Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ සුරතල් සුනඛයා ඔබ හිතනවාට වඩා සුවිශේෂියි

මිනිසා හා සුනඛයා අතර සම්බන්ධතාවය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නක්. මීට වසර 14000 කට පෙරත් සුනඛයින් ගෘහාශ්‍රිතව ඇති දැඩි කළ බවට සාක්ෂි හමු වී තිබෙනවා. අතීතයේ සමහර ශිෂ්ටාචාර සුනඛයින් ඉතා ගෞරවාන්විත සත්ත්ව කොට්ඨාශයක් ලෙස හඳුන්වා විශේෂ සැලකිලි පවා ලබා දී තිබෙනවා.

බොහෝ විට සුනඛයින් තම ස්වාමියාට ඉතා ලැදියාවක් දක්වනවා. සමහර සුනඛයින් තම ස්වාමියා වෙනුවෙන් සිය ජීවිතය පවා පරිත්‍යාග කොට තිබෙනවා. සුනඛයින් සිය ස්වාමියාගේ ජීවිතය හා දේපල රකින්නේ දිවි හිමියෙන්. ඒ සඳහා ඔවුන් දක්වන්නේ නිසඟ ශක්‍යතාවයක්.

මිනිසාට අනෙකුත් සියලු සත්ත්වයින්ට වඩා විශේෂණය වූ මොළයක් පිහිටා තිබෙනවා. එසේ වූ පමණින් ලොව සියලු හැකියාවන් අතින් ඉහළම තලයේ සිටින්නේ මිනිසා යැයි යන කියමන සත්‍ය වන්නේ නැහැ. ඔබේ නිවසේ සුරතලයට දෙපාවල දැවටෙමින් ඉන්න සුනඛ පෝතකයා සමහර හැකියාවන් අතින් ඔබට වඩා බොහෝ ඉදිරියෙන් සිටිය හැකියි. ඒ වාගේම ඔවුන්ගේ සමහර චර්යා රටා වලට නොසතුට පළ කිරීමටත් අපි හුරු වී තිබෙනවා. අපට අවබෝධ කරගත නොහැකි වුවද ඔවුන් ලෝකය අත්දකින ආකාරය අපට වඩා බොහෝ වෙනස් කම් වලින් යුක්තයි. සුවිශේෂී හැකියාවන් හා අවශ්‍යතාවයන් සහිත මිනිසාගේ පරම මිතුරා පිළිබඳ පහත සඳහන් කරුණු පිළිබඳ ඔබ දැනුවත්ද බලන්න.

සුනඛයාගේ ඉව

quora.com

සුනඛයාගේ ඉව මිනිසාට වඩා ප්‍රබල යැයි කියන කාරණය අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. කෙසේ නමුත් එම ප්‍රබලතාවය මිනිසාට වඩා වැඩි වන්නේ කිහිප ගුණයකින් පමණක් නොවේ. සුනඛ වර්ගය අනුව යම් සුනඛයෙකුගේ ඉවෙහි ප්‍රබලතාව වෙනස් වන අතර එය මිනිසාගේ ගන්ධය හඳුනා ගැනීමේ හැකියාව මෙන් දහස් ගුණයේ සිට දස මිලියන ගුණය දක්වා විය හැකියි. සුනඛයෙකු සතුව සුවඳ හඳුනා ගැනීමේ ග්‍රන්ඨි  මිලියන 125 සිට 300 දක්වා ඇති අතර මිනිසෙකුගේ ඇත්තේ ඒවා මිලියන 5ක් පමණයි. එසේම ගන්ධය හඳුනා ගැනීමට සුනඛයෙකුගේ මොළයේ වෙන් වී ඇති කොටස මිනිසෙකුගේ මෙන් 40 ගුණයක් වෙනවා.

සුනඛයා හා වර්ණ දෘෂ්ථිකත්වය

සුනඛයෙකුගේ පෙනීම මිනිසාගෙන් වෙනස් වන අයුරු-http://premiumblend.net

අතීතයේ පිළිගැනීම වී තිබුණේ සුනඛයින්ට වර්ණ දෘෂ්ථිකත්වයක් නොමැති අතර ලෝකය පෙනෙන්නේ කළු සුදු එකක් ලෙස බවයි. කෙසේ නමුත් වර්තමානය වන විට එය එසේ නොවන බව සොයාගෙන තිබෙනවා. මිනිසා මෙන් නොව සුනඛයෙකුගේ ඇසෙහි කේතු සෛල වර්ග පිහිටා ඇත්තේ දෙකක් පමණයි. මේ නිසා ඔවුනට නිල් හා කහ වැනි වර්ණයන් පෙණෙන අතර රතු හා කොළ පැහැය වෙන් කොට හඳුනාගත නොහැකි වෙනවා. කෙසේ නමුත් සුනඛයින්ගේ රාත්‍රී දෘෂ්ථිකත්වය මිනිසාට වඩා ප්‍රබලයි.

සුනඛ බුද්ධිය

ඔබේ සුනඛයා දෙහැවිරිදි දරුවෙකු තරම් බුද්ධියකින් යුක්ත විය හැකියි. දෙහැවිරිදි දරුවෙක් තරම් වචන පිළිබඳ අවබෝධයක් සමහර ‘බුද්ධිමත්’ බල්ලන්ට තිබෙනවා. කොලී නම් සුනඛ වර්ගය බුද්ධි මට්ටමින් ඉදිරියෙන්ම සිටින අතර ඔවුනට වචන 200ක් පමණ අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව පූඩ්ල්, ජර්මන් ෂෙපර්ඩ්, ගෝල්ඩන් රෙට්‍රිවර් හා ඩොබර්මන් යන වර්ග වල සුනඛයින්ද බුද්ධි මට්ටමින් ඉහළ සතුන් ලෙස සැලකෙනවා.

සුනඛ ශ්‍රවණය

pulseinsights.com

සුනඛයාගේ ශ්‍රවණ හැකියාව මිනිසාට වඩා බොහෝ ඉහළයි. මිනිසාගේ ශ්‍රවණ පරාසය හර්ට්ස් 64-23000 අතර වුවත් සුනඛයෙකු සම්බන්ධයෙන් එය හර්ට්ස් 67-45000 පමණ වෙනවා. මේ නිසා මිනිසාට වඩා තීව්‍ර ශබ්දයන් ශ්‍රවණය කිරීමේ හැකියාව සුනඛයෙක් සතුයි. මිනිසා හා සුනඛයා යන දෙකොට්ඨාසයෙහිම ශ්‍රවණ පරාසයේ ඉහළ සීමාව වයසත් සමඟ අඩු වනවා.

සුනඛ සිරුරේ උෂ්ණත්වය

සුනඛයින්ගේ සිරුරෙහි උෂ්ණත්වය මිනිසාට වඩා වැඩි අගයකින් යුක්තයි. මිනිසෙකුගේ සිරුරෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් පමණ වූවත් සුනඛයෙකුගේ එය සෙල්සියස් අංශක 38 ක් පමණ වෙනවා. මේ නිසා මැක්කන් වැනි සතුන් බොහෝ පහසුවෙන් සුනඛයක් කෙරෙහි ආකර්ෂණය වෙනවා. අනෙක් කාරණාව මිනිසා මෙන් නොව සුනඛයින්ගේ සිරුරෙහි දහඩිය ශ්‍රාවී ග්‍රන්ථි පිහිටන්නේ ඔවුන්ගේ පාද වල පමණක් වීමයි. මේ නිසා උණුසුම් දිනවල සුනඛයින් මිනිසාට වඩා අපහසුතාවයට ලක් වෙනවා.

සුනඛ සිහින

everythinginspirational.com

බොහෝ දෙනෙක් විශ්වාස නොකළාට සුනඛයින් නිතරම සිහින දකිනවා. සුනඛයින්ගේ සිහින දැකීමේ හැකියාව මිනිසාට දෙවැනි වන්නේ නැහැ. එසේම ඔවුනට හීන මතකයේද පවතිනවා. සුනඛයෙක් සිහින දකින විට මුහුණේ යම් ගැසීම ඇති වන අතර අත පයෙහිද සියුම් සෙලවීම නිරීක්ෂණය කළ හැකියි. තවත් සුවිශේෂම කාරණාව වන්නේ සුනඛ සිහින වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ස්වාමියා අරබයා දකින ඒවා වීමයි.

සුනඛයාට ඔබේ තත්ත්වය ඉව කළහැකියි

ඔබේ සුරතල් සුනඛයාට ඔබේ මානසික හෝ ශාරීරික සෞඛ්‍ය තත්වය පිළිබඳව සියුම් ලෙස වටහාගත හැකියි. ඔවුන් එය සිදු කරන්නේ ‘ඉව කිරීමෙන්’ බව පැවසුවහොත් ඔබ ඉතාම පුදුමයට පත් වේවි. නමුත් සැබෑ ලෙසම ඔවුන්ට එම හැකියාව පිහිටන අතර තමන්ගේ ස්වාමියා දුකින්ද, සතුටින්ද, බියෙන්ද යන්න මෙන්ම යම් රෝගාබාධ හා සමහර විටෙක ගැබ් ගෙන ඇතිද යන්න පවා ‘ඉවෙහි’ වෙනස් වීම තුළින් සියුම් ලෙස ග්‍රහණය කර ගැනීමට හැකි තරම් සුනඛයින්ගේ සුවඳ හඳුනා ගැනීමේ හැකියාව ප්‍රබලයි.

සුනඛ ඇඟිලි සළකුණ

rover.com

යම් මිනිසෙක් තවත් මිනිසෙකුගෙන් වෙන් කොට නිශ්චිතවම හඳුනා ගැනීමට ඇඟිළි සලකුණු තාක්ෂණය භාවිතා වෙනවා. ඒ ඒවා පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට – සම නිවුන්නුන්ගේ පවා වෙනස් ලෙස පිහිටා තිබෙන නිසායි. සුනඛයින්ටද එසේ අනන්‍ය වූ සලකුණක් පිහිටා තිබෙනවා. කෙසේ නමුත් ඒ පාදයේ නොවේ. සුනඛයෙකුගේ නාසයෙහි ඇති රටාවන් එකිනෙකාට හාත්පසින්ම වෙනස් වෙනවා. මේ නිසා මිනිසුන් ඇඟිලි සලකුණු භාවිතයෙන් නිශ්චිතව හඳුනා ගන්නේ යම් සේද සුනඛයින්වත් ඔවුන්ගේ නාසය ආධාරයෙන් වෙන් කොට හඳුනා ගත හැකියි.

සුනඛයා හා නැට්ට වැනීම

blogs.discovermagazine.com

තමන්ගේ වලිගය දෙපසට වැනීම සිය ස්වාමියා සමඟ සන්නිවේදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රම්වේදය ලෙස සුනඛයින් භාවිතා කරනවා. සුනඛයින්ගේ වලිගය වැනීම සෑම විටම හිතවත් කම හෝ ප්‍රීතිය පෙන්වීම උදෙසා කරන්නක් බව අප බොහෝ දෙනා විශ්වාස කරන කරුණක්. කෙසේ නමුත් එය සෑම විටම සත්‍යයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දකුණු දෙසට බරව ඔවුන් සිය වැනීම කරයි නම් එයින් හැඟවෙන්නේ ප්‍රීතිය හා හිතවත් කම වන අතර වම්පසට බර වැනීම භීතියත් වලිගය ඉහළට ඔසවයි නම් කුතුහලයත් පිළිබිඹු කරනවා.

කවරයේ පින්තූරය -pets4homes.co.uk

මූලාශ්‍ර

cesarsway.com

mirror.co.uk

worldanimalprotection.us.org

Related Articles