Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලිය

moneycrashers.com

අපක්ෂපාති සහ මධ්‍යස්ථ තීරණ ගැනීමේ අධිකරණ බලයක් නොමැති තුන්වන පාර්ශවයක් විසින් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතර පවතින ආරවුල් විසඳීම සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම “සමථකරණය” වශයෙන් හඳුනා‍ගත හැකියි. මෙහිදී දෙපාර්ශවයම එකඟතාවට පත්වන විසඳුමකට පැමිණීම සමථකරණය යි.

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ‘සමථකරණය’ යන්න නිර්වචනය කරන්නේ මෙසේයි.

“සමථකරණය යනු නිත්‍යානුකුල මාර්ග වලින් ආරවුල්කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකම ඒ ආරවුල හෝ වරද නැවත සිදුවීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමේ ක්‍රියාවලියකි.”

ශ්‍රී ලංකාවේ සමථකරණ ඉතිහාසය

පෙර රජ දවස ශ්‍රී ලංකාවේ ගැටුම් හා ආරවුල් නිරාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබුණි. එය “සාමදානයේ බේරුම් කිරීම” නම් විය. ගම් මට්ටමින් ක්‍රියාත්මක වූ මෙහිදී තුන් වන පාර්ශවයක මඟ පෙන්වීම යටතේ ගැටුම් නිරාකරණය විය. මේ තුන්වන පාර්ශවයට අයත් වූවන් අතර ගම්පති, වෙල් විදානේ, වෙද මහතා, සහ පන්සලේ භික්ෂුනම ද විය.

එකල ගෝත්‍රික ජනයා අතර වූ ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා ද වෙනම ක්‍රමවේදයක් පැවතුණි. එම සභාව “වරිග සභාව” නම් විය. මේ බේරුම් කිරීමේ මණ්ඩලයේ සාමාජිකයන් මනා පෞරුෂයෙන් හා අධිකාරි බලයෙන් යුක්ත විය. ඔවුන්ට ප්‍රජාව මහත් බියක් දැක්වීය. කෙසේ නමුත් මෙයින් ගැටුමට සම්බන්ධ පාර්ශවයන්ට නිසි සාධාරණයක් ඉටු නොවූයේ, වරිග සභාවේ නායකයා සෑම විටම අදාල පාර්ශවයන් බලෙන් එකඟතාවට පත් කිරිමෙන් ගැටළු නිරාකරණය කිරීමට උත්සාහ කිරීම නිසයි.

පෘතුගීසි හා ලන්දේසි පාලන සමය

linkedin.com

වර්ෂ 1505 දී පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන් ආක්‍රමණය කිරීමෙන් පසු ස්වදේශික ප්‍රජාවගේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඔවුන්ගේ නීතිය හා දඬුවම් ක්‍රම ක්‍රියාත්මක විය. පෘතුගීසීන්ගෙන් පසුව ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය අල්ලාගත් අතර ඒ කාලයේ ගැටුම් නිරාකරණය පිණිස රෝම ලන්දේසි නීති ක්‍රමය ක්‍රියාත්මක විය. මෙකල ආරවුල් නිරාකරණය කිරීම සඳහා ගම් මට්ටමින් නිලධාරියෙකු පත්කෙරුණු අතර ඔහු ‘ගම්පති’ නම් විය. ආරච්චිලාගේ කාර්යභාරය වූයේ ලන්දේසීන්ගේ බලය තහවුරු වන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම හා බදු එකතු කිරීමේ දී ඇති වූ බාධක ඉවත් කිරීමයි.

ඉංග්‍රීසි පාලනය සහ ගම්සභා උසාවි

ඉංග්‍රීසින් වර්ෂ 1796 දී ශ්‍රී ලංකාවේ බලය තහවුරු කරගත් පසු ප්‍රජාවගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා “උසාවි” නමින් ආයතන පිහිටුවීය. ප්‍රාදේශීය මට්ටමින් ප්‍රථම වරට “ගම්සභා උසාවි” පිහිටවූයේ 1856 වර්ෂයේදි යි. ප්‍රාදේශීය මට්ටමින් වූ සියලුම සුළු ආරවුල් ගම්සභා උසාවි මඟින් විසඳුනු අතර ඒවා විභාග කර විසඳනු ලැබුවේ ගම්සභාවේ සභාපති විසිනි. මෙහිදී ද දඩ හා දණ්ඩන ක්‍රම ක්‍රියාත්මක වූ අතර නිසි සමථකරණයක් සිදුවූයේ නැත.

නඩු විසඳීම සඳහා අධික කාලයක් ගතවීමත්, ජනතාවට අධික වියදමක් දැරීමට සිදුවීමත්, බලාපොරොත්තු වූ ආකාරයේ විසඳුම් නොලැබීමත් නිසා පසුකාලීනව ගම්සභා ක්‍රමය අසාර්ථක විය. ඉංග්‍රීසි යුගය ද අවසන් වී තවත් වසර 10ක පමණ කාලයක් ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක වූවත් සිතූ තරම් සමථකරණය සාර්ථක වූයේ නැත.

සමඟි මණ්ඩල

1958 වර්ෂයේ ගම් සභා ක්‍රමය අහෝසි කිරීමත් සමඟම එම වර්ෂයේම ‘සමඟි මණ්ඩල’ ස්ථාපිත විය. ඒ 1958 අංක 10 දරණ සමඟි මණ්ඩල පනත මඟින් ප්‍රජාවගේ සුළු ආරවුල් සමථ කිරීම මෙහි ද අරමුණ විය. නමුත් මේ ක්‍රමය ද ඉක්මනින්ම අසාර්ථක විය. ඊට හේතු ගණනාවක්ම බලපෑවේ ය.

  • සමඟි මණ්ඩල සාමාජිකයන්ගේ පත්කිරීම් දේශපාලනීකරණය වීම
  • සාමාජිකයන් හට සමථකරණය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති වීම
  • සාමාජිකයන්ගේ ක්‍රියාකාරිත්වය හා කැපවීම අවම වීම
  • සමථකරණය කිරීමේ මාර්ගයෙන් පළිගැනීම හා බලය පාවිච්චි කිරීම,

ඒ අතර විය.

‘77 න් පසු තත්ත්වය

වර්ෂ 1977 බිහි වූ ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුළු අධිකරණ පද්ධතියම වෙනස් වුණු අතර 1978 දී සමඟි මණ්ඩල පනත ද අහෝසි විය. ඊට විකල්ප ලෙස ප්‍රාදේශීය මට්ටමින් පොලිසිය, පාසල, පන්සල වැනි ආයතනයන් වලින් තෝරා ගත් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ‘සාම කමිටු’ පිහිටවූවත් ආරම්භයේදීම එය අහෝසි වූයේ ජනතාව ඒ කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වීම නිසයි. ජනතාව මේවාට වඩා අධිකරණ කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවක්ය පෙනෙන්නට තිබුණේ.

සමථ මූල මණ්ඩල

nothingbettermediation.com

1988 අංක 72 දරන සමථ මූල මණ්ඩල පනත මඟින් ලංකාව පුරා ප්‍රාදේශීය මට්ටමින් සමථ මූල මණ්ඩල පිහිටුවීය. විකල්ප ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පිහිටවූ සමථ මූල මණ්ඩල මඟින් සුළු ආරවුල් ඉක්මනින් සහ සාර්ථකව සමථ කරගැනීම අරමුණු විය. ඒ අනුව පාර්ශවයන්ගේ කැමැත්ත මත මෙන්ම සමහර නඩු ගොනු කිරීමට පෙර අනිවාර්යයෙන්ම සමථ මූල මණ්ඩලය වෙත යොමු කරනු ලබයි. වර්තමානය වන විට සමථ මූල මණ්ඩල මඟින් සාර්ථකව ලංකාවේ සුළු ආරවුල් නිරාකරණය කිරීම සිදුකරන අතර මේ වනවිට ලංකාව පුරා ප්‍රාදේශීය මට්ටමින් සමථ මූල මණ්ඩල 329ක් පිහිටුවා තිබේ. මේ වන විට ‘සමථකරණය’ ශ්‍රී ලංකාවේ ජනයාගේ ගැටළු නිරාකරණය කිරීම පමණක් නොව, ජනතාව වෙතින් ගැටළු ඉවත් කරමින් සම්බන්ධකම් වර්ධනය කිරීමේ කාර්යභාරයේ ද නියැලෙමින් සිටි.

කවරයේ කතාව- nothingbettermediation.com

මූලාශ්‍ර:

moj.gov.lk

island.lk

Related Articles