Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔසප් චක්‍රය ගැන ඔබ දැනගත යුතු දේ

ඔසප් චක්‍රය කියන්නේ මොකද්ද? 

පුංචි ළදැරියක්ව මෙලොවට ජනිත වන කාන්තාවක, මල්වර වීමෙන් පසු වයසට යන තුරුම ජිවයේ අඛණ්ඩත්වය වෙනුවෙන් සිදුවන ක්‍රියාවලියක් සක්‍රීයව සිදුවෙනවා. ඔබ විවාහක වුව ද, නොවූව ද සාර්ථක එක්වීමක් බලාපොරොත්තුවෙන් ඔබගේ ඩිම්බ කෝෂ සෑම දවස් 28කටම වරක් සජීවී බීජයක් පිට කරනවා. ගර්භාෂය යුක්තාණුවක් පිළිගන්න සූදානමින් දරුවෙකුගේ වර්ධනයට සුදුසු පරිසරයක් ඒ තුළ නිර්මාණය කරනවා. නමුත්, සෑම ඩිම්බයක්ම ශුක්‍රාණුවක් හා එක්ව යුක්තාණුවක් වී දරුවෙක් තනන්නට වරම් ලබන්නේ නැහැ .

අවසානයේ දී ඒ බලාපොරොත්තු බිදවැටුණු ඩිම්බය සිරුරෙන් පිටවෙන්නේ ඒ සදහා සුදානම් වූ ගර්භාෂ බිත්ති සියල්ල බිද වට්ටමිනුයි. ඒ සියල්ල රුධිරය සමගින් යෝනි මාර්ගයෙන් පිට වෙමින් ඔබට අපහසු දවස් කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. මෙය ඔසප් වීම ලෙසත්, මෙම චක්‍රිය ක්‍රියාවලිය ඔසප් චක්‍රය ලෙසත් හඳුන්වනවා.

ඔසප් චක්‍රය: පළමු ඔසප් වීම හෙවත් මල්වර වීම (lk.theasianparent.com)

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඩිම්බකෝෂ දෙකක්, පැලෝපීය නාල දෙකක් සහ ගර්භාෂයක් ප්‍රධාන වශයෙන් අයත් වෙනවා. ගැහැණු දරුවෙකුගේ ඩිම්බ සකස් වන්නේ ඇය මව්කුස තුළ සිටිය දී ම යි. එම ඩිම්බ උපතෙන් පසුව ද ඩිම්බ කෝෂවල තිබෙන අතර, වැඩිවියට පැමිණීමෙන් පසු එම ඩ්ම්බ එකෙන් එක පරිණත වී ශුක්‍රාණුවක් හා එක් වීමේ බලාපොරොත්තුවෙන් පිට වෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු දරුවන්ගේ පළමු ඔසප් වීම අවුරුදු 8-13 අතර කාලයේ දී සිදුවෙනවා. මෙය වැඩිවියට පැමිණීම නැතිනම්, මල්වර වීම ලෙස හැඳින්වෙනවා. ඒත් එක්කම සිදුවෙන හෝමෝන (ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන්) වෙනස්කම් එක්ක ඔවුන්ගේ සිරුර වගේම  මනසත් විවිධ ආකාරයෙන් වෙනස් වෙනවා.

පළමු ඔසප් වීමේ සිට දින 28කට වරක් ආර්තවය හෙවත් ඔසප් වීම සිදුවෙන බව යි සැලකෙන්නේ. නමුත්, නිරෝගී කාන්තාවකට එය දින 21 සිට දින 35 දක්වා පරාසයක සිදුවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ චක්‍රයේ දින ගණන ඉහත පරාසය තුළ කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙනවා.

දින 28ක් වූ ඩිම්බයක ගමන් මඟ

පරිණත වූ ඩිම්බයක්, ඩිම්බ කෝෂ මඟින් වරකට එක බැගින් පැලෝපීය නාලය වෙත මුදාහරිනු ලබනවා. මෙම ඩිම්බ මෝචනය සාමාන්‍යයෙන් සිදුවන්නේ අවසන් ඔසප් වීම සිදු වූ දින සිට දින 13ත් දින 14ත් දක්වා කාලයේ දී යි. මෙම කාලය, සරු කාලය ලෙස හඳුන්වන අතර එහි දී ඩිම්බයට ශුක්‍රාණුවක් හා එක් වුවහොත් යුක්තාණුවක් සෑදීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. එසේ යුක්තාණුවක් සෑදුනහොත් එය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය තුළට’විත්, එහි බිත්තියේ අධිරෝපණය වී කලලයක් සේ වැඩෙන්නට පටන් ගන්නවා. එහි දී හෝමෝන මඟින් ඔසප් චක්‍රය තාවකාලිකව අත්හිටවනු ලබනවා. නමුත්, එසේ සාර්ථක එක්වීමක් නොලබන ඩිම්බයකට අත්වෙන ඉරණම මොකද්ද?

එසේ සාර්ථක අවසානයක් ලබන්නේ ස්ත්‍රියකගේ ජීවිතයේ ඩිම්බ කිහිපයක් පමණි. අනෙක් ඩිම්බ සියල්ලම ඇයගේ සිරුරෙන් පිට කරනු ලබනවා. දින විසි අටකට වරක් ඩිම්බයක් මෙසේ සිරුරෙන් පිට වන්නේ තනිව නම් නොවේ. ඒ සමගම අලුත් ජීවයක් පිළිගන්න සූදානම් වූ ගර්භාෂයේ ඇතුළත බිත්ති කැඩී එයින් පිටවෙන  රුධිරය යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණෙනවා. අන්න ඒකට තමයි අපි ඔසප් වීම කියන්නෙ. යෝනි මාර්ගයෙන් මෙසේ රුධිරය පිටවීම දින 2 සිට දින 6 දක්වා කාලයක් පවතිනවා. මෙය ඉතා අසීරූ කාලයක් වෙන අතර, ඒ සඳහා සනීපාරක්ෂක තුවා මෙන්ම ඔසප් කෝප්පය (Menstrual Cup) භාවිතා කරන්නත් පුළුවන්. මේ ඔසප් කෝප්පය නම් ශ්‍රී ලංකාවේ අපිට ටිකක් අලුත් අත්දැකීමක්, එහෙම නේද? 

ඔසප් කෝප්පය සහ සනීපාරක්ෂක තුවායක් (medicalnewstoday.com)

මෙසේ ඩිම්බයක් සිය ගමන් මඟ සම්පුර්ණ කිරීමත් සමගම අනෙක් ඩිම්බයේ අපූරු චාරිකාව ඇරඹෙනවා. මෙම චක්‍රීය ක්‍රියාවලිය තමයි ඔසප් චක්‍රය ලෙස හඳුන්වන්නේ. කාන්තාවක් ලෙස සිතන කල ඔබට මෙය කොතරම් අසීරු ක්‍රියාවලියක් වුවත්, ගැහැනියක ලෙස ජීවිතයේ ලබන උතුම්ම පදවිය වූ මාතෘත්වයට මඟ පාදන ක්‍රියාවලියත් මෙයම බව අමතක කරන්න එපා.

ඔසප් වීම හා සම්බන්ධ ගැටළු

ඔසප් වීම, කාන්තාවකගේ ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක් වුවත්, එහි ක්‍රියාවලියේ සාමාන්‍ය නොවන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඔන්න ඔය පහත සඳහන් ලක්ෂණ පවතිනවා නම්, වහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම නුවණට හුරු යි.

  • අධික රුධිරය පිටවීම
  • දින හතකට වඩා වැඩියෙන් රුධිරය පිටවීම
  • ඔසප් වීමට පෙර හෝ පසු දරාගත නොහැකි වේදනාව
  • ඔසප් වීම මාස කිහිපයක් ප්‍රමාද වීම
  • ඔසප් චක්‍රය අතරතුර වරින් වර රුධිරය පිටවීම

ජීවයට අරුත දුන්, අරුත් බර ක්‍රියාවලියක අවසානය- ආර්තවහරණය

කාන්තාවක් වයස අවුරුදු 50ට ළඟා වෙද්දී ඇයගේ ප්‍රජනන පද්ධතිය විශ්‍රාම ගන්න සූදානම් වෙනවා. එහි ප්‍රථම පියවර ලෙස ඔසප් වීම නවතිමින්, ජීවය තනන්නට ඇයට තිබූ ආශිර්වාදය අහිමි වෙනවා. මෙසේ ඔසප් වීම නැවතීම ‘ආර්තවහරණය’ යි. සෑම සාමාන්‍ය කාන්තාවක්ම මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා වූ මේ සිද්ධි මාලාවටම මුහුණ දෙනවා. ඒ අතරතුර ලබන ඉහළම දේ තමයි අර අපි කලිනුත් කියපු මාතෘත්වය.

ඒ වගේම තවත් දැනගත යුතුම කාරණාවක් තමයි, ඔසප් චක්‍රය අඩාල හෝ අක්‍රමවත් කරන සාධක මොනවද කියන දේ. 

  • ගර්භණීත්වය හෝ මව් කිරි ලබාදීම
  • මානසික ආතතිය
  • නිසි පෝෂණය නොලැබීම
  • රෝගී තත්ත්වයක් 
  • සමහර රෝගවලට ගන්න ඖෂධ
  • හෝමෝන අඩංගු උපන් පාලන ක්‍රම
  • සිරුරේ බර වැඩිවීම
  • සිරුරේ හෝමෝන අසමතුලිතතාව

පෞද්ගලික සනීපාරක්ෂාව

අනෙක් සෑම දවසක දී ම වගේ, ඔසප් වන දිනවලත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්. නිසි පරිදි සනීපාරක්ෂක තුවා මාරු කිරීම, ඔසප් කෝප්පය පිරිසිදු කිරීම යනාදිය ඒ අතර විශේෂ යි.

(කාන්තාවක් ලෙස ඔබගේ ජීවිතයේ දින 28කට වරක් ක්‍රියාත්මක වෙන ඔසප් චක්‍රය ගැන මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ; theAsianparent Sri Lanka වෙතිනුයි.)

කවරයේ පින්තූරය: in.mashable.com

Related Articles