Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි ගීතවලට ඇබ්බැහි වෙන්නෙ ඇයි?

ගීත අහන්න කවුරුත් කැමතියිනේ. එක් එක් පුද්ගලයාගේ රස වින්දනය අනුව තමන් වඩාත් කැමති මොන වර්ගයේ ගීත වලටද කියන එක තීරණය වෙනවා. අපි, ඉන්න ගමන් ගීයක් මුමුණ මුමුණ ඉන්න අවස්ථාත් ඕන තරම්. ඒ වගේම සමහර වෙලාවට අපි දන්නෙම නැතුව හිතෙනුත් සිංදු කිය කියා ඉන්නවා. මේ පුරුද්ද ඇතැම් අවස්ථා වලදී කරදරයක් වෙනවා. යන එන අතරමඟදි ඇහෙන ඔබ අකමැතිම ගීයක් වුණත් දවස පුරාම මතක් වෙන්න පුළුවන්. විභාගයක්, සම්මුඛ පරීක්ෂණයක් වගේ තීරණාත්මක අවස්ථාවකදීත් කොහේදි හරි ඇහුණු ගීයක් අපේ ඔළුවෙ වැඩ කරන්නෙ අදාල කාර්යයට අවධානය යොමු කරන්න බාධා කරමිනුයි. ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?

SANDA

Earworms

අළුත් ගීතයක් ඇහුවාම අපට නැවත නැවතත් ඒ ගීයම අහන්න හිතෙනවා. නැත්නම් ඒ තාලය, ඒ පද මාලාවම හිතෙන් මුමුණ මුමුණ ඉන්නවා. මේ විදියට අපේ ඔළුව ඇතුලෙ ගීයක් සැරිසරන්නෙ ඇයි? මේ තත්ත්වයට කියන්නේ “earworms” කියලයි. ඒ නිසා මෙය විස්තර කිරීමට අපි මේ ලිපියේ ඉදිරි පැහැදිලි කිරීම් වලදී “earworms” යන වචනයම භාවිතා කරනවා.

Earworms බොහොම සාමාන්‍ය දෙයක් බවයි පරීක්ෂණ මඟින් හෙලි වී තිබෙන්නෙ. නමුත් ග්‍රස්තිය (Obsessive-Compulsive Disorder) ඇති පුද්ගලයන්ට මේ තත්ත්වය වැඩිපුර පවතින බව පැවසෙනවා.

HDW Wallpapers

අළුත් ගීතයක්

ඔබ, හිතට වැදුණු අළුත් ගීයක් දවසකට කී සැරයක් අහනවද? සමහරවිට ඒ ගීතය ආයෙ අහන්න එපා වෙනකම්ම නැවත නැවතත් එකම ගීයම අහනවා ඇති. අපට අළුත් ගීතයක් හිතෙන් අයින් කරන්නම බැරි වෙන්නේ earworm තත්ත්වයට පත් වීම නිසයි. විද්‍යාඥ එළිසබෙත් මාගියුලස් ට අනුව ගීතයේ ඇතැම් පද කිහිප වරක්ම මනසේ වාදනය වීම සිදු වෙනවා. සමහර අවස්ථා වල රූපවාහිනී මාලා නාටක වල හෝ චිත්‍රපටවල වාදනය වන තේමා ගීත හෝ සංගීත ඛණ්ඩත් මේ විදියට අපේ හිතේ රැව් පිළිරැව් දෙමින් තියෙන අවස්ථා ඕන තරම්. අධ්‍යයන වලට අනුව තමන්ට සතියකට වරක් earworm තත්ත්වය ඇති වන බව 91%ක ප්‍රතිශතයක් වාර්තා කර තිබෙනවා. දිනකට වරක් තමන්ට earworm තත්ත්වය ඇති වන බව 25%ක් දෙනා සඳහන් කර තිබෙනවා.

පර්යේෂණ

මෙයට ස්ථිර හේතුවක් තවමත් සොයාගෙන නැහැ. තත්පර 8ක් පවතින earworm සාමාන්‍යයෙන් නොදැනුවත්වම සිදු වන අතර ඒවා එක් වරම හිතේ මතු වී නැති වෙනවා. මේ සම්බන්ධව පර්යේෂණ සිදු වන අතර දැනට තහවුරු වී ඇති කරුණු සොයා ගෙන තිබෙන්නේ මේ සම්බන්ධව පුද්ගලයන් දහසක් පමණ තැබූ සටහන් සමාලෝචනය කිරීමෙන් පසුවයි. ඒවා ඔවුන් විසින්ම තැබූ සටහන් වන අතර ඔවුන්ට ගීත මතක් වුණේ කොපමණ වෙලාවකට වරක්ද, එය කොතරම් වේලාවක් පැවතුණාද, පළමුවෙන්ම එය දැනුණු අවස්ථාවේදී ඔවුන් කරමින් සිටි කාර්යය වැනි දේවල් එම තොරතුරු වල අඩංගු වන්නේ නැහැ.

පර්යේෂණ වලට අනුව සංගීතය, මොළයේ බාහිකයේ චාලක ස්නායු වලට කරන බලපෑම සහ earworms ඇති වීම අතර සම්බන්ධයක් ඇති බව සනාථ වී තිබෙනවා. ගීතයක් ඇසීමේදී මොළයේ විවිධ ස්ථාන වල විවිධ ක්‍රියාකාරකම් සිදුවන අතර මිනිසුන් එක් තැනක ඉඳගෙන සිටිමින් ගීතය ඇහුවත් ඔවුන් නොදැනුවත්වම ගීතයෙන් අරුත් ගන්වන සිදුවීම් සමඟ සම්බන්ධ වෙනවා.

BRAIN SCAPE

ආයෙමත් වාදනය කරමු

නැවත නැවතත් ගීත ඇසීමෙන් earworms ඇති වීම වැඩි විය හැකියි. 90%කම වෙලාවට අපි අහන්නේ මීට පෙර අහපු ගීතයි. එක් ගීයක් හතර පස් සැරයක් ඇසීමෙන් අනතුරුව එක් ස්වරයක ශබ්දයෙන් පසු එන ඊළඟ ස්වරයේ ශබ්දය මොළය විසින් ඉබේම මතක් කර දෙනවා. එවිට ඊළඟ මොහොතේ ගීතයෙන් දෙන හැඟීමත් මතක් වෙනවා.

ගීතයේ සැලැස්මත් මේ සඳහා දායක වෙනවා. ගීත වලට ආවේණික වුණු රටාවන්ද මොළය තුළ මෙම ගීත ඛණ්ඩ එල්බගෙන සිටීමට හේතුවක්. සරල, පුනර්වර්තනය කිරීමට පහසු ගීත earworms බවට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව පැවසෙනවා.

ගී ගයන මොළය

විද්‍යාඥ වික්ටෝරියා විලියම්සන් ගේ අධ්‍යයනයකට අනුව එකිනෙකට වෙනස් වූ සංගීතයට ආවේණික ගුණාංග 50ක් පමණ සොයාගෙන තිබෙනවා. ඒ අනුව earworms බවට පත් වීමට ඉඩ ඇති ගීත වල ස්වරයන්හි පරතරය වැඩි අතර ස්වර උස් පහත් වන ප්‍රමාණයේ (pitch) සුළු වෙනස්කම් දක්නට ලැබෙනවා.

Pitch ලෙස හැඳින්වෙන්නේ ස්වර කොපමණ උස් පහත් තත්ත්වයෙන් පවතීද යන්නයි. උදාහරණයක් ලෙස බටනලාව ඉහළ ස්වර පරාසයක ධ්වනියකුත් බේස් ගිටාරය පහළ ස්වර පරාසයක ධ්වනියකුත් නිකුත් කරනවා.

විලියම්සන් පවසන ආකාරයට ගීයක් earworm එකක් වීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ ස්වර වල උස් පහත් වීම් සහ ස්වර පරාසයයි. ගීයක් ගායනා කිරීම පහසු වන්නේත් මෙම කාරණා නිසයි. මූලිකවම earworm යනු ඔබේ මොළය ගී ගැයීමයි.

w-dog.net

විනෝදකාමී අත්දැකීමක්

Earworms ඇති වීමට ගීතයේ ස්වභාවය සහ ගීතය අසන පුද්ගලයාගේ ස්වභාවයත් බලපානවා. පුද්ගලයා ඒ මොහොතේ සිටින පරිසර තත්ත්වය බලපාන්නේ ඉන්පසුවයි. යම් කෙනෙකු විඩාවට හෝ පීඩාවට පත් වූ විටත් earworms ඇති වීමේ සම්භාවිතාව වැඩියි.

පීඩාකාරී බවට මැසිවිලි තිබුණත්, බොහෝ අවස්ථා වලදී earworms සැබවින්ම විනෝදකාමී, හානියක් නොවන අත්දැකීමක්. විලියම්සන්ගේ පර්යේෂණ වලට අනුව ඇය පවසන්නේ earworms වලින් 30%ක ප්‍රමාණයක් පමණක් පීඩාකාරී බවයි. ඇය පවසන පරිදි අපේ මතකයේ වැඩිපුර රැඳෙන්නේ අපට කරදරයක්  වන මතකයනුයි. හිස තුළ ගීයක් වාදනය වීමට වඩා පීඩාකාරී සිදුවීම් වලට අපට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට සිදු වන නිසා earworms එතරම්ම කරදරයක් වෙන්නේත් නැහැ.

HD WALLPAPERS

ඇබ්බැහියෙන් මිදෙන්නට නම්

ඒ වුණත් පුද්ගලයා අනුව, අවස්ථාව අනුව විටෙක මෙය කරදරයක් වෙන්නත් පුළුවන්. එවිට එයින් මිදෙන්නටත් ක්‍රමයක් විලියම්සන් පවසනවා. වඩාත්ම ඵලදායී ක්‍රමය ලෙස ඇය පවසන්නේ වෙනත් ගීත ඇසීම හෝ භාෂා ඥානය දියුණු වන කුමන හෝ කාර්යයක (හරස් පද ප්‍රහේලිකා විසඳීම වැනි) නියැලීමයි.

Earworm බවට පත් වූ ගීතය නැවත නැවත ඇසීම අනෙක් ක්‍රමයයි. මෙමඟින් එය නැවතීම හෝ සම්පූර්ණ වීම සිදු වෙනවා. මෙයට හේතුව earworms යනු ගීතයකම කොටසක් වීමයි. මුළු ගීතයම ඇසීමෙන් එම ගීතයේ එකම කොටසක් පමණක් නිතරම මතක් වීම අවම කරගත හැකියි.

කවරයේ පින්තූරය- BRAIN SCAPE

මූලාශ්‍ර-

https://newsela.com/read/lib-mysteries-earworm-music/id/26219

http://www.bbc.com/news/magazine-17105759

https://askthepsych.com/atp/2008/04/08/earworms/

Related Articles