Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රතු නත්තල් සීයා අප වෙතට ආවේ මෙහෙම යි

සෑම වසරකම දෙසැම්බරය ඇරඹීමටත් පළමුව වෙළඳ දැන්වීම්, වෙළඳ ආයතන, රූපවාහිනී, පොත් පත්, පත්තර ආදිය රතු ලෝගුවක් ඇඳගත්, සුදු ‍රැවුළුකාර, බඩ මහත චරිතයක් විසින් ආක්‍රමණය කෙරෙනවා. විශාල බඩු මල්ලකුත්, ඇතැම්විට පිනි මුවන් බැඳි හිම කරත්තයකුත් සමග විස්තර කෙරෙන මේ චරිතය නොදන්න කෙනෙක් නැති තරම්.

කවුද මේ නත්තල් සීයා? ඔහු සෑමවිටම රතු ඇඳි මහත තැනැත්තෙකු වී සිටියා ද? එසේත් නැතිනම් ඔහු නූතන නිර්මාණයක් ද? ඒ සියල්ලටම වඩා, කොකා කෝලා සමාගම රතු නත්තල් සීයා නිර්මාණය කළ බවට වන බහුතර විශ්වාසය සත්‍යයක් ද? මේ ගැන පොඩි සොයාබැලීමක් කරන්න අපි තීරණය කළා.

1937 Coca Cola නත්තල් පෝස්ටරය (mirror.co.uk)

1937 Coca Cola නත්තල් පෝස්ටරය (mirror.co.uk)

කවුද මේ ‘නත්තල් සීයා’?

ශාන්ත නිකලස් බිෂොප්තුමා (Catholic Tradition)

ශාන්ත නිකලස් බිෂොප්තුමා (Catholic Tradition)

‘Santa Claus’, එහෙමත් නැත්නම් අපි සිංහලෙන් හඳුන්වන ආකාරයට ‘නත්තල් සීයා’, නත්තල් සමයේ අප කවුරුත් ඉතා වැදගත් කොට සලකන චරිතයක්. පුරාවෘතවලට අනුව නත්තල් සීයා දෙසැම්බර් 24 හැන්දෑවේ සහ දෙසැම්බර් 25 උදාවන පැය කීපයේ දී ගෙවුණු වසරේ යහපත්ව හැසිරුණු ළමුන් වෙත තෑගි බෙදා දෙමින් ලොව පුරා ගමන් කරනවා. නත්තල් සීයා පිළිබඳව පුරාවෘත ඇරඹුනු ආකාරය පිළිබඳව පැහැදිලි සාධක නැතත්, වර්තමාන නත්තල් සීයා නිර්මාණය වන්නේ 4 වන සියවසේ සුළු ආසියාවේ ප්‍රදේශයක (වර්තමානයේ තුර්කියට අයත් වන) විසූ ශාන්ත නිකලස් නම් වූ බිෂොප්වරයෙකුත්, සින්ටර්ක්ලාස් නම් වූ ඕලන්ද ඉතිහාසමය චරිතයකුත්, ජර්මානු පුරාවෘත්තවල පැවසෙන ක්‍රයිස්ට්කින්ඩ් නම් වූ චරිතයකුත් වටා යි.

Sinterklaas (I amasterdam)

Sinterklaas (I amasterdam)

නත්තල් සීයා මොන වගේ ද?

ඔබ අප දන්නා නත්තල් සීයා සෑම විටම රූපයට නගන්නේ නිතරම සිනහවෙන් පසුවන, තරබාරු, සුදු ‍රැවුල්කාර මහල්ලෙකු වශයෙන්. සුදු ලොමින් නිමවුණු කොලරයක් සහ කමිස අත් අගක් සහිත රතු පැහැති කබායක් අඳින නත්තල් සීයා කළු පැහැ ඉණ පටියක් සහ බූට් සපත්තු හැඳ විශාල තෑගි මල්ලක් දරාගෙන සිටිනවා. කෙසේ නමුත් අප දන්නා ඒ රතු නත්තල් සීයා සෑම විටම ඒ ආකාරයෙන් චිත්‍රණය කෙරුනේ නැහැ.

'A Christmas Furlough' යන නමින් 1863 Harper's Weekly සඟරාවේ මුල් පි‍ටුවේ පල වූ නෑස්ට්ගේ නත්තල් සීයා (publicdomainreview.com)

‘A Christmas Furlough’ යන නමින් 1863 Harper’s Weekly සඟරාවේ මුල් පි‍ටුවේ පල වූ නෑස්ට්ගේ නත්තල් සීයා (publicdomainreview.com)

ආසන්න අතීතයේ ප්‍රථමයෙන් නත්තල් සීයා අඳිනු ලැබුවේ තරු සහිත කබායක් හැඳි කුරුමිටි ආකාර රූපයක් ලෙස යි. ඒ 1863 දී ඇමරිකානු කාටූන් ශිල්පී ‍තෝමස් නෑස්ට් විසින් Harper’s Weekly සඟරාවට යි.

එහිදී නත්තල් සීයා ඇමරිකානු සිවිල් යුද්ධයේ එක්සත් පාර්ශවයට සහාය දක්වන ආකාරයට නිර්මාණය කර තිබුණා. නැවතත් 1868 දී Sugar Plums නම් රසකැවිල්ලක් සඳහා වන වෙළඳ දැන්වීමකට නත්තල් සීයාගේ රූපයක් භාවිතා කරනු ලැබුවා. මෙම දැන්වීමේ දී නත්තල් සීයා කොළ පැහැති තොප්පියක් පැළඳ සිටින ආකාරයක් නිරූපණය කෙරුණා.

 

United States Confection Company විසින් රසකැවිලි දැන්වීමක් සඳහා කොළ පැහැ තොප්පියක් පැළැඳි නත්තල් සීයෙකු යොදාගත්තා  (commons.wikimedia.org)

United States Confection Company සමාගම රසකැවිලි දැන්වීමක් සඳහා කොළ පැහැ තොප්පියක් පැළැඳි නත්තල් සීයෙකු යොදාගත්තා  (commons.wikimedia.org)

අප වර්තමානයේ දකින ප්‍රසිද්ධ නත්තල් සීයාගේ රූපය අඳිනු ලැබුනේත් ‍තෝමස් නෑස්ට් විසින්ම යි. අද අප දකින තරබාරු, විනෝදයෙන් සිටින මහළු චරිතය Harper’s Weekly සඟරාවට ප්‍රථමයෙන්ම නිර්මාණය වන්නේ 1881 දී නෑස්ට් අතින්. ඉන්පසු විවිධ නිර්මාපකයින් විවිධාකාරයෙන් නත්තල් සීයා චිත්‍රණය කරනු ලැබූවත්, රතු හඳිනා තරබාරු නත්තල් සීයා සමාජයේ ප්‍රචලිත, පිළිගත් රූපය බවට පත් වුණා.

'Merry Old Santa Claus' නමින් 1881, ජනවාරි 1 වැනිදා Harper's Weekly සඟරාවේ පළවූ නෑස්ට් ගේ නත්තල් සීයා  (commons.wikimedia.org)

‘Merry Old Santa Claus’ නමින් 1881, ජනවාරි 1 වැනිදා Harper’s Weekly සඟරාවේ පළවූ නෑස්ට් ගේ නත්තල් සීයා  (commons.wikimedia.org)

“නත්තල් උදාවන්නේ Coca Cola එය නිවේදනය කිරීමෙන් පසුව යි.”

මේ අතර Coca Cola සමාගම තම ප්‍රචාරක කටයුතුවලට නත්තල් සීයා යොදාගැනීම ආරම්භ කළා. ඒ 1920 දශකයේ දී යි. නමුත් ඒ නත්තල් සීයා නම් විනෝදකාමියෙකු නොව, ‍තෝමස් නෑස්ට්ගේ නිර්මාණවල මෙන්ම බැරෑරුම් පෙනුමැති තැනැත්තෙකු වුණා.

අප කවුරුත් දන්නා විනෝදකාමී නත්තල් සීයා තම වෙළඳ දැන්වීම්වලට Coca Cola විසින් යොදාගනු ලැබුවේ 1930 වසරේ දී යි. එය චිත්‍ර ශිල්පී ෆ්‍රෙඩ් මිසන් ගේ නිර්මාණයක්.

1931 සිට Coca Cola සමාගම ප්‍රසිද්ධ සඟරාවල ද නත්තල් සීයා අඩංගු වෙළඳ දැන්වීම් පල කරන්නට වුණා. මේ සඳහා විනෝදකාමී, තරබාරු, මිත්‍රශීලී පෙනුමැති නත්තල් සීයාව නිර්මාණය කෙරුණේ D’arcy Adevertising Agencyහි නිර්මාණ ශිල්පියෙකු වන හැඩන් සන්බ්ලොම් විසිනුයි. ඔහු ඒ සඳහා ක්ලෙමන්ට් ක්ලාක් මුවර් විසින් 1822 දී ලියන ලද කවියක් උපයෝගී කරගත් බව පැවසෙනවා. සන්බ්ලොම් තම අවසාන නත්තල් සීයා Coca Cola වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවේ 1964 දී යි. 1931 සිට 1964 වන තුරුම නත්තල් සීයා සෙල්ලම් බඩු බෙදාහරින, ශීතකරණ වෙත එබී බලන, ලිපියක් කියවන අතරේ කෝලා පානය කරන රූප Coca Cola සමාගමේ වෙළඳ දැන්වීම්වල අඩංගු වුණා.

1931 දී Coca Cola වෙනුවෙන් නිර්මාණය වුණු සන්බ්ලොම්ගේ නත්තල් සීයා  (coca-colacompany.com)

1931 දී Coca Cola වෙනුවෙන් නිර්මාණය වුණු සන්බ්ලොම්ගේ නත්තල් සීයා  (coca-colacompany.com)

මෙම සමාගම නත්තල් සීයා තම වෙළඳ ප්‍රචාරණ සඳහා යොදාගැනීමේ දී කෙතරම් සාර්ථක වූවා ද කිවහොත්, වසරින් වසර නත්තල් සීයාගේ වෙනස්කම් ආදිය පිළිබඳව විමසමින් ජනතාව Coca Cola සමාගමට ලියුම් ලියනා තැනට එය පත්වුණා. සන්බ්ලොම් මුල් වසරවල නත්තල් සීයා ඇඳීමට නිරූපකයෙක් ලෙස යොදාගෙන තිබුණේ විශ්‍රාමලත් වෙළඳම්කරුවෙක්. ඔහු මියගිය පසු සන්බ්ලොම් තමාවම නත්තල් සීයාට නිරූපකයෙකු වශයෙන් යොදාගත්තා. ඔහු නත්තල් සීයා ලෙස හැඳ පැළැඳ කණ්ණාඩියක් ඉදිරියේ අසුන්ගෙන මේ චිත්‍ර ඇඳි බවට කියවෙනවා. මේ හේතුව නිසා, එක් වසරක මගුල් මුදුවක් පැළඳ සිටි නත්තල් සීයා මීළඟ වසරේ අදාල මුදුව පැළඳ නොසිටි නිසා ‘නත්තල් සීයාගේ මහත්මියට” (Mrs. Santa) සිදුවූයේ කුමක්දැ යි අසමින් ජනතාව Coca Cola සමාගමට ලිපි ලියුවා.

2001 වසරේ දී ඇලෙක්සැන්ඩර් පෙට්‍රොව්, සන්බ්ලොම්ගේ නත්තල් සීයා සජීවීකරණයට ලක් කර Coca Cola සඳහා රූපවාහිනී දැන්වීමකට යොදාගනු ලැබුවා.

1956 Coca Cola නත්තල් පෝස්ටරය (mirror.co.uk)

1956 Coca Cola නත්තල් පෝස්ටරය (mirror.co.uk)

මෑත ඉතිහාසය පුරාවටම විවිධ සමාගම් ද ආයතන ද විසින් වෙළඳ ප්‍රචාරක කටයුතු ඇතුළු තවත් බොහොමයක් අරමුණු සඳහා මේ විනෝදකාමී නත්තල් සීයාව භාවිතා කරනු ලැබුවා. Coca Cola සමාගම නත්තල් සීයා තම දැන්වීම්වලට යොදා ගැනීම ආරම්භ කළ 1920ටත් ප්‍රථමව රතු හැඳි නත්තල් සීයා කෙනෙක් ප්‍රචලිතව සිටි නිසා, ‘Coca Cola විසින් රතු හැඳි නත්තල් සීයා නිර්මාණය කළා’ය යන ප්‍රකාශය අසත්‍ය බව පැහැදිලි කරුණක්.

 

1920 සහ 1922 දී නෝමන් රොක්වෙල් විසින් අඳිනු ලැබ Saturday Evening Postහි පලවුණු මුල් කවර. මෙහි නත්තල් සීයා වඩාත් මානුෂික පෙනුමක් ගනියි. (publicdomainreview.com)

1920 සහ 1922 දී නෝමන් රොක්වෙල් විසින් අඳිනු ලැබ Saturday Evening Postහි පලවුණු මුල් කවර. මෙහි නත්තල් සීයා වඩාත් මානුෂික පෙනුමක් ගනියි. (publicdomainreview.com)

කෙසේ නමුත්, අද අප දකින තරබාරු, විනෝදකාමී, මිත්‍රශීලී නත්තල් සීයා නිර්මාණය කිරීමේ කටයුත්තට විශාල වශයෙන් දායක වූවන් අතර Coca Cola සමාගම ද සිටින බව අවිවාදාත්මක යි.

කවරයේ පින්තුරය: (huffpost.com)

Related Articles