Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අස්වාභාවික මිනිස් ලෝක වාර්තා 10ක්

ලෝක වාර්තාවක් තැබීමේ ආසාවෙන්ම විවිධ පුද්ගලයන් විස්මයජනක, අසීරු ක්‍රියාවල නිරත වෙනවා. ඇතැම් අය ලෝක වාර්තාවක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා භයානක දේවල් කරන අවස්ථාත් ඕනෑ තරම්. මේ අතර පිළිකුල් සහගත, අස්වාභාවික දේවල් කරලා ලෝක වාර්තා පොතට ඇතුළත් වුණු අයත් ඉන්නවා. අන්න ඒ වගේ ටිකක් අමුතු ලෝක වාර්තා 10 ක් ගැන තොරතුරු ටිකක් මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුළුවන්.

දිගුම රෝම සහිත කන්

ඇන්තනී වික්ටර් (Daily Social)

මෙවන් දෙයක් නිසා ආඩම්බරයට පත් වීම ගැන ඔබේ අදහස මොන වගේද? කන් වල වැඩිම දිගකින් යුතු රෝම තිබෙන පුද්ගලයා වන්නේ ඇන්තනී වික්ටර් නමැත්තායි. මොහු ඉන්දියානු ජාතිකයෙක්. ඇන්තනී ගේ කන් වල ඇති රෝම වල දිග අඟල් 7.2ක් බවට මිනුම් කර තිබෙනවා.

වැඩිම ප්‍රමාණයකින් අක්ෂි ගෝල විශාල කිරීමේ හැකියාව

කිම් ගුඩ්මන් (Guinness World Records)

ඇමරිකානු ජාතික කිම් ගුඩ්මන්ට ඇගේ අක්ෂි ගෝල සාමාන්‍ය පමණට වඩා විශාල කිරීමේ හැකියාවක් ඇතැයි වැටහුණා. කිම්ට ඇගේ අක්ෂි ගෝල අඟල් 0.47ක් දක්වා විශාල කළ හැකියි. මෙය මිනුම් කර ඇත්තේ 2007 තූර්කියේදී යි. එය දැකීම ටිකක් භයංකාරයි. නමුත් අක්ෂි ගෝල විශාල නොකර සිටින විට ඇයත් සාමාන්‍ය පෙනුම ඇති කාන්තාවක්.

ඉහඳ පණුවන් නෑම

පණුවො කියන්නේ ප්‍රසන්න සත්ත්වයෙක්ද? පණුවෙක් ඇඟේ ගෑවුණොත් ඔබ ප්‍රතිචාර දක්වන විදිය හිතලා බලන්න. ඒ වුණත් මේ කියන කාන්තාව ලෝක වාර්තාව තියන්නේ ඉහඳ පණුවන් ස්නානය කිරීමෙන්. කෙනෙක් මෙවන් වාර්තාවක් තබන්නේ ඇයිද යන කුතුහලය ඇති කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන ක්‍රිස්ටීන් මාටින් පුරා පැය එකහමාරක් ඉහඳ පණුවන් ස්නානය කර තිබෙනවා. මෙම වාර්තාව පිහිටුවා තිබෙන්නේ 2002 වර්ෂයේදී යි.

වැඩිපුරම ඇදෙන සුළු සම

බ්‍රිතාන්‍ය ජාතික ගැරී ටර්නර්ට ඔහුගේ සම අඟල් 6.25 දක්වා ඇදීමට ලක් කළ හැකියි. මෙය සුවිශේෂ හැකියාවක් නොවෙයි. ගැරී Ehlers-Danlos Syndrome යන දුර්ලභ රෝගයෙන් පෙළෙනවා. එය සම්බන්ධක පටක, අස්ථි බන්ධනී, අභ්‍යන්තර අවයව සහ සම සම්බන්ධ රෝගයක්. මේ නිසයි ටර්නර්ට ඔහුගේ සම අස්වාභාවික ප්‍රමාණයකට ඇදීමට හැකියාව ලැබෙන්නේ.

ගැරී ටර්නර් (pianetablunews.it)

මේ තත්ත්වයේ දී සමෙහි ශක්තිමත් බව සහ ප්‍රත්‍යාස්ථතාව තීරණය කරන කොලැජන් තන්තු දුර්වල වෙනවා. එවිට සම ලිහිල් වීමත් අස්ථි සන්ධි වල චලනයන් අධික වීමත් සිදු වෙනවා. සම ඇදීමේදී වේදනාවක් ඇති නොවුණත් රෝගය හා සම්බන්ධ අනෙකුත් තත්ත්ව (අස්ථි සන්ධි වල අධික චලනය ආදී) වලදී වේදනාවක් ඇති වන බව ගැරී සාකච්ඡාවකදී පවසා තිබුණා.

විෂඝෝර සර්පයින් වැඩිම ප්‍රමාණයක් මුඛයේ තබා ගැනීම

ජැකී බිබ්ලි (pinterest)

Rattle snakes කියන්නේ විෂඝෝර ඇමරිකානු සර්පයෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ජැකී බිබ්ලි සජීවි Rattle snakes සර්පයින් 8ක් තත්පර 12.5 ක කාලයක් තුළ මුවෙහි තබා ගෙන ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. විෂ සහිත නොවුණත් සර්පයෙක් අල්ලන්න ඔබ කැමතිද? ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබෙන්නේ 2001 වර්ෂයේදීයි. ඉන්පසුව මෙම සර්පයින් 13 දෙනෙකු තත්පර 10ක් තිස්සේ මුඛයේ තබාගෙන ඔහුගේම වාර්තාව බිඳින්නටත් ජැකී සමත් වී තිබෙනවා.

වැඩිම දිගක් ඇති කාන්තා නියපොතු

සමහරු නියපොතු වැවීමට අකමැතියි. නමුත් බොහෝ කාන්තාවන් නියපොතු වැවීමටත්, නිය ආලේපන ගල්වා සිටීමටත් ආශා කරනවා. අඩි 28 කට වඩා දිගු නියපොතු ගැන ඔබේ අදහස කොහොමද? ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන අවුරුදු 68ක් වයසැති ලී රෙඩ්මොන්ඩ් ලොව දිගුම නියපොතු හිමි තැනැත්තිය ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ලී රෙඩ්මොන්ඩ් (Hamnah Cheema)

ඇය නියපොතු වැවීම ආරම්භ කර ඇත්තේ 1979 සිටයි. 2008දී මෙම නියපොතු වල දිග මිනුම් කරන විට ඒවා අඩි 28කුත් අඟල් 4.5ක් දිගු වී තිබුණා. අවාසනාවට දශක තුනක් තිස්සේ සිදුකළ කැපකිරීම් සියල්ල අපතේ යවමින් 2009 වසරේ මුලදී සිදු වූ මෝටර් රථ අනතුරක් නිසා රෙඩ්මොන්ඩ් ට ඇගේ දිගු නියපොතු අහිමි වුණා.

ඇස් වලින් දරා ගත් වැඩිම ස්කන්ධය

චෙයින් හල්ග්‍රන් (www.today.com)

චෙයින් හල්ග්‍රන් විසින් විස්මය දනවන සුළු සහ වේදනාකාරී ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ඔහුගේ ඇස් වලින් වැඩිම බරක් ඇදීමෙනුයි. 2009දී ඔහු ඉතාලියේ පැවති ‘Lo Show Dei Record’ දර්ශනයේදී රාත්තල් 907ක බරක් (මිනිසුන්ගෙන් සමන්විත බයිසිකලයක්) අදිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා. .

වැඩිම දුරකට නාසයෙන් ස්පැගටි තෙරපීම

මේ වාර්තාවට හිමිකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ ජීවත් වන කෙවින් කෝල් විසින්. නාස් පුඩු තුළින් Ramon නූඩ්ල්ස් පිටතට තෙරපමින් මෙම කාර්යය සඳහා පුහුණු වූ කෙවින් කෝල් ඉන්පසුව මේ සඳහා නූඩ්ල්ස් වෙනුවට ස්පැගටි යොදා ගත්තා. 1998 මෙම වාර්තාව පිහිටුවීමේදී ඔහු නාසයෙන් පිටකළ ස්පැගටි වල දිග අඟල් 7.5ක් වුණා.

ඇසෙන් දිගුම දුරකට කිරි විදීම

තුර්කියේ වෙසෙන ඉල්කර් යිල්මස්ට ඔහුගේ ඇස් වලින් කිරි විදින්නට හැකියි. ඔහු 2004 දී ඉස්තාන්බූල්හි හෝටලයකදී අඩි 9යි අඟල් 2ක දුරකට ඇසෙන් කිරි විදිමින් මෙය ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ටෙනිස් පිත්තක් වටා ඇඟ දඟර ගසන්නා

කැප්ටන් ෆ්‍රෝඩෝ (TEDx Talks)

නෝර්වේහි උපත ලබා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කැප්ටන් ෆ්‍රෝඩෝ “අරුම පුදුම රබර් මිනිසා” (Incredible Rubber man) ලෙස හඳුන්වන්නේ ඔහුගේ විකාර රූපී ඇඟ දඟර ගැසීමේ හැකියාව නිසයි. වැඩිම ප්‍රමාණයක කඩු ගිලීම සම්බන්ධවද මොහු ලෝක වාර්තාවක් තබා තිබුණත් වැඩි අවධානය යොමු වන්නේ ඔහුගේ ශරීරය දඟර ගැසීමේ හැකියාවටයි. කැප්ටන් ෆ්‍රෝඩෝට හිස සහ උරහිස් අඹරා ටෙනිස් පිත්තක් තුළින් යවා රඳවා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

කවරයේ පින්තූරය – pinterest.com

මූලාශ්‍ර

http://allthatsinteresting.com

http://www.guinnessworldrecords.com

https://www.huffingtonpost.com

Related Articles