මුලින් ආවේ කුකුළාද? බිත්තරේද?

ලෝකේ තියෙන උත්තර දෙන්න අපහසුම ප්‍රශ්න අතරට එකතු වෙන සරලම ප්‍රශ්නයක් තමයි මුලින් හැදුණේ කුකුළා/කිකිළිද, එහෙම නැත්නම් බිත්තරේද කියන එක. ඇත්තටම දැන් මේ කතාව බොහෝ දෙනෙක්ට අමතක වෙලා ගිහින් තිබුණත් කාලෙකට කලින් මේක ලංකාවේ සැහෙන්න ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වෙලයි තිබුණේ. නමුත් මම ඒ ගැන ආයෙත් කතා කරන්න හිතුණේ මේ ප්‍රශ්නයට කාටත් පිළිගන්න පුළුවන් උත්තරයක් මට කල්පනා වුණු නිසයි.

මේකට අදාළ බොහෝ ලිපි තිබුණත් ඒ හැම එකක්ම වගේ අවසන් වෙන්නේ අවිනිශ්චිත බවකින්. නමුත් මේ ප්‍රශ්නයට තාර්කිකව වගේම පරිණාමවාදයෙනුත් උත්තර හොයන්න බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ වෙහෙසිලා තියෙනවා. සමහරු උත්තරේ හොයා ගත්ත බව කිව්වා, සමහරු ප්‍රශ්නයේ තියෙන අඩුපාඩුව ගැනත් කිව්වා. (කාටත් පුරුදු විදිහට මේ ප්‍රශ්නය “අදාළ නැහැ” කියලත් සමහරු පෙන්නලා දුන්නා) ඒ උත්සාහයන් ගැනත් හිතලා මේකට කාට වුණත් පිළිගන්න පුළුවන් උත්තරයක් හොයා ගන්න මමත් උත්සාහ කළා.

මට ලැබුණු උත්තරය තමයි මුලින් ඇති වුණේ බිත්තරය කියන එක.

ඒ උත්තරය සාධාරණීකරණය කරන්න පුළුවන් කොහොමද කියලා මම මේ ලිපියෙන් පැහැදිලි කරන්නම්. කාටත් තේරෙන විදිහට හරිම සරල උදාහරණ වලින් පැහැදිලි කරන නිසා ගැඹුරු විද්‍යාත්මක වචන, සංකල්ප එහෙම පාවිච්චි නොකරන්න පරිස්සම් වුණා. නමුත් අපැහැදිලි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම වැඩිදුරටත් තේරුම් කරන්න උත්සාහ කරන්නම්.

ගොඩක් විස්තර ඇතිව පැහැදිලි කරන නිසා ලිපිය නම් ටිකක් දිගයි. නමුත් මම හිතනවා මහන්සියක් නැතිව කියවාගෙන යන්න පුළුවන් වෙයි කියලා.

සත්වයින් හැදුණු හැටි

කුකුළා/කිකිළිය කියන්නේ පක්ෂී (කුරුළු) වර්ගයට අයත් වෙන සතෙක්. අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ පෘථිවිය බිහිවෙලා කුකුළා වගේ සතෙක් හැදෙන තැන දක්වා ආවේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනට කවුරුත් වගේ පිළිගන්න මතයක් තමයි පරිණාමවාදය කියන්නේ. පරිණාමවාදය තහවුරු කෙරෙන සාක්ෂි ගණනාවක් තියෙනවා, ඒවගේම ජීවීන් බිහි වුණේ පරිණාමවාදය නිසා කියන මූලික අදහස යටතේ මම තමයි මගේ පිළිතුර ගොඩ නගන්නේ.

මාළුවෙක් චිම්පන්සියා දක්වා පරිණාමය වුණු ආකාරය. මේ විදිහටම කුකුළා පරිණාමනය වීමත් සලකන්න පුළුවන්. රූපය : instituteofcaninebiology.org

මාළුවෙක් චිම්පන්සියා දක්වා පරිණාමය වුණු ආකාරය. මේ විදිහටම කුකුළා පරිණාමනය වීමත් සලකන්න පුළුවන්. රූපය : instituteofcaninebiology.org

පරිණාමවාදය අනුව මුලින්ම බිහි වුණේ පෘථිවියේ තිබුණු සාගර ආශ්‍රිත ඒක සෛලික සරල ජීවීන් (තනි සෛලයකින් හැම දේම සපුරා ගන්න සත්වයන්). පස්සේ කාලෙක මොවුන්ගේ පරිණාමය නිසා විවිධ සත්වයන් බිහි වෙනවා. ශාක ගැන අමතක කරලා සතුන් ගැන හිතුවොත් පරිණාමයේ ප්‍රධාන පුරුක් වලට අනුව මේ සරල ජීවීන් කුකුළා දක්වා පරිණාමය වුණේ පිළිවෙලින් බහු සෛලික ජීවීන්, මුහුදේ ජීවත් වන මාළු විශේෂ, උභය ජීවීන්, උරගයන්, පක්ෂීන් විදිහටයි. ඉන් පස්සේ ක්ෂීරපායි සතුන් සහ මිනිසුන් ඇති වුණා. විවිධ ප්‍රදේශ වල මේ පරිණාමයට බලපාපු සාධක අනුව එකම කාලයේ විවිධ පරිණාම අවධීන් වුණත් දැකගන්න පුළුවන්.

නමුත් මාළුවන් උභය ජීවීන් වෙන එක, උභය ජීවීන් උරගයන් වෙන එක, උරගයන් පක්ෂීන් වෙන එක හරියටම වුණේ කොතැනින්ද කියන එකට උත්තර දෙන්න ටිකක් අමාරුයි.

පඩි පෙළ සහ ආනත තලය

මේ ප්‍රශ්නය තේරුම් ගන්න හරිම සරල ක්‍රමයක් තමයි ගොඩක් ගොඩනැගිලි වලට ඇතුළු වෙන පඩිපෙළ සැලකිල්ලට ගැනීම. ඒ තමයි යම් උසකින් තියෙන තැනකට පහසුවෙන් යන්න තියෙන පඩි පෙළ වගේම ආබාධිත අයගේ පහසුවට හදලා තියෙන ආනත තලය. (රෝද පුටුවකට යන්න පුළුවන් වෙන්න තියෙන ඒකාකාරී බැස්ම) කෙරෙන්නේ එකම වැඩේ වුණත් ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. පඩි පෙළක් කියන්නේ නිශ්චිත උසවල් කිහිපයකට සම්පූර්ණ උස බෙදාපු අවස්ථාවක්. පඩි පෙළක පඩි අපිට ගණන් කරන්න පුළුවන්. නමුත් ආනත තලය?

පඩි පෙළක් සහ ආනත තලයක්. රූපය : reddit

පඩි පෙළක් සහ ආනත තලයක්. රූපය : reddit

පඩි පෙළේ මුල් පඩියේ ඉඳලා ඉහළට ඒක සෛලිකයන් ඉඳලා මිනිසුන් දක්වා ලේබල් කළොත් අපිට හරිම පහසුවෙන් ජීවයේ උපතේ ඉඳන් මිනිසුන් දක්වා ආපු විදිහ තේරුම් ගන්න පුළුවන් (බිම ඉඳලා උඩට එන විදිහ ගැන සිතීමෙන්). නමුත් ආනත තලයේ අපිට එහෙම දෙයක් කරන්න පුළුවන්ද? පරිණාමයේ ඇත්ත තත්වයත් මේ වගේ. එක ජීවියෙක් ගත්තාම ඊළඟ පරම්පරාවට වඩා ලොකු වෙනසක් නැහැ, නමුත් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. ආනත තලය දිගේ බැලුවොත් එක සමාන උසක් තියෙන තැන් දෙකක් නැහැ. එක ළඟ තියෙන තැන් දෙකක් උසින් ගොඩක් වෙනස් නොවුණත් ටිකක් දුරින් තියෙන තැන් දෙකක් උස අතින් සෑහෙන්න වෙනස්. අපි උරගයන්, කුරුල්ලන්, ක්ෂීරපායින් කියලා වෙන් කරලා තියෙන්නේ මේ විදිහට සැළකිය යුතු වෙනසක් දක්වන ජීවීන්ට. හරියටම වෙනස් වුණේ කොතැනින්ද කියන එක හරියටම කියන්න බැහැ.

පඩිවල උස අඩු කරලා ආනත තලයක් හැදුවොත්?

එකම උසක් වුණත් කුඩා පඩි බොහොමයකින් හැදුවොත් ඒ දිගේ රෝදයක් තල්ලු කරන්න අපහසු වෙන්නේ නැහැ.

එකම උසක් වුණත් කුඩා පඩි බොහොමයකින් හැදුවොත් ඒ දිගේ රෝදයක් තල්ලු කරන්න අපහසු වෙන්නේ නැහැ.

නිකමට හිතන්න සාමාන්‍ය පඩිපෙළක රෝද පුටුවක් තල්ලු කරගෙන යන්න බැහැ නේද? (වාඩි වෙලා ඉන්න කෙනාගේ ලෙඩේ වැඩි නොවී) ඒකට ප්‍රධාන හේතුව රෝද පුටුවේ රෝද එක්ක බැලුවාම පඩියක උස වැඩි වීම. නමුත් හිතන්න අඟල් කිහිපයක් උස පඩි තියෙන පඩි පෙළක් වෙනුවට එක පඩියක් සෙන්ටිමීටරයක් විතර උස පඩි පෙළක් නම්? ගැස්සෙනවා වුණත් ඉස්සෙල්ලට වඩා පහසුවෙන් රෝද පුටුව ගෙනියන්න පුළුවන් නේද? පඩියක උස මිලිමීටරයක් හරි, ඊටත් අඩු හරි වුණොත් හරි රෝද පුටුවේ යන කෙනාට දැනෙන්නේ සාමාන්‍ය සුමට තලයක් දිගේ තල්ලු කරනවා වගේම හැඟීමක් විතරයි වෙන්න පුළුවන්. නමුත් තවමත් මේ රෝද පුටුව යන්නේ පඩි පෙළක් දිගේ. වෙනසකට තියෙන්නේ කෙටි දුරක් යන්න පඩි විශාල ගණනක් අවශ්‍ය එකයි.

මේ උදාහරණය පරිණාමවාදයට දාල බැලුවොත් අපිට හොඳ පිළිතුරක් ලැබෙනවා. තවමත් අපිට පඩි වලට සත්ව විශේෂයක් ගණනේ ලේබල් කරන්න පුළුවන් නම් කලින් විදිහටම ඒක සෛලිකයන් මිනිසුන් දක්වා පරිණාමය වුණු බව දැක ගන්න පුළුවන්. නමුත් පඩි වල උස වගේම සත්ව වර්ග දෙකක් අතර වෙනස හරිම අඩුයි.

අතු විහිදෙන ගසක් මිසක් කණුවක් නෙවෙයි

අතු විහිදෙන ගසක් සහ කණුවක් අතර වෙනස අපි කාටත් තේරෙනවා. කණුවක වෙන්නේ මුලින් පටන් අරගෙන එකම රේඛාවක් දිගේ ඉහළට යන එක. ගසක වෙන්නේ මුලින් පටන් අරගෙන අතු බෙදි-බෙදී ඉහළට යන එක. පරිණාමයත් මේ වගේ. පටන් ගත්තේ ඒක සෛලික ජීවීන්ගෙන් වුණත් දිගටම පරිණාමය වුණේ එකම රේඛාවක් දිගේ නෙවෙයි. සමහර තැන් වලින් අතු බෙදුණා. ඒ අතු ආපහු බෙදිලා ගියා. ප්‍රධාන අත්තේ තැනින් තැනින් පොඩි අතු හට ගත්තා. අද ඉන්න සත්ව වර්ග දක්වා පරිණාමය වුණේ මේ විදිහට අනුරූප ක්‍රමයකට බව පිළි අරගෙන තියෙනවා.

මේ ගසේ අතු බෙදිලා තියෙනවා වගේ නිශ්චිත පිළිවෙලක් නැතිව තමයි පරිණාමය සිදු වුණේ. රූපය : shutterstock

මේ ගසේ අතු බෙදිලා තියෙනවා වගේ නිශ්චිත පිළිවෙලක් නැතිව තමයි පරිණාමය සිදු වුණේ. රූපය : shutterstock

අපි කලින් උදාහරණය පැහැදිලි කරන්න ගත්ත සංකල්පය ආනත තලයක් දිගේ ඇඳපු සරල රේඛාවක් විදිහට තේරුම් ගන්න එක නවත්වන්න තමයි මේ පැහැදිළි කිරීම කරන්නේ. මේ අදහස් දෙකම ගලපලා හරියටම හිතුවොත් ආනත තලයක් උඩ ඇඳපු අතු බෙදුණු ගහක් වගේ තමයි මේක සලකන්න වෙන්නේ. හරස් පැති වලට අතු බෙදෙන අතරේ දිගින් දිගටම ටික ටික හරි උඩට යනවා. ඒ වගේම කාලයත් එක්කම ටික ටික හරි පරිණාමය වෙනවා (අතු පහළට එන්නේ නැහැ කියලා උපකල්පනය කරමු).

මේ ගහේ කුකුළා ඉන්න තැන – කුකුළා අර්ථ දැක්වීම

කලින් උදාහරණය ගැන හිතලා අපි කුකුළා ඉන්න තැන හොයන්න බලමු.

මට මේ තැන රූපයකින් හරියටම දක්වන්න නම් බැහැ, මොකද ඒකට ලොකු පරිශ්‍රමයක් දරලා හරියටම කුකුළා හැදුණු හැටි හිතන්න වෙනවා. අනිත් එක හොඳට මතක තියා ගන්න මීට වසරකට කලින් හිටපු කුකුළා වුණත් අදට වඩා වෙනස්. විවිධ හේතු නිසා පොඩි හරි පරිණාමයක් තියෙනවා. ඒ නිසා කුකුල් පරම්පරාවෙන් පරම්පරාවට වුණත් මේ ගසේ අතු බෙදන්න වෙනවා. අදහසක් ගන්න කිව්වාට ඒක ප්‍රායෝගිකව පෙන්වන්න නම් බැහැ.

කොහොම වුණත් මේ ගසේ කොයි අත්තේ හරි, කොයි නටුවේ හරි, කොතැන හරි කුකුළා ඉන්නවා කියලා වැටහෙනවා නේද? මම මේ කුකුළා කියලා කියන්නේ අද ඉන්න කුකුළාට නෙවෙයි. කුකුළා කියලා අර්ථකථනය කරන පළමු සත්වයා බිහි වුණු තැනට. එතැන හරියටම කියන්න බැරි බවත් මම කලින් පැහැදිලි කරානේ. ඒ නිසා අපිට සිදු වෙනවා අපේ දැනුම් තේරුම් අනුව කුකුළා කියලා සාධාරණව හිතන්න පුළුවන් මුල්ම සත්වයා බිහි වුණු තැනට යන්න. අර කලින් කියාපු ගසේ උදාහරණයෙන් හිතුවොත් මෙන්න මෙතන තමයි මුල්ම කුකුළා ඉන්නේ කියලා අපි සාධාරණ අත්තක් තෝරා ගැනීම වගේ වැඩක්.

ගසේ යම් තැනක මේ වගේ මොකක් හරි අත්තක් කුකුළා කියල නිකමට හිතමු. රූපය : cliparts.co ඇසුරින්.

ගසේ යම් තැනක මේ වගේ මොකක් හරි අත්තක් කුකුළා කියල නිකමට හිතමු. රූපය : cliparts.co ඇසුරින්.

ඔන්න අපි “කුකුළා” අර්ථ දැක්වූවා.

මේ මුල්ම කුකුළා ගැන දැන් සම්පූර්ණ අවධානය යොමු කරමු. මොකද දැන් තමයි අපි මුලින් බිහි වුණේ බිත්තරය කියන අදහස සාධාරණීකරණය කරන තැනට එන්නේ. මේ කුකුළා හැදුණේ බිත්තරයකින්ද? අනිවාර්යයෙන්ම ඔව්. මොකද බිත්තරයකින් තමයි ඒ කුකුළා හැදෙන්න ජාන සහ වෙනත් සාධක ලැබුණේ. නමුත් මේ කුකුළා බිහි වුණු බිත්තරය දැම්මේ කිකිළියක්ද? (කුකුළෙකුට දාවද?)

නැහැ!

කුකුළයි කිකිළියි නැතුව බිත්තරේ ආවේ කොහොමද?

දැන් තමයි අපි කලින් හිතපු දේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. හිතට ගන්නත් එක්ක ආයෙත් ඒ සේරම මතක් කර ගනිමු. අපි කියපු දේවල් කරුණු විදිහට සාරාංශ කළොත් මේ වගේ.

  • අපි මේ පරිණාමය කියන සංකල්පය දිගේ නිතරම යන්නේ ඉහළට. (ආතන තලය දිගේ උඩට. ගසේ අත්තකින් අනු අත්තකට)
  • කිසිම ජීවී පරම්පරා දෙකක් සම්පූර්ණයෙන්ම සමාන නැහැ. (යන පැත්තට කිසිම තැන් දෙකක උස සමාන නැහැ. කිසිම අතු දෙකක් සර්ව සමාන නැහැ)
  • කුකුළා කියලා නිශ්චිත, සාධාරණ සතෙක් අපි තෝරා ගත්තා. (ගහේ නියමිත අත්තක් බෙදෙන තැන. ආනත තලයේ නිශ්චිත උසක්)
  • අපේ සාධාරණ තෝරා ගැනීම අනුව ඊට ඉහළින් කිසිම සතෙක් කුකුළෙක් / කිකිළියක් වෙන්න බැහැ. (ඊට කලින් තියෙන අත්ත අපි කතා කරන අත්තට පස්සේ තියෙන එකක් වෙන්න බැහැ. පඩි පෙළේ පහලින් තියෙන පඩියක් උඩ තියෙන පඩියට වඩා උසකින් තියෙන්න බැහැ.)

මේ අන්තිම කාරණාව තමයි ගොඩක් වැදගත්. අපි කරන තෝරා ගැනීම තමයි මෙතනදී හැම දෙයක්ම තීරණය කරන සාධකයක් වෙන්නේ. ඒ තෝරා ගැනීම කරපු ගමන් “කුකුළා” කියන සතාගේ මුල්ම බිහි වීම අපි සනිටුහන් කරනවා. අපේ තීරණය නිසා ඊට කලින් ඉන්න කිසිම සතෙක්ට කුකුළෙක් කියලා කියන්න බැහැ.

නමුත් ඒ සතා බිහි කරපු දෙමව්පියන් කුකුළාට වඩා හාත්පසින්ම වෙනස් සතුන් නෙවෙයි. අපි උදාහරණ වලින් පැහැදිලි කරපු විදිහටම බොහොම සුළු වෙනස් කම් තමයි තියෙන්න ඇත්තේ. නමුත් ඔවුන් දෙන්නාම ලොකු වෙනසක් නැතත් කුකුළන් නොවන වෙනස් ජීවී කොට්ඨාශයකට අයත් සතුන්. ඔවුන්ගේ ජාන එකතු වීම තමයි කුකුළා බිහි වෙන්න හේතු වෙන්නේ. (මේක සිදු වෙන්නේ අපේ අර්ථ දැක්වීම මත කියලා තේරුම් ගන්න)

එතකොට කුකුළා බිහි වුණු බිත්තරය කිකිළි බිත්තරයක්ද?

ඒක අනිවාර්යයෙන්ම ඔව් කියලා තහවුරු කරන්න පුළුවන්.

කුකුළාගේ දෙමව්පියන් වුණු සතුන් දෙදෙනාගේ ජාන වල එක්කාසු වීම නිසා බිත්තරය බිහි වෙනවා කියන කතාව ඇත්ත. නමුත් මේ සතුන්ගේ “යුක්තාණුව” (ශුක්‍රාණු සහ ඩිම්බය එකතු වෙලා, නැතිනම් සංසේචනය වෙලා හැදෙන අණුව) තමයි බිත්තරය බවට පත්වෙන්නේ. බිත්තරයක් කියන්නේ සතෙකුගෙන් පිටතදී වර්ධනය වෙන්න පුළුවන් විදිහට සැකසුණු යුක්තාණුවක් කියලා හිතන එකෙත් ලොකු වරදක් නැහැ. නමුත් මේකට කුකුළාගේ දෙමව්පියන් දෙදෙනාම සම්බන්ධ වුණු පමණින් ඔවුන්ගේ වර්ගයට අයත් කියල හිතන එක වැරදියි.

මේ කතාව එක පාරටම පිළිගන්න අමාරු නම් තවත් සරලව හිතමු. වැඩිදෙනෙක් දන්නා උදාහරණයක් තමයි කොටළුවා කියන්නේ. කොටළුවා (Mule) කියන සතා බිහි වෙන්නේ අශ්වයාගේ (Horse) සහ බූරුවාගේ (Donkey) එකතු වීමෙන්. මේ හැදෙන සතා තුළ බූරුවා වගේම අශ්වයා කියන සත්ව කොට්ඨාශ දෙකේම ලක්ෂණ පවතිනවා. නමුත් ඌ ඒ සතුන් දෙදෙනාටම වඩා වෙනස්. (පැහැදිලිවම වෙනස්)

අශ්වයා, බූරුවා සහ කොටළුවාගේ උසේ හා හැඩ රුවේ වෙනස් කම්. රූපය : pinimg.com

අශ්වයා, බූරුවා සහ කොටළුවාගේ උසේ හා හැඩ රුවේ වෙනස් කම්. රූපය : pinimg.com

මම කලින් කියපු දේ තහවුරු කර ගන්න අවශ්‍ය නම් හිතලා බලන්න කොටළුවා බිහි වෙන යුක්තාණුව ගැන. අශ්වයෙක්ගේ ශුක්‍රාණුවක් සහ බූරුවෙක්ගේ ඩිම්බයක් එකතු වෙලා මේ යුක්තාණුව හැදෙන්නේ. මේක අශ්ව හෝ බූරු යුක්තාණුවක් වෙලා තිබිලා පැටියා බිහි වෙන මොහොතේ කොටළුවෙක් වෙනවා කියන එකද, නැතිනම් අශ්වයාගේ ශුක්‍රාණු සහ බූරුවාගේ (බූරු දෙනගේ) ඩිම්බය එකතු වුණු මොහොතේ ඉඳන් කොටළු යුක්තාණුවක් බිහි වෙලා වැඩෙනවා කියන එකද වඩාත් නිවැරදි වෙන්නේ?

අපි මේක කුකුළාටත් යොදලා බලමු. මුල්ම කුකුළාගේ පියා A විදිහටත්, කුකුළාගේ මව B විදිහටත් හිතමු. ඔවුන් දෙදෙනාගේ ජීව අණු එකතු වුණු මොහොතේ හැදෙන යුක්තාණුව A හෝ B වර්ගයේ යුක්තාණුවක් කියනවා වෙනුවට අළුත්ම වර්ගයක් කියලා හිතන එක වඩාත් නිවැරදියි නේද? යුක්තාණුව බිහි වුණු මොහොතේ ඉඳලා වර්ධනයක් වෙනවා මිසක් ජාන සැකැස්මේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම බැලුවත් යුක්තාණුවට සමාන වර්ගයේ සතෙක් තමයි බිහි වෙන්නේ. අපි මේ බිහි වෙන සතාව කුකුළා කියලා තාර්කික විදිහට අර්ථ දක්වපු නිසා කුකුළා බිහි වුණු යුක්තාණුව කුකුල් යුක්තාණුවක් බවත්, ඒ යුක්තාණුවේ ඊළඟ පියවර වන බිත්තරය කුකුල් බිත්තරයක් (කිකිළි බිත්තරයක්) කියලත් අපිට පිළිගන්න වෙනවා. මේ නිසා ශුක්‍රාණුව සහ ඩිම්බය වෙනස් ජීවීන්ට අයත් වුණත් යුක්තාණුව කුකුල් යුක්තාණුවක්!

A හා B කියන සතුන් දෙදෙනා නිසා බිහි වන මුල්ම කිකිළි බිත්තරය සහ එයින් බිහි වෙන මුල්ම කුකුළා. ඩිම්බය සංසේචනය වුණු මොහොතේ ඉඳලා වැඩෙන්නේ කුකුල් යුක්තාණුවක්. නමුත් ශුක්‍රාණු සහ ඩිම්බය වෙනත් සතුන් වර්ග දෙකකට අයත්.

A හා B කියන සතුන් දෙදෙනා නිසා බිහි වන මුල්ම කිකිළි බිත්තරය සහ එයින් බිහි වෙන මුල්ම කුකුළා. ඩිම්බය සංසේචනය වුණු මොහොතේ ඉඳලා වැඩෙන්නේ කුකුල් යුක්තාණුවක්. නමුත් ශුක්‍රාණු සහ ඩිම්බය වෙනත් සතුන් වර්ග දෙකකට අයත්.

කොටළුවාගේ දෙමව්පියන් අපි කලින් කියපු ලොකු පඩි පෙළ වගේ. කොටළුවා සහ අශ්වයා අතරත්, කොටළුවා සහ බූරුවා අතරත් ලොකු වෙනස් කම් තියෙනවා. ඒක අපිට ලොකු පඩි පෙළේ පඩි වගේම හරිම පහසුවෙන් දැක ගන්න පුළුවන්. නමුත් මුල්ම කුකුළා සහ උගේ දෙමව්පියන් අතර තියෙන්නේ බොහොම සුළු වෙනසක්. හරියට මිලි මීටරයකටත් වඩා පොඩි පඩි තියෙන පඩි පෙළක් වගේ. පහසුවෙන් දැක ගන්න බැරි වුණත් හැම පඩියකම උස යන්තමින් හරි වෙනස් නේද?

අනිත් කාරණාව තමයි අපි පඩියක් කියලා හඳුන්වන තැන. එක පඩියක මතුපිට අවසන් වෙන තැනින් ඊළඟ පඩිය පටන් ගන්නවා මිසක් පහළින් තියෙන පඩියට උඩ පඩියේ යට කොටස අයිති නැහැ කියන එක වගේ දෙයක් තමයි කුකුළා බිහි වෙන්නේ කුකුල් බිත්තරයකින් කියන එකෙන් තහවුරු කළේ.

(තවත් උදාහරණ අවශ්‍ය නම් රසායනික ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා අලුත් සංයෝගයක් හැදෙන එකත් සලකලා බලන්න පුළුවන්. හැමෝම දන්න දෙයක් තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා ජලය හැදෙන කතාව. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් එකතු වුණු මොහොතේ හැදෙන ජලය ඒ වායු දෙකටම වඩා ගොඩක් වෙනස්. ජල අණුව කියන හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලය ඒ වායු දෙක එකතු වුණු මොහොතේම හැදෙනවා.)

ඉතින් කුකුළා බිහි වුණේ කුකුල්/කිකිළි බිත්තරයකින් නෙවෙයි කියලා සැකයක් මතු වුණා නම් ඒක දුරු වෙන්න ඇති කියලා හිතනවා. මේක ටිකක් දිගට පැහැදිලි කරේ වැදගත්ම තර්කය මේක නිසයි.

දැන් ප්‍රශ්නය විසඳුනා නේද?

මේ තරම් වෙලාවක් අපි නිතරම හමු වෙන, කවුරුත් දන්නා උදාහරණ ඔස්සේ මේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් හොයාගෙන ආවා. මම කියන හැම කාරණාවකටම පැහැදිලි හේතු දක්වලා තියෙන බව මම හිතන්නේ කවුරුත් පිළිගනීවි. තාර්කිකව බැලුවොත් මම හිතන විදිහට මගේ උපකල්පනවලට (පරිණාමවාදය, කුකුළා අර්ථ දැක්වීම) අනුව පැහැදිලි කිරීම නිවැරදියි.

ඒ අනුව අපිට මේ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටලුවට යම් පිළිගත හැකි පිළිතුරක් තියෙනවා කියන එක හිතන්න පුළුවන්. මම කියපු කාරණා වල අපැහැදිලි තැන් හරි, ඒ කාරණා බිඳින්න පුළුවන් සාධාරණ තර්කයන් හරි තියෙනවා නම් ඔබට comment එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ලිපිය ඔබ දන්නා කාටත් share කරන්නත් අමතක කරන්න එපා. වැඩි දෙනෙක් මේක කියවන තරමට, විශ්ලේෂණය කරන තරමට මේකේ නිවැරදිභාවය මට වඩාත් තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක විද්‍යාත්මක සිද්ධාන්තයක්/න්‍යායක් විදිහට ඉදිරිපත් කරන්නත් මට පුළුවන් වේවි.

මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කළා කියලා පිළිගැනීමකට ලක් වුණොත් රටටම වුණත් ආඩම්බරයක් නේද? ඒකට උදව්වක් විදිහට මේ ලිපිය ගැන කාගේත් අවධානයට ලක් කරන්න ඔබටත් පුළුවන් නම් ඔබටත් ඒකෙ කොටස් කරුවෙක් වෙන්න පුළුවන්.

කවරයේ පින්තුරය: jamesbirchall.com

Related Articles