යාල යන වචනය ඇසු පමණින්ම අපේ මතකයට එන්නේ සතුන්ගෙන් ගහණ අඩවියක්. ශ්‍රී ලංකාව,අපිටම අාවේණික ජෛව විවිධත්වයෙන් හා සත්ත්ව විශේෂ වලින් බොහොම පොහොසත් රටක්. එයට හොඳම නිදර්ශනයක්  වන්නේ දෙවන විශාලතම වනෝද්‍යානය වන යාලයි. මේ ලිපිය ලිවීමේ අරමුණ වන්නේ එසේ උරුමයක් ඇති යාල ගැන දැනුවත්භාවයක් Roar පාඨක ඔබට ලබා දීමයි.

ජාතික උද්‍යානයක් ලෙස සංස්ථාපනය

manosandeshaya.wordpress.com

යාල වනාන්තරයේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී 1900 දී පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන් සිය දඩයම් කටයුතු සදහා මෙම වනාන්තරය යොදා ගෙන ඇත. 1900 දී මෙම වනාන්තරය දඩයම් රක්ෂිතයක් ලෙස නම් කර ඇත. ඉන් අනතුරුව අභය භූමියක් ලෙස  1908 වර්ෂයේදී නම් කරන ලද බව දැක්වේ. 1806 දී අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ත්‍රිකුණාමලය සිට හම්බන්තොට දක්වා ගමන් කළ පසු යාල පිළිබඳව සවිස්තර වාර්තාව ලියන ලද බව වාර්තා වේ. 1900 මාර්තු 23 වන දින ආණ්ඩුව විසින් යාල හා විල්පත්තු සංචිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කොට ඇත.

පසුකාලීනව යාල වනාන්තරය කලාප 5කට බෙදනු ලැබ ඇති අතර, එහි පළමුවන කලාපය 1938 පෙබරවාරි මස 25 වන දින මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එයට පාදක වී ඇත්තේ එවකට කෘෂිකාර්මික ඇමති වූ ඩී.එස්. සේනානායක මහතා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නීතියක් ලෙස සම්මත කිරීමේ අවස්ථාවයි. ඉතිරි කලාප 4ද පසුකාලීනව යාල වනෝද්‍යානයට අනුබද්ධ ලෙස සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ගිනිකොණ වියළි කලාපයට වන්නට පිහිටා ඇති මෙය අද වන විට දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය බවට පත්ව ඇත. එහි විශාලත්වය වර්ග කිලෝමීටර  979ක් වේ. ඌව හා දකුණු පළාත් දෙකට ම අයත් වන්නට පිහිටා ඇති අතර අමුත්තන්ට වර්ග කිලෝමීටර 141ක භුමි භාගයෙන් යුත්  පළවන හා දෙවන කලාප නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇත. යාල ජාතික වන උද්‍යානයේ භූමියෙන් වැඩි ඉඩකඩ පවතින්නේ පතන් බිම් වශයෙන් බව සඳහන් වේ. නමුත් වනෝද්‍යානය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් අනූන බව ද දැක්වේ. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව වශයෙන් කලපු 3ක්ද යුක්තවීම විශේෂ වේ.

පිහිටීම

Narabamusrilanka.blogspot.com

යාල ජාතික වනෝද්‍යානයේ පිහිටීම ගැන කතා කරනවා නම් එහි උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ අයත් වන්නේ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටය. හම්බන්තොට දිස්ත්‍රික්කයට දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් අයත් වන බව සඳහන් වේ. ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවතින්නේ දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශය.

මෙහි පිහිටීම හේතුවෙන් 2004 දෙසැම්බර් මස 24 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංචාරක බංගලාව විනාශ වී ගියේය. නමුත් පසු කාලීනව මෙය නැවත නැරඹීමට අවස්ථාව උදා කර දුන්හ. මෙය සංචාරක නිවාස 7කින් පමණ යුක්ත වන අතර නමින් මහාසිලවලවරහන, නව බුතව, පැරණි බුතව, තල්ගස්මංකඩ, හින්වැව, ඔන්ඩචිචි නම් වේ.

ජෛව විවිධත්වය හා වන සතුන්

යාල වචනය අසු පමණින් අපේ සිහියට නැගෙන්නේ සතුන්ගෙන් ගහණ අඩවියකි. එමෙන්ම මෙය මෑතකදී සිට පැවත ගෙන එන්නක් නොව ඉතා අතීතයේ සියවස් ගණනාවක සිටම සතුන් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකි. අලි,කොටි හා වලසුන් නැරඹීමට වඩාත් ප්‍රසිද්ධ වන්නේ මෙම උද්‍යානයයි.

කුරුල්ලන්

manosandeshaya.wordpress.com

කුරුළු විශේෂ සම්බන්ධයෙන් සලකා බැලූ විට නේවාසික කුරුල්ලන්  130 ක් පමණ ද සංක්‍රමණික කුරුල්ලන්  30 ක් පමණ ද දැක ගත හැකි බව සඳහන් වේ. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඹල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අළු කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල බව දැක්වේ.

ක්ෂීරපායී සතුන්

roarsinhala.com

යාල ජාතික වනෝද්‍යානය තුල අලි ඇතුළුව ක්ෂීරපායී විශේෂ 44ක් දැක ගත හැක. එමෙන්ම එය ලෝකයේ වැඩිම දිවි ඝනත්වයකින් ද යුක්ත වනවා. එමෙන්ම අන්තර්ජාලය වාර්තා කරන ආකාරයට කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකි වනවා.එමෙන්ම වර්තමානය වන විට  මෙම  වළස්, දිවියන්, අලි සහ වල් මී හරක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බවද දක්නට ලැබේ. එමෙන්ම උද්‍යානයේ අලි ජනගහනය කාලීනව වෙනස් වන බවද සඳහන් වේ.

මීට අමතරව මිරිදිය මත්ස්‍ය වර්ග 21ක් පමණ දැක ගැනීමේ භාග්‍ය උදා වන බවද දැක්වේ. එමෙන්ම මෙම  වනාන්තරය තුලින් වාර්තා වන උරග සත්ත්ව විශේෂ 47ක්  වන අතර, ඔවුන්ගෙන්  හයක් පමණ ලංකාවට ආවේණික වෙයි.එමෙන්ම මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද ගහණ වේ.

ශාක විවිධත්වය

wikimapia.org

වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක ස්වභාවයක් ගන්නා යාල කටු පඳුරු සහිත ලඳු කැළෑ බහුල වශයෙන් දැක ගත හැකිය. නමුත් විවිධ වූ තෙත් මෝසම් වනාන්තර, වියළි මෝසම් වනාන්තර, අර්ධ පතනශීලී වනාන්තරවලින්, කටු වනාන්තර, තෘණ බිම්, වගුරු බිම්, සාගර තෙත් බිම්, සහ වැලි සහිත වෙරළ පරිසර පද්ධති වලින් යුක්ත වේ. සමස්තයක් ලෙස ගත කළ ද්විතික වනාන්තර ආකාරයට පිහිටා තිබේයැයි සදහන් වේ. එමෙන්ම එහි බුරුත, වීර, පළු, මයිල, මලිත්තන්, කුඹුක්, හල්මිල්ල, තිඹිරි වැනි ශාක දක්නට ලැබෙන බවත් දැක්වේ. පළමුවැනි කලාපයේ වනාන්තර ස්වභාවය දැක ගත හැකිය. කලාප 3,4,5 වනාන්තර පුළුල්ව වේ. වන උද්‍යානයේ ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් යුක්ත බවද දැක්වේ. මෙහි මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති සිත් ගන්නා සුළු ස්ථානයක් ලෙස ප්‍රකටය.

වඳවියාමේ තර්ජනයට මුහුණ පා සිටින මෙම වටිනා සම්පත් රැක ගැනීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ පරම යුතුකමක් වන්නේය.

කවරයේ පින්තුරය:www.yalawild.com

මුලාශ්‍ර: si.wikipedia.org

lankaperaliya.lk

en.wikipedia.org