Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The Godfather; පියවරු සහ පුත්තු

සිනමාව කියන්නෙම ප්‍රේක්ෂකයා බරපතල කම්පනයකට පත් කරන්න පුළුවන් කලා මාධ්‍යයක්. හැබැයි ඒ කම්පනයේ ප්‍රමාණය ඇත්තටම තීරණය වෙන්නෙ ඒ ඒ චිත්‍රපටයේ ස්වභාවය අනුව. සමහර චිත්‍රපට අවසානයේ දැනෙන පසු කම්පනය පැය කිහිපයකට සීමා වෙද්දි, තවත් සමහර චිත්‍රපට නිසා ඇතිවෙන කම්පනය දවස් කීපයක්, සමහරවිට සති කීපයක් අල්ලලා හිටිනවා. හැබැයි ඔය අතරෙ ඉතාම කලාතුරකින් නිර්මාණය වෙන චිත්‍රපට තියෙනවා; අවුරුදු ගාණක් ගියත් වෙනස් නොවෙන පසුකම්පනයක් ප්‍රේක්ෂක හදවත් ඇතුළෙ ඉතුරු කරන්න සමත්වෙන.

මාරියෝ පූසෝ ගෙ The Godfather නවකතාව ඇසුරින් 1972 අවුරුද්දෙ තිරයට එන The Godfather චිත්‍රපටයත් අයිති වෙන්නෙ ඒ දුර්ලභ කොටසට. ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයට ලැබෙන අති දැවැන්ත ජනප්‍රියත්වය නිසාම 1974 සහ 1990 දී පූසෝ – කොපෝලා සුසංයෝගයෙන් නිර්මාණය වුණු තවත් Godfather චිත්‍රපට දෙකක් නරඹන්න සිනමා ප්‍රේක්ෂකයො වාසනාවන්ත වෙනවා.

Godfather සැකෙවින්

Godfather චිත්‍රපට මාලාවට පසුබිම් වෙන්නෙ මාෆියා කල්ලිවල ක්‍රියාකාරකම්වලින් අඩුවක් නොවුණු ඇමරිකානු-ඉතාලි සමාජය. මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සිසිලියේ ඉඳලා ඇමරිකාවට සංක්‍රමණය වුණු විටෝ කොර්ලියෝනි. ‘ගෝඩ් ෆාදර්’ විදියටත් හඳුන්වන එයා ඇමරිකානු පාතාලයේ සුක්කානම මෙහෙයවපු ප්‍රධාන පවුල් කිහිපයෙන් එකක ප්‍රධානියා.

imdb.com

හෙරොයින් ජාවාරම ලෝකය පුරා පැතිරෙන්න පටන්ගන්නෙත් මේ කාලෙම යි. චිත්‍රපටය පුරාම තියෙන්නෙ බලය, ව්‍යාපාර සහ මිලමුදල් වෙනුවෙන් එකිනෙකා මරාගැනීම. ප්‍රභූ ජිවිතයක් ගතකරන විටෝව ඉලක්ක කරගෙන එල්ලවෙන වෙඩි ප්‍රහාරයකින් තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ. ගෝඩ්ෆාදර් කිරුලේ ඊළඟ උරුමක්කාරයා සනී කොර්ලියෝනි. පුදුමාකාර විදියට කේන්ති යන, දුරදිග නොබලා කලබල වෙන මනුස්සයෙක්. ඒ නිසාම එයාට සිද්ධවෙනවා අවාසනාවන්ත විදියට තවත් පාතාල කල්ලියකින් වෙඩිකාලා මහපාරෙ මැරෙන්න. පාතාල කටයුතුවලින් ඈත්වෙලා ඉන්න උත්සාහ කරන බාල පුතා මයිකල් කොර්ලියෝනිට පවුලේ කුප්‍රකට උරුමය බාරගන්න වෙන්නෙ ඊට පස්සෙ.

දොන් මයිකල් කොර්ලියෝනි ඇමරිකානු පාතාල ලෝකයේ ‘ගෝඩ්ෆාදර්’ විදියට කරන කියන දේවල් තමයි දෙවෙනි චිත්‍රපටය ඇතුළෙ දිගහැරෙන්නෙ. ඇත්තටම එයා ඒ විෂය සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. තාත්තගෙනුත් ගොඩක් දේවල් ඉගෙනගන්න මයිකල් ඇමරිකානු, ඉතාලි පාතාල ලෝකයේ සහ ව්‍යාපාර ලෝකයේ හිණිපෙත්තටම යනවා. එක පැත්තකින් අති භයානක මාෆියා නායකයෙක් වුණත් මයිකල් කියන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන් හැම තිස්සෙම හොඳම දේ දෙන්න උනන්දු වුණු ආදරණීය මනුස්සයෙක්. හරියට එයාගෙ තාත්ත විටෝ කොර්ලියෝනි වගේ. අනිත් මාෆියා කල්ලිවලින් එල්ලවෙන තර්ජන, අපරාධ පරීක්ෂණ චෝදනා වගේම පවුල් ජීවිතයේ කඩාවැටීම නිසාත් බරපතල මානසික පීඩාවකින් ජීවත්වෙන මයිකල්ගේ කතාවට අමතරව විටෝ කොර්ලියෝනි සිසිලියේ ඉඳලා ඇමරිකාවට සංක්‍රමණය වීම සහ මාෆියා නායකයෙක් වීම දක්වා අතීත කතාවත් ගෝඩ්ෆාදර් දෙවෙනි කොටසේ තැනින් තැන දිගහැරෙනවා.

imdb.com

ගෝඩ් ෆාදර් තුන්වෙනි කොටස දිගහැරෙන්නෙ ඊට අවුරුදු ගාණකට පස්සෙ. ඒ වෙනකොට දොන් මයිකල් කොර්ලියෝනි ඇමරිකාවෙ වගේම ඉතාලියෙත් සුප්‍රකට ධන කුවේරයෙක්. වතිකානුව හරහා ලෝකය පුරා සමාජ සේවා කටයුතුවලට ඩොලර් මිලියන ගණනින් ආධාර කරන, පල්ලියට වගේම දේශපාලනයටත් නැතුවම බැරි ව්‍යාපාරිකයෙක්. මාෆියා කල්ලිවල ක්‍රියාකාරකම් සහ පල්ලිය හරහා සිද්ධවෙන නොයෙක් අවකල් ක්‍රියා ගැනත්, ඒ දේවල් පිටිපස්සෙ ඉන්න දේශපාලකයො සහ පූජකයො ගැනත් මහා බරපතල ඇත්තක් හෙළිදරව් කරන ගෝඩ්ෆාදර් තුන්වෙනි චිත්‍රපටය කෙළවර වෙන්නෙ මයිකල්ගෙ තරුණ පුතා තමන්ගෙ මුල්ම ඔපෙරාව පවත්වන සිසිලියානු රංග ශාලාව ඉස්සරහ සිද්ධවෙන අවාසනාවන්ත සිදුවීමකින්.

පූසෝ, කොපෝලා සහ ගෝඩ්ෆාදර්

මාරියෝ පූසෝ ව ගොඩක් අය දැනගෙන හිටියෙ සාමාන්‍ය නවකතාකරුවෙක් විදියට වුණත් 1969 ප්‍රකාශයට පත්වෙන The Godfather නවකතාව හරහා එයා ඔප්පු කරල පෙන්නනවා තමන් සාමාන්‍ය කතන්දර කියන්නෙක් නොවෙන බව. ඇත්තටම ගෝඩ්ෆාදර් පිටපතේ තියෙන්නෙ අපරාධකාරයො සහ මාෆියා කල්ලි ගැන මතුපිට කතන්දරයක් විතරක්ම නෙමෙයි. ඊට එහා ගැඹුරකින් මනුෂ්‍යත්වය, ආදරය සහ විරහව ස්පර්ෂ කරන්න ගෝඩ්ෆාදර් හරහා පූසෝට පුළුවන් වෙනවා. පවුල, ආරක්ෂාව සහ භය වගේ හැඟීම් එක්ක මිනිස්සු ගනුදෙනු කරන විදිය ඉතාමත් සියුම් විදියට තමන්ගෙ චරිත හරහා විනිවිද දකින්නයි එයා උත්සාහ ගන්නෙ. පූසෝගේ කාව්‍යමය ලේඛන ශෛලියත් ගෝඩ්ෆාදර් තිර පිටපතට අපූරු සෞන්දර්යයක් එකතු කරනවා.

Francis Ford Coppola, Mario Puzo (www.imdb.com)

1972 ට කළින් ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා කියන්නෙත් එච්චර ජනප්‍රිය නමක් නෙමෙයි. ඒත් The Godfather චිත්‍රපටය තිරගත වීමත් එක්ක ඒ නම ලෝකයේ වඩාත් ජනප්‍රිය අධ්‍යක්ෂකවරුන්ගේ නම් ලැයිස්තුවට එකතුවෙනවා. සිනමා භාෂාව හැසිරවීම කියන කාරණයෙදි එයා ගොඩක් පොහොසත් බව හැමෝම දැනගන්නෙ ගෝඩ්ෆාදර් හරහා. පූසෝ එක්ක ගෝඩ්ෆාදර් තිරනාටකය ලියන්නත් දායක වෙන කොපෝලා තමයි තුන්වෙනි ගෝඩ්ෆාදර් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත්. මේ චිත්‍රපට ත්‍රිත්වය එකකට එකක් නොදෙවෙනි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි කොපෝලා – පූසෝ සුසංයෝගය. ඒක සිනමාව ඇතුළෙ තිතටම වැඩකරපු එකතුවක්.

සාමාන්‍යයෙන් Crime ශානරයේ චිත්‍රපටවල බහුලවම දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි වේගවත් රිද්මය. රූප සංරචනය, කැමරාකරණය, සංස්කරණය වගේම සංගීතය හරහාත් අපරාධ චිත්‍රපටවල නිතර අපි දකින ඒ වේගය වෙනුවට ගෝඩ්ෆාදර් ඇතුළෙ මුණගැහෙන්නෙ ඉතාමත් හෙමින් ගලාගෙන යන රිද්මයක්. නිතර නිතර ‘ඉතාලි හැඩතල’ මුණගැහෙන පසුබිම් සංගීතය හරහා ඒ ගුප්ත, අවිනිශ්චිත, මන්දගාමී රිද්මයට එකතුවෙන වටිනාකමත් සුළුපටු නැහැ. ඇත්තටම ඒ ශාන්ත නිහඬබව ඇතුලෙ තියෙන්නෙ ඇඟ හිරිවැටෙන භීතියක්.

imdb.com

ගෝඩ්ෆාදර් කැමරාකරණය, සංස්කරණය වගේම ආලෝකකරණය සකස්වෙලා තියෙන්නෙත් ප්‍රධාන චරිතවල ස්වභාවය ගැන සංකීර්ණ පණිවිඩයක් සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව. විටෝ, මයිකල් සහ එයාලගෙ ඊළඟ උරුමක්කාරයා වින්සන්ට් කොර්ලියෝනිව අපි ගොඩක් වෙලාවට දකින්නෙ ඒ චරිතවල ගුප්ත ස්වභාවය වඩාත් හොඳින් දැනෙන ආලෝකකරණයක් එක්ක. සිනමා ව්‍යාකරණ ඉතාම නිවැරදිව භාවිතා කළොත් විතරයි අධ්‍යක්ෂකවරයෙකුට එහෙම සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙන්නෙ.

මුල්ම චිත්‍රපටයේ විටෝ කොර්ලියෝනි විදියට අපට මුණගැහෙන්නෙ මාලන් බ්‍රැන්ඩෝ. මයිකල්ට පණ දෙන්නෙ අල් පසීනෝ. වැඩි දෙනෙකුට ගෝඩ්ෆාදර් නම ඇහෙද්දිම මතක් වෙන්නෙ මාලන් බ්‍රැන්ඩෝ වුණත් ඇත්තටම ඒ චිත්‍රපට තුන ඇතුළෙ බ්‍රැන්ඩෝ තරමටම කතාකළ යුතු චරිතයක් තමයි පසීනෝ. මයිකල් කොර්ලියෝනිගෙ චරිතය හරහා එයා මුදාහරින රංගන ප්‍රතිභාව අති විශිෂ්ඨ එකක්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ චරිත ලක්ෂණ ගණනාවක් එකට කැටිවුණු ඒ වගේ සංකීර්ණ චරිත රඟපෑම වගේම තේරුම් ගැනීමත් අති දුෂ්කරයි.

පූසෝ, කොපෝලා දෙන්නා මොන තරම් දක්ෂ විදියට තමන්ගෙ චරිත ගොඩනගලා තියෙනවද කියන කාරණය තහවුරු කරන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි කොනී කොර්ලියෝනිගේ චරිතය. චිත්‍රපටයේ කොටස් තුන ඇතුළෙ එයා ඉන්නෙ චරිත තුනක. අහිංසක මනමාලියකගෙ ඉඳලා ගෝඩ්ෆාදර් කෙනෙකුගෙ උපදේශිකාවක් දක්වා පරාසයක විහිදෙන ඒ චරිතය රඟපාන්නෙ ටාලියා කොපෝලා ෂයර්.

අපරාධය, දඬුවම සහ හෘදසාක්ෂියේ රිදවුම

ගෝඩ්ෆාදර් චිත්‍රපට ත්‍රිත්වයේ චරිත අතරින් සංකීර්ණම චරිත ස්වභාවයක් හිමි පුද්ගලයෙක් තමයි මයිකල්. ව්‍යාපාර ලෝකයේ වගේම පාතාල ලෝකයෙත් ඉහළම තැනක වැජඹුණාට එයා හැමදාම තමන්ගෙ අභ්‍යන්තරයේ හිස්කමකින් පීඩා විඳින කෙනෙක්. අසීමිතව ආදරය කරපු හැමෝම තමන්ගෙ ජීවිතෙන් ඈතට යද්දි ඒ වේදනාව නිහඬවම දරාගන්න එයා, කෑගහල අඬන එකම එක තැනක් විතරයි අපි දකින්නෙ. නීත්‍යානුකූල වෙන්න කොයිතරම් ඕන වුණත්, මොන තරම් පොරොන්දු දුන්නත්, පාපෝච්ඡාරණය කළත් එයාට පුළුවන්කමක් නැහැ ආපහු හැරෙන්න.

imdb.com

අන්තිම චිත්‍රපටයේ අන්තිම දර්ශනය විදියට අපට දකින්න ලැබෙන්නෙ ජීවිතේ අන්තිම මිනිත්තු කිහිපයේ අතීතාවර්ජනයක යෙදෙන මයිකල් කොර්ලියෝනිව. එයා මතක් කරන්නෙ ජීවිත කාලයක් තිස්සෙ වැඩියෙන්ම ආදරය කරපු, ඒත් තමන්ට අහිමි වුණු ස්ත්‍රීන් තුන්දෙනා ගැන. ඒ මතකයත් එක්ක මයිකල් කොර්ලියෝනි තමන්ගෙ හැම වේදනාවක්ම කෙළවර කරගනිද්දි සදාකාලික මතකයක් ප්‍රේක්ෂක හදවත්වලට තිළිණ කරමින් ගෝඩ්ෆාදර් චිත්‍රපට ත්‍රිත්වය කෙළවර වෙනවා.

සිනමාව ගැන උනන්දුවක් තියෙන ප්‍රේක්ෂකයෙක් නොවරදවාම බැලිය යුතු චිත්‍රපට තුනක් විදියට ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලබපු Godfather  චිත්‍රපට ත්‍රිත්වය හැඳින්වීම අතිශයෝක්තියක් නෙමෙයි. සරල අපරාධ කතා මාලාවකින් එහා ගැඹුරකට අපිව අරගෙන යන Godfather හරහා පූසෝ වගේම කොපෝලාත් අපට නැවත නැවත මතක් කරනවා සිනමාව කියන්නෙ මොන තරම් ප්‍රබල කලා මාධ්‍යයක් ද කියන කාරණය.

තොරතුරු සහ ඡායාරූප_ www.imdb.com

Related Articles