සත්‍යය අවබෝධ කරගැනීමේ මග: දර්ශනය හදාරමු

ලෝකය පටන් ගත්තෙ කොහොමද? දෙවියො මැව්වද? එතකොට දෙවියො ආවෙ කොහෙන්ද? නැත්තන් ස්වාභාවිකවම පටන් ගත්තද? ඇත්තටම ලෝකයක් තියේද? මේ ඔක්කොම අපි දකින හීනයක්ද?

මේ ආකාරයේ ප්‍රශ්න කවදා හරි දවසක අප සියලුදෙනාට ඇතිවෙලා තිබේ යන්න ගැන නම් සැකයක් නැහැ. බොහෝ වෙලාවට අපට වැඩිහිටියන් පුරුදු කළ පිළිතුරෙන් සෑහිමකට පත්වී ඉන් එහා මෙවැනි දාර්ශනික ප්‍රශ්න ගැන සිතා බැලීම නවතා දමන්න ඇති. එසේ නැවතූ දේ නැවත ඇරඹීම නම් බොහෝ ක්ෂේත්‍රවලින් වැදගත්.

‘දර්ශනය’ විෂය අවට ලෝකය, සමාජය ගැන තේරුම් ගැනීමට උපකාර කරන ආකර්ෂණිය විෂයක්. එදිනෙදා කතාබහ තුළ දර්ශනය යන වචනය අප අතර බොහෝ දෙනා භාවිත කරනු ලබන්නේ කෙනෙක්ව විහිළුවට ගැනීමට, අපහාස කිරීමට බවත් නොරහසක්. නමුත් දර්ශනය යනු කිහිපදෙනෙක්ට පමණක් වැදගත්, කිහිපදෙනෙක් විසින් අධ්‍යයනය කලයුතු විෂයක් ලෙස ගොඩනගා තිබෙන මතය මුලිනුපුටා දැමිය යුත්තක්. දර්ශනය පොදුවෙ අප සියලු දෙනාට වැදගත් සියලු දෙනාම අධ්‍යයනය කළ යුතු විෂයක්.

යුස්ටයින් ගෝඩර් නම් ප්‍රකට රචකයා ප්‍රකාශ කරන්නේ දාර්ශනිකයකු වීමට නම් අවශ්‍ය එකම දෙය විස්මයට පත්වීමේ හැකියාව බවයි. අලුත ඉපදුනු දරුවකු වයසින් වැඩෙන තෙක්ම සියල්ල හමුවේ විස්මයට පත් වුවත් ක්‍රමයෙන් දරුවට එහි විස්මිත ස්වභාවය වැඩිහිටියන් විසින් මකා දමන්නේ සියල්ල දරුවාට සාමාන්‍යකරණය කිරීමෙනි. වැඩිහිටියන් දැනුම ලබා සිටින නිසා ඔවුනට පුදුම දනවන දෑ සිදුවන්නේ අල්ප වශයෙනි. නමුත් ළදරුවෙක්ට සෑම දෙයක්ම නවමු අත්දැකීමකි. අධ්‍යාපන ක්‍රමය හරහාද සිදුකර ඇත්තේ අප විස්මයන් ගවේෂණය කරමින් නිර්මාණශීලි මිනිසුන් කිරීම වෙනුවට රාමුවක් තුළට සීමාකරන ලද දැනුමක් මගින් සිතුවිලි යාන්ත්‍රික කිරීමකි.

worldofmoms

ඔබට ඔබ ගැන විස්මයක් නොමැති වීම කෙතරම් ගැටලුවක්ද? නමුත් සිතන්න, ඔබ කැලයක ගමන් කරනවිට ඔබට ඔබව හමු වුවහොත්! කෙතරම් පුදුමයට පත්වේද? තම ශරීරය, තමා මේ ලෝකයේ කුමක් කරන්නේද යන්න ගැන අප උනන්දුවෙන් සොයා නොබැලුවේ කුමක් නිසාද? මේ සියලු ගැටළු සඳහා පිළිතුරු සෙවීම දර්ශනයට අයත්ය.

දර්ශනය විෂයක් ලෙස සංවර්ධනය වීම

දර්ශනය විෂයයක් ලෙස සංවර්ධනය වන්නේ පංති සමාජයෙහිදීය. එනම් යුරෝපා කලාපයේ වහල් සමාජයත්, අපද ඇතුළත් ආසියාතික කලාපය තුළ ආසියාතික සමාජ ක්‍රමය තුලදිත්ය. පංති සමාජයට පෙර ප්‍රාථමික සාමුහික සමාජයේදී සියලු මිනිසුන් සමානයන් ලෙස ශ්‍රම කාර්යයන්හි නියැළුනද පංති සමාජයේ ආරම්භයත් සමග ශ්‍රමය වැගිරීමට දායක නොවූ පිරිසක් බිහිවිය. වහල් හිමියන් හට වහළුන්ගේ ශ්‍රමයෙන් නිදහස් ජිවිත ගත කිරීමට හැකිවූ නිසා ඔවුන්ට ලෝකය ගැන දාර්ශනිකව සිතීමට කාලය හිමිවිය. දර්ශනය පමණක් නොව කලාව පවා වෙනම විෂයයක් ලෙස සංවර්ධනය වන්නේ මෙසේ පංති සමාජය ඇරඹීමත් සමගය.

මෙසේ පංති සමාජය ඇරඹීමත් සමග බිහිවූ දර්ශනය විෂය තවත් කලක් ගතවන විට වඩාත් සංවර්ධිත අවධියකට පිවිසුණු අතර දාර්ශනිකයන් පිරිසක් අපට හමුවන්නේ ඒ සමගයි. ලොව මුලින්ම බිහිවුයේ ස්වභාවික දාර්ශනිකයන් වේ. එනම් සොබාදහම ගැන අධ්‍යයනය කළ දාර්ශනිකයන්. මිනිස් සමාජය පිලිබඳ අධ්‍යයනය ඇරඹෙන්නේ ඊට කලකට පසුවය. මෙම ස්වාභවික දාර්ශනිකයන් ලෝකය වෙන් වෙන් ක්‍රම මගින් විස්තර කරනු ලැබිය. එම ආකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, භෞතිකවාදී සහ විඥාණවාදි ලෙසයි. භෞතිකවාදීන් ලෙස හඳුන්වන්නේ ලෝකයේ වඩාත් මුලික දෙය ද්‍රව්‍යය ලෙස පිළිගත් පිරිසයි. විඥාණවාදින් ලෙස හඳුන්වන්නේ ලෝකයේ වඩාත් මුලික වන්නේ විඥාණය ලෙස පිළිගත් පිරිසයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මෙසේයි. භෞතිකවාදීන්ට අනුව ලෝකයේ සියල්ල පදාර්ථයන් එකට එක්ව සැකසී ඇති බවත් විඥාණවාදින්ට අනුව ලෝකයේ සියල්ල යම්කිසි විඥාණයක් ඇසුරෙන් බිහිවී ඇත.

දර්ශනවාදයේ ඉතිහාසය පුරාම භෞතිකවාදය සහ විඥාණවාදය අතර ගැටුම නිරුපණය වේ

දර්ශනවාදයේ ඉතිහාසය තුළම දක්නට ලැබෙන්නේ මෙම විග්‍රහයන් දෙක අතර ගැටුමකි. සෑමවිටම එකක් විසින් අනෙක ප්‍රශ්න කිරීම හරහා ක්‍රමයෙන් දර්ශනවාදය සංවර්ධනය වෙමින් අද දක්වා පැමිණ තිබේ. අදද දර්ශනවාදය තුල ප්‍රධාන වශයෙන් ඇත්තේ ද්‍රව්‍යවදයත්(භෞතිකවාදය) විඥාණවාදයත් අතර අරගලයයි.

ස්වභාවික දාර්ශනිකයන්

ස්වාභවික දාර්ශනිකයන් පිලිබඳ තොරතුරු හමුවන්නේ ඔවුන්ට පසුව වාසය කළ ඇරිස්ටෝටල් විසින් ලියා තැබූ සටහන් මගිනි. ස්වභාවික දාර්ශනිකයන් ලෙස අපට හමුවන වැදගත් දාර්ශනිකයෙකි තේලීස්. ඔහු ග්‍රීක යටත් විජිතයක් වූ මයිලීටස් නගරයේ සිට පැමිණි අයෙකි. තේලීස්ට අනුව ලෝකයේ සියලු දේ නිර්මාණය වී ඇත්තේ ජලයෙනි. ඔහුගේ නිරීක්ෂණ අනුව සියලු දේ සමග ජලයට ඇති සබඳතාව දැක එම නිගමනයට ඔහු එළඹුනා විය යුතුයි.

තේලීස් (philosophers)

තේලීස්ගේ සමයේම වාසය කළ ඇනැක්සිමැන්ඩර් ද මයිලිටස් නගරයේම වාසය කළ අයෙකි. ඔහුට අනුව අපේ ලෝකය තවත් ලෝක විශාල ප්‍රමාණයක් අතර තිබු එකකි. ඔහු තේලීස් ගේ ජලය සියල්ලෙහි මුලය ලෙස සැලකු ඉගැන්වීම පිළිනොගත් අතර සීමිත වූ මෙම ලෝකයේ සියලු දේ සැදී ඇත්තේ අනන්ත වූ දෙයකින් බව විස්වාස කරන ලදී.  මයිලිටස් නගරයෙන් හමුවන තවත් දාර්ශනිකක් නම් ඇනැක්සිමීනීස් ය. ඔහුට අනුව සියල්ල ගොඩනැගී ඇත්තේ වාතය හෝ ජලවාෂ්ප මගිනි. එය තේලීස්ගේ මතයට සමීප බවද නිරීක්ෂණය කළ හැක.

මේ යුගයේ පැනනැගුනු තවත් ගැටළුවක් වුයේ සියල්ල ශුන්‍යකින් බිහිවූයේද යන්නයි. මිට පිළිතුරු දුන් දකුණු ඉතාලියේ ග්‍රීක යටත් විජිතයක් වූ ඊලියා නගරයේ දර්ශනිකයෙන් වූ පාමෙනිඩේස් (ක්‍රි.පු. 540-480) ප්‍රකාශ කළේ කිසිවක් ශුන්‍යයෙන් බිහි නොවන බවත් සියල්ල සැමදාම පැවතුනු අතර සදාකාලික ගලායාමක් නොවන  බව විශ්වාස කරන ලදී. එසේම ඔහු බුද්ධිවදියෙක්ද විය. එනම් ඉන්ද්‍රිය ගෝචර සංවේදනයන්ගෙන් ඥාණය ලබා ගත නොහැකි බව විශ්වාස කළ අයෙක්. එය තවත් පැහැදිලි කරන්නෙ නම්, අපගේ ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගන්නා දේ සත්‍ය නොවන බව විස්වාස කළ අතර ඥාණයේ මුලාශ්‍රය මිනිස් බුද්ධිය පමණක් බව විශ්වාස කරන ලදී. එය බුද්ධිවාදයයි. (මෙම ප්‍රවණතාවයේ අනෙක් අන්තය එනම්, මිනිස් බුද්ධිය නොසලකා ඥාණයේ මුලාශ්‍රය සංවේදනයන්ගෙන් ලැබෙන දේ පමණක් සිතීම අනුභූතිවාදය ලෙසත් හඳුන්වයි)

youtube

ඊලියා නගරයේ පාමෙනිඩේස්ගේ සමකාලීනයකු වූ හෙරක්ලිටස් ඉන්ද්‍රිය මගින් ලබා ගන්නා දැනුම විශ්වාස කළ යුතු බව ප්‍රකාශ කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ සොබාදහමේ මුලික ලක්ෂණය නම් අනවරත වෙනස්වීම බවයි. (එකම ගඟට දෙවරක් බැසිය නොහැකය. දෙවැනි වර ගඟට බසින විට ගඟත් මිනිසාත් දෙදෙනාම වෙනස්ව ඇත) සොබාදහම තුල සෑම විටම ප්‍රතිවිරෝධතා, යහපත අයහපත පවතින බවත් මෙම ප්‍රතිවිරෝධී ගැටුම විසින් ලෝකයේ ගලායාම පවත්වාගන්නා බවත් ඔහුගේ විශ්වාසයක් විය.

එකම ගඟක් දෙවරක් ගලයිද? (planetminecraft)

ඉහත දාර්ශනිකයන් දෙදෙනා අතර ප්‍රතිවිරෝධතාවක් තිබෙන බව අපට පහසුවෙන් පෙනෙයි. පාමෙනිඩේස් ට අනුව ලෝකය වෙනස් නොවන අතර විශ්වාස කළ යුත්තේ බුද්ධිය පමණකි. හෙරක්ලිටස්ට අනුව ලෝකය නිරන්තර වෙනස්වීමක පවතින අතර අනුභූතිය විශ්වාස කළ යුතුය. මෙම නොගැලපිමට හේතුව සියලු දේ තනි මුලද්‍රව්‍යකින් සෑදී ඇතිබව ඔවුන් සිතා සිටි නිසා යයි සිතු එම්පීඩොක්ලීස් ප්‍රකශ කළේ තනි මුලද්‍රව්‍යක් වෙනුවට පස්, වාතය, ගින්න සහ ජලය මගින් සියලු දේ සැදී ඇතිබව ඔහුගේ අදහස විය. මෙම විශ්වාසයද ඔහුට පෙර සිටි දාර්ශනිකයන්ගේ අදහස් ඔස්සේ සංවර්ධනය වූ අදහසක් බවද අපට දැකගත හැකිය. සොබාදහමේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් ඇති අතර ඒවා ආදරය සහ විරෝධය බවත් ආදරයෙන් එකට එකතු කරන බවත් විරෝධයෙන් වෙන් කරන බවත් ඔහු පැවසිය.

සියලු දේ සෑදී ඇත්තේ පස් වාතය ගින්න ජලය මගින්ද? (pictures)

මීළඟට හමුවන ඇනැක්සගෝරාස්(ක්‍රි.පු. 500-428) සොබාදහමේ මෙම පරිවර්තන පිලිබඳ ප්‍රකාශ දෙකම බැහර කරන ලදී. එනම් ජලයෙන් සියල්ල සැදී ඇති බවට වූ මතයත්, පස් වාතය ජලය ගින්න මගින් නිර්මාණය වූ බව මතයත් දෙකම බැහැර කරන ලදී. සොබාදහමේ සියලු දේ ඇසට නොපෙනෙන අංශුන්ට බෙදා වෙන්කළ හැකිබව ඔහු විශ්වාස කරන ලදී. යම් වස්තුවක ඉහත කී අංශුන් තුළ වස්තුවේ ලක්ෂණ අඩංගු බවත් එම සියලු අංශුන් එක්වූ පසු සමස්ථ වස්තුව බිහිවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. ඔහුගේ තවත් වැදගත් ඉගැන්වීමක් වුයේ සුර්යයා යනු දෙවියෙකු නොව දිලිසෙන පාෂාණයක් යන්නයි. ඔහු සුළු ආසියාවේ සිට ග්‍රීසියේ ඇතැන්ස් වෙත පැමිණියත් අදේවවාදී චෝදනාව එල්ල වූ පසුව නගරයෙන් පිටවන ලදී. උල්කාපාතයක් අධ්‍යනය කිරීමෙන් පසුව ඔහු නිගමනය කරන ලද්දේ වෙනත් ග්‍රහලෝකවලද මිනිසුන් ජීවත්විය හැකිබවයි.

පරමණුකවාදය

ග්‍රීක ස්වභාවික දර්ශනවාදයේ අවසානය සනිටුහන් කරන්නේ ඩෙමොක්‍රිටස්(ක්‍රි.පූ. 460-370) විසිනි. පරමණුකවාදය මුලින්ම ඉදිරිපත් කළේද ඔහුය. ඔහුට අනුව ලෝකයේ සියලු දේ සැදී ඇත්තේ පරමාණු නම් අංශුන්ගෙනි. ග්‍රීක බසින් ඇ-ටම් යනු නොකැපිය හැකි යන්නයි. ඉංග්‍රීසි බසට Atom ලෙස පැමිණෙන්නේ එයයි. ශුන්‍යයකින් කිසිවක් ඇරඹෙන්නේ නැති බවත් සොබාදහම සදාකාලික බවත් ඔහුගේ මතය විය. පරමාණු යනු ඝන, තද අංශුන් බවත් ඒවා එකිනෙක අසමාන බවත් මෙම අසීමිත පරමාණු සියලු දේ ගොඩනැගී ඇති බවත් ඔහු විශ්වාස කරන ලදී. ඔහු විඥාණවාදය බැහැර කළ අතර ආත්මය යනු මොළය සමග ක්‍රියාත්මක වන ආත්ම අංශුන්ගෙන් සෑදුන දෙයක් බවත් ප්‍රකාශ කරන ලදී. මොළය මියගිය පසු ආත්මයකට පැවැත්මක් නැති බවත් ඔහුගේ මතය විය.

ඩෙමොක්‍රිටස් (getty image)

ග්‍රීක දර්ශනවාදය තුල හමුවන ස්වභාවික දර්ශනවාදීන්ගේ ඉගැන්වීම් දෙස බලනවිට පෙනී යන්නේ එම අදහස් ක්‍රමයෙන් සංවර්ධනය වූ බවයි. මුල්ම යුගයේ ප්‍රකාශ කළ දේ සංවාදයට, විවාදයට භාජනය වී ඊට වඩා තර්කානුකුල නව ඉගැන්වීමක් පැමිණ ඇති බව පෙනෙයි. මේ අතරින් ඩෙමොක්‍රිටස් යනු වඩාත් නිවැරදි අදහස් ප්‍රමාණයක් එක්කළ දාර්ශනිකයකු බවත් නිරීක්ෂණය කළ හැක. ස්වභාවික දර්ශනවාදය ලෙස අප හඳුන්වන සොබාදහම පිලිබඳ පමණක අධ්‍යයනය කළ යුගයෙන් ඉදිරියට එමින් මිනිස් සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීම අරඹන්නේ ශ්‍රේෂ්ට දාර්ශනික සොක්‍රටීස්ය.

දර්ශනය පිලිබඳ තවත් අධ්‍යයනය කරමු, විස්මයට පත්වෙමු.

කවරයේ පින්තුරය: static.pexels

මුලාශ්‍ර: සොෆිගේ ලෝකය-යුස්ටයින් ගෝඩර්

Related Articles