ධනුස්කොඩි නගරය සමතලා කළ රාමේෂ්වරම් සුළි කුණාටුව

ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩි ම හානියක් සිදුකරන ස්වභාවික විපත් අතරට සුළි කුණාටු  ද අයත්. ශ්‍රී ලාංකිකයන් වන අපට ද සුළි කුණාටු සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙනවා. 1978 නොවැම්බර් මාසයේ දී මඩකළපුවෙන් රටට ඇතුළු වී මන්නාරමෙන් පිටව ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඊට හොඳ ම උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එම සුළි සුළඟ ඇතිවීමට වසර 14කට පෙරත් දකුණු ඉන්දියාව හරහා පැමිණි ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් උතුරු පළාතේ ප්‍රදේශ රැසකට සැලකිය යුතු හානියක් සිදුවුණා.

1964 රාමේෂ්වරම් සුළි කුණාටුව නමින් ප්‍රසිද්ධියට පත්වුණු එම සුළි කුණාටුවේ බලපෑම වැඩියෙන් ම දැනුණේ දකුණු ඉන්දියාවේ පම්බන් දූපතට යි. එම දූපතේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටා තිබුණු ධනුස්කොඩි නගරයත් අප රටේ තලෙයි මන්නාරමත් අතර බෝට්ටු සේවාවක් එකල ක්‍රියාත්මක වුණා. එය ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය යටතේ ක්‍රියාත්මක වුණු බෝට්ටු සේවාවක්. රාමේෂ්වරම් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධනුස්කොඩි නගරය සම්පූර්ණයෙන් ම විනාශයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ටික කලක් යනතුරු ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඇණහිට තිබුණා.

 සුළි කුණාටුවක් ඇතිවන්නේ කෙසේද?

නිවර්තන කලාපයේ උණුසුම් සාගර ජලයට ඉහළින් සුළි කුණාටු ඇති වනවා. ජලය මත උණුසුම් තෙතමනය සහිත වාතය ඉහළ යන විට එය සිසිල් වාතය මගින් ප්‍රතිස්ථාපනය වීම සිදුවනවා. එවිට සිසිල් වාතය උණුසුම් වී  ඉහළ යාමට පටන් ගන්නවා. එම  චක්‍රය මඟින්  විශාල කුණාටු වලාකුළු නිර්මාණය වනවා. සංවිධානාත්මක පද්ධතියක් නිර්මාණය කරමින් පෘථිවිය භ්‍රමණය වීමත් සමඟ මෙම කුණාටු වලාකුළුත් භ්‍රමණය වන්නට පටන් ගන්නවා. ප්‍රමාණවත් තරම්  උණුසුම් ජලය තිබෙන විට, චක්‍රය දිගට ම පවතින අතර පසුව කුණාටු වලාකුළු සහ සුළං වේගය වර්ධනය වීම මඟින් සුළි කුණාටු  ඇති වනවා. සාමාන්‍යයෙන් සුළි කුණාටු  බොහෝ විට ආරම්භ වන්නේ නිවර්තන තරංගයක් ලෙස යි. සුළි කුණාටුවේ තීව්‍රතාව අනුව ඒවා ප්‍රධාන කාණ්ඩ 5කට වෙන්කර තිබෙනවා. 

  • 1 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 118-153 අතර සුළං 
  • 2 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 154-177 අතර සුළං
  • 3 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 178-209 අතර සුළං 
  • 4 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 210-250 අතර සුළං 
  • 5 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 250ට වැඩි සුළං
සුළි කුණාටුවක් ඇතිවුණු අවස්ථාවක් – Outlook India

 

රාමේෂ්වරම් සුළි කුණාටුව වර්ධනය වුණු ආකාරය 

1964 දෙසැම්බර් 15 වැනිදා දකුණු අන්දමන් මුහුදේ අඩු පීඩන ප්‍රදේශයක් හඳුනා ගත්තා.  නිවර්තන තරංගයක් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් පසුව එය වර්ධනය වීමට පටන් ගත් අතර දෙසැම්බර් 17 වන දා විට පීඩන අවපාතයක් බවට පත් වුණා.  එලෙස නිර්මාණය වුණු අවපාත තත්ත්වය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරන්නට පටන් ගත්තා. දෙසැම්බර් 19 වැනිදා වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම සුළි කුණාටුව දෙසැම්බර් 21 වැනිදා වන විට දරුණු සුළි කුණාටුවක් බවට පත්වී වයඹ දිශාවට හැරී ගොඩබිම දෙසට ගමන් කරමින් තිබුණා. ඒ වන විට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවා තිබුණා.

සුළි සුළඟේ ගමන් මාර්ගය – Wikipedia

 

සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වෙයි 

දෙසැම්බර් 21 වැනිදා රාත්‍රිය වන විට සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබුණා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 240ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණා. කුණාටුවේ බලපෑම හේතුවෙන් මුහුදු රළ ද විටින් විට සැලකිය යුතු තරම් උසකට ඉහළ නගින බව නිරීක්ෂණය කරන්නට ලැබුණා. දෙසැම්බර් 22 වැනිදා සවස 6ට පමණ රාමේෂ්වරම්  සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ලංකාවට ඇතුළු වුණා.

එකල සන්නිවේදන පහසුකම් දියුණු මට්ටමකට පත්ව නොතිබුණු නිසා එම ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා මෙම ප්‍රචණ්ඩ සුළි කුණාටුව පිළිබඳ මෙරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව දැනුම්වත්ව සිටියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළි කුණාටුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව විපතට පත්වුණා.

සුළි කුණාටුව පිළිබඳව ඩේලි නිවුස් පුවත්පතේ වාර්තා කර තිබුණු අයුරු – semanticscholar.org

 

උතුරු සහ නැගෙනහිර ධීවර ගම්වලට දැඩි හානි 

රාමේෂ්වරම් සුළි කුණාටුව ත්‍රිකුණාමලයෙන් රට තුළට ඇතුළුවීමත් සමඟ ත්‍රිකුණාමල වරාය අක්‍රීය තත්ත්වයට පත්වුණා. එසේම ඒ අවට තිබුණු ධීවර ගම්වලට ද විශාල හානියක් සිදුවුණා. කුණාටුව හේතුවෙන් ඇතිවුණු සුළං නිසා වැඩිම බලපෑමක් සිදුවුණේ උතුරු පළාතට යි. උතුරේ ගම් රැසක නිවාස 5000කට වැඩි ප්‍රමාණයක් සහ බෝට්ටු 700ක් පමණ විනාශ වීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්වුණා. මෙම කුණාටුව නිසා මෙරට ධීවරයන් 350කට වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වුණා. ඊට අමතර ව 1000ක් පමණ මිය ගිය බව ද වාර්තාවල දක්වා තිබෙනවා. නමුත් නිල නොවන වාර්තාවල සඳහන් ව තිබුණේ මරණ ප්‍රමාණය 2000ක් ඉක්මවා ගිය බව යි. එම  සුළි කුණාටුව හේතුවෙන් මිලියන 200ක පමණ ආර්ථික හානියක් සිදුවුණු බව ද එකල තක්සේරු කළා. 

කුණාටුව පම්බන් දූපතට කඩා වැදෙයි 

දෙසැම්බර් 22 වැනි දා රාත්‍රිය පුරාවට ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු කළ සුළි කුණාටුව පසු දින පාන්දර ජාමය වන විට පම්බන් දූපතට කඩා වැදුණා. එහි ජීවත් වුණු මිනිසුන් සුළි කුණාටුවක් එන බව දැන ගෙන සිටියේ නැහැ. එදා සුළි කුණාටුවට මුලින් ම හසුවුණේ ලංකාවට වඩාත් ම ආසන්නයෙන් පිහිටා තිබුණු ධනුස්කොඩි නගරය යි. එහි වැඩිපුර ජීවත් වුණේ ධීවර ජනතාව යි. කුණාටුව පිළිබඳ ව කිසිවක් දැනගෙන නොසිටි ධනුස්කොඩියේ ජනයා සුව නින්දේ පසු වුණා.

එනිසා ධනුස්කොඩි නගරයට කඩා වැදුණු මීටර් 7ක් පමණ උස රළ පහරෙන් ආරක්ෂා වීමට බොහෝ දෙනකුට හැකිවුණේ නැහැ. ඒ අයුරින් නගරයට කඩා වැදුණු දැවැන්ත රළ පහර හේතුවෙන් විශාල පිරිසක් මුහුදට ගසාගෙන ගියා. තවත් පිරිසක් කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටියා. එකල දියුණු සන්නිවේදන ක්‍රම නොතිබුණු නිසා ආධාරක කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟා වීමට සෑහෙන කාලයක් ගත වුණා. එනිසා ධනුස්කොඩියේ ජීවත් වුණු පිරිසෙන් වැඩි දෙනකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණා.

පම්බන් දූපත උඩුගුවනට දිස්වන ආකාරය – Twitter

 

සිදුවුණු මහා විනාශය 

එකල ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු තැපැල් සේවයක් ක්‍රියාත්මක වුණු බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. එදා කොළඹ සිට තලෙයි මන්නාරමට පැමිණි දුම්රියේ පැමිණි මගීන් සහ භාණ්ඩ තලෙයි මන්නාරම සිට ධනුස්කොඩියට දුම් බෝට්ටු භාවිත කරමින් ප්‍රවාහනය කළා. ඉන් පසුව ධනුස්කොඩි දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රියෙන් මගීන් සහ භාණ්ඩ මදුරාසිය බලා ධාවනය වීම සිදු කෙරුණා. මෙම ප්‍රචණ්ඩ කුණාටුව ධනුස්කොඩි නගරයට පැමිණි අවස්ථාවේ දුම්රිය නැවතුම්පොළේ දුම්රියක් නවත්වා තිබුණා.

එම දුම්රියේ 150 දෙනකු පමණ සිටි බව එකල පුවත්පත් වාර්තාවල ලියැවී තිබුණා. කුණාටුව හේතුවෙන් ඇතිවුණු රළ පහරේ ප්‍රචණ්ඩත්වය නිසා දුම්රිය පෙරළී එහි සිටි මගීන් සියලු දෙනාම මුහුදට ගසාගෙන ගියා. ධනුස්කොඩි දුම්රිය ස්ථානය ද සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නගරයේ ගොඩනැගිලි පමණක් නොව නිවාස ද සුණුවිසුණු වුණා. කුණාටුව අවසන් වී තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙද්දී ධනුස්කොඩි නගරය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණා. 

විනාශ වී ගිය දුම්රිය – IRFCA

 

වාර්තාකරුවන් සිවු දෙනෙක් පෑ වික්‍රමය 

මෙම කුණාටුව පැවති අවස්ථාවේ තවත් අපූරු දෙයක් සිදුවුණා. ඒ දකුණු ඉන්දීය ගුවන් විදුලි වාර්තාකරුවන් සිව්දෙනෙක් කුණටුව මධ්‍යයේ අසීරුවෙන් පුවත් වාර්තාකරණයේ නිරතවීම යි. අවසානයේ දී ඔවුන් සිව්දෙනා ද කුණාටුවට හසුවුණා. එම අවස්ථාවේ දී පම්බන් පාලමේ එල්ලී ඔවුන් කුණාටුවෙන් සිය ජීවිතය බේරාගැනීමට සටන් කරමින් සිටියා. පැය කිහිපයක් පම්බන් පාලමේ එල්ලී සිටි එම වාර්තාකරුවන් ආධාරක කණ්ඩායම් පැමිණ බේරා ගත්තා. එදා ඔවුන් පෑ වීරත්වය වෙනුවෙන් ඉන්දීය රජයෙන් සම්මාන පමණක් නොව තෑගි භෝග ද හිමිවුණු බව එකල වාර්තා වුණා. 

පම්බන් පාලම – getty images

 

800ක් පමණ මරු තුරුළට 

කුණාටුව පහව ගිය පසු ආධාරක කණ්ඩායම් ධනුස්කොඩි නගරයට පැමිණ සුන්බුන් අතර සිර වී සිටි උදවිය බේරා ගත්තා. නමුත් වැඩි දෙනකුට ජීවත්වීමේ වාසනාව තිබුණේ නැහැ. නගරයේ ජීවත් වුණු පිරිසෙන් වැඩි දෙනකු මුහුදට ගසාගෙන ගොස් තිබුණා. එනිසා ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිවුණේ නැහැ. සතියක පමණ කාලයක් යන විට ධනුස්කොඩියේ සුන්බුන් ඉවත්කිරීමට හැකිවුණා. ඉන් පසුව කුණාටුවෙන් මිය ගිය ප්‍රමාණය පිළිබඳ ව තක්සේරුවක් කළා. එහි දී අදාළ බලධාරීන් තහවුරු කළේ ධනුස්කොඩි නගරය ආශ්‍රිතව ජීවත් වුණු 600කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බව යි. ඊට අමතර ව දුම්රිය මගීන් සහ නිලධාරීන් ඇතුළු 150ක පමණ පිරිසක් මිය ගිය බව ද වාර්තා වුණා. එනිසා ධනුස්කොඩි නගරයේ සිටි 800ක පමණ පිරිසක් මරු තුරුළට ගියා. 

විනාශ වුණු ධනුස්කොඩි නගරය – Hubpages

 

ධනුස්කොඩි නගරය අතීතයට එකතු වෙයි 

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දුම්රිය මාර්ගය විනාශ වීම හේතුවෙන් ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය  වසර කිහිපයක් යන තුරු ක්‍රියාත්මක වුණේ නැහැ. වසර කිහිපයක් ඇතුළත විනාශ වුණු දුම්රිය මාර්ගය යළි පිළිසකර කිරීමට හැකියාව ලැබුණා. නමුත් සම්පූර්ණයෙන් ම විනාශ වී ගිය ධනුස්කොඩි නගරය යළි ඉදි කිරීම සඳහා තමිල්නාඩු බලධාරීන් උනන්දු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුන්දර ධනුස්කොඩි නගරය පාළුවට ගියා. ඉන් පසුව ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ක්‍රියාත්මක වුණේ පම්බන් දූපතේ ප්‍රධාන නගරය වුණු රාමේෂ්වරම් හරහා යි. මීට වසර 57කට පමණ පෙර අත්හැර දමන ලද ධනුස්කොඩි නගරයේ නටබුන් අදටත් එහි ඉතිරි ව තිබෙනවා. එම නටබුන්වලින් රුදුරු සුළි කුණාටුවක් නිසා සිදුවුණු ඛේදවාචකයක මතක සටහන් යළි සිහියට නැගෙනවා. 

කවරයේ ඡායාරූපය- ධනුස්කොඩි නගරයේ නටබුන් -Wallpaper Cave

මූලාශ්‍ර:

The Hindu 

newindianexpress.com 

indiawaterportal.org

Related Articles