Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෝවියට් සමූහාණ්ඩුවට කවදාවත් හඳට යන්න බැරි වුණේ ඇයි?

මුල්කාලීන ව අභ්‍යවකාශ තරගයේ වැදගත් සන්ධිස්ථාන බොහොමයකට හිමිකම් කිව්වේ සෝවියට් සමූහාණ්ඩුව යි. මේ නිසා අභ්‍යවකාශ තරගයේ මීළඟ සන්ධිස්ථානය වන මිනිසෙක් සඳට යවා ආපසු ගෙන්වා ගැනීමේ අභියෝගයත් සෝවියට් සමූහාණ්ඩුව ජය ගනු ඇතැ යි ඒ කාලයේ සිටි බොහෝ දෙනෙක් විශ්වාස කළා.

කොහොම නමුත් ඇමෙරිකාව ඒ තරගයෙන් ජය ගත්තා වගේ ම සෝවියට් සමූහාණ්ඩුවට කවදාවත් සඳට මිනිසෙක් යවන්න හැකියාව ලැබුණෙත් නැහැ.

අභ්‍යවකාශ තරගයේ ආරම්භය

පළමු කෘත්‍රීම චන්ද්‍රිකාව – ස්පුට්නික් 1 (esa.int)

කෘත්‍රීම චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න තමන් සූදානම් බවට ඇමෙරිකාවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් 1955 අගෝස්තු 2 වැනි දා සෝවියට් රුසියාව තමනුත් “නුදුරේ දී ම” චන්ද්‍රිකා කක්ෂගත කරන බව ප්‍රකාශ කිරීම මෙහි නිල ආරම්භය විදිහට සැලකෙනවා.

ඒ අභියෝගය ජය ගනිමින් 1957 ඔක්තෝබර් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කරන්නත් සෝවියට් සමූහාණ්ඩුව සමත් වුණා. ඇමෙරිකාව එයින් යම් පරාජයක් ලැබුවත් ඉන්පසු ජාතික අභිමානය රැක ගැනීමේ අවශ්‍යතාව නිසා ඒ වෙනුවෙන් ඉහළ කැපවීමක් කරන්න ඇමෙරිකානු කොන්ග්‍රසය නම්මවා ගැනීමට හැකි වීම, ඒ රටේ බොහෝ දෙනෙක් පවා ධනාත්මක දෙයක් ලෙස දකිනවා.

ස්පුට්නික් 1 කක්ෂගත කිරීමත් එක්ක අභ්‍යවකාශ තරගය වේගයෙන් ඉදිරියට යන්නේ දෙපිරිස ම මීළඟ සන්ධිස්ථානයට මුලින්ම යන්න කැප වීමෙන් කටයුතු කිරීමත් එක්ක යි.

සඳට මිනිසෙක් යැවීමේ අභියෝගය සහ සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිචාරය

මුල්ම අජටාකාශගාමියා – සෝවියට් ජාතික යූරි ගගාරින් (aerospaceguide.net)

මුල්වරට චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම වගේ ම ජීවියෙකු සහිත යානයක් කක්ෂගත කිරීම, හඳ මත යානයක් පතිත කිරීම, හඳේ නොපෙනෙන පැත්තේ ඡායාරූප ලබා ගැනීම, මිනිසෙකු සහිත අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීම ආදිය මුල්වරට සිදුකිරීමේ ගෞරවය සෝවියට් සමූහාණ්ඩුව සතු වුණා. මේ නිසා ඇමෙරිකාව අභ්‍යවකාශ තරගයේ පැහැදිලි ජයග්‍රහණයක පිපාසයෙන් සිටියේ.

මිනිසෙක් සඳට යවා ආපසු ගෙන්වා ගැනීමේ අභියෝගය 1960 දශකය නිමාවෙන්න පෙර ජය ගත යුතු බවට එරට ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි 1962 සැප්තැම්බර් 12 වැනි දා කතාවක් කරමින් කියා සිටියා. එයින් නොනැවතී ඔහු ඒ වෙනුවෙන් විශාල අරමුදල් ප්‍රමාණයකුත් වෙන් කර දුන්නා. පැහැදිලි අරමුණක් ලැබීම වගේ ම රටේ ම අවධානය යොමු වීමත්, අතිවිශාල මහජන සහයක් හිමි වීමත් ඇමෙරිකාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයට විශාල උත්තේජනයක් වුණා.

කොහොම වුණත් සෝවියට් සමූහාණ්ඩුව නම් මේ අභියෝගය ගැන වැඩි තැකීමක් කළේ නැහැ. සඳ මත ගොඩ බැසීමට වඩා බොහෝ සෙයින් පහසු වගේ ම ලාභදායී වූ, සැබෑ ප්‍රයෝජනවත් බව අතින් වැඩි වෙනසක් නැති, සඳ වටා ගොස් පැමිණීමට හැකි මිනිසුන් සහිත යානයක් තැනීම ගැන යි ඔවුන් වැඩිපුර උනන්දු වුණේ.

මිනිසුන් සහිත යානයකට සඳ වටා ගොස් පැමිණීමට ක්‍රමයක් සෙවීම

විශිෂ්ට සෝවියට් රොකට් නිර්මාණකරු සර්ගේ කොරොලෙව් (rbth.com)

සඳ වටා ගොස් පෘථිවියට නොපෙනෙන පැත්තේ ඡායාරූප ගන්නට ඒ වන විටත් සෝවියට් සමූහාණ්ඩුවේ ලූනා – 3 අභ්‍යවකාශ යානය සමත් වී තිබුණු නිසා එහි තාක්ෂණික අභියෝග ගැන ඔවුන්ට හොඳ දැනුමක් තිබුණා. සෝවියට් සමූහාණ්ඩුව සතු විශිෂ්ටතම රොකට් නිර්මාණකරුවා වූ සර්ගේ කොරොලෙව් යටතේ තිබූ OKB-1 බියුරෝවේ උත්සාහය වුණේ R-7 රොකට් යොදාගනිමින් මුලින් අභ්‍යවකාශ යානයත්, පසු ව අතිරේක ඔක්සිජන් ටැංකිත් වාර දෙකක දී අභ්‍යවකාශ ගත කර අභ්‍යවකාශයේ දී සම්බන්ධ කිරීම යි.

මේ වගේ සංකීර්ණ ක්‍රමයක් යොදාගන්න සිදු වුණේ R-7 රොකට්ටු සියල්ල එකවර අභ්‍යවකාශගත කරන්න තරම් ප්‍රබල නොවීම යි. කොහොම නමුත් ඒ වන විට අලුතෙන් නිර්මාණය කර තිබූ UR-500 රොකට් යොදාගෙන එකවර මෙම ගමන සිදු කරන්නත් තවත් සෝවියට් නිර්මාණකරුවෙකු වූ ව්ලැදමීර් ෂෙලෝමේගේ සැලසුමක් තිබුණා.

හඳට යන්නට සෝවියට් සමූහාණ්ඩුවෙනුත් මෙහෙයුමක්

කෲස්ෂෙව්ගේ හා කෙනඩිගේ පෞරුෂ ඝට්ටනය අභ්‍යවකාශ තරගයේ ප්‍රධාන තැනක් ගත්තා (launiusr.wordpress.com)

වසර තුනකට පමණ පසු ව සඳ මත ගොඩබෑමේ ප්‍රයෝජනවත් බව කෙසේ වෙතත් එය රටේ අභිමානය අතින් වඩා වැදගත් බව සෝවියට් නායක නිකිටා කෲස්ෂෙව් පවා වටහා ගත්තා. ඇමෙරිකාවට තරම් ආර්ථික ශක්තියක් නොතිබුණත් කෙසේ හෝ අවශ්‍ය සම්පත් සොයාගෙන ඒ වෙනුවෙන් ඉහළම කැපවීම යොදන ලෙස ඔහු 1964 දී නියෝගයක් ලබා දුන්නා. “ඇමෙරිකානුවන්ට අත්පත් කරගන්න ඉඩ දී සඳ අත හැර දමන්න එපා”යැ යි ඔහු කියා සිටි බව පැවසෙනවා.

ඒ අනුව අංක 655-268 දරන “සඳ සහ අභ්‍යවකාශය ජය ගැනීමේ කටයුතු” සෝවියට් ආඥාව හරහා සඳට මිනිසුන් ගොඩබැස්වීමට සෝවියට් රුසියාවත් ඇපකැප වුණා. කොහොම නමුත් අභ්‍යන්තර බල අරගල නිසා මෙය සැලසුම් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ කොරොලෙව්ට නොව ෂෙලෝමේ වෙත යි. 1966 දී මිනිසුන් සහිත යානයක් සඳ වටා යාමේ මෙහෙයුමකට දියත් කරන්නත්, 1967 දී සඳ මතට ගොඩ බස්වන්නටත් ඔහුට ඉලක්කයක් ලැබෙනවා.

ඇපලෝ මෙහෙයුම සහ සෝවියට් මෙහෙයුම කල් යාම

ලියොනෙඩ් බ්‍රෙෂ්නෙව් (jewishbusinessnews.com)

කොහොම නමුත් හිතපු විදිහට කිසිවක් සිදු වුණේ නැහැ. ඇමෙරිකානු සඳ ගමනට විශාල උත්තේජනයක් වුණු කෙනඩි ජනාධිපතිවරයා ඝාතනය වීමත් එක්ක ඔහුගේ සිහිනය සැබෑ කරන්න ඇමෙරිකානුවන් වඩාත් වැඩියෙන් ඇපකැප වුණත් නිකිටා කෲස්ෂෙව්ගේ මරණයෙන් පසු ව බලයට පැමිණි ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් අනුගමනය කළේ තරමක් වෙනස් ක්‍රමයක්. ඔහු නැවතත් සෝවියට් සඳ ගමනේ කටයුතු නැවතත් කොරොලෙව්ට ලබාදෙනවා.

කොහොම නමුත් ශල්‍යකර්මයකින් පසු ව කොරොලෙව් මිය යාමත් එක්ක සෝවියට් සඳ ගමන තවත් පසුබෑමකට ලක් වෙනවා. මේ හේතු නිසා දිගින් දිගටම කල් යන සෝවියට් සඳ ගමන් වැඩසටහනේ මිනිසුන් සමග සඳට යාමේ සිහිනය රැගත් N1 රොකට්ටුවක් දියත් කිරීමේ පීඨිකාව වෙත ගෙන එන්න හැකි වෙන්නේ 1969 වසරේ පෙබරවාරි මාසයේ දී යි.

ඇමෙරිකානු Saturn V සහ සෝවියට් N1 රොකට්ටු (simotron.files.wordpress.com)

කෙසේ නමුත් ඇමෙරිකාවේ ඇපලෝ වැඩසටහන ඒ වන විටත් සඳ ගමනට අවශ්‍ය බොහෝ දේවල් අත්හදා බලා අවසන්.

N1 හි පර්යේෂණ ගමන් සියල්ල ම අසාර්ථක යි

අධික වියදමක් දරා නිර්මාණය කළ N1 රොකට්ටුවල දියත් කිරීම් කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ. 1969 පෙබරවාරි 21 වැනි දා මුල්ම N1 රොකට්ටුව ගුවන් ගත වී තත්පර 68.7ක දී පුපුරා යන අතර ජූලි 3 වැනි දින දියත් කළ දෙවැන්න පීඨිකාවෙන් එසවෙන්නටත් පෙර ම විනාශ වෙනවා. ජූලි 16 වැනි දා ඇපලෝ 11 යානය සාර්ථක ව දියත් වීමත්, ජූලි 21 වැනිදා සඳට ගොඩබැසීමත් එක්ක සෝවියට් රුසියාවට සඳට මුල්වරට මිනිසෙකු ගොඩබැස්වීමේ තරගයෙන් පරාජය වීමට සිදුවෙනවා. එයින් පස්සේ සඳ ගමනට සෝවියට් නායකත්වයෙන් පවා ලැබෙන්නේ අඩු අවධානයක්.

ඇමෙරිකානුවන් සඳ මත (extremetech.com)

1971 ජූනි 27 සහ 1972 නොවැම්බර් 23 දිනවල තවත් N1 රොකට්ටු දෙකක් දියත් කෙරුණත්, ඒවාත් විනාඩි 2ක් ගත වෙන්නට පෙර පුපුරා විනාශ වෙනවා. ඇපලෝ මෙහෙයුම අතිසාර්ථක ව සඳ ගමන් කිහිපයක් ම සිදුකිරීම ගැන වාර්තා පළ වෙද්දීත් අධික වියදමක් දරා නිපදවන N1 රොකට්ටු දිගටම විනාශ වීම ලැජ්ජාවට කාරණාවක් නිසා ඉන්පසු ව N1 දියත් කිරීම් නවතා දැමෙනවා.

N1 හි සහ සෝවියට් සඳ ගමනේ අසාර්ථකත්වයට හේතු

N1 හි නිර්මාණයේ අඩුපාඩුකම් ගණනාවක් තිබීම මේ අසාර්ථකත්වයට හේතු වුණා. ඇමෙරිකානු Saturn V රොකට්ටු රොකට් එන්ජින් 5 ක් යොදා ගනිද්දී N1 හි තිබුණේ කුඩා එන්ජින් 30ක්. මෙවන් එන්ජින් 30ක් නිවැරදි ව පාලනය කරන්න තරම් එදා ඉලෙක්ට්‍රොනික පාලක පද්ධතිවලට පරිගණක බලයක් තිබුණේ නැහැ. වියදම් අවම කිරීමේ අවශ්‍යතා නිසා මුල්ම දියත් කිරීමට පෙර මේ එන්ජින් 30 එකවර ක්‍රියාත්මක කර බලන්නවත් ඔවුන් කටයුතු කර නොතිබුණු නිසා එම අඩුපාඩුව සොයාගන්නට ඔවුන්ට ඉඩ ලැබුණේ පළමු N1 රොකට්ටුව විනාශ වීමෙනුත් පසුව යි.

කුඩා එන්ජින් 30ක් නිවැරදි ව පාලනය කරගන්න නොහැකි වීම N1 හි අසාර්ථකත්වයට බලපෑවා (flickr.com)

අධික වියදම නිසා පසු ව සෝවියට් සඳ ගමන සිහිනයක් ම බවට පත් කරමින් මේ වැඩසටහන සම්පූර්ණයෙන් ම අතහැර දැමුවා. විවිධ පසුබෑම් ගණනාවක්, දේශපාලන බල අරගල, ප්‍රමාණවත් ලෙස අත්හදා බැලීම් නොකිරීම, මූල්‍ය ගැටලු, පරිගණක බලය මදිකම ආදී හේතු ගණනාවක් සෝවියට් සඳ ගමන් සිහිනය අසාර්ථක කළේ ඒ විදිහට යි.

මේ නිසා අදටත් සඳ මතට මිනිසුන් ගොඩ බැස්වීමට හැකියාවක් ලැබී ඇත්තේ ඇමෙරිකානුවන්ට පමණයි. කොහොම නමුත් පරිගණක තාක්ෂණය ඉතා දියුණු අද කාලයේ Space X හි රොකට් ගණනාවක් N1 රොකට්ටුව මෙන්ම එන්ජින් අතිවිශාල සංඛ්‍යාවක් යොදාගැනීම සාර්ථක ව සිදුකරනවා. ඉතාම කෙටි කලකින් ඔවුන් ඒ ක්‍රමය ම උපයෝගී කරගෙන සඳ ගමන් පවා සිදුකිරීමට නියමිත යි.

කවරයේ රූපය : youtube.com

Related Articles