හෙළ වාරි තාක්‍ෂණයේ විශ්මය කියා පාන යෝධ ඇළ

වසර දෙදහසක් පමණ අතීතයට යන යෝධ ඇළ වාරි තාක්ෂණයේ අපූරු, අද්විතීය නිර්මාණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව මෙම ලිපිය මඟින් යෝධ ඇළ ස්ථාපිත කිරීමට හේතු වූ කරුණුත්, එහි තිබෙන සුවිශේෂිතා මෙන්ම එමඟින් ජනතාවට සැලසූ සේවය ගැනත් දැන කියා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

යෝධ ඇළ ස්ථාපිත කිරීමට හේතු වූ කරුණු

ක්‍රි. ව 459 දී පමණ අනුරාධපුරයේ රජකම් කරනු ලැබුවේ ධාතුසේන රජතුමා යි. රජුට අවශ්‍ය වුයේ එකළ අනුරාධපුර වාසය කළ ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට යි. ඒ අනුව යමින් පහත් බිමේ පිහිටා තිබෙන කලා වැවේ සිට උස් බිමේ පවතින තිසා වැවට ජලය ගෙන යාමට වුවමනා වුණා. ඒ සඳහා දිය ඇලි 48කින් යුතුව සැතපුම් 54ක් පමණ දුරට යෝධ ඇළ ඉදි කළ බවට වංශ කතා වල දැක්වෙන බව සඳහන් වනවා. එමෙන්ම ලෝකයේ ප්‍රථම වාපිය අනුරාධපුර “ අභයවැව” වන අතරම ලෝකයේ ප්‍රථම වාරිය හෙවත් යෝධ ඇළ ධාතුසේන රජුගේ යෝධ ඇළ ලෙස සඳහන් වනවා.

ධාතුසේන රජු හා යෝධ ඇළේ ඉදි කිරීම

ගැබ්ගත් එළිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා ඒ අනුව යෝධ ඇළ කැණීම (sesanda.com)

ධාතුසේන රජු හා බැඳී පවතින ඉතාමත් ප්‍රචලිත ජනප්‍රවාදයක් පවතිනවා. එනම් ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප රජකමට කෑදර කමින් සිටි බැවින් පිය රජුට ප්‍රකාශ කොට ඇත්තේ “හම්බ කළ ධනය පෙන්වන්නැයි” කියායි. “මා රට, ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමඟ එන්න” යැයි  පුතාට විධාන කොට තමන් ද අසු පිටට නැගී කලා වැව දක්‌වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ බවට වර්තමානයේත් ජනප්‍රවාදයේ පවතිනවා.

ඉතිහාසගත කරුණු වලට අනුව ධාතුසේන රජු වාසය කළේ පස්වැනි සියවසේ. එමෙන්ම ක්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක් පමණ අනුරාධපුර ධාතුසේන රජු රජකම් කර තිබෙනවා. කලා වැව හා බළලු වැව යා කොට විශාල වැවක් නිර්මාණය කළේ ද මෙම රජු විසිනු යි.

යෝධ ඇළේ ප්‍රථම සැතපුම් සැතපුම් 17 දිය බැස්ම සැතපුමකට අඟල් 6ක් බව දැක්වෙනවා. මෙය ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස දැක්වීම සඳහා එය එක හේතුවක් වනවා. මේ හා සම්බන්ධ තවත් ජනප්‍රවාදයක් වන්නේ ගැබ්ගත් එළිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා අනතුරුව ඇය පියවර තැබූ මඟ ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන ගිය බවයි.

එමෙන්ම මහාවංශය සඳහන් කරන්නේ ධාතුසේන රජතුමා රාජ්‍යයෙන් මිදීමට වසර 7කට පෙරාතුව මෙම යෝධ ඇළ හදා වැඩ නිම කළ බවයි. ඒ වගේම ගම්මාන වැව් 120ට දියවර සැපයීමට යෝධ ඇළ සමත් වූ බවත් දැක්වෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුතු

යෝධ ඇළ ධාතුසේන රජු ඉදි කිරීමෙන් පසුව පරාක්‍රමබාහු රජතුමා මෙය ප්‍රතිසංස්කරණය කොට පුළුල් කොට තිබෙනවා. ඒ යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සීයකට පමණ පසු බව දැක්වෙනවා. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා විසින් මෙය “ජය ගංගා” ලෙස ද නම් කොට තිබෙනවා.

යෝධ ඇළේ තිබෙන වාසිදායක තත්ත්වයන්

වැව් වලට ලැබෙන ජලයෙන් කුඹුරු වැපිරීමට සකස් කර ගන්නා අයුරු (gambartop.com)

යෝධ ඇලේ බැම්ම යොදා තිබෙන්නේ යටි පැත්තෙන් පමණක් බව සඳහන් වනවා. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමක් වනවා. මහාකණුමුල්ල, මානෑව, කිරලෝගම, කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය යෝධ ඇළට ගලා ආ බව දැක්වෙනවා. එමෙන්ම මේවායේ ජලය, වැසි ජලය, කලා වැවේ ජලය ආදී සියල්ලම යෝධ ඇළට එකතු වූ විට එය නිරන්තරයෙන් වැවක වතුර පිරී තිබෙන අයුරින් දැක්වුණා කියලත් සඳහන් වනවා. එමෙන්ම යෝධ ඇළෙන් පහළ තිබෙන කෙත්වතු වලට පමණක් නොවේ ඉහළ කෙත්වතු වලටත් ජලය ලබා දී තිබෙනවා.

එමෙන්ම යෝධ ඇළ මඟින් පරිසරය සංරක්ෂණය වීමක් ද සිදු වී තිබෙනවා. වැව් වලට උඩට වන්නට යෝධ ඇළ ගමන් කිරීම හේතුවෙන් වැව් වලට රොන් මඩ ගලා ඒම වැළකුණු බව දැක්වෙනවා. එමෙන්ම වැව් වල වතුර පාලනය කිරීමක් සිදු වූ අතරම වැඩි වතුර ඒමද එමඟින් වලක්වා තිබෙනවා. මහකන්නයේ ඇද හැලෙන වැසි වලින් යෝධ ඇළට ද ජලය එකතු වීමක් සිදු වුණා. මෙහිදී එම ජලය අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දීමක් සිදු කර තිබෙනවා. යෝධ ඇළ පුරාවටම දිය කල 48ක් තිබුණු බවට සඳහන් වනවා. එමඟින් කැලයේ ජිවත් වූ සතුන්ගේ ද ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබුණා.

භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගැනීමට යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශ වලට හැකි වුණා. මේ හේතුවෙන් මෙම ඇළ පාදක කර ගනිමින් ඉතාමත් සශ්‍රීක වැව් ගම්මාන රැසක් ම බිහි වූ බව දැක්වෙනවා. පාරිසරික පද්ධතිය භූගත ජලයෙන් පෝෂණය වීමක් සිදු වුණා. වර්ෂාව ලැබෙන කාල වල එකතු කර ගනු ලබන ජලය නියං වකවාණු වලදී වැව් වලට මුදා හැරීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ඇළ වන්ගුවල පිහිටා තිබුණ දියකලි දිය උල්පතක් බඳු වුණා කියලයි සඳහන් වන්නේ. යෝධ ඇළ යෝධයෙක් මෙන් රජරට පුරවරයේ නැගී සිට ජනතාව මෙන්ම ගම්බිම් ද පෝෂණය කිරීමට කටයුතු කරනු ලැබුවා.

විවේචන

යෝධ ඇළ අභාවයට ගොස් ඇතැයි විවේචන ඉදිරිපත් වනවා. එය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ යුතු බව ද දැක්වෙනවා. එමෙන්ම පසු කාලීනව මහවැලි ජලය රජරටට ගෙන යාම සඳහා අලුත් ජයගඟක් නිර්මාණය කළ බවත් දැක්වෙනවා. ඓතිහාසික උරුමයක් වූ යෝධ ඇළ අභාවයට යමින් තිබෙන බව ද සඳහන්.

කවරයේ පින්තුරය: commons.wikimedia.org

Related Articles