
1972 වසරේ ජර්මනියේ මියුනිච් නගරයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔලිම්පික් ඉතිහාසයට අඳුරු පැල්ලමක් එක් කරමින් පලස්තීන “කළු සැප්තැම්බර්” නම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් විසින් නිරායුධ ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන පසුව ඝාතනය කිරීමේ සිදුවීම “ලේ ගලාගිය මියුනික් ඔලිම්පික් ශෝකාන්තය” ලෙස ලිපියකින් ඔබ වෙත ගෙන ආවා.
බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ ක්‍රීඩකයන් ඝාතනය කළ “කළු සැප්තැම්බර්” කල්ලියේ සාමාජිකයන් සියල්ලම මරා දැමූ ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් විසින් මෙහෙයවූ Wrath of God (දේව කෝපය) නම් මෙහෙයුම පිළිබඳව විස්තර ඉදිරිපත් කරන ලෙසයි.
වසර 20ක් පමණ ක්‍රියාත්මක වෙමින් විවිධ රටවලදී මොසාඩ් ඔත්තුකරුවන් විසින් විවිධ ආකාරයෙන් කළු සැප්තැම්බර් සාමාජිකයන් (Black September) හා පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) සාමාජිකයන් 28 දෙනෙක් පමණ ඝාතනය කළ අයුරු පිළිබඳවයි මේ ලිපියේ අන්තර්ගත වන්නේ. Operation Bayonet ලෙස තවත් තැනක සඳහන් වෙන මේ මෙහෙයුම සම්පූර්ණ අභිරහස් පලිගැනීමක් වන අතර මේ මඟින් ක්‍රීඩකයන් ඝාතනයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සෑම ත්‍රස්තයෙක්ම මරා දැම්මා.
මෙහෙයුම සඳහා පිඹුරුපත් සැකසීම

මෙහෙයුම් කමිටුවේ නායක Moshe Dayan දක්ෂ හමුදා නිලධාරියෙකි. (Moshe Dayan)
ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මේයර් විසින් ආරක්ෂක ඇමති මෝෂේ දයාන්ගේ (Moshe Dayan) ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. කමිටුවේ අවසාන තීරණය වූයේ ක්‍රීඩකයන්ව මරා දැමු සෑම ත්‍රස්තයෙක්ම අභිරහස් ලෙස මරා දැමිය යුතු බවයි. මෙසේ මරා දැමීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ පලස්තීන සන්නද්ධ ත්‍රස්ත නායකයන් බියට පත් කිරීමයි.
ඒ සඳහා ඔවුන් ඉතා මහන්සියෙන් ඝාතනය කළ යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් බුද්ධි අංශය වෙත ලබා දෙනවා. එහි නම් 25-30 ත් අතර ප්‍රමාණයක් තිබූ බව සඳහන්. ඝාතන මෙහෙයවීම සඳහා නායකත්වය ලැබෙන්නේ මොසාඩ් නිලධාරියෙක් වූ මයිකල් හරාරිටයි (Michael Harari).
අගමැතිනියගේ කැමැත්ත මත මෙහෙයුම සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා. එම කණ්ඩායම නැවතත් උප කණ්ඩායම් 5කට බෙදා ඔවුන්ට විශේෂ කාර්යයන් පවරනවා.
පළමු කණ්ඩායමේ කාර්යය වන්නේ ඝාතනය කිරීමයි. පළමු කණ්ඩායමට ආරක්ෂාව සැපයීම දෙවන ඛණ්ඩය විසින් කළ යුතු වෙනවා. තෙවන ඛණ්ඩයට භාර වූයේ සියළු උප කණ්ඩායම් වලට ඕනෑම රටක නවාතැන් පහසුකම් ලබා දීමට ක්‍රියා කිරීමයි.පලස්තීන ත්‍රස්තයෙකු ඝාතනය කිරීමකින් පසුව ඝාතකයින් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීම හතරවන ඛණ්ඩයේ වගකීම වූ අතර පස් වන උප කණ්ඩායමේ වගකීම වූයේ සියළු කණ්ඩායම් හා මනා සන්නිවේදනයක් පවත්වාගෙන යාමයි. හතරවන කණ්ඩායම හැර අනෙක් සියලුම කණ්ඩායම් වලට සිටියේ සාමාජිකයන් දෙදෙනෙක් පමණයි.
ත්‍රස්තයන් දඩයම් කිරීම ඇරඹේ

මොසාඩ් බුද්ධි අංශය (Sunday)
1972 ඔක්තෝබර් 16දා ඉතාලියේදී පිට පිට වෙඩි 11ක් තබා වේල් ස්වේටර් නම් ත්‍රස්තවාදියා මරා දැමීම මොසාඩ් නිලධාරීන්ගේ පළමු ඝාතනය ලෙස හැඳින්විය හැකියි. මියුනිච් ප්‍රහාරයට සම්බන්ධව ජර්මනියේ බන්ධනාගාර ගතව සිටි මොහු ඇතුළු තවත් දෙදෙනෙක් නිදහස් වන්නේ පලස්තීන ත්‍රස්තවාදීන් පැහැරගත් ජර්මනියට අයත් ගුවන්යානයක් නැවත නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
වෙඩි 11ක් තබා ඝාතනය කර තිබුණේ ඔවුන් ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11ක් ඝාතනය කළ හේතුවෙන්.
ප්‍රංශයේ සිටි PLO නියෝජිත මොහොමඩ් හම්සාරි මොසාඩ් ඒජන්තවරුන්ගේ දෙවන බිල්ල විය. 1972 දෙසැම්බර් 8දා ඔහුව මරා දමන්නේ ප්‍රංශයේ ඔහුගේ නිවසේ සුක්ෂම ලෙස ඇටවූ බෝම්බයක් පිපිරවීමෙන්.
1973 ජනවාරි 24දා සයිප්‍රසයේ සිටි කළු සැප්තැම්බර් නායකයා ලෙස ඊශ්‍රායල් බුද්ධි අංශ විසින් තීරණය කළ හුසේන් අල් බෂීර් මිය යන්නේ ඔහුගේ ඇඳ යට සවි කළ බෝම්බයක් පුපුරා යෑමෙන්. 1973 අප්‍රේල් 6දා අමෙරිකානු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු වූ බැසිල් අල් කුබාෂි රාත්‍රී ආහාර ගන්නට නිවසෙන් පිටතට ඒමේදී වෙඩි ප්‍රහාර 11කට ලක් වී මරණයට පත් වෙනවා.
1973 අප්‍රේල් 9දා ලෙබනනයේ සිටි ලැයිස්තුගත ත්‍රස්තවාදීන් තිදෙනා මරා දැමීමට භාවිතා කරන්නේ වෙනස් උපක්‍රමයක්. ඊශ්‍රායල් කමාන්ඩෝ භටයන් හොර රහසේ වෙස් වලාගෙන මුහුදෙන් ලෙබනනයට පැමිණ ප්‍රහාර එල්ල කරනවා. මෙහිදී ඉලක්ක කළ ත්‍රස්තවාදීන්ට අමතරව තවත් 100ක පමණ ත්‍රස්ත පිරිසක් මිය ගිය බව සදහන්. PLO සංවිධානයට අයත් අවි ගබඩා ගොඩනැගිලි විනාශ කළ අතර ඊශ්‍රායල් කමාන්ඩෝ භටයන් දෙදෙනෙක් මෙහිදී මිය යනවා. ලෙබනන් රජයට හොර රහසේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී එක් ලෙබනන් පොලිස් භටයෙක් මිය යනවා.
තවත් ප්‍රහාර මාලාවක්
සයිප්‍රසයේ අල් බෂීර් ඝාතනයෙන් පසු ඒ වෙනුවට පත්වූ සයිඩ් මුවාසි 1973 වසරේ අප්‍රේල් 11 දින ඔහුගේ හෝටල් කාමරයේ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් මරණයට පත් වෙන අතර 1973 ජූනි 28 දින ප්‍රංශයේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා වූ මොහොමඩ් බවුජියාව ප්‍රංශයේදී ඝාතනය කරන්නේ මෝටර් රථයේ සිවිකළ පීඩන බෝම්බයක් ආධාරයෙන්.
1979 දෙසැම්බර් 15 දින තවත් ඝාතන දෙකක් සයිප්‍රසයේදී සිදු කරන අතර 1982 ජූනි 17වනදා ඉතාලියේදී තවත් දෙදෙනෙක් මරණයට පත් කරනවා. මෙහිදී එක් අයෙකුගේ මරණය බලන්නට පැමිණෙන අනෙක් ත්‍රස්තයා මිය යන්නේ මිනිය බලා ආපසු යන විට මෝටර් රථයේ සිදු වූ බෝම්බ පිපිරීමකින්.
1982 ජූලි 23 දා සිට 1988 පෙබරවාරි 14 දක්වා පලස්තීන ත්‍රස්තයන් 6 දෙනෙක් ඉලක්ක බවට පත් වී වෙඩි තැබීම් හා බෝම්බ පුපුරායාම් වලින් මරණය පත් වෙන්නේ සයිප්‍රසයේදී හා ග්‍රීසියේදීයි.
පලස්තීන මහ මොළකරු – රතු කුමාරයා ඝාතනය කිරීම

රතු කුමාරයා හෙවත් අලි හසාන් සල්මන් (Alchetron)
කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා වූ රතු කුමාරයා (Red Prince) හෙවත් අලි හසාන් සල්මන් ඝාතනය කිරීම ඊශ්‍රායල් බුද්ධි අංශයේ ඊළඟ ඉලක්කය වෙනවා. 1974 වසරේ ජනවාරි 12 දින ස්විට්සර්ලන්තයේදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහය ව්‍යර්ථ වෙනවා. පසුව ස්පාඤ්ඤයේදී මරා දැමීමට උත්සාහ කළත් එය ද සාර්ථක වන්නේ නෑ. කෙසේ හෝ අවසානයේදී ඔහුව ලෙබනනයේදී බෝම්බයක් අටවා ඝාතනය කරන්නට මොසාඩ් නිලධාරීන්ට හැකි වෙනවා. නමුත් මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හතර දෙනෙකු මිය යන අතර තවත් පිරිසක් තුවාල ලබනවා. මෙවැනි ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයට අනෙක් රටවලින් දැඩි විවේචන එල්ල වෙනවා.
බිහිසුණු කළු සැප්තැම්බර් හා පලස්තීන විමුක්ති සාමාජිකයන්ට එරෙහිව දශක කිහිපයක් තිස්සේ විවිධ රටවලදී ඊශ්‍රායලය හොර රහසේ සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මොසාඩ් නිලධාරින්ද විශාල ගණනක් නොයෙක් රටවලදී අත් අඩංගුවට පත් වෙනවා. එසේම මොසාඩ් ඉහළ නිලධාරීන් කිහිපදෙනක්ම මෙම මෙහෙයුම් අතරතුර පලස්තීන ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත් වෙනවා. කිසි රටකට නොදන්වා හොර රහසේ මෙහෙයුම සිදු කිරීමත්, අනෙක් රටවල් වල ස්වෛරීත්වය උල්ලංඝණය කරමින් මෙහෙයුම් සිදු කිරීම හා සිවිල් වැසියන් මරණය පත් කිරීම වැනි හේතූන් නිසා මෙම මෙහෙයුම වරෙක විවේචනවලට ලක් වෙනවා.
කෙසේ නමුත් පලස්තීන ත්‍රස්තවාදයට අමතක නොවන පාඩමක් උගන්වමින් දෙවියන්ගේ කෝපය නම් මෙම මෙහෙයුම නිමාවට පත්වන අතර එය ඊශ්‍රායල විසින් ලෝක ත්‍රස්තවාදයට එරෙහිව සිදු කල විශිෂ්ට මෙහෙයුමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.
කවරයේ ජායාරූපය – මිය ගිය ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනා වෙනුවෙන් ලන්ඩන් නුවර ඉදිකර ඇති සිහිවටනයක් (CBS News)
මුලාශ්‍ර – Wikipedia, britannica.com. theguardian.com, newworldencyclopedia.org, eiu.edu, latimes.com, aljazeera.com