Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 මහා මැතිවරණයේ බහුතරය කාට ද?

2020 මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලංකා දේශපාලන පිටිය උඩු යටිකුරු වී තිබෙන කාල සමයක යි. 1946 වසරේ ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තරග කරන මුල්ම මහා මැතිවරණය මෙය යි. එනිසා මෙවර මහා මැතිවරණයේ ප්‍රතිඵලය දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටිනවා. අවසන් වරට මෙරට පැවති ජාතික මැතිවරණය බවට පත් වුණේ 2019 ජනාධිපතිවරණය යි. එම මැතිවරණයේ දී නව දේශපාලන පක්ෂයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතරයක් ලබාගත්තා. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලැබීමට ඉඩ ඇති බව දැනට සමාජගතව තිබෙන මතයක්. 

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට අනුව මෙවර මහා මැතිවරණයේ දී එක් එක් පක්ෂයට ලැබීමට ඉඩ ඇති ආසන ප්‍රමාණය ගණනය කිරීමෙන් ලැබීමට නියමිත මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.

කොළඹ දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 640,743 (53.00%) ලබාගෙන ආසන 11ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 474,063 (39.21%) ලබාගෙන ආසන 7ක් හිමිකරගත්තා. ඊට අමතරව ඡන්ද 81,391 (6.73%) ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට ද ආසනයක් හිමි වුණා. නමුත් 2019 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 727,713 (53.19%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 559,921 (40.92%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 53,803 (3.53%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 11ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 8ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. ජාතික ජන බලවේගය 5%කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නොමැති නිසා ඔවුන්ට ආසනයක් හිමිවන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක හැසිරීම වෙනස්. එම නිසාම ප්‍රධාන පාර්ශවයන් දෙකෙන් එකක ආසනයක් ජාතික ජන බලවේගයට ලැබීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 577,004 (47.13%) ලබාගෙන ආසන 9ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 549,958 (44.92%) ලබාගෙන ආසන 7ක් හිමිකරගත්තා. ඊට අමතරව ඡන්ද 87,880 (7.18%) ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට ද ආසනයක් හිමි වුණා. නමුත් 2019 ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 855,870 (59.28%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 494,671 (34.26%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 61,760 (4.28%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 12ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 6ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. ජාතික ජන බලවේගය 5%කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නොමැති නිසා ඔවුන්ට ආසනයක් හිමිවන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක හැසිරීම වෙනස්. එම නිසාම ප්‍රධාන පාර්ශව දෙකෙන් එකක ආසනයක් ජාතික ජන බලවේගයට ලැබීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. 

කළුතර දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 338,801 (48.56%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 310,234 (44.47%) ලබාගෙන ආසන 4ක් හිමිකරගත්තා. ඊට අමතරව ඡන්ද 38,475 (5.52%) ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට ද ආසනයක් හිමි වුණා. නමුත් 2019 ජනාධිපතිවරණයේ දී කළුතර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 482,920 (59.49%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 284,213 (35.01%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 27,681 (3.41%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 7ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. ජාතික ජන බලවේගය 5%කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නොමැති නිසා ඔවුන්ට ආසනයක් හිමිවන්නේ නැහැ. ඒ අනුව ජාතික ජන බලවේගයට (ජනතා විමුක්ති පෙරමුණ) 2015 මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් හිමි වුණු ආසනය රැකගැනීමට මෙවර විශාල සටනක් දීමට සිදුවනවා. 

මහනුවර දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 440,761 (55.57%) ලබාගෙන ආසන 7ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 309,152 (38.98%) ලබාගෙන ආසන 5ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 471,502 (50.43%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 417,355 (44.64%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 23,539 (2.52%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 7ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 5ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. පසුගිය මැතිවරණවල දී ජනතා විමුක්ති පෙරමුණට මෙම දිස්ත්‍රික්කය තුළ විශාල ඡන්ද පදනමක් නොතිබුණත් මෙවර ලාල් කාන්ත මහනුවර කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන නිසා යම් වෙනසක් සිදුවිය හැකියි.

මාතලේ දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 138,242 (49.84%) ලබාගෙන ආසන 3ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 126,315 (45.54%) ලබාගෙන ආසන 2ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 187,821 (55.37%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 134,291 (39.59%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 8,890 (2.62%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 3ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

නුවරඑළිය දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 228,920 (59.01%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 147,348 (37.98%) ලබාගෙන ආසන 3ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 277,913 (58.28%)

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 175,823 (36.87%)

ඉහත ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 5ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) පොදුජන පෙරමුණට ආසන 3ක් ද හිමි විය හැකියි. නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මෙවර පාර්ශවයන් 3ක් අතර බෙදී යාමට ඉඩ ඇති නිසා ජයග්‍රාහී පාර්ශවයට ආසන 4ක් හිමි වීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

ගාල්ල දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 312,518 (50.07%) ලබාගෙන ආසන 6ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 265,180 (42.48%) ලබාගෙන ආසන 4ක් හිමිකරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 37,778 (6.05%) ලබාගත්තත් ආසනයක් හිමි වුණේ නැහැ. 2019 ජනාධිපතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 466,148 (64.26%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 217,401 (29,97%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 27,006 (3.72%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 7ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

මාතර දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 250,505 (52.44%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 186,675 (39,08%) ලබාගෙන ආසන 3ක් හිමිකරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්ද 35,270 (7.38%) ලබාගත්තත් ආසනයක් හිමි වුණේ නැහැ. 2019 ජනාධිපතිවරණයේ දී මාතර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 374,481(67,25%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 149,026 (26.76%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 23,439 (4.21%)

මෙවර මහා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට හිමිවන්නේ ආසන 7ක් පමණක් නිසා ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 5ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

හම්බන්තොට දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 196,980(53.84%) ලබාගෙන ආසන 4ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 130,433 (35.65%) ලබාගෙන ආසන 2ක් හිමිකරගත්තා. ඊට අමතරව ඡන්ද 36,527 (9.98%) ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට ද ආසනයක් හිමි වුණා. නමුත් 2019 ජනාධිපතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 278,804 (66.17%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 108,906(25.85%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 26,295 (6.24%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 5ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. නමුත් වසර 26ක් හම්බන්තොට දේශපාලනය කළ සජිත් ප්‍රේමදාස මෙවර හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු නොකිරීම නිසා ජාතික ජන බලවේගයට හම්බන්තොටින් ආසනයක් දිනාගැනීමේ අවස්ථාව තිබෙනවා. 

කුරුණෑගල දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 474,124 (49.26%) ලබාගෙන ආසන 8ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 441,275 (45.85%) ලබාගෙන ආසන 7ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 652,278 (57.90%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 416,961 (37.01%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 36,178 (3.21%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 10ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 5ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

පුත්තලම දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 180,135 (50.40%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 153,130 (42.83%) ලබාගෙන ආසන 3ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 230,760 (50.83%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 199.,356 (43.91%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 5ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

අනුරාධපුර දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 229,856 (48.35%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 213,072 (44.82%) ලබාගෙන ආසන 4ක් හිමිකරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 28,701 (6.04%) ලබාගත්තත් ආසනයක් හිමි වුණේ නැහැ. 2019 ජනාධිපතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 342,223 (58.97%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 202,348 (34.87%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 22,879 (3.94%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 6ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

පොළොන්නරුව දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 118,845 (50.26%) ලබාගෙන ආසන 3ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 103,172 (43.63%) ලබාගෙන ආසන 2ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී පොළොන්නරු දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 147,340 (53.01%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 112,473 (40.47%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 12,284 (4.42%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 3ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර පොදුජන පෙරමුණෙන් තරග වදින නිසා පොදුජන පෙරමුණට ආසන 4ක් හිමිවීමට ඉඩ කඩ තිබෙනවා  

බදුල්ල දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 258,844 (54.76%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 179,459 (37.97%) ලබාගෙන ආසන 3ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 276,211 (49.29%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 251,706 (44.92%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 5ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

මොණරාගල දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී මොණරාගල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 138,136 (52.53%) ලබාගෙන ආසන 3ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 110,372 (41.97%) ලබාගෙන ආසන 3ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී මොණරාගල  දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 208,814 (65.34%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 92,539 (28.95%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- 11,235 (3.52%)

මෙවර මහා මැතිවරණයේ දී මොණරාගල දිස්ත්‍රික්කය සඳහා ආසන 6ක් හිමිවන නිසා ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 4ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි.

රත්නපුර දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ඡන්ද 323,636 (51.19%) ලබාගෙන ආසන 6ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 284,117 (44.94%) ලබාගෙන ආසන 5ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී රතනපුර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 448,044 (59.93%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 264,503 (35.38%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 7ක් ද  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 4ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

කෑගල්ල දිස්ත්‍රික්කය 

2015 මහා මැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එහි දී ඔවුන් ඡන්ද 247,467 (49.52%) ලබාගෙන ආසන 5ක් ලබාගන්නා විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 227,208 (45.47%) ලබාගෙන ආසන 4ක් හිමිකරගත්තා. 2019 ජනාධිපතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- 320,484 (55.66%)

සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- 228,032 (39.60%)

ඉහත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට ආසන 6ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 3ක් ද (එක්සත් ජාතික පක්ෂය + සමගි ජන බලවේගය) හිමි විය හැකියි. 

නැගෙනහිර පළාත 

නැගෙනහිර තුළ ත්‍රිකුණාමලය, දිගාමඬුල්ල, සහ මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක පිහිටා තිබෙනවා. එහි දී නැගෙනහිර පළාතට මන්ත්‍රීධූර 16ක් හිමිවනවා. පහත දැක්වෙන්නේ 2015 මහා මැතිවරණයේ දී එම මන්ත්‍රීධූර බෙදී ගිය ආකාරය යි.

එක්සත් ජාතික පක්ෂය- 7

දෙමළ ජාතික සන්ධානය- 5

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 3

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 1

මෙවර මහා මැතිවරණයේ දී ඉහත ප්‍රතිඵලයේ එක්සත් ජාතික පක්ෂයට හිමි වුණු ආසනවලින් 6ක් පමණ සමගි ජන බලවේගයට හිමිවීමට ඉඩ තිබෙනවා. එයට හේතුව වන්නේ මෙවරත් ත්‍රිකුණාමලය සහ දිගාමඬුල්ල යන දිස්ත්‍රික්කවල දී මුස්ලිම් කොංග්‍රසය සහ සමගි ජන බලවේගය සන්ධානගතව තරග වැදීම යි. බොහෝ විට දෙමළ සන්ධානය සහ පොදු ජන පෙරමුණට පසුගිය වර ආසන ප්‍රමාණයම මෙවරක් ලැබීමට තිබෙන ඉඩ වැඩියි. ඉතිරි ආසන දෙක බොහෝ විට එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය අතර බෙදී යාවි.

උතුරු පළාත 

උතුරු පළාත තුළ යාපනය සහ වන්නි යන මැතිවරණ දිස්ත්‍රික්ක පිහිටා තිබෙනවා. එහි දී උතුරු පළාතට මන්ත්‍රීධූර 13ක් හිමිවනවා. පහත දැක්වෙන්නේ 2015 මහා මැතිවරණයේ දී එම මන්ත්‍රීධූර බෙදී ගිය ආකාරය යි.

දෙමළ ජාතික සන්ධානය- 9

එක්සත් ජාතික පක්ෂය- 2

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 1

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 1

මෙවර මහා මැතිවරණයේ දී ඉහත ප්‍රතිඵලයේ දෙමළ ජාතික සන්ධානයට ලැබුණු ආසන ප්‍රමාණය එලෙසම ලැබීමට වැඩි ඉඩක් පවතිනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ආසන 2ක එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර බෙදී යාමට ඉඩ තිබෙනවා. එසේම පොදුජන පෙරමුණට සහ ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙවරත් ආසන 1 බැගින් ලැබෙනු ඇති. 

මෙවර බහුතරය කාටද?

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණට දිස්ත්‍රික් පදනමෙන් ආසන 110ක් ලැබීමට ඉඩ තිබෙනවා. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් ද ආසන 15ක් ලැබුණු විට සමස්ත ආසන 125ක් ලැබෙනවා. නමුත් ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක හැසිරීම වෙනස්ම මුහුණුවරක් ගන්නවා. එම නිසා පොදුජන පෙරමුණට ලැබීමට නියමිත ආසන ප්‍රමාණය 115-125 අතර විචලනය විය හැකියි. 

කවරයේ ඡායාරූපය- Asia Net

 

Related Articles