Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ පිරිසිදු ජලයෙන් 20%ක් දරා සිටින පංච මහා විල්

අපි ජීවත් වන ශ්‍රී ලංකාව තුළ ඇති තරම් වැව් හා ඇළ දොළ ගංගා තිබුණත් ස්වභාවිකව ඇතිවුණු, සැළකිය යුතු තරමේ විලක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මුළු මහත් ලෝකය දෙස බැලූ විට ප්‍රධාන ගොඩබිමෙන් සම්පූර්ණයෙන් වට වූ අති විශාල කරදිය, කිවුල් දිය හා මිරිදිය විල් දැකගන්නට පුළුවන්. රුසියාවේ ඇති ලොව ගැඹුරුම මිරිදිය විල වන බයිකල් විල ලෝකයේ පවතින පිරිසිදු ජලයෙන් 20% ක් දරා සිටින බව මින් පෙර ලිපියකින් අපි ඔබ වෙත හෙළි කළා.ඒ පිළිබඳ රසබර තොරතුරුත් ඔබ වෙත ගෙන ආවා.

උතුරු ඇමෙරිකාවේ ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාවට මායිම්ව පිහිටා තිබෙන ‘පංච මහා විල්’ පද්ධතියත් බයිකල් විල මෙන්ම ලෝක ප්‍රසිද්ධියක් උසුළනවා. හ්‍යුරන්, මිචිගන්, ඊරි, ඔන්ටේරියෝ හා සුපීරියර් යන, එකිනෙකට ආසන්නව එකට බැඳී පිහිටි මේ විල් කිහිපයේ ජල ධාරිතාව එකට කැටි කොට සැළකුවහොත් බයිකල් විලේ ධාරිතාවටම ආසන්න වශයෙන් සමාන වෙනවා. කෙටියෙන්ම පැවසුවහොත් ලෝකයේ පිරිසිදු ජලයෙන් 40%ක්ම බයිකල් විල හා පංච මහා විල් දරා සිටිනවා.

පංච මහා විල් භූමියේ ගන්නා ඉඩ ප්‍රමාණය එක් කොට සළකා බැලුවහොත් වපසරියෙන් වර්ග කිලෝමීටර 65,610ක් වන අතර  ශ්‍රී ලංකාව තෙවරක් ගිල්වූවත් තවත් විශාල ඉඩක් ඉතිරි වෙනවා. පංච මහා විල් පිළිබඳව ලියැවෙන ලිපි පෙලේ පළමුවැන්න වන මේ ලිපියෙන් සමස්ථයක් වශයෙන් පංච මහා විල් පද්ධතිය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ඔබ හමුවේ තබන්නට අපි තීරණය කළා.

පංච මහා විල් වල පිහිටීම

පංච මහා විල් පිහිටා තිබෙන්නේ උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු දිගින් හා කැනඩාවේ දකුණු දිගින් ඒ රටවල් ද්විත්වයටම මායිම් වන්නටයි. මෙහි කොටස් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයටද, ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන්, විස්කොන්සින්, මිනසෝටා, ඉලිනොයිස්, ඉන්ඩියානා, ඔහායෝ, පෙන්සිල්වේනියා හා නිව්යෝර්ක් යන ප්‍රාන්ත වලටද මායිම්ව පිහිටා තිබෙනවා. මෙයට ඇමෙරිකාවේ ‘සිවුවන’ මුහුදු තීරය ලෙසද නමක් පටබැඳී තිබෙනවා.

පංච මහා විල් වල චන්ද්‍රිකා ඡායාරූපයක් -glc.org

පංච මහා විල් සියල්ලේම ජල ධාරිතාව සමස්ථයක් වශයෙන් ගැළුම් ක්වොඩ්‍රිලියන 6 ක් හෙවත් 6,000,000,000,000 ක් වෙනවා. විල් සියල්ලේම වපසරිය වර්ග කිලෝමීටර 246,463 ක් වෙනවා. බටහිර සිට නැඟෙනහිරට කිලෝමීටර 1200ක පමණ දුරක් තුළ පංච මහා විල් විහිදී පවතිනවා. මේ විල් අත්ලාන්තික් සාගරයෙන් අවසන් වන ශාන්ත ලෝරන්ස් නදිය හා සම්බන්ධ වී තිබෙනවා.

මැනිටුලින්  දූපත-wikipedia.org

පංච මහා විල් සතුව කුඩා හා විශාල දූපත් 35,000ක් පමණ තිබෙනවා. මින් වැඩිමනක් කුඩා හා ජනශුන්‍ය ඒවා වෙනවා. මින් විශාලම දූපත වන්නේ හ්‍යුරන් විලෙහි පවතින මැනිටුලින් (Manitoulin)  දූපතයි. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2,766ක් හෙවත් ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයට ආසන්න භූමි වපසරියකට හිමිකම් කියන මේ දූපත ලෝකයේ අභ්‍යන්තර ජල ප්‍රහවයක් සතුව ඇති විශාලම දූපත වෙනවා.

පංච මහා විල් පිළිබඳ ඉතිහාසය

වර්තමානය වන විට පංච මහා විල් විනෝදජනක ක්‍රීඩා, බෝට්ටු සවාරි වැනි දේට තෝතැන්නක් වන අතර නැව් මඟින් භාණ්ඩ ප්‍රවාහනයද මේවායේ කෙරෙනවා. නමුත් මීට බොහෝ කලකට පෙර ඒවා දැන් තිබුණු තත්වයෙන් තිබුණේ නැහැ. මීට වසර 14,000 කට පමණ පෙර මේ විල් කිහිපය සහිත ප්‍රදේශය සැතපුම් භාගයක පමණ ගැඹුරකින් යුත් ග්ලැසියරයකින් ආවරණය වී තිබුණා. කාලයාගේ ඇවෑමෙන් එය සෙමින් දියවෙන්නට පටන්ගත් අතර උතුරට හෙවත් කැනඩාව දෙසට ගමන් කරමින් ජලය පිරි විශාල අවපාතන රැසක් ඇති කරමින් සම්පූර්ණයෙන්ම දියවී ගියා. මේ මඟින් පංච මහා විල් වල සැකැස්මට මූලික අඩිතාලම වැටුණු අතර, මීට වසර 10,000 කට පමණ පෙර ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අද ඇති තත්ත්වයට පත් වුණා.

පංච මහා විල් වල ධාවනය වන නෞකාවක පැරණි ඡායාරූපයක් -pinterest.com

පංච මහා විල් ප්‍රදේශය ඇමෙරිකා එක්සත් ජනපදයට යුරෝපියයන් පැම්ණීමට පෙර සිටම ස්වදේශික ජනතාවගේ වාසස්ථාන තිබුණු පෙදෙසක්. 17 වන සියවසේ මුල් භාගයේදී ප්‍රංශ ජාතික දේශ ගවේෂකයන් වන වන ඉටියෙන් බෲල් හා සැමුවෙල් ඩෙ චැම්ප්ලේන් විසින් මේ ස්ථානය සොයාගෙන ලෝකයට හඳුන්වා දුන්නා. ක්‍රි.ව 2017 වන විට මේ විල් තදාසන්න ප්‍රදේශ වල මිලියන 30 ක පමණ ජනකායක් වෙසෙන බවට ගණන් බලා තිබුණා. එය කැනඩාවේ සම්පූර්ණ පුරවැසියන්ගෙන් 30% හා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිනිසුන්ගෙන් 10% ක ප්‍රමාණයකට සමාන බව ඇමෙරිකානු පරිසර සංරක්ෂණ ඒජන්සිය විසින් ප්‍රකාශ කරනවා.

දේශගුණය හා පරිසරය

කර්කටක නිවර්තනයෙන් උතුරට වන්නට පිහිටා ඇති පංච මහා විල් පෙදෙසට හොඳින් වෙන් කොට හඳුනාගත හැකි ග්‍රීෂ්මයක් හා ශිශිරයක් පැමිණෙනවා. ග්‍රීෂ්මයේදී උණුසුම් හා වැඩි ආර්ද්‍රතාවයකින් යුතු දිගු දිවා කාලයන් සහිත දිනයන් ඇති වන අතර ශීත ඍතුවේදී කෙටි දිවා කාලයන් සහිත ශීතල දිනයන් ප්‍රතිඵල වෙනවා. පංච මහා විල් වල වැඩි වපසරිය නිසා සෑම විටකම පාහේ වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් අවට වායුගෝලයේ පවතින අතර ජලයේ වැඩි විශිෂ්ට තාප ධාරිතාවය නිසා අනෙකුත් තදාසන්න ප්‍රදේශ වලට සාපේක්ෂව මෙහි ග්‍රීෂ්මය උණුසුමින් අඩු වන අතර ශිශිරය ශීතලෙන් අඩු වෙනවා. ජල ප්‍රභව වල බලපෑම නිසා චිකාගෝ වැනි විල් ඉවුරේ පවතින නගර වලට දෙසැම්බර් ජනවාරි මාස වල ඉතා දැඩි හිම පතනයක් ලැබෙනවා.

චිකාගෝවට ලැබුණු දැඩ් හිම පතනයක් -Brian Kersey/ Getty images

පංච මහා විල් එකිනෙක සම්බන්ධ කරන දිය පහරවල් හා ගංගා ගණනාවක්ම තිබෙනවා. මෙයිනුත් හ්‍යුරන් හා මිචිගන් විල් දෙක යා කෙරෙන ‘මැකිනැක් සන්ධිය’ (Straits of Mackinac ) නම් කුඩා දිය පහර විශේෂ එකක්. වසර පුරාවටම මෙහි සැළකිය යුතු ප්‍රමාණයේ දිය පහරක් ගලා යන නිසා මේ විල් දෙක එකම විලක කොටස් දෙකක් ලෙස සලකන්නටත් පුළුවන්. ඊරි විල හා ඔන්ටාරියෝ විල එකිනෙක යා කෙරෙන නයගරා ගංගාව ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ල නිමවනවා. ශාන්ත ලෝරන්ස් ගංගාව ඔන්ටාරියෝ විලට සම්බන්ධ වී එහි ජලය ශාන්ත ලෝරන්ස් බොක්ක ඔස්සේ අත්ලාන්තික් සාගරයට ගෙන යනවා.

පංච මහා විල් ඉතා විශාල වපසරියක පැතිරිණු ජල ප්‍රභව නිසා මේවා මධ්‍යයේ ව්විධ කුණාටු තත්ත්ව ඇති විය හැකියි. 1975 වසරේ 29 දෙනෙකුට මරු කැඳවමින් සුපීරියර් විල මත දී අනතුරට ලක්ව ගිලී ගිය SS Edmund Fitzgerald නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට ලක් වූයේ එවැනි කුණාටුවක් නිසායි.

SS Edmund Fitzgerald නෞකාව- youtube.com

ශාක හා සතුන්

පංච මහා විල් හා අවට හොඳ ජෛව විවිධත්වයක්ද දැකිය හැකියි. පංච මහා විල් පෝෂක ප්‍රදේශය තුළ ශාක හා සත්ත්ව විශේෂ 3,500ක් පමණ දැකිය හැකි අතර ඊට මත්ස්‍ය විශේෂ 170කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. වර්තමානය වන විට ආක්‍රමණික විශේෂ පැතිරී යාම හේතුවෙන් මෙහි අනෙකුත් ජීවී විශේෂ වලට තර්ජන එල්ල වී තිබෙනවා. මීට අමතරව අපද්‍රව්‍ය බැහර කිරීම් නිසාද මෙහි ජලය අපවිත්‍ර වීමේ අවදානමක් ඇති වී තිබෙනවා. ඇමෙරිකානු හා කැනඩා රජයන් විසින් ඒවා සඳහා කඩිනම් පියවර ගනිමින් සිටිනවා.

ඊරි විලේ එක් වී ඇති කසළ -inhabitat.com

පංච මහා විල් වලට අයත් එක් එක් විල් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න…

(කවරයේ පින්තූරය- tvo.org)

Related Articles