Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගතයේ මෝටර් රථය – Audi Skysphere

මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය දිනෙන් දින ඉදිරියට යනවා. බොහෝ මෝටර් රථ සමාගම් අතර පවතින විශාල තරගකාරිත්වය වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කර තිබෙනවා කිව්වොත් නිවැරදි යි. බොහෝ මෝටර් රථ සමාගම් රියදුරන් නොමැති ව ධාවනය කළ හැකි මෝටර් රථ පවා දැන් දැන් නිර්මාණය කරනවා.

එහි Tesla සමාගමේ ඉහළ ම නිර්මාණය වන්නේ Tesla Roadster නම් මෝටර් රථය යි. එය මේ වසරේ නිකුත් වීමට තිබුණත් තවමත් ඒ සම්බන්ධ පැහැදිලි තොරතුරක් නැහැ. ඒ අතර Audi සමාගම අමුතු ම ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා. Skysphere නමින් හඳුන්වන මෙය වඩා අනාගත පෙනුමකින් සහ ඇදහිය නොහැකි හැකියාවන්ගෙන් යුක්ත එකක් බව කිව හැකි යි. Roadster රථය හා තරගයට Audi ඉදිරිපත් කළ මෝටර් රථය ලෙසයි බොහෝ දෙනා මෙම නිර්මාණය හඳුන්වන්නේ.

ජර්මානු ඉංජිනේරු August Horch සහ Audi සමාගමේ ලාංඡනය වෙනස් වූ ආකාරය – alchetron.com

Skysphere නිර්මාණයේ පසුබිම් කතාව

Skysphere යනු අනාගතයේ රථයක් වුවත් මෙම මෝටර් රථය නිර්මාණය කිරීමේ සංකල්පය Audi සමාගමේ ආරම්භයට දිව යනවා. 1899 දී ඉංජිනේරු August Horch, August Horch & Cie නම් මෝටර් රථ සමාගමක් ජර්මනියේ Cologne හි ආරම්භ කරනවා. 1909 දී එම සමාගමෙන් ඉවත් වන Horch Zwickau හි දෙවන සමාගමක් අරඹනවා. පළමු සමාගමේ නමට තමන්ගේ නම යොදා ගැනීම නිසා මෙම සමාගමට August Horch යොදන නම වන්නෙ Horch යන්නෙහි ලතින් පරිවර්තනයයි. Horch යනු ජර්මානු බසින් අසන්න! යන විධානය වන අතර එය ලතින් බසින් Audi නම් වනවා. 1914 දී Audi Automonilewerke සමාගම ලෙස ප්‍රසිද්ධ වන්නේ වර්තමාන Audi AG සමාගම යි.

1931 දී මෙම සමාගමේ නිර්මාණය කළ Horch 853 රථය එවක නිර්මාණය වුණු සුඛෝපභෝගී ම රථයක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙම රථයේ සිලින්ඩර 8ක එන්ජිමකින් පිටුපස රෝදවලට බලය සැපයෙන අතර දොරවල් දෙකකින් සමන්විත දර්ශනීය මෝටර් රථයක් වනවා. ඉතා දිගු බොනට්ටුවක් සහිත මෙහි ඉදිරිපස සහ පසුපස රෝද අතර දුර (wheelbase) 3450mm ක් පමණ වනවා. වර්තමාන සුඛෝපබෝගී මෝටර් රථවල wheelbase අගය 3100 – 3200 mm වන බව මෙහිදී සඳහන් කළ යුතු යි. wheelbase එක වැඩි වීම වැඩි වේගවලදී රථයේ ස්ථාවර ගතිය වැඩි කරවන අතර පැදවීම ද පහසු කරනවා.

Horch 853 රථය – ultimatecarpage.com

 

Skysphere රථය සඳහා මුලික සංකල්පය ලබාගෙන ඇත්තේ Horch 853 රථයෙන් බවයි පැවසෙන්නේ. Horch 853 රථය සුඛෝපභෝගී (luxury) සහ ජවසම්පන්න (sport) මෝටර් රථයක් වීම නිසා Skysphere රථයටත් එම ලක්ෂණ දෙකම එක් කර තිබෙනවා. එසේම දිගු බොනට්ටුවක් මෙම රථයේත් දැකිය හැකි අතර රථයට පිවිසීමට ඇත්තේ දොර දෙකක් පමණ යි. Horch 853 රථයේ සංකල්පය ලබාගත්තත් අතිශය අනාගත තාක්ෂණික අංගෝපාංග Skysphere රථය සඳහා එකතු කිරීමට Audi සමාගම කටයුතු කර තිබෙනවා.

Skysphere රථය නිර්මාණය කළ ආකාරය පෙන්වන Audi සමාගමේ වීඩියෝවක් මෙතනින් නරඹන්න.

අනාගත පෙනුමැති Audi Skysphere

Audi Skyspehere රථය සංකල්ප රථයක් (concept car) ලෙස පසුගිය අගෝස්තු 10 වනදා එළි දැක්වූ අතර එය කුමන දෙසින් බැලුවත් අප මෙතෙක් දැක ඇති මෝටර් රථවල පෙනුමට වඩා වෙනස් ලෙස යි නිපදවා ඇත්තේ. රථයේ හැඩය බොහෝ දුරට Mercedes AMG රථයකට යම් සමානකම් දැක්වුවත් හැඩතල ආදිය බෙහෙවින් අනාගත මෝටර් රථයක පෙනුමක් ගෙන දෙනවා. රථය සඳහා භාවිත කර තිබෙන්නේ සුවිසල් අඟල් 23 Alloy wheel වනවා. එමඟින් රථයට ලබා දෙන්නේ Sport පෙනුමක්. එසේම මෙම රෝදවලින් වායු ප්‍රතිරෝධය විශාල ලෙස අඩු වෙන බවයි කියැවෙන්නේ.

Audi Skyspehere රථයේ පැති පෙනුම – audi-mediacenter.com

Skysphere රථය විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන්නක් නිසා එයට එන්ජිම සිසිලනය සඳහා ඉදිරිපසින් වාතය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මේ නිසා ඉදිරිපස Grill එකක් දැකිය හැකි වන්නේ නැහැ. නිර්මාණ ශිල්පීන්, කම්මැලි පෙනුමක් ඇති සිදුරු රහිත පුවරුවක් රථය ඉදිරිපසට යෙදීම වෙනුවට විවිධ රටා මවන LED Array එකක් Grill එක වෙනුවට සකස් කර තිබෙනවා. මේවා රථයේ ප්‍රධාන විදුලි පහන් සමඟ විවිධාකාර රටා පෙන්වන අතර රථයේ විවිධ ගමන් ක්‍රම (Mode) සඳහාත් රථයේ අගුළු දැමීමේ දී සහ නැවත විවෘත කිරීමේදීත් රථය පණ ගන්වන විටත් සුවිශේෂී වූ රටා පෙන්වනවා.

LED Array එක දැකිය හැකිවන්නේ රථයේ ඉදිරිපස පමණක් නොවේ. සරල Brake Light දෙකක් වෙනුවට කුඩා LED සිය ගණනකින් සමන්විත Brake Light පුවරුවක්ම මෙහි දැකිය හැකි යි. මේවාත් විවිධ අවස්ථාවලදී විවිධ රටා පෙන්වනවා. Reverse Light සහ Indicator Light යනාදී සියල්ල මේ Array එක තුළ ම යි අඩංගු වන්නේ. වළලු 4කින් යුත් Audi සමාගමේ ලාංජනයත් රථයේ බොනට්ටුව මත සහ පිටුපස සවිකර ඇත්තේ LEDවලින් දැල්වෙන ආකාරයට යි.

Audi Skysphere රථයේ ඉදිරිපස සහ පිටුපස LED Array – audi-mediacenter.com

Audi Skysphere රථය ආසන දෙකක් පමණක් ඇති Convertible රථයක් වෙනවා. එහි රථයේ වහලය හැකිළීමට හා දිගහැරීමට හැකි යි. එම වහලය පාරදෘශ්‍ය ලෙසයි නිර්මාණය කර ඇත්තේ. ඒ නිසා වසා ඇතිවිට Sun roof එකක් වශයෙන් එය ක්‍රියාකරනවා. රථයේ දොරවල් වැඩි දිගකින් යුක්ත වන අතර ඒවා පැරණි මෝටර් රථවල මෙන් රථයේ පිටුපසට අල්වා තිබෙනවා. මේ නිසා දොර දෙක ම විවෘත කළ විට පියාඹන්නට සැරසෙන කුරුල්ලකුගේ ආකාරයකට රථය දිස්වනවා. මෙම දොරවල්වල ජනේල කොටස රාමු රහිත ලෙසයි නිර්මාණය කර ඇත්තේ. පිටුපස බඩු රැගෙන යා හැකි ලෙස Boot එකක් තිබෙනවා. Boot එකේ දොර ද පාරදෘශ්‍ය නිසා ඇතුළත රැගෙන යන භාණ්ඩ පිටතට පෙනෙන ලෙසයි සකස් කර ඇත්තේ.

බල සැපයුම සහ හැකියාව

අලංකාර පෙනුමට අමතර ව හැකියාවන්ගෙන් ද Audi Skysphere රථය පරිපුර්ණ බව කිව යුතුයි. ඒ වෙනුවෙන් රථයට අවශ්‍ය සියලු ම බලය ලබාදෙන්නේ අශ්වබල 632ක බලයක් ඇති විද්‍යුත් මෝටරයකින් වනවා. මෙමගින් පිටුපස රෝදවලට පමණක් බලය සපයන අතර නිව්ටන් මීටර 750ක ව්‍යවර්තයක් ද සැපයීමට සමත්. මේ නිසා 0 සිට පැයට කිලෝමීටර 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට ගත වන්නේ තත්පර 4ක් පමණයි. නමුත් Roadster රථය සතු ද්විත්ව මෝටර මගින් පැයට කිලෝමීටර 100ක වේගයක් තත්පර 1.9කදී ලබාගත හැකි බවයි Tesla සමාගම පවසන්නේ.

Skysphere හි දොරවල් විවෘත වන ආකාරය – aphadolie.com

Audi සමාගම Skysphere රථයේ උපරිම වේගය පිළිබඳ ව නිල සඳහනක් සිදු කර නැහැ. එසේම ඔවුන් රථය සඳහා භාවිත කර ඇති බැටරි ධාරිතාව සම්බන්ධව තොරතුරු නිකුත් කර නැහැ. නමුත් එක් වරක් ආරෝපණයෙන් කිලෝමීටර 500ක උපරිම දුරක් ගමන් කිරීමේ හැකියාව Skysphere රථය සතු බවයි Audi සමාගම පවසන්නේ. එම අගය Audi e-tron GT රථයේ පරාසය ඉක්මවා යන නිසා එහි භාවිත කෙරෙන කිලෝවොට් පැය 94ක බැටරිය ම බොහෝවිට Skysphere රථයටත් අඩංගු කර ඇති. කෙසේවෙතත් මෙම නව Skysphere රථය e-tron GT රථයට වඩා කිලෝග්‍රෑම් 500ක් අඩු බරකින් යුක්තයි.

හැකිළී ඉවත් වෙන සුක්කානම

ස්වයංක්‍රීය ධාවනය (autonomous driving) විවිධ මට්ටම්වලින් විවිධ මෝටර් රථවල භාවිත කෙරෙනවා. බොහෝ ඒවායේ දක්නට ඇත්තේ මංතීරුව තුළ වාහනය පවත්වා ගෙන යාමත් ඉදිරියෙන් ගමන් කරන වාහනය සමඟ ආරක්‍ෂිත දුරක් පවත්වා ගැනීමත් පමණ යි. සමහර වාහනවල සංඥා ලාම්පු දැල්වීමෙන් පමණක් මංතීරු මාරු කිරීම සහ වේග සීමා පුවරුවලට අනුව රථයේ වේගය පාලනය වැනි අංගත් දැකිය හැකි යි.

 රියදුරකු රහිතව හෝ රියදුරාගේ කිසිදු විධානයකින් තොරව අවශ්‍ය ගමනාන්තය ඇතුළත් කිරීමෙන් පමණක් ඒ වෙත ගමන් කරන මෝටර් රථ නිර්මාණය වන්නේ ඉතාමත් අඩුවෙන්. මෙවැනි වාහන 4 වන මට්ටමේ Autonomous හැකියාවක් සහිත වාහන ලෙසයි හඳුන්වන්නේ. මේවා නිර්මාණය වූවත් ගමන් කරන්නේ සීමා කළ ප්‍රදේශයක පමණ යි.

2019 වසරේ ලෝකයේ ප්‍රධාන ම තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශන වන CES (Consumer Electronics Show) ප්‍රදර්ශන භුමිය අවට පමණක් සීමා සහිතව ගමන් කිරීමට රියදුරන් රහිත ටැක්සි සේවාවක් යොදා තිබීම මෙයට උදාහරණයක්. කෙසේවෙතත් Audi සමාගම එවැනි සීමා අතික්‍රමණය කරමින් තම Skysphere රථය නිර්මාණය කර තිබෙනවා.

වැඩි දියුණු කළ ටොයෝටා ප්‍රයස් රථයක් රියදුරු නොමැතිව CES 2019 ප්‍රදර්ශනය පැවැත්වූ නගර සීමාවේ ගමන් කළ ආකාරය – neurohive.io

සාමාන්‍යයෙන් මෝටර් රථයක් ගමන් කිරීමේදී සුවපහසු වීමේ හැකියාව තිබෙන්නේ එහි ගමන් ගන්නා මගීන්ට පමණ යි. රියදුරුට රථය පාලනය කෙරෙහි සිය අවධානය යොමු කිරීමට සිදුවනවා. එසේම ස්වයංක්‍රීය ධාවනයකට යොමු කළ හැකි රථයක් වුවත් සුක්කානම, ඇක්සලෙටර් පෙඩලය, බ්රේක් පෙඩලය යනාදී කොටස් නිසා අත පය දිගහැර විවේක ගැනීමේ හැකියාවක් නැහැ.

නමුත් Skysphere රථය ස්වයංක්‍රීය ධාවනයට (මෙම රථයට අනුව නම් Grand Touring mode එකට) යොමු කළොත් රථයේ සුක්කානම හැකිලී ඉවත් වෙනවා. ඇක්සලෙටර් සහ බ්රේක් පෙඩලයන් පවා රථය තුළට ගමන් කරනවා. සම්පුර්ණයෙන් ඩිජිටල් තිරයක් වන Dashboard එකෙහි රියදුරු කොටසත් නැවත පසුපසට ගමන් කර අනෙක් කොටස හා සමපාත වනවා. ගියර් ලීවරය සහිත Center Console එක පවා ඉවත් වීම පුදුමාකාර යි.

රථයේ Mode එක Sport සිට GT බවට වෙනස් කිරීමේදී සිදුවන වෙනස – twimg.com

මේ සියල්ලට ම අමතරව GT mode එකට යොමු කළ විට රථයේ දිග 250mm කින් ස්වයංක්‍රීය ව වැඩි කෙරෙනවා. එවිට පාද දිග හැරීම සහ ආසනය සැපපහසු ලෙස ආනත කරගැනීමට වැඩි ඉඩක් ලැබෙනවා. GT Mode එකේදී Skysphere රථයේ දිග Audi A8 රථයකට සමාන වන අතර Sport mode එකේදී එය Audi RS 5 රථයක දිගට සමාන වන බවයි පැවසෙන්නේ.

රථය ස්වයංක්‍රීයව ඔබට අවශ්‍ය ගමනාන්තය තෙක් ගමන් ගන්නා තුරු රියදුරාට ඉහිල්වීමට හැකි අතර එහි පාලනය නැවත ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ Sport mode එකට රථය යොමු කිරීම පමණයි. එවිට පෙර සඳහන් කළ සියලු ක්‍රියාවලීන් ආපසු මුල් තත්වයට පත්වනවා. එසේම රථයේ Pneumatic Suspension පද්ධතිය මගින් රථය මිලිමීටර 10 කින් පහත් කිරීමත් සුක්කානම මගින් පසුපස රෝද හැරවීමේ පහසුකම සක්‍රීය කිරීමත් කරනවා.

Skysphere රථයේ දිග වැඩිවන ආකාරය – robbreport.com

Skysphere රථයේ වෙනත් අමුතු පහසුකම්

Skysphere රථයට පිවිසීම සඳහා දොරවල් සතු ව හැඬලයක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ රථයේ බඳ කොටස ස්පර්ශ කිරීම පමණයි. එවිට ස්වයංක්‍රීය ලෙස රථයේ දොරවල් සම්පුර්ණයෙන් විවෘත වනවා. රථයට ගොඩවුණු පසු දොරවල් පවතින්නේ අතින් ඇල්විය හැකි දුරකින් නොවේ. මේ නිසා Center Console කොටසේ ඇති ස්පර්ශ සංවේදක බොත්තමක් තද කිරීම මගින් දොරවල් වැසිය යුතු වනවා.

දොරවල්වල ඇතුළත පුවරු (door boards) අලංකරණය සඳහා යොදාගෙන තිබෙන්නේ යුකැලිප්ටස් දැව වන අතර රථයේ කොතැනක වත් ලෙදර් භාවිත කර නැහැ. සාමාන්‍ය රථයක දොරෙහි ඇතුළත දක්නට ලැබෙන්නේ වීදුරුව උස් පහත් කරන බොත්තම් සහ දොරගුළු විවෘත කරන හැඬලය පමණයි. නමුත් මෙහි රියදුරාට සහ මගියාට වෙන වෙනම සංගීතය පාලනය කිරීම සඳහාත් තමන්ගේ කොටසේ වායු සමනය පාලනය සඳහාත් අවශ්‍ය ස්පර්ශ සංවේදක පාලක පුවරුවක් ලැබෙනවා.

සුවපහසු ආසන සහ දොර මත ඇති ස්පර්ශ සංවේදී තිරය – audi-mediacenter.com

Skysphere රථයේ දක්නට ලැබෙන්නේ රේස් රථවල දක්නට හැකි ආකාරයේ Bucket සීට් වන නමුත් මේවා ඉතාම ඉහළ සැප පහසුවකින් යුක්ත වනවා. කෘතිම ලෙදර් භාවිතයෙන් නිර්මාණය කර ඇති මේවා බැලු බැල්මට පෙනෙන්නේ Alcantara රෙදි ආකාරයට යි. හිස තබා ගන්නා කොටස සීට් එකට සම්බන්ධ නොවී වෙනම සවි කර තිබෙනවා. සාමන්‍ය සීට් එකක මෙන් සියලු ම සකස් කිරීම් මෙහිදීත් කළ හැකි ලෙසයි ඒවා සකස් කර ඇත්තේ.

මෙම රථයේ ඉදිරිපස Dashboard එක සම්පුර්ණයෙන් ය ආවරණය වන්නේ ඩිජිටල් තිරයකින්. එය අඟල් 56 ක දිගකින් සහ අඟල් 7ක උසකින් යුක්තයි. මෙය බොහෝ දුරට Mercedes සමාගමේ නවත ම විද්‍යුත් මෝටර් රථය වනවා EQS හි ඇති Hyper තිරයට සමාන වනවා. මෝටර් රථයට අදාළ සියලු ම පාලනය කිරීම් මෙම තිරය මගින් කළ හැකි යි. ඔබ රථය ස්වයං පාලනයට යොමු කළ හොත් මෙම විශාල තිරයම චිත්‍රපටයක් නැරඹීමට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට හෝ පරිගණක ක්‍රීඩාවක නිරත වීමට භාවිත කළ හැකි යි. සමහර මෝටර් රථ රේස් තරග පවා නොමිලේ නැරඹීමේ පහසුකම මෙම රථය මිල දී ගන්නකුට Audi සමාගම ලබාදෙනවා.

Audi Skysphere එළිදැක්වූ අවස්ථාව – evo.co.uk

වෙළඳපොළට නිකුත් වේවිද?

Skysphere Concept රථය සැබෑ ප්‍රමාණයෙන් සියලු පහසුකම් සහිත ව දැනටමත් ඉදි කර තිබෙනවා. නමුත් Audi සමාගමට මෙම රථය වෙළඳපොළට නිකුත් කිරීමට කිසිදු අදහසක් නැති බවයි පැවසෙන්නේ. විශේෂයෙන් සිව්වන මට්ටමේ ස්වයංක්‍රීය ධාවනයක් සහිත රථ සඳහා කිසිදු රටක් මේ දක්වා අවසර ලබා දී නැහැ. මේ නිසා Audi Skysphere රථය තවමත් රථවාහන සහිත මාර්ගයක පදවා අත්හදා බැලීමක් කර නැහැ. ඒ වෙනුවට ඔවුන් පාලනය කළ තත්ත්ව යටතේ කුඩා වපසරියක රථයේ අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.

Skysphere රථයක අත්දැකීම පෙන්වන වීඩියෝවක් මෙතනින් නරඹන්න.

මෙවැනි රථ නිර්මාණය වීමේ වැදගත්කම වන්නේ මෙහි ඇති අංගෝපාංග සහ පහසුකම් ආදිය වෙනත් රථ සඳහා යොදා ගැනීමට ඇති හැකියාව යි. උදාහරණයක් ලෙස LED Grill එක, සුවිසල් පරිගණක තිරය, රථයේ දිග අඩු වැඩි කිරීමේ හැකියාව ආදී විශේෂාංගවලින් සමන්විත සාමාන්‍ය මාදිලි වල Audi රථ සමඟ වෙළඳපොළට නිකුත් වනු ඇති. Audi සමාගම ඉදිරිපත් කර ඇති එකම මෝටර් රථ සංකල්පය මෙය පමණක් නොවේ. ඉදිරියේදී ඔවුන් Audi Grandsphere සහ Urbansphere නමින් රථ දෙකක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරනවා. Grandsphere රථය Audi A8 රථයේ අනාගත මුහුණුවරත් Urbansphere රථය Audi SUV රථයක අනාගත මුහුණුවරත් ප්‍රදර්ශනය කරනු ඇතැයි පැවසෙනවා.

කවරයේ පින්තූරය - Audi Skysphere රථය - formacar.com 

මූලාශ්‍ර:

audi-mediacenter.com

audi.com

caranddriver.com

autoweek.com 

electrek.co 

motor1.com

carwow.com

Related Articles