Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිමාලයේ සැඟවුණු අමුත්තා : යෙටී

නේපාල ජන සාහිත්‍යයේ සඳහන් ආකාරයට යෙටී හෙවත් අමුතු හිම මිනිසා, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල සහ උසින් වැඩි, හිමාලය (විශේෂයෙන් ම නේපාලය, භූතානය සහ ටිබෙට් දේශය) ආශ්‍රිත ව වාසය කරන, වඳුරෙකුගේ පෙනුමෙන් යුතු සත්ත්වයෙක්. ස්වදේශිකයන්ගේ ඉතිහාස කථා සහ මිථ්‍යා කථාවන් හි යෙටී ව හැඳින්වීම සඳහා ඔවුන් මේ-තේ (Meh-Teh) යන වදන ද යොදාගෙන තිබෙනවා.

(en.wikipedia.org)

වසර ගණනාවක් තිස්සේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශයේ පමණක් ව්‍යාප්ත වූ මිථ්‍යා කථා, යුරෝපය තුළ ජනප්‍රිය වූයේ 19 වැනි සියවසේ දී යි. එයින් පසුව සත්‍ය වශයෙන් ම හිමාලයේ යෙටී නමින් සත්ත්වයෙක් සිටිනවා දැයි සොයා බැලීම සඳහා නොයෙක් ආකාරයේ ගවේෂණයන් සිදු කර තිබෙනවා.

කවුද මේ යෙටී?

ආසියානු කඳුකර ප්‍රදේශවල දී දකින්නට ලැබෙන බව පවසන යෙටී දෙපා සත්ත්වයෙකු බවයි විශ්වාස කරන්නේ. ඇතැම් අවස්ථාවල දී හිම මත පා සටහන් ඉතිරි කර යන යෙටී හිමාලයේ හිම සීමාවෙන් පහළ ප්‍රදේශයේ ජීවත් වන බව ද පැවසෙනවා. යෙටීගේ නිවාසස්ථානය සොයා රුසියාව, චීනය සහ නේපාලය ආශ්‍රිත ව පිහිටා ඇති අප්‍රසිද්ධි කඳු වැටි ඔස්සේ දහස් ගණන් ගවේෂණයන් සිදු කළ ද තවමත් යෙටීගේ පැවැත්ම පිළිබඳ තොරතුරු සාක්ෂි මගින් ඔප්පු වී නැහැ.

(nypost.com)

ජනප්‍රවාදයන් හි සඳහන් වන අන්දමට මනාව වැඩුණු සිරුරකට හිමිකම් කියන යෙටී සම්පූර්ණයෙන් ම පාහේ තද අළු පැහැති හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැති ලෝමයන්ගෙන් ආවරණය වී තිබෙන අතර දළ වශයෙන් රාත්තල් 200 – 400 පමණ බරකින් සමන්විත විය යුතු යැයි අනුමාන කර තිබෙනවා. උතුරු ඇමෙරිකානු ජන සාහිත්‍යයේ සඳහන් බිග්ෆුට් සමග සසඳන විට අඩි 6 ක පමණ උසකින් යුතු යෙටී ප්‍රමාණයෙන් තරමක් කුඩා යි. නමුත් යෙටීගේ ශරීර ප්‍රමාණය විවිධ කතාවල දී විස්තර කර ඇත්තේ විවිධ ආකාරයෙන්.

2010 වසරේ දී චීන දඩයම්කරුවන් පිරිසක් විසින් අමුතු ම ආකාරයේ සත්ත්වයෙකු අල්ලා ගත් අතර ඔවුන් සඳහන් කළේ ඒ යෙටී බව යි. එසේ අල්ලා ගන්නා ලද අද්භූත සත්ත්වයා වලසෙකුට යම් තාක් දුරකට සමානකමක් දක්වන සම්පූර්ණයෙන් ම ලොම් රහිත සිව්පාවෙක්. පසු ව සිදු කරන ලද පර්යේෂණ මගින් අනාවරණය වූයේ එම සත්ත්වයා ලොම් හැලීමේ රෝගයකට ගොදුරු වූ සිවට් නමින් හඳුන්වන බළල් කුලයට අයත් සත්ත්වයෙකු බව යි.

යෙටීගේ ඉතිහාසය

(expres.cz)

ඉතිහාසය පුරාවට යෙටී ඇසින් දුටු බව ප්‍රකාශ කර පුද්ගලයන් බොහෝම යි. 1942 දී හිමාලය තරණය සඳහා ගිය කඳු නගින්නන් දෙදෙනෙකු ඔවුන්ට සැතපුම් කාලක් පමණ පහළින් හිම මතින් ඇදී යන කළු පැහැති පණ ඇති සත්ත්වයන් දෙදෙනෙකු දුටු බව පවසා තිබෙනවා. ඔවුන් විසින් ලබා දුන් විස්තර කිරීම්වලට අනුව යෙටී අඩි 8 ක පමණ උසකින් යුක්ත වන අතර මනා ව වැඩුණු සිරුර ආවරණය වී ඇත්තේ රතු පැහැය මුසු දුඹුරු පැහැති ලෝමයන්ගෙන්.

1986 මාර්තු මාසයේ දී හිමලය තරණය කළ කඳු නගින්නෙකු වූ ඇන්ටනි වූල්ඩ්‍රිජ්, යෙටී ව ඇසින් දුටු තවත් පුද්ගලයෙක්. ඔහු යෙටී ව දැක ඇත්තේ ඔහුට අඩි 500 ක් පමණ ඈතින් කුඩා කඳු වැටියක් අසල හිම මත සිටගෙන සිටිය දී යි. කිසිදු ශබ්දයක් පිට නොකළ යෙටී නොසෙල්වී සිටගෙන සිට ඇති අතර අමුතු හැඩයක් ගන්නා ලද පා සටහන් ඔහු දෙසට යොමු වී ඇති අයුරු ඇන්ටනි දැක තිබෙනවා. ඇන්ටනි විසින් ගන්නා ලද යෙටීගේ ඡායාරූප දෙකක් පර්යේෂණයන්ට ලක් කිරීමෙන් පසු ව සත්‍ය ඒවා බව තහවුරු වුවත් ඒවායේ සිටි සත්ත්වයා ව පැහැදිලි ව හඳුනා ගැනීමට හැකි වී නැහැ.

ඇන්ටනි වූල්ඩ්‍රිජ් ලබා ගත් සේයාරුවක් (canalmisteriosdomundo.com)

යෙටීව දුටුවා යැයි කියන අවස්ථාවන් සත්‍ය ඒවා ද නැතහොත් බොරු මවාපෑම් ද යන්න හඳුනා ගැනීම ඉතා දුෂ්කර වන අතර නේපාලයේ සහ ටිබෙට් කඳු වැටි ආශ්‍රිතව නිරන්තරයෙන් කඳු නැගීමේ යෙදෙන ඉතාලි ජාතික රයින්හෝල්ඩ් මෙස්නර් පවසන්නේ බොහෝමයක් දෙනා විශාල වලසුන් සහ ඔවුන්ගේ පා සටහන්, යෙටී ලෙස වරදවා හඳුනා ගන්නා බව යි.

යෙටී ගැන දැනට හමු වී ඇති සාක්ෂි

යෙටී පිළිබඳ සාක්ෂි බොහෝමයක් පදනම් වී ඇත්තේ යෙටීව ඇසින් දුටු පුද්ගලයන් විසින් ලබා දුන් ප්‍රකාශ සහ වාර්තා මත යි. වසර ගණනාවක් තිස්සේ යෙටී පිළිබඳ නොයෙක් සාක්ෂි හමු වී තිබුණත් තවමත් යෙටීගේ පැවැත්ම නිශ්චිත ව ම තහවුරු වී නැහැ.

ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි (richard-nz.com)

1960 දී යෙටීගේ පැවැත්ම පිළිබඳ ව සාක්ෂි සෙවීම ආරම්භ කර ඇත්තේ මුල් ම වරට එවරස්ට් කඳු වැටිය තරණය කළ ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි විසින්. ඔහු විසින් යෙටීගේ යැයි සලකන ලද හිස් කබලක් සොයා ගැනීමට සමත් වූ අතර පසු කාලීන ව විද්‍යාඥයන් විසින් එය යෙටීගේ නොව සෙරෙව් යනුවෙන් හඳුන්වන හිමාලය ආශ්‍රිත ජීවත් වන එළුවෙකුට යම් සමානකමක් දක්වන සත්ත්වයෙකුගේ බව තහවුරු කළා.

ඇමෙරිකානු රූපවාහිනි නිවේදකයෙකු වන ජොෂ් ගේට්ස් විසින් හිමාලයේ දිය පාරක් අබියස දී අබිරහස් පා සටහන් තුනක් සොයා ගත් බව ප්‍රකාශයට පත් කළේ 2007 වසරේ දී යි. නමුත් පසුව ඒවා විශාල වලසෙකුගේ පා සටහන් බව හඳුනාගෙන තිබුණා.

(grindtv.com)

නැවත වරක් 2011 දී එඩින්බර්ග් සත්ත්ව උද්‍යානයේ ගවේෂකයින් කණ්ඩායමක් යෙටීව සොයා නේපාලය ආශ්‍රිත ව මෙහෙයුමක් දියත් කරන ලද අතර එහි දී ඔවුන්ට යෙටීගේ යැයි සැලෙකෙන ඇඟිල්ලක් සොයා ගැනීමට හැකි වුණා. එය යෙටීගේ පැවැත්ම විශ්වාස කරන්නන් අතර පිබිදීමක් ඇති කළ ද ඩී. එන්. ඒ. විශ්ලේෂණයන්ගෙන් හෙළි වූයේ එය මිනිසෙකුට අයත් ඇඟිල්ලක් බව යි.

යෙටී සොයා සිදු කරන රුසියානු ගවේෂණ

රුසියානු ආණ්ඩුව විසින් යෙටී සොයා ගැනීම පිළිබඳ ව මහත් උනන්දුවක් දක්වන අතර 2011 ඔක්තෝබර් මාසයේ දී බිග්ෆුට් සෙවීම සඳහා දායකත්වය ලබා දුන් විශේෂඥයින් බොහෝ දෙනෙක් බටහිර සයිබීරියාවට ගෙන්වමින් ඔවුන් ඒ පිළිබඳ ව සම්මන්ත්‍රණයක් පවා පවත්වා තිබෙනවා.

ජෝන් බයින්ඩනේගල් (bigfootsongs.blogspot.com)

බිග්ෆුට් සෙවීම සඳහා දායක වූ ජීව විද්‍යාඥයෙකු වන ජෝන් බයින්ඩනේගල් ප්‍රකාශ කර ඇත්තේ යෙටී ජීවත් ව සිටින බවට පමණක් නොව ඔහු ගස් මත කූඩු තනන බව තහවුරු කිරීමට තරම් සාක්ෂි මේ වන විට තමන්ට හමු වී ඇති බව යි.

කවරයේ පින්තූරය: 1zoom.net

මුලාශ්‍ර:

  1. livescience.com
  2. telegraph.co.uk
  3. bbc.com
  4. en.wikipedia.org

Related Articles