2014, 2015 වර්ෂ හා සසඳා බලන විට 2016 වර්ෂයේ මේ වන විටත් ගුවන් අනතුරු සංඛ්‍යාව එම වර්ෂ වලට වඩා වැඩි වීමක් දකින්නට ලැබෙනවා. මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට අන්තර්ජාතික ගුවන් අනතුරු 17ක් වාර්තා වෙලා තියනවා. පෙබරවාරි 26 වන දින තාරා එයාර්ලයින් සමාගමට  (Tara Air Flight 193) අයිති ගුවන් යානයක් පුද්ගලයන් 23 දෙනෙක් මරණයට පත් කරමින් නේපාලයේදී අනතුරට පත් වීම, මාර්තු 19 වනදා ෆ්ලයි ඩුබායි සමාගමට අයත් (Fly dubai Flight 981) Boeing 737-800 ගුවන් යානය පුද්ගලයින් 62ක් මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටීම හා මැයි 19 වන දා ඊජීප්තු එයාර්ලයින් සමාගමට (Egypt Air Flight 804) අයිති Airbus A320 ගුවන් යානය පුද්ගලයන් 66ක් මරණයට පත් කරමින් නැගෙනහිර මධ්‍යධරණි මුහුදට කඩා වැටීම යන ගුවන් යානා කඩා වැටීම් බරපතල ලෙස ජිවිත හානි ඇති කළ අනතුරු ලෙස හදුන්වන්නට පුළුවන්.

ඉතින් අද ලිපියෙන් කතා කරන්නට සැරසෙන්නේ අන්තර්ජාතික සිවිල් ගුවන් යානා අනතුරක් සිදු වූ විට ඊට පසුව සිදු වන ක්‍රියා පිළිවෙල කුමක්ද කියන එක පිළිබඳවයි. අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ ගුවන් යානය අයිති රටටද නැත්නම් අනතුර සිදු වූ රටද නැත්නම් වෙනත් පාර්ශවයක් විසින්ද? පරීක්ෂණය පවත්වාගෙන යන්නේ කෙසේද? අනතුර පිළිබඳව විමර්ෂණාත්මක වාර්තාවක් සකස් කරන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලිපියේ අන්තර්ගත වෙනවා. ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව ආශාවක් තියනවනම් මෙම ලිපිය ගොඩක් රසවත් වේවි. ලියන්නට මඟ හැරුණු දෙයක් තියනවානම් comment එකකින් ඒ පිළිබඳව සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

අන්තර්ජාතික සිවිල් ගුවන් ගමන් පාලනය කරන්නේ කවුද?

මෙම වසරේදී නැගෙනහිර මධ්‍යධරණි මුහුදට කඩා වැටුණු ඊජීප්තු එයාර්ලයින් ගුවන් යානයේ සුන්බුන් ගොඩබිමට ගෙන එමින් (The Daily Beast)

අනතුරු ගැන කතා කිරීමට ප්‍රථමයෙන් ලෝකයම සම්බන්ධ කරන අන්තර්ජාතික සිවිල් ගුවන් සේවාව කළමනාකරණය කිරීම, අවශ්‍ය තත්වයන්හි පවත්වා ගනිමින් නීති රීති එක් කිරීම හා ගුවන් කටයුතු වල ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා ඇති අන්තර්ජාතික ආයතන දෙක පිළිබඳව දැන ගැනීම අවශ්‍යයි.

1. අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organization)

අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සංවිධාන ලාංජනය (Reddit)

ICAO නම් කෙටි නමින් හදුන්වන කැනඩාවේ පිහිටි මෙම ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සෘජුවම සම්බන්ධව කටයුතු කරනවා. ලෝකය පුරා ව්‍යාප්තව ඇති ගුවන්තොටුපොළ වල සියළුම මෙහෙයුම් කටයුතු සඳහා වන නීති රීති, ගුවන්යානා හා ගුවන්යානා ගමන් මාර්ග සදහා වන නීති රීති ගුවන් ගමන් සදහා අනුමත වූ චිකාගෝ සම්මුතිය අනුව ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන්නේ මෙම ආයතනයයි. වර්තමානය වන විට රටවල් 191ක් මෙහි සාමාජිකත්වය දරනවා.

2. අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association)

අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ ලාංජනය (Air Cargo Tutorials)

IATA නම් කෙටි නමින් හදුන්වන කැනඩාවේ පිහිටි මෙම ආයතනය මගින් සියළුම ගුවන් සමාගම් සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ගුවන් යානයේ, මගීන්ගේ, ගුවන් කාර්යමණ්ඩලයේ හා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ වල ආරක්ෂාව සහතික කරනු ලබනවා.

ගුවන් යානාවක් අනතුරට පත් වන්නට හේතූ   

2010 වර්ෂයේ පාකිස්තානයේදී නියමුවාගේ වරදින් මගීන් 152ක් සමඟ විනාශ වූ එයාර් බ්ලු ගුවන් සමාගමේ ගුවන් යානය (Fox News)

මූලිකම හේතුවක් ලෙස ගුවන් නියමුවන් ඇතුළු ගුවන් කාර්යමණ්ඩලයේ වැරදීම් හඳුන්වන්නට පුළුවන්. (flight crew error) 2010 වර්ෂයේ ජූලි 28 දින පාකිස්ථානයේ Margalla කඳු වැටියේ ගැටුණු එයාර් බ්ලු ගුවන් සමාගමේ ගුවන් යානයක් මගීන් 152ක් සමඟ විනාශ වන්නේ ගුවන් නියමුවාගේ නොසැලකිලිමත් බව හේතුවෙන්.

දුර්වල කාලගුණික තත්වය තවත් හේතුවක් ලෙස සදහන් කරන්න පුළුවන්. 583ක් මරණයට පත් කරමින් ස්පාඥ්ඥයේදී 1977 වර්ෂයේ මාර්තු මස සිදු වූ අනතුර නරක කාලගුණ තත්වය හේතුවෙන් මෙතෙක් ලොව වැඩිම මගීන් පිරිසකට මරු කැදවූ අනතුර ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම ගුවන් යානයේ කාර්මික දෝෂ, ගුවන්තොටුපොළ හා පවතින සම්බන්ධතා දුර්වල වීම, සයිබර් ප්‍රහාර මඟින් සන්නිවේදනය අඩාල වීම, තස්ත්‍රවාදීන්ගේ මිසයිල ප්‍රහාර හා බිම සිට ගුවන් නියමුව කුටිය වෙත ලේසර් කිරණ එල්ල කිරීම අනතුරු සඳහා බලපාන හේතූන් වෙනවා.

ගුවන් යානය අනතුරට පත් වූ වහාම

මෙම වසරේදී නැගෙනහිර මධ්‍යධරණි මුහුදට කඩා වැටුණු ඊජීප්තු එයාර්ලයින් ගුවන් යානයේ පරීක්ෂණ කටයුතු භාර වුයේ අනතුර වූ ස්ථානයට ආසන්නම රට වූ ඊජීප්තුවටයි (NBC News)

ගුවන් යානයක් අනතුරට පත් වූ වහාම අනතුර පත් වූ සිවිල් ගුවන් යානයෙහි බර කිලෝග්‍රෑම්  2250 ට වඩා ඉහළ නම් ඒ පිළිබඳව ICAO ආයතනය වෙත දැන්විය යුතුයි. එවිට එම ආයතනය මගින් ඉදිරි පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් යානය අනතුරට පත් වී කඩා වැටුණු රටට භාර දෙනවා. නමුත් මෙම රට ICAOහි ලියාපදිංචි නොවූ රටක්නම් පරීක්ෂණ කටයුතු භාර දෙනු ලබන්නේ ගුවන් යානය ලියාපදිංචි කර තිබෙන රටටයි. ගුවන් යානය සාගරයට පතිත වී තිබුනොත් පරීක්ෂණ කටයුතු භාර වෙන්නේ සාගරයට වැටුණු ස්ථානයට ආසන්නයෙන්ම පිහිටි රටටයි.

විමර්ෂණය භාර වූ රට කළ පළමුව යුත්තේ කුමක්ද?

ඇතුළත සිර වී සිටින මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් (www.vaavaa.co.uk)

චිකාගෝ සම්මුතියේ 13 වන ඇමුණුමේ (annex 13) විස්තර වී තිබෙන්නේ අන්තර්ජාතික ගුවන් යානා අනතුරු විමර්ශනය කිරීමේ ප්‍රතිපත්තියයි. ඒ අනුව පළමුවෙන්ම කළ යුතු වන්නේ ගුවන් යානය තුළ සිර වී සිටින මගීන් හැකි ඉක්මනින් ඉවතට රැගෙන තුවාල වූ පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමයි. මෙම අනතුර නිසා අනෙකුත් ගුවන් යානා ගමන් වාර සඳහා කිසිදු බාධාවක් නොවීමට පරීක්ෂණය කරන රට සමත් විය යුතු වෙනවා. ඒ වගේම  කඩා වැටීම හේතු කරගෙන පොදු ජනයාට බාධා වන අයුරින් කටයුතු කිරීමත් තහනම්. අනතුරහි සියළුම සාක්ෂි රැක ගත යුතු වෙනවා. එම නිසා ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ආරක්ෂාව යොදවා එම ප්‍රදේශයට අවසරයක් නොලත් පුද්ගලයන් ඇතුළු වීම වැළක්වීමට අදාළ රටේ වගකීමක් වෙනවා.

සාක්ෂි සුරැකීම

අප සියල්ලම අසා ඇති කළු පෙට්ටියේ සැබෑ පැහැය තැඹිලි පාටයි (texags.com)

අනතුරට හේතුව සොයා ගැනීමට හැකි කළු පෙට්ටිය (flight data recorder) තුළින් ගුවන් යානය අනතුරට බදුන් වන විට ගුවන් යානය තුළ පැවති සියළුම තත්වයන් හෙළි කර ගන්නට පුළුවන්. ඒ වගේම ගුවන් නියමු කුටිය තුළ පවතින රෙකෝඩරයක් මගින් (cockpit voice recorder) අනතුර වන අවස්ථාවේදී නියමුවන් අතර ඇති වූ කතා-බහ පටිගත වී තිබෙනවා. එබැවින් මෙම උපකරණ දෙක ඒ පිළිබඳව හොදින් දන්නා වෘත්තිමය ආයතනයන්ට හෝ පුද්ගලයන්ට භාර දිය යුතු වෙනවා. සාක්ෂි රැස් කර ගත් පසු අදාළ භාණ්ඩ අයිතිකරුවන් වෙත ලබා දීම සිදු කරනවා.

දැන්විය යුතු පුද්ගලයන්

ගුවන් යානය නිෂ්පාදනය කළ සමාගමට හා රටට, ගුවන් යානය ලියාපදිංචි කර ඇති රටට, ගුවන්යානය භාවිත කරන රටට හා ගුවන් යානය සැලසුම් කර ඇති රටට හැකි ඉක්මනින් දැන්විය යුතු වෙනවා. පරීක්ෂණය හා විමර්ෂණ ක්‍රියාවලිය නියම ආකාරයෙන් වෙනවාද යන්න සොයා බැලීමට ICAO ආයතනය පත් කළ කමිටුවක් අදාළ රටට පැමිණ පරීක්ෂණ වල තත්වය විමසා බැලීමද සිදු කරනු ලබනවා. දැනට පරීක්ෂණ වල තත්වය පිළිබඳව වාර්තා මෙම ආයතනය වෙත ඉදිරිපත් කිරීමද සිදු වෙනවා.

විමර්ෂණ වාර්තාවේ අඩංගු වියයුතු දෑ

විමර්ෂණ කටයුතු කරන නිලධාරීන්  (Free Keyword suggestion tool)

මරණයට පත් වූ හා තුවාල ලැබූ  මගින් ගණන, ගුවන් යානය නිෂ්පාදනකරු, එහි වර්ගය, ලියාපදිංචි කළ රට, ලියාපදිංචි සලකුණ හා ලියාපදිංචි අංකය, ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නම් සහ ඔවුන්ගේ රටවල්, අවසාන වර ගුවන් ගත වූ ගුවන්තොටුපොළ, යෑමට බලාපොරොත්තු වූ ගුවන් තොටුපොළ හා දළ වශයෙන් සිදුවූ අලාභහානිය හැකි ඉක්මනින් හදුනා ගත යුතු වෙනවා. මීට අමතරව ගුවන් අනතුර සිදු වූ ප්‍රදේශය පිළිබඳව විස්තරයක්, පුපුරණ ද්‍රව්‍ය (dangerous goods) ගුවන් යානය තුළ තිබුණානම් ඒ පිළිබඳව විස්තර, මේ  සියළු දෑ පිළිබඳව පැහැදිලි විස්තර අවසාන වාර්තාවේ සදහන් වෙනවා.

අවසාන විමර්ෂණ වාර්තාව

අනතුරු අඩු කිරීම සඳහා ජලයටද ලෙහෙසියෙන් ගොඩ බෑ හැකි ගුවන් යානා නිපදවීම සිදු කරනු ලබයි. (www.arkansasonline.com)

දළ වාර්තාවක් නිර්මාණය කර ඉහත දැක්වූ සියළුම පාර්ශවයන් වෙත යැවීම සිදු කරනවා. මිය ගිය මගීන්ගේ රටවලට පවා මෙම වාර්තාව යැවිය යුතුයි. එම පාර්ශවයන් දින 60ක්  තුළ තමන්ගේ යෝජනා වාර්තාව සඳහා ඉදිරිපත් කළ යුතු වෙනවා. අවසාන විමර්ෂණ වාර්තාව අනතුර සිදු වී මාස 12ක් ඇතුළත අදාළ රට විසින් ICAO වෙත ඉදිරිපත් කරනවා. අවසන් වාර්තාව තුළ ඉහත දැක් වූ කරුණු සියල්ලටම අමතරව අනතුර  සඳහා බලපෑ හේතුව පැහැදිලිව සදහන් කළ යුතු වෙනවා. මෙවැනි අනතුරු නැවත නැවත ඇති නොවන ලෙස වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග අනිවාර්යෙන්ම සදහන් වෙනවා.

අවසාන විමර්ෂණ වාර්තාව අනතුර හා සම්බන්ධ සියළුම පාර්ශවයන් වෙත යැවීම සිදු කරනු ලබනවා. වසරක් තුළ වාර්තාව ඉදිරිපත් කළ නොහැකි වූවොත් සෑම වර්ෂයක් පාසා පරීක්ෂණයේ තත්වය සදහන් කර තාවකාලික විමර්ෂණ වාර්ථාවක් නිකුත් කරන්නට අදාළ රට කටයුතු කළ යුතු වෙනවා.

ලිපිය තුලින් ඔබ වෙත ගෙන ආවේ සිවිල් ගුවන් යානාවක් අනතුරට පත් වූ විට ජාත්‍යන්තර නීතින් අනුව විමර්ශන කටයුතු සිදු කරන ක්‍රියා පිළිවෙල හා එහි අවසානයයි. මීට අමතරව ගුවන් යානයක් තුළදී මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව ද ඉදිරි ලිපියකින් ඔබව දැනුවත් කරන්න අපි අදහස් කරනවා.