වර්තමාන උමං තාක්ෂණය සහ ලෝකයේ දැවැන්ත උමං මාර්ග

 පොළොව අභ්‍යන්තරයේ උමං සෑදීම ඈත අතීතයේ සිට ම පැවතුණ තාක්ෂණ ශිල්පයකි. ලංකාවේ ද ඈත අතීතයේ මහාරාවණ රජ සිවුහෙළය පුරා විවිධ උමං මාර්ග තැන වූ බවට විශ්වාසයක් පවතී. පසුකාලීන විවිධ රජදරුවන් ද විවිධ හේතු සඳහා උමං තැන වූ බවට ඉතිහාසයේ සඳහන් ය.

බටහිර රටවල ද 17 වන ශතවර්ෂය වන විට ඇළ මාර්ග සඳහා  පොළොව අභ්‍යන්තරයේ උමං ඉදිකරමින් තිබිණි. නගරයෙන් නගරයට අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග හෝ දුම්රිය මාර්ග නොමැති ඒ කාලයේ, විශාල දුර ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තිබූ හොඳ ම මාර්ගය බවට උමං පද්ධතිය පත් ව තිබිණි.

දුම්රිය හා මෝටර් රථ නිශ්පාදනය ඇරඹීමත් සමඟ උමං ඉදිකිරීමේ විශාල ව්‍යාප්තියක් ද  ඇති විය. 19 වන සහ 20 වන සියවස්වලදී දුම්රිය හා මෝටර් රථ ප්‍රවාහනය සහ මාර්ග පද්ධති ඩි දියුණු කිරීම පිණිස විශාල හා වඩා හොඳ හා දිගු උමං මාර්ග පද්ධතියක වුවමනාව ද ඇති විය.

1843 දී තේම්ස් උමං මාර්ගය විවෘත කරන විට එය ලෝකයේ 8 වන ආශ්චර්යය ලෙස හැඳින්විණි –  oyalacademy.org.uk 

ලොව පළමු සාර්ථක උමං ආචරණය ශ්‍රීමත් මාක් ඉසම්බාර්ඩ් බෘනෙල් 1825 දී තේම්ස් උමං මාර්ගය කැණීම සඳහා සංවර්ධනය කර තිබිණි. මධ්‍යම ලන්ඩනයේ තේම්ස් නදිය යටින් ටවර් උමං මාර්ගය 1870 දී ඉදිකිරීමේ දී බෘනෙල්ගේ මුල් සැලසුම, සැලකිය යුතු ලෙස වැඩිදියුණු කෙරිණි. ජේම්ස් සහ හෙන්රි ග්‍රේට්හෙඩ් ලන්ඩන් 1884 දී නගරය සහ දකුණු ලන්ඩන් දුම්රිය මාර්ගය (අද ලන්ඩන් භූගත උතුරු රේඛාවේ කොටසක්) ඉදි කිරීම සඳහා බාර්ලෝ කළ සැලසුම විශාල කර, වැඩි දියුණු කළේ ය.

අද දක්වා ම බොහෝ උමං ආචරණ තවමත් ග්‍රේට්හෙඩ් ආචරණ මත පදනම් වී ඇත. 1843 දී තේම්ස් උමං මාර්ගය විවෘත කරන විට එය ලෝකයේ 8 වන ආශ්චර්යය ලෙස හැඳින්විණි. මාස 3 ක් තුළ මිලියනයක ජනතාවක් නැත්නම් ලන්ඩනයේ ජනගහනයෙන් අඩක්,එය නැරඹීමට පැමිණ සිටියහ.

1843 දී තේම්ස් උමං මාර්ගය විවෘත කරන විට එළිදැක් වූ විස්තරාත්මක පත්‍රිකාවක් – Gettyimages.com

ව්‍යුහය තැනීමට වසර 18 ක් ගත වුව ද ලෝකයේ පළමු උමං යන්ත්‍රය භාවිතයෙන් තොර ව එය කිසි දිනෙක අවසන් වනු ඇතැයි සිතිය නොහැකි ය. 1799 සිට තේම්ස් ගඟට යටින් උමං මාර්ගයක්  හෑරීමට උත්සාහ දරා තිබිණි. ඒ සැලසුම් සියල්ල අසාර්ථක විය. භූගත උමගක් ඉදි කළ නොහැකි බව ඉංජිනේරුවෝ නිගමනය කළහ.

‘පතල් කම්කරුවන්ගේ කූඩුව’

සාම්ප්‍රදායික පතල් කැණීම් ක්‍රම ලන්ඩනයේ මෘදු මැටි මත ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් ඉංජිනේරු මාක් බෘනෙල් ‘භූගත ප්ලාවිත සහ උමං මාර්ග සෑදීම’ සඳහා උපකරණයක් නිර්මාණය කර පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ ය. අතීතයේ දී කැණීම් ව්‍යුහය හැඳින්වූයේ ‘පතල් කම්කරුවන්ගේ කූඩුව’ හෝ ‘උමං පලිහ’ ලෙස ය.

යකඩ රාමුව තුළ එක් එක් මිනිසාගේ උසට කුටි පේළි තිබුණු අතර,පතල් කම්කරුවා සෑම කුටීරයක ම සිට ගෙන ඔහු ඉදිරිපිට බිත්තිය හාරමින් සිටියේ ය. සෑම සේවකයකු ම අඟල් කිහිපයක් හාරා ගත් පසු සාමාන්‍යයෙන් අඟල් 6 ක් (සෙන්ටිමීටර 15) පමණ පලිහ ඉදිරියට ගෙන යැවිණි. නැවත වැඩ ආරම්භ විය.

Brunel's tunnelling shield
ඉංජිනේරු මාක් බෘනෙල්’සැලසුම්ප කළ තල් කම්කරුවන්ගේ කූඩුව’ හෝ ‘උමං පලිහ’ – sciencephoto.com 

 

උමං කැණීම යනු කුමක්ද?

විශාල දෝනාවක් වැනි මාර්ගයක් පොළොව අභ්‍යන්තරයෙහි හාරමින්, ඉහළින් පස් හෝ ගල් ඇතුළට කඩා වැටීම වලක්වමින් ශක්තිමත් කෘත්‍රිම ආවරණයක් ඒ වටා යෙදවීම මේ ක්‍රියාවලිය යි. උමං කැණීමේ ක්‍රම දෙකක් තිබේ. මිනිස් ශ්‍රමය සහ පුපුරණ ද්‍රව්‍ය යොදවා උමං කැණීම සහ වර්තමානයේ යාන්ත්‍රික උමං කැණීම ඒ ක්‍රම දෙක යි.

උමං මාර්ග සඳහා තිරස් අතට සිදුරු ඉදි කිරීමේ ක්‍රමය සම්බන්ධ වන්නේ පෘථිවිය හරහා නළයක් වැනි මාර්ගයක් හෑරීම සඳහා ය. මේ ක්‍රමය සාමාන්‍යයෙන් කඳුකර උමං මාර්ග සඳහා භාවිත වේ. එය විශාල ජල ස්කන්ධ යටින් උමං මාර්ග හෑරීම සඳහා ද භාවිත කරයි. පුපුරණ ද්‍රව්‍ය සහ මිනිස් ශ්‍රමය පුළුල් ලෙස භාවිත කරන සාම්ප්‍රදායික උමං කැණීමේ ක්‍රම වෙනුවට නවීන ලෝකයේ යාන්ත්‍රික උමං කැණීම් සිදු කරන්නේ Tunnel boring machine හෙවත් උමං කැණීමේ යන්ත්‍රයක් (TBM) මගිනි.

උමං කැණීමේ වර්තමාන තාක්ෂණය

පොළොව අභ්‍යන්තරයේ විවිධ වර්ගයේ පාෂාණ විදීම, පාෂාණ ඉංජිනේරු විද්‍යාවේ බහුල ව සිදුකෙරේ. උමං මාර්ග තැනීමේදී, භූගත පතල් කැණීම්හි දී සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය තැන්පත් කිරීමේදී පාෂාණ කැණීම බොහෝ විට සිදු වේ. කඩිනම් උමං මාර්ගයක් තැනීමේ දී අපේක්ෂා කරන පරිදි ප්‍රතිඵල අත්කර ගැනීමට සැලසුම් සකස් කරනවිට, එම සැලසුම සම්බන්ධ ව භූ විද්‍යා හා ජල විද්‍යා තක්සේරුකරුවන්ට විශාල වගකීමක් දරන්නට සිදු වේ.

නූතන උමං කැණීමේ යන්ත්‍රයක හරස්කඩක් – railsystem.net

යාන්ත්‍රික ක්‍රමයේ දී පාෂාණවල තතත්වය සෑහෙන තරම් හොඳ වූ විට, මිනිස් ශ්‍රමය හා පිපිරුම් ක්‍රමයට, එහි වේගය වඩා දෙගුණයක් හෝ ඊට වැඩි වේගයකින් ක්‍රියාත්මක වීමේ හැකියාව තිබේ. ගැටලුව පවතින්නේ පාෂාණ ස්කන්ධයේ ගුණාත්මකභාවය තුළ වන අතර එය ඉතා නරක හා හොඳ විය හැකි ය. එහිදී උමං කැණීමේ යන්ත්‍රය වේගවත් විකල්පය විය හැකිය.

නවීන උමං කැණීමේ යන්ත්‍ර, මාක් බෘනෙල්ගේ පතල් කම්කරුවාට වඩා බෙහෙවින් වෙනස් නමුත් ඒවායේ ක්‍රියාකාරිත්වය සමාන ය. සාමාන්‍යයෙන් වාහක පටියක් මත කැණීම් යන්ත්‍රය ඉදිරියට ගොස් දිගින් දිගටම කැණීම් කරයි. අද නවීන උමං කැණීමේ යන්ත්‍ර ප්‍රමාණයෙන් වෙනස් වන නමුත් ඒවා බොහෝ දුරට විශාල හා සිලින්ඩර හැඩැති ය. ලන්ඩනයේ ක්‍රොස්රේල් ව්‍යාපෘතිය නිපදවන ටොන් 8000 ක උමං කැණීමේ යන්ත්‍ර සෑම එකක්ම මීටර් 150 ක් දිග භ්‍රමණය වන කටර් හෙඩ් එකකින් යුක්ත වේ.

උමං කැණීමේ යන්ත්‍රයක් යනු කුමක්ද?

උමං කැණීමේ යන්ත්‍රය “”mole” ලෙස ද හැඳින්වේ. එය නමට අනුව විවිධ  පාෂාණ ස්ථරවල ආධාරයෙන් උමං කැණීම සඳහා නවීන උපකරණ භාවිත කරමින් එකලස් කළ යන්ත්‍රයකි. සාමාන්‍යයෙන්, උමං කැණීමේ යන්ත්‍රයක් දිනකට අඩි 50-60ක් පමණ
දුරකට කැණීම් කරයි. එයට ආසන්න වශයෙන් පැය 20 ක පමණ ගත වේ. උමං කැණීමේ යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය අනුව එය ප්‍රධාන කොටස් කොටස් තුනකට බෙදේ.

1. කපන හිස (ඉදිරිපස) – Cutting Head (front)

2. උමං ක්ෂේත්‍රය (මැද) – Tunnel Field (middle)

3. පසුපස ගියර් (පසුපස) – Trailing Gear (rear)

උමං කැණීමේ යන්ත්‍ර ලොව පුරා ආර්ථික, පාරිසරික හා සංස්කෘතිකමය වශයෙන් නව බලපෑමක් ඇති කර තිබේ. පාලම් මෙන් ම, උමං මාර්ග ද ප්‍රජාව හා සමහර විට ජාතීන් අතර ද සම්බන්ධතා ඇති කරයි. එක්සත් රාජධානියේ නවීන උමං පද්ධති එරට ආර්ථිකය නංවාලීමට උපකාරී වී තිබේ. වුවමනාවලට අනුව ලන්ඩන් භූගත (Jubilee line tunnel) ජුබිලි රේඛා උමං මාර්ගය නව මාර්ග ඔස්සේ නැවත සංවර්ධනය කර ඇත.

අප ජල පවිත්‍රකරණය

 නූතන උමං කැණීමේ යන්ත්‍රවලට පරිසර යහපැවැත්ම තහවුරු කරන්නට ද උදව් කළ හැකි ය. ලී සහ තේම්ස් ටයිඩ්වේ උමං (Lee and Thames Tideway tunnels) මාර්ග සකස් කළ කැණීම් යන්ත්‍ර සිය මූලික කටයුතුවලට අමතර ව ලන්ඩනයේ විශාල ප්‍රදේශයක් සඳහා අප ජල පවිත්‍රකරණය වැඩි දියුණු කිරීමට උපකාරී විය. යන්ත්‍රවලට ප්‍රජාවන් සම්බන්ධ කළ හැකිය. උදාහරණ ලෙස ලී ක්‍රොස්රේල් සහ චැනල් උමඟ එයට හොඳ ම නිදසුනකි. වැඩි විස්තර මෙතැනින් කියවන්න.

වර්තමාන ලෝකයේ සුවිශාල උමං මාර්ග

පාලම් මෙන් උමං ද නවීන ඉංජිනේරු විස්මයකි. මිනිසුන් වසර දහස් ගණනක් තිස්සේ උමං මාර්ග කැණීම් සිදු කර ඇත. සියවස් ගණනාවක් පුරා එකී තාක්ෂණ ක්‍රම පෙරට වඩා දැන් දියුණු වී ඇත.  උමං මාර්ග, පෙරට වඩා ගැඹුරට හා දුරට හාරා බැලීමට ඒ පහසුව දැන් ඉඩ සලසයි. කඳුකර භූ විෂමතා හේතුවෙන් යුරෝපයේ හා ආසියාවේ සමහර ප්‍රදේශවලට වර්තමානයේ, දිග ම හා ආකර්ෂණීය උමං මාර්ග සංකේන්ද්‍රණය වී ඇත. ඊලොන් මස්ක්ගේ හයිපර්ලූප් වැනි ව්‍යාපෘති සමඟ, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර අතර පෙර නොවූ විරූ දිග උමං මාර්ග ඉදිවෙමින් පවතී. කලින් කී පරිදි තවමත් මුල්තැන ගත් දිග ම හා ආකර්ෂණීය උමං මාර්ග හිමි යුරෝපයට හා ආසියාවට ය. මේ ඉන් කිහිපයකි.

ගොට්හාර්ඩ් බේස් උමග –company.sbb.ch

 

ගොට්හාර්ඩ් බේස් උමග

ඉදි කිරීමට දැනට ලොව දිග ම හා මිල අධික ම වැයක් දරා ඇති දුම්රිය උමං මාර්ගය වන ගොට්හාර්ඩ් බේස් උමං මාර්ගය (Gotthard Base Tunnel) 2016 දෙසැම්බර් 11 වන දින විවෘත විය. එය මූලික වශයෙන් භාවිත කරනුයේ උතුරු හා දකුණු යුරෝපය අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ය.

කිලෝමීටර් 57 ක දිගින් යුතු ගොට්හාර්ඩ් බේස් උමග ඇල්ප්ස් හරහා වන නව දුම්රිය සම්බන්ධකයේ කේන්ද්‍රස්ථානය නියෝජනය කරයි. එය නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ විශ්වසනීයත්වය වැනි ස්විස් වටිනාකම් මූර්තිමත් කරයි.

සීකන් (seikan) උමඟ – unmissablejapan.com

 

සීකාන් උමඟ

සීකාන් (seikan) උමඟ යනු ජපානයේ කිලෝමීටර 53.85ක දිගකින් යුතු ද්විත්ව දුම්රිය උමං මාර්ගයකි. එය ප්‍රධාන ජපන් දූපතක් වන හොන්ෂු හි Aomori ප්‍රාන්තය හා උතුරු හොක්කයිඩෝ දූපතෙන් අවසන් වන සුගාරු (Tsugaru) සමුද්‍ර සන්ධියේ මුහුදු පත්ලට යටින් කිලෝමීටර් 23.3ක දුරක් ද දුවයි.

සුගරු සමුද්‍ර සන්ධිය හරහා ජපානයේ හොන්ෂු සහ හොක්කයිඩෝ දූපත් සම්බන්ධ කරන සීකාන් උමඟ මුහුදු මට්ටමේ සිට අඩි 790 ක් පහළින් පිහිටා ඇත.

map
මුහුදු පත්ලට යටින් කිලෝමීටර් 23.3ක දුරක් ද දුවන සීකාන් උමඟ – meidensha.com

තව ම එය ලොව දිග ම උමඟ වන අතර මුහුදේ මතුපිට සිට මීටර් 240 ක් ගැඹුරට බැස දිව යයි. මහා සංක්‍රාන්තිය සඳහා නිර්මාණය කර ඇති මෙම උමඟ ඉදි කිරීමට වසර 50 කට ආසන්න කාලයක් ගත වී ඇත. එය 1971 සිට 2016 මාර්තු මාසයේ දී නිල වශයෙන් විවෘත වන තෙක් ඉදි වෙමින් පැවතිණි.

 

ඒ හරහා දිනකට සාමාන්‍ය මගී සේවා මෙන් ම, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 50 ක් ද ධාවනය කරයි. Hokkaido Shinkansen (බුලට් දුම්රිය) සඳහා එය වැඩිදියුණු කිරීමේ කටයුතු ද සිදු වෙමින් පැවතිණි. නව Shinkansen මාර්ගය ටෝකියෝ සහ Sapporo අතර ගමන් කාලය පැය දහයේ සිට පහ දක්වා අඩු කරනු ඇත.

නව ගුවාන්ජියාඕ උමඟ – tunneltalk.com 

 

නව ගුවාන්ජියාඕ උමඟ

නව ගුවාන්ජියාඕ උමග (New Guanjiao) යනු ගුවැන්ජියාඕ කඳුකරයේ කිංහායි-ටිබෙට් දුම්රිය මාර්ගය හරහා විහිදෙන ද්විත්ව සිදුරු සහිත ද්විත්ව දුම්රිය උමඟකි.

චීනයේ දිග ම දුම්රිය මාර්ගය වන මෙය මුහුදු මට්ටමේ සිට අඩි 10,800 ක් ඉහළින් පිහිටා ඇති අතර එය 2014 දී විවෘත කිරීමට පෙර සාදා නිම කිරීමට වසර හතක් ගත විය.

ග්වාඩාරාමd උමඟ – ciudadfcc.com 

ග්වාඩාරාමා උමග

සියෙරා ඩි ග්වාඩාරාමා කඳු වැටියෙන් වෙන් වන, අධික ලෙස වෙළඳාම සිදු වන සංචාරක ගමනාන්ත දෙකක් වන මැඩ්රිඩ් සහ සෙගෝවියා අතර ගමන් කාලය කෙටි කිරීම සඳහා ග්වාඩරාමා උමං මාර්ගය 2002 සහ 2007 අතර ඉදි විය. කඳුකරය හරහා කෙළින් ම කැපූ උමඟ ඉදිකිරීමට පෙර නගර අතර ගමන් කාලය පැයකට වඩා වැඩි කාලයක් ගත විය. දැන්, උමං මාර්ග, අධිවේගී දුම්රිය දුම්රිය මගින් සේවා සපයන නිසා ඒ කාලය විනාඩි තිහක් දක්වා අඩු කර ඇත.

මැඩ්රිඩ්-වල්ලඩොලිඩ් අධිවේගී මාර්ගයේ කොටසක් ලෙස ඉදි කළ ග්වාඩාරාමා දුම්රිය උමං මාර්ගය ස්පාඤ්ඤයේ දිග ම දුම්රිය උමං මාර්ගය යි. එහි දුර කිලෝමීටර් 28.4 කි. ලෝකයේ පස්වන දිග ම දුම්රිය උමං මාර්ගය ද එය වේ. ද්විත්ව නළ උමං මාර්ගය මැඩ්රිඩ් සිට කිලෝමීටර 45 ක් පමණ උතුරින් පිහිටි සියෙරා ඩි ග්වාඩර්රාමා කඳු වැටිය හරහා ගමන් කරයි.

ලෙයර්ඩල් උමඟ -media01.stockfood.com 

ලෙයර්ඩල් උමඟ 

ලෙයර්ඩල් උමං මාර්ගය, නෝර්වේහි ලර්ඩල් සහ ඕර්ලන්ඩ් සම්බන්ධ කරන මංතීරු දෙකක මාර්ග උමඟකි. බටහිර නෝර්වේහි ඉදි කර ඇති ලෙයර්ඩල් උමඟ කිලෝමීටර 24.5ක් හෙවත් සැතපුම් 15.2ක දිගකින් යුතු ය.

මෙය ඉදිකර ඇත්තේ ශීත සෘතුවේ දී ඔස්ලෝ සහ බර්ගන් අතර ගමන් කරනු පිණිස යොදා ගන්නා කඳුකර මාර්ග වෙනුවට භාවිතයට ය. 

ස්මාර්ට් උමඟ –  roadtraffic-technology.com

 

ස්මාර්ට් උමඟ

ක්වාලාලම්පූර් හි ස්මාර්ට් උමඟ යනු ලොව දිග ම බහු ක්‍රියාකාරී උමඟකි. එය නිර්මාණය කර ඇත්තේ ජලාන් සුන්ගයි බෙසී සහ යොක් ලිව් අතර මාර්ග තදබදය අවම කිරීම සහ නගරය පුරා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ය.

කොටස් දෙකකින් යුත් උමඟක් වන ස්මාර්ට් උමඟ සමන්විත වන්නේ  ජල ප්‍රවාහ කොටසකින් සහ යතුරු පැදි ධාවන කොටසකිනි. සංකීර්ණ ඉංජිනේරු කාර්යයක් වන උමඟ ඉදිකිරීම සඳහා වසර හතරක් (2003 – 2007) ගත විය.

ස්මාර්ට් උමඟ – whittieralaska.gov

 

ඇන්ටන් ඇන්ඩර්සන් අනුස්මරණ උමග

ඇන්ටන් ඇන්ඩර්සන් අනුස්මරණ උමග යනු ඇලස්කාවේ චුගච් ජාතික වනාන්තරය තුළ පිහිටා ඇති උමං හා පාලම් ජාලයක කොටසකි. ඇන්ටන් ඇන්ඩර්සන් උමඟ යනු චුගච් කඳු වැටියේ කොටසක් වන මේනාර්ඩ් කන්දට යටින් ගමන් කරන තනි මංතීරු අධිවේගී මාර්ගයකි.

 උතුරු අමරිකාවේ දිග ම (කිලෝ මීටර් 4.03) මහා මාර්ග උමං මාර්ගය ඇන්ටන් ඇන්ඩර්සන් අනුස්මරණ උමඟ ය.

එක් මංතීරුවක් උමග දෙපැත්තට ම ගමන් කරන මෝටර් රථ සහ දුම්රිය මගින් බෙදා ගත යුතු ය. එක් මංතීරුවකට දුම්රිය මාර්ගය හරහා සෘජුව ම ගමන් කළ හැකි මෙම සුවිශේෂී සැලසුම නිසා නව උමං මාර්ගයක් ඉදිකිරීමේ වියදමට වඩා ඩොලර් මිලියන දස දහස් ගණනක් ඉතිරි විය.

අයිසන්හවර් උමඟ – structurae.net 

අයිසන්හවර් උමඟ

කොලරාඩෝවේ ඩෙන්වර් නගරයට සැතපුම් 60 ක් එපිටින් පිහිටි අයිසන්හවර් උමං මාර්ගය අඩි11,160 ක මංතීරු හතරකින් යුක්ත ලෝකයේ උපරිම උන්නතාංශයකින් යුතු උසම ද්විත්ව සිදුරු සහිත, මංතීරු හතරකින් යුත් වාහන උමං මාර්ගයකි. 

 1973 දී විවෘත කළ බටහිර දෙසට යන සිදුර නම් කර ඇත්තේ එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ නමිනි.

පිටකවරයේ ඡායාරූපය: නූතන උමං මඟක් - www.rt.com 

මූලාශ්‍ර:

www.encardio.com

theconstructor.org

www.ice.org.uk

www.bigrentz.com

www.sciencedirect.com

www.railsystem.net

ponce.sdsu.edu

Related Articles