Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොලරා කාලේ යේමනය

සෞදි අරාබියේ නායකත්වය ඇතිව යේමනයේ ආණ්ඩුවේ හමුදාවන්ට සහයෝගය දෙන සන්ධානයක් හා හූති (Houthi) කැරලිකරුවන් අතර යේමනයේ වසර කීපයක පටන් බිහිසුණු අරගලයක් සිදුවෙමින් පවතින බව ඔබ දන්නවා ඇති. ඒ හේතුවෙන් එරට ජන ජීවතය මේ වන විට පවතින්නේ අරාජික තත්ත්වයක යි. යේමනයේ යුද්ධයට මැදිව සිටින සාමාන්‍ය ජනතාව සාගතයෙන් හා විවිධ රෝගවලින් ද ඉතා දැඩි සේ පිඩා විඳිනවා. 2015 මාර්තු 26 සිට 2020 මාර්තු 7 දක්වා කාලය තුළ මෙම සටනේ දී සිවිල් වැසියන් 12,366ක් මියගොස් ඇතැ යි ගණන් බලා තිබෙනවා. ඊට අමතරව විවිධ ලෙඩ රෝග හා කුසගින්න හමුවේ ද විශාල පිරිසක් වාර්ෂිකව මියයනවා.

යේමන් අර්බුදය නිසා තුන් කෝටියකට ආසන්න ජනකායකට මානවීය ආධාර සැපයීමට සිදුව ඇති අතර, 2016 වසරේ අප්‍රේල් මාසයේ පටන් කොලරා වසංගතයට හත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ජනතාව ගොදුරු වී ඇතැ යි විශ්වාස කෙරෙනවා. ඔවුන් මුහුණ දී සිටින දරුණු මානුෂීය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.

යේමනයේ අර්බුදය 

වසර ගණනාවක් තිස්සේ පවතින යේමන සිවිල් යුද්ධය (aljazeera)

යේමන සිවිල් යුද්ධය ඇරඹුණේ 2011 දී අරාබිකරය ඔස්සේ පැතිර ගිය ‘අරාබි වසන්තය’ උද්ඝෝෂණ මාලාව අතරතුර යි. එවකට යේමන ජනාධිපති වූ අලි අබ්දුල්ලා සාලෙහ් විසින් ගෙන ගිය පාලනයට එරෙහිව ජනතාව විරෝධතා ඇරඹුවා. කෙසේ වෙතත්, සාමකාමී උද්ඝෝෂණවලින් සාලෙහ් ඉවත් කිරීමට හැකි වූයේ නැහැ. මේ අතර යේමනයේ විවිධ ගෝත්‍රික කණ්ඩායම් සිය බලය තහවුරු කර ගැනීමට එකිනෙකා හා සටන් කිරීමට පටන් ගත්තා. කෙටි කලෙකින් යේමනය පුරා අවි ගැටුම් වර්ධනය වුණා. සාලෙහ් 2012 දී ඉල්ලා අස් වූ අතර, උප ජනාධිපති අබ්ද් රබ්බු මන්සූර් හාදි එම තනතුරට පත් වුණා.

ඉන්පසුව ද යේමනයේ සාමකාමී තත්ත්වයක් වූයේ නැහැ. කල් යාමේ දී උතුරුදිග යේමනයෙන් බිහි වූ හූති ව්‍යාපාරය සිය බලය වර්ධනය කර ගන්නට වුණා. ඔවුනට ඉරානයේ සහාය ලැබෙන බව චෝදනා කෙරෙන නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා.

2015 දී හිටපු ජනාධිපති සාලෙහ් හූති ව්‍යාපාරය සමග සන්ධානගත වුණා. එම වසරේම සැප්තැම්බරයේ දී හූති කැරලිකරුවන් යේමන අගනගරය වන සනා හි බලය තහවුරු කර ගත්තා. මෙම අවස්ථාවේ සෞදි අරාබිය ප්‍රමුඛ කලාපීය සන්ධානයක් යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව යුද්ධයට අවතීර්ණ වුණා. එක්සත් අරාබි එමීර්, කටාර්, ඊජිප්තුව ආදී රටවල් මෙම සන්ධානයට අයත් වුණා. කටාර් රාජ්‍යය සහ සෞදි අරාබියේ අනෙක් මිත්‍ර රටවල් අතර ඇති වූ අර්බුදයෙන් පසු එම රාජ්‍යය එම සන්ධානයෙන් ඉවත් වුණා.

මෙසේ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග යුද්ධය නව මානයකට ගමන් ගත්තා. වර්තමානය වන විට පැරණි උතුරු යේමනයට අයත් වූ ප්‍රදේශයේ වැඩි කොටසක් තිබෙන්නේ හූතිවරුන් අත යි. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් හූතිවරුන් පරාජය කිරීමට සෞදි අරාබිය සමත් වී නැහැ. හූතිවරුන්ට එරෙහිව යේමන් රජයට සහාය පළ කරමින් සෞදි සන්ධානය යුද්ධයට අවතීර්ණ වූ දා සිට මේ දක්වාම,  සෑම පැය තුනහමාරකට වරක් එක් සිවිල් වැසියෙකු යුද්ධය හේතුවෙන් මියගොස් තිබෙනවා.

කොලරා වසංගතය ආරම්භ වීම 

කොලරා රෝගියෙක් (dw)

2016 වසරේ අප්‍රේල්  මාසයේ පටන් කොලරා වසංගතයට හත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ජනතාව ගොදුරු වී ඇතැ යි විශ්වාස කෙරෙනවා. 2017 ජනවාරි වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොලරා වසංගතයේ වේගවත් හා පුළුල් භූගෝලීය ව්‍යාප්තිය අසාමාන්‍යයැ යි ද නිවේදනය කරනවා.

යේමනයේ වසර පහක් පුරා සෑම පැයකටම කොලරාව වැළඳී ඇති බවට සැක කෙරෙන පනස් දෙනක් වාර්තා වෙන බව යි සඳහන්. 2018 ජනවාරි 1 සිට 2019 සැප්තැම්බර් 1 දක්වා සැක සහිත කොලරාව රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 99,1674ක් වන අතර ඊට සම්බන්ධ මරණ 1350ක් වාර්තා වෙනවා. එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 25%ක් අවුරුදු 5ට අඩු ළමුන් වීම ද විශේෂත්වයක්.

2020 වන විට එහි තත්ත්වය 

2020 වන විට එහි තත්ත්වය (reliefweb)

2020 ජනවාරියේ දී යේමනයේ මහජන සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශයට කොලරාවයැ යි සැක කරන රෝගීන් 35,512ක් වාර්තා වී තිබෙන අතර, ජනවාරි මාසයේ දී මියගිය ප්‍රමාණය 21ක් ලෙස සඳහන් වෙනවා. 2016 ඔක්තෝබර් සිට 2020 ජනවාරි දක්වා යේමනයේ වාර්තා වූ සැක සහිත කොලරාව රෝගීන්ගේ සංඛ්‍යාව 2,316,197ක් වන අතර ඒ හා සම්බන්ධ මරණ 3,910ක් ද වාර්තා වෙනවා. ඒ අනුව යේමනයේ කොලරා වැළඳීම හා ඒ හේතුවෙන් මරණයට පත් වීමේ අනුපාත ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ 0.17%ක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි 2016 වසරේ සිට යේමනයේ වැඩිම කොලරා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රදේශ පහත දැක්වෙනවා. වරහන් තුළ දැක්වෙන්නේ එම ප්‍රදේශවලින් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය යි. Amran (1710.53), Al Mahwit (1610.21), Sana’a (1554.18), Al Bayda (1272.87) හා  Al Hudaydah (1065.71).

යේමන් දරුවන් (bbc)

ඒ වගේම කොලරාව හේතුවෙන් 2016 වසරේ සිට මේ දක්වා යේමනයේ වැඩිම පිරිසක් මියගිය ප්‍රදේශ හතරක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රදේශ හතර පහත දැක්වෙන අතර වරහන් තුළ දැක්වෙන්නේ අදාළ ප්‍රදේශයේ මියගිය ප්‍රමාණය යි. Hajjah (577), Ibb (507), Al Hudaydah (402) හා Taizz (329).

කවරයේ පින්තූරය- unitednations

මූලාශ්‍රයයන්:

Who.org

BBC

Dw

Related Articles