‘ඩේජා වූ සංසිද්ධිය’ යනු කුමක් ද?

මෙලොව ජීවත් වෙන බොහෝ දෙනෙක් යම් කිසි පුද්ගලයෙකු හෝ යම් ස්ථානයක් පළමු වතාවට දුටු විට තමන් මින් පෙර එම පුද්ගලයා හෝ ස්ථානය දැක ඇතැ යි යන්න හැඟී ගිය අවස්ථා අත්විඳ ඇති බවට සැක නැහැ. එමෙන්ම යම්කිසි සිද්ධි දාමයක් සිදුවන විට එය මීට කලින් සිදු වී ඇති බවටත් හැඟී ගිය අවස්ථාවන්ට අපි මුහුණ දී තිබෙනවා. ඇත්තෙන් ම ඇයි මේවා මෙහෙම වෙන්නේ? අතීතයේ පටන් මේ පිළිබඳ ව විවිධ අර්ථකථන කරළියට පැමිණ තිබෙනවා.

පුනරුත්පත්තිය විශ්වාස කරන ජනතාව මෙය පෙර භවයේ මතක නිසා සිදුවන බව විශ්වාස කරද්දී, අනාගතය කලින් දැකීම නිසා තමන්ට මෙසේ හැඟෙන බව තවත් සමහරු විශ්වාස කරනවා. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් විද්‍යානුකූලව ද මේ පිළිබඳ ව විවිධ පර්යේෂණ සිදුකොට නිගමනවලට පැමිණ තිබෙනවා. ඩේජා වූ සංසිද්ධිය (Deja Vu Effect) ලෙස හැඳින්වෙන මෙය ඇත්තෙන් ම අනාදිමත් කාලයක සිට මතභේදයට ලක් වූ අපූරු මාතෘකාවක්.

gainesonbrains.com

ඩේජා වූ ඇති වීමට හේතුව කුමක් ද?

මිනිසුන් අතර සුලභ සංසිද්ධියක් නමුත් පර්යේෂණ කිරීම උදෙසා මූලයන් සොයාගැනීමේ ඇති දුෂ්කර බව නිසා ම ඒ පිළිබඳ සිදුකර ඇති පර්යේෂණ ප්‍රමාණය සීමිත යි. සෑහෙන කාලයක සිට මෙය ඇතිවීම පිළිබඳ ව විද්‍යාත්මක ව පිළිගත් මතය වූයේ සමහර විටෙක මොළය විසින් ‘සාවද්‍ය මතක’ ඇති කරගැනීම නිසා සිදුවන සංසිද්ධියක් යන්න යි. කෙසේ නමුත් මෑතක දී මහා බ්‍රිතාන්‍යයේ ශාන්ත ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන අකිරා ඕ කොනර් විසින් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අකිරා ඕ කොනර්- twitter.com

ඕ කොනර් සහ පිරිස මේ සඳහා නව මතයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පර්යේෂණ රාශියක් සිදුකර තිබෙනවා. එක් පර්යේෂණයකට අනුව ඔවුන් සෞඛ්‍යමත් කිහිපදෙනෙක් එක්කාසු කරගෙන ඔවුනට එකිනෙකට සහසම්බන්ධතාවයක් දක්වන වදන් මාලාවක් ඇසෙන්නට සලස්වා තිබෙනවා. උදාහරණ ලෙස ඇඳ, කොට්ටය, රාත්‍රිය, සිහින වැනි නින්දට අදාළ වදන් කිහිපයක් නැවත නැවත ඇසෙන්නට සලස්වන ලද අතර, කිසි ලෙසකින් නින්ද හැඟවෙන ‘Sleep’ යන වදන ඇසෙන්නට සැලැස්වීමෙන් වළකා තිබෙනවා. කොටින්ම ‘එස්’ අකුරෙන් පටන්ගන්නා කිසිදු වදනක් පර්යේෂණයට පාත්‍ර වූවන්ට එම කාලය තුළ ඇසෙන්නට දීමෙන් වළක්වා ඇති අතර අවසානයේ Sleep යන වදන ඔවුනට ඇසුනේදැ යි විමසා තිබෙනවා.

මොළය විසින් ‘සාවද්‍ය මතක’ ඇතිකර ගන්නේ නම් බොහෝ දෙනා විසින් යන වදන ඇසුණු බව ප්‍රකාශ කිරීම සිදුවනු ඇති බැව් උපකල්පනය කෙරුණු මුත් බොහෝ දෙනා නිශ්චිතව ම ප්‍රකාශ කළේ තමන්ට එවැන්නක් නෑසුණු බව යි. කෙසේ නමුත් ‘Sleep’ යන වදන තමන්ට බොහෝ සුහුරු ලෙස හැඟෙන බවක් ඔවුන් ප්‍රකාශ කළා. මෙය තමන් මුහුණ දී ඇති ඩේජා වූ සංසිද්ධියට සමාන බැව් ඔවුන් ප්‍රකාශ කළා.

පර්යේෂණයට ලක් වූ පිරිස මේ අවස්ථාවේ දී ම ස්කෑන් පරීක්ෂණවලට බඳුන් කරන ලද අතර, එහි දී අනාවරණය වූයේ ඩේජා වූ සංසිද්ධිය සිදුවන අවස්ථාවේ දී වඩා ක්‍රියාකාරී වන්නේ මස්තිෂ්කයේ මතකය සම්බන්ධ ව විශේෂ කාර්යයභාරයක් ඉටුකරන හයිපොතැලමසය වැනි කොටස් නොව තීරණ ගැනීමට අදාළ වන කොටස් බව යි. මේ ඔස්සේ නව මතයක් ඉදිරිපත් කරන ඕ කොනර් පවසන්නේ මානව මස්තිෂ්කය විටින් විට සිය මතකය නිවැරදිදැ යි පරීක්ෂා කිරීමට ‘සාවද්‍ය සංඥා’ නිකුත් කර බලන බව යි. මෙය බොහෝ විට සිදුකරන්නේ යම් කිසි ගැටලුකාරී අවස්ථාවල දී වන අතර සෞඛ්‍යමත් මස්තිෂ්කයක් ඇති තැනැත්තා මෙහි දී යම් ප්‍රහේලිකාවකට බඳුන් වෙනවා.

salviaextract.com

මේ මතය තහවුරු කිරීම සඳහා අදටත් පර්යේෂණ පැවැත්වෙනවා. යම් හෙයකින් ඇත්තෙන් ම ඩේජා වූ සංසිද්ධිය මේ හේතුවෙන් ම ඇති වන්නේයැ යි ඔප්පු වුවහොත් එයට වැඩිපුර මුහුණදෙන අයගේ ‘මතකය පරීක්ෂා කර බැලීමේ’ ක්‍රියාවලිය හොඳින් සිදුවන බවට නිගමනයකට පැමිණිය හැකි බව ඕ’ කොනර් පවසනවා. ලොව සමහර පුද්ගලයින්ට ඩේජා වූ සංසිද්ධිය සිදු නොවීමත්, වයසින් මුහුකුරා යන විට මෙය සිදුවීමේ සීඝ්‍රතාවය අඩුවීමත් යන කරුණු කාරණා ඔහුගේ මතයට වාසිදායක කරුණු ලෙස හඳුනාගෙන තිබෙනවා. වයසට යන විට මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය අඩුවන බව තහවුරු වී ඇති අතර, මෙලෙස ඩේජා වූ සංසිද්ධියට මුහුණ නොදෙන අයවලුන්ගේ මතකය මුහුණදෙන අයවලුන්ට සාපේක්ෂ ව පැටලිලි සහගත බව ඔප්පු කරගත හැකි වුවහොත් ඕ කොනර්ගේ මේ මතය තහවුරු වනු ඇති.

ඩේ ජා වූ පිළිබඳ ව ඇති වෙනත් අර්ථකථන

කථිකාචාර්ය ඕ’ කොනර්ගේ මතයට අමතර ව ඩේජා වූ සංසිද්ධිය පිළිබඳ ව වන විද්‍යාත්මක අර්ථකථන රාශියක් ලොවට ඉදිරිපත් වී තිබෙනවා. මේවා ද හොඳ විද්‍යාත්මක පදනමක් සහිත ඒවා වෙනවා.

ඩේ ජා වූ පිළිබඳ වඩා ජනප්‍රියතම මතයක් වන්නේ මිනිසා යමක් නිරීක්ෂණය කළ සැනින් මස්තිෂ්කය විසින් ඒ පිළිබඳ යම් පූර්ව නිගමනයක් මවාගැනීමේ සංසිද්ධිය යි. මෙය එම පුද්ගලයා ද නොදැනුවත්ව ම සිදුවන අතර ඉන් නිමේෂයකට අනතුරුව නැවත නිසි අවධානයකින් යුතු ව සම්පූර්ණ නිගමනයක් එම පුද්ගලයා මඟින් සිදුකරනු ලබනවා. සමහර විටෙක මේ සිතුවිලි දෙක අතර සුළු බාධාවක් සිදුවීමෙන් දෙවන නිරීක්ෂණය සිදුකරන්නට යන කාලය මඳක් වැඩි වෙනවා. එවිට එය කලින් අත්දැක්කා සේ හැඟෙනවා.

Ian Dooley / Unsplash

මේ පිළිබඳ වූ තවත් අර්ථකථනයක් වන්නේ කෙනෙක් යමක් නිරීක්ෂණය කරන විට ඔහුගේ මස්තිෂ්කය විසින් ඊට ආසන්න පෙර මතකයක් මතක් කර දීම යි. මෙහි දී ඇත්තෙන් ම පූර්ව මතකය එක්කාසු වුණු ස්ථානය මතක් කර දීමක් සිදුනොවන අතර වර්තමානයේ අත්දකින සිද්ධිය හා නොගැළපෙන තැන් අවම වන විට ඒවා පරයා ගැළපෙන ස්ථානවලට පමණක් අවධානය යොමු කිරීමට මනස ක්‍රියා කරන නිසා අපට එය ම කලින් අත්දැක්කා සේ හැඟෙනවා.

ඩේජා වූ සංසිද්ධිය ස්නායු පද්ධතියේ හදිසියේ ඇති වන යම්කිසි සුළු දෝෂ තත්ත්වයන් නිසා ද ඇති විය හැකි බවට තර්කයක් තිබෙනවා. මස්තිෂ්කයේ ඇති වන සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසිඳුරන්ගෙන් ලැබෙන සංවේදනවල යම් යම් පමා වීම් නිසා මෙසේ සිදුවිය හැකියැ යි පැවසෙනවා. උදාහරණ ලෙස ඇස් දෙකෙන් යම් සිද්ධියක් නිරීක්ෂණය කිරීමේ දී එක ඇසක ඇති වන සංවේදන අනෙකට නිමේෂයකට පෙර මස්තිෂ්කය කරා ළඟා වී සැකසීම සිදුවන අවස්ථාවක මේ සිද්ධිය ම කලින් අත්දුටුවා සේ යමෙකුට හැඟී යන්නට පිළිවන්.

ද්විත්ව සැකසීමේ ක්‍රියාවලිය ඩේජා වූ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඉදිරිපත් වී ඇති වඩාත් ම තර්කානුකූල අදහසක්. මෙයට අනුව සමහර අවස්ථාවල දී මස්තිෂ්කයේ සාමාන්‍යයෙන් හොඳ සමායෝජනයකින් යුතු ව සිදුවන ක්‍රියාවලීන් දෙකක සමායෝජනය හදිසියේ තාවකාලිකව බිඳවැටීම නිසා ඩේජා වූ තත්ත්වය ප්‍රතිඵල විය හැකියි. උදාහරණ ලෙස කලින් අත්විඳ ඇති බව දැනෙන සිතීමේ ක්‍රියාවලිය නිසියාකාර ව මතකය සමග සමායෝජනය නොවීම හා යම් ආසන්න සිද්ධියක් පිළිබඳ කිසිවෙක් ඇති කරගෙන තිබෙන ආකල්පය මතකය හා සමායෝජනය නොවීම යන අවස්ථාවල දී එම පුද්ගලයාට එම සිද්ධිය තමන් මීට පෙර අත්දැක ඇතිවාක් මෙන් හැඟෙන නමුදු ඒ කොතනදි, කවදා ද යන්න නිසි ලෙස සිතාගත නොහැකි වෙනවා.

Daniel Högberg/plainpicture

ඩේජා වූ සංසිද්ධිය පිළිබඳ ව අද වන විටත් විවිධ තර්ක ගොඩනැගෙන අතර ඒවා පර්යේෂණයට ද ලක් කෙරෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමග අනාගතයේ දිනෙක මේ පිළිබඳ වූ අපූරු රහස නිසියාකාර ව හෙළිවෙතැ යි බලාපොරොත්තු තබාගන්නට පිළිවන්. කෙසේ නමුත් මිනිස් මනසේ අසිරිය කියාපාන හොඳම අවස්ථාවක් ලෙස ඩේජා වූ සංසිධිය ගත හැකියි.

කවරයේ පින්තූරය: Federico Bunge/ Medium.com

මූලාශ්‍රයයන්:

  1. newscientist.com
  2. Psychologytoday.com
  3. sciencealert.com

Related Articles