරීරයේ දකුණුපස ක්‍රියාකාරකම්ද ආදී වශයෙන් විරුද්ධ දිශාව පාලනය වන නිසාවෙනි. (http://www.stroke.org/we-can-help/survivors/stroke-recovery/post-stroke-conditions/physical/paralysis )

අංශභාගය ඇති වීම සඳහා බලපාන හේතු සාධක

අංශභාග තත්ත්වය ඇතිවීම සඳහා බලපාන හේතු සාධක පිළිබඳව සලකා බලන විට මිනිසාගේ අයහපත් චර්යා රටාවන් හා ඇතැම් රෝග තත්ත්ව හඳුනා ගත හැකිය. එහිදී අංශභාග තත්ත්වය ඇති වීම කෙරෙහි බලපාන අයහපත් ජීවන රටාවන් අතරින් ප්‍රධානම සාධකයක් ලෙස අධික වශයෙන් මද්‍යසාර භාවිතය හැඳින්විය හැකියි. එසේම සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය ද සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවන්ද හේතු වන අතර ක්‍රියාශීලි නොවන දිවි පෙවෙතක් ගත කිරීමද හේතු වෙනවා. එනිසා මෙම වැරදි පුරුදු වලින් වැළකී සිටීමටද අප වගබලා ගත යුතු වෙනවා.

healthsetu.com (මෙම තත්ත්වය ඇති වීම සඳහා බලපාන ප්‍රබල සාධකයක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි)

එසේම අංශභාගය තත්ත්වය ඇති වීම සඳහා හේතු විය හැකි රෝග පිළිබඳව සලකා බලන විට ප්‍රධාන වශයෙන් අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම, හා හෘදය ආශ්‍රිත රෝග ආදිය හැදින්විමට හැකි වෙනවා. එසේම හදිසි අනතුරු වැනි තත්ත්වද හේතු විය හැකියි.

goredforwomen.org (අධිරුධිර පීඩනයෙන් පෙළීමද මෙය ඇතිවීම සඳහා හේතු විය හැකියි.)

අංශභාගය රෝග තත්ත්වයේ ලක්ෂණ

අංශභාග තත්ත්වයක් ඇති වූ විට හඳුනා ගත හැකි මූලිකම රෝග ලක්ෂණයක්  ලෙස හිසෙහි කරකැවිලි ගතියක් ඇති වීම හැදින්වීමට පිළිවන. එසේම කතාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම හෝ කතා කිරීමට නොහැකි වීම, ශරීරයේ යම් කොටසක හිරිවැටුණු ස්වභාවයක් ඇති වීම, මෙන්ම ශරීරයේ එක පැත්තක් පණ නැතිව යාම ද සිදු විය හැකියි. තවද  ඇස් පෙනීම අඩු වීම, තද හිසරදයක් ඇති වීම හා ඇවිදීමට අපහසු වීමද ආදී රෝග ලක්ෂණද මතු වේ. ඇතැම් අවස්ථා වලදී ඉහත රෝග ලක්ෂණ ඇතිවී කෙටි කාලයක් තුළ ඉබේම නැති වී යාමට පිළිවන. නමුත් එසේ වුවද රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යාම අවශ්‍ය වෙනවා.

අංශභාග තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

මේ ආකාරයට හඳුනාගත හැකි අංශභාග තත්ත්වය ඇති වූ පසුව ප්‍රතිකාර කරනවාට වඩා වැදගත් වන්නේ එය ඇති වීමට පෙර වළක්වා ගැනීමයි. ඒ පිළිබඳව සලකා බලන විට අපගේ අහිතකර, සෞඛ්‍ය සම්පන්න නොවන චර්යා වලින් වැළකීම වැදගත් වෙනවා. එහිදී දුම්කොළ භාවිතයෙන් සහ දුම්පානයෙන් වැළකීම, පමණට වඩා ලුණු භාවිතයෙන් වැළකීම, තෙල් භාවිතය අවම කිරීම, මත්පැන් පානයෙන් තොර වීම, වැනි අහිතකර පුරුදු වලින් වැළ කී සිටීමද අලුත් එළවලු , පලතුරු අහාරයට ගැනීම, එදිනෙදා කටයුතු වලට සක්‍රියව දායක වීම සහ දිනපතා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම ආදී යහපත් පුරුදු ඇති කර ගැනීමද වැදගත් වෙනවා.

එසේම අංශභාගය තත්ත්වය වැළඳීම සඳහා ඇති අවදානම වැඩි කරන රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීමත් ඒවා පාලනය කිරීම හෝ සුවකර ගැනීම සඳහා අවධානය යොමු කිරීමද වැදගත් වෙනවා. තවද ඉහත දැක්වූ රෝග ලක්ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර වලට යොමු වීම මගින් එම තත්ත්වයට ලක් වූ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමටත් ඇතිවිය හැකි සංකූලතාවයන් අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

කවරයේ පින්තුරය: msobg.org

මූලාශ්‍ර:

https://www.mayoclinic.org

http://www.stroke.org

https://www.news-medical.net

https://www.medicinenet.com

https://www.nhs.uk

Related Articles