Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහින සැබෑ කරන පෙරළිකාර ‘හාදු යන්ත්‍රය’

ඔබට යම් දිනක ‘දුර බැහැර සිටින ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට උණුසුම් හාදුවක් දිය හැකි නම්’ යන සිතිවිල්ල ඇති වී තිබේ ද? එක් වරක් නොව කිහිප වරක් එවැනි සිතිවිල්ලක් ඇති වුවත් එය කිසි දිනක සැබෑ කරගත නොහැකි සිහිනයක් යැයි ඔබට අනිවාර්යයෙන් ම සිතෙන්නට ඇති.

සැබෑ කරගත නොහැකි වේ යැයි සිතූ සිහින රැසක් සැබෑ කර දුන් නවීන තාක්ෂණය ඔබේ ඒ සිහිනය ද සැබෑ කර අවසන් බව ඔබ දන්නවා ද? නවීන තාක්ෂණික මෙවලම් ගණනාවක් ලොවට හඳුන්වා දුන් චීනය මෑතකාලීන ව හඳුන්වා දුන් පෙරළිකාර ‘හාදු යන්ත්‍රය’ ගැන මේ ලිපියෙන් සොයා බලමු.

හාදු යන්ත්‍රය

දුර බැහැර ජීවත් වන පෙම්වතුන්ට/පෙම්වතියන්ට එකිනෙකා සමඟ සැබෑ කායික සම්බන්ධතාවකට සමාන සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඉඩ සලසන නවීන නිපැයුමක් වන චීනයේ නිෂ්පාදිත හාදු යන්ත්‍රය මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක් වේ. ඒ පිළිබඳව ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් රැසක් ඉදිරිපත් වී තිබේ.

හාදු යන්ත්‍රය – www.thestar.com

පීඩන සංවේදක සහ ක්‍රියාකාරකවලින් සමන්විත මෙම උපාංගය භාවිත කරන්නන්ගේ තොල් මත පීඩනයක්, චලනයක් සහ උණුසුමක් සංවේදනය කිරීම මඟින් ඔවුන්ට සැබෑ හාදුවක් ලැබීමේ දී දැනෙන හැඟීම නිර්මාණය කරයි. මෙය, සිපගැනීමේ දී ඇති වන චලනය පමණක් නොව ශබ්දය ද නිර්මාණය කිරීම සුවිශේෂී කරුණකි.

ක්‍රියාත්මක වන ආකාරය

සිලිකන් භාවිතයෙන් නිෂ්පාදනය කළ කෘත්‍රිම මුඛ කුහරයකින් සමන්විත මෙම උපාංගය ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වේ. හාදු යන්ත්‍රය භාවිත කරන්නන් පළමුවෙන් ම අදාළ ජංගම දුරකථන යෙදවුම බාගත කළ යුතු වේ. ඉන් අනතුරුව දුරකථනය ආරෝපණය කරන ස්ථානයෙන් මෙම උපකරණය දුරකථනයට සම්බන්ධ කිරීම මඟින් හාදු හුවමාරු කරගත හැක.

උපාංගය දුරකථනයට සම්බන්ධ කිරීමෙන් පසු සාමාන්‍යයෙන් ‘Bluetooth’ තාක්ෂණය ඔස්සේ දුරකථන දෙකක් එකට සම්බන්ධ කරන (pairing) ආකාරයෙන්, මෙම උපාංගය භාවිත කරන්නන් දෙදෙනාගේ දුරකථන එකිනෙකට සම්බන්ධ කෙරේ. ඉන් අනතුරුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා දුරකථන ඇමතුම අතරතුර උපාංගයේ ඇති මුඛ කුහරය මත දෙතොල් තබා හාදු හුවමාරු කරගත හැක.

උපාංගයේ ඇති මුඛ කුහරය මත දෙතොල් තබා හාදු හුවමාරු කරගත හැක – www.fox4news.com

නිපදවීමට හේතු වූ කරුණු

චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘Global Times’ වාර්තා කර ඇති පරිදි මෙම උපාංගය එරට ක්‍රියාත්මක වන තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකගේ නිර්මාණයකි. එය නිපදවීම සඳහා එම සිසු පිරිස වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දීර්ඝ අධ්‍යයනයන් සිදු කර ඇත.

“මං විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ මම ඉතා දුර බැහැර ප්‍රදේශයක ජීවත් වූ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවා. අපි එකිනෙකා සම්බන්ධ වුනේ ජංගම දුරකථනය හරහා පමණ යි. ඒ කාලයේ තමයි මට මෙවැනි උපාංගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව දැනෙන්න ගත්තේ.”

උපාංගය නිපදවීමේ මූලිකත්වය ගත් ‘Jiang Zhongli’ එලෙස අදහස් පළ කළේ ය.

ඔහු මෙම උපාංගය සඳහා 2019 දී පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇති නමුත් එහි වලංගු කාලය 2023 ජනවාරි මස අවසන් වී තිබේ. තවදුරටත් උපාංගය සහ එහි ඇති විශේෂාංග පුළුල් කර, එහි යම් යම් අඩුපාඩු වේ නම් ඒවා නිවැරදි කර එය වැඩිදියුණු කිරීමට කිසියම් සමාගමක් හෝ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වනු ඇතැයි ඔහු මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින බව කියැවේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අලෙවි වන උපාංගය – www.businessinsider.com

විශාල කතාබහක්

හාදු යන්ත්‍රය බොහෝ දෙනකුගේ ගේ උපහාසයට සහ විවේචනයට ලක් වී තිබේ. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාලවල මෙම උපාංගය පිළිබඳ පළකිරීම් ගණනාවක් මේ වන විට දැකිය හැකි ය. ඒවායෙන් බොහොමයකට මිලියන ගණනක් පරිශීලක ප්‍රතිචාර ලැබී තිබේ. එවැනි පළකිරීම් සමහරුන්ගේ උපහාසයටත්, තවත් සමහරුන්ගේ විවේචනයටත් ලක් වී තිබේ. ඇතැමුන් මෙම උපාංගය ‘අසභ්‍ය’ සහ ‘භයානක’ එකක් ලෙස හඳුන්වා තිබීම සුවිශේෂී කරුණකි.

“මට මේ උපාංගය මොකක්ද කියලා තේරුමක් නැහැ, නමුත් මං අතිශයින් ම විස්මයට පත් වුණා මේ ගැන ඇහුවාම.” හාදු යන්ත්‍රය පිළිබඳව සමාජ මධ්‍යයේ පළ වූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන් චීනයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් සඳහන් කළේ ය.

මෙම යන්ත්‍රය පාසල් සිසුන් සහ තරුණ පිරිස් අතර විශාල වශයෙන් කතාබහට ලක් වේ. මෙය පාසල් සිසුන් සහ තරුණ පිරිස් අතර ජනප්‍රිය වීම සමඟ අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බව ඇතැම් පාර්ශව චෝදනා කරයි.

ජංගම දුරකථන යෙදවුමක් හරහා උපාංගය ක්‍රියාත්මක වේ – www.dailystar.com

පාරිභෝගික ප්‍රතිචාර

චීනය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන විශාලතම වෙබ් අඩවිය වන ‘Taobao’ හරහා මෙම උපාංගය අලෙවි වේ. එහි මිල යුවාන් 288ක්, එනම් අමෙරිකානු ඩොලර් 43ක් පමණ වේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබුණු ප්‍රචාරණය සමඟ මෑතකාලීනව ඊට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

“දුර ඉඳලා හාදුවක් දෙන්න පුළුවන් වෙයි කියලා මගේ සහකාරිය කවදාවත් හිතුවේ නැහැ. මං මේ උපාංගය මිල දී ගෙන ඇයට දුන් අවස්ථාවේ පවා ඇය එය විශ්වාස කළේ නැහැ, ඇය එය භාවිත කළාට පසු පුදුමයට පත් වුණා.” එක් පාරිභෝගිකයෙක් මෙම උපාංගය පිළිබඳව අදහස් දැක්වුයේ එලෙසිනි.

මේ වන විට චීනයේ පෙම්වතුන් සහ පෙම්වතියන් බොහෝ දෙනෙක් එකිනෙකාගේ උපන් දිනය හෝ ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයේ සංවත්සරය සැමරීම සඳහා හුවමාරු කරගන්නා තෑගී අතරට හාදු යන්ත්‍රය එක් වී ඇත. දුර බැහැර ප්‍රදේශවල හෝ වෙනත් රටවල රැකියාවල නිරත වීම නිසා එකිනෙකාගෙන් දුරස් වී ජීවත් වන සමහර විවාහක යුවළවල් පවා මෙම යන්ත්‍රය මිල දී ගන්නා බව කියැවේ.

උපාංගයේ කොටස් -www.HITC.com

නාඳුනන පුද්ගලයන්ටත් හාදු?

හාදු යන්ත්‍රය භාවිතා කර සිය පෙම්වතාට හෝ පෙම්වතියට පමණක් නොව නාඳුනන පුද්ගලයෙක් සමඟ වුවත් හාදු හුවමාරු කරගැනීමට භාවිතා කරන්නන්ට අවස්ථාව ලැබේ. මෙම යන්ත්‍රය භාවිත කරන පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් සමඟ හාදු හුවමාරු කරගැනීමට අදාළ ජංගම දුරකථන යෙදවුම පහසුකම් සලසා ඇත. එම විශේෂාංගය ‘”kissing square” යනුවෙන් හැඳින්වේ.

හාදු යන්ත්‍රයේ මුඛ කුහරය මත ඒ ඒ පුද්ගලයා දෙතොල් තබන සහ චලනය කරන ආකාරය එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්නා බැවින් එම හාදු ජංගම දුරකථන යෙදවුමට උඩුගත කිරීමට ද පහසුකම් සලසා ඇත. එමඟින් අනික් පුද්ගලයාට වඩාත් හොඳින් දැනෙන පරිදි, වෙනත් අයෙක්ගේ හාදුවක් ලබා දීමට ද උපාංගය භාවිත කරන්නන්ට අවස්ථාව ලැබේ.

කවරයේ ඡායාරූපය - චීනයේ නිෂ්පාදිත හාදු යන්ත්‍රය මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක් වේ - www.fox4news.com
මූලාශ්‍ර :
www.CNN.com
www.NDTV.com
www.businessinsider.com
www.fox4news.com

Related Articles