රසායනික තහනමෙන් හට ගත් පසු-අස්වනු අර්බුදය

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ක්‍රියාවලියේ දී සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් දෙකකි- කෘත්‍රිම (රසායනික) පොහොර සහ පළිබෝධනාශක (කෘමිනාශක, වල්නාශක සහ දිලීරනාශක). දශක කිහිපයක් තිස්සේ වී, බඩඉරිඟු, එළවළු, පලතුරු සහ තේ වැනි බෝග වගා කරන ගොවීන්ට රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය නිසා සාමාන්‍ය අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය.

වී වගාවකට පොහොර යොදන ගොවියෙක් –  www.dailynews.lk

රසායනික පොහොර සහ පළිබෝධනාශක අධික ලෙස භාවිතය හේතුවෙන් වකුගඩු රෝග ඇතුළු විවිධ රෝග වැලඳීමේ අවදානමක් තිබෙන බව සමාජයේ නිතර කතාබහට ලක් වන කරුණකි. මෙම තත්ත්වය තුළ ඒවායේ භාවිතය යම්තාක් දුරකට සීමා කළ යුතු බව අවිවාදයෙන් ම පිළිගත හැකි කරුණක් වන නමුත් රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවෙතැයි කිසිවකුටත් කිව නොහැකි ය.

එම යථාර්ථය අවබෝධ කර නොගෙන රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර 100%ක් කාබනික කෘෂිකර්මාන්තය සඳහා ගොවින් යොමු කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය නිසා වර්තමානය වන විට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසු අස්වනු සම්බන්ධ විශාල අර්බුදයක් අද නිර්මාණය වී තිබේ. එම අර්බුදයේ ප්‍රතිපල ලෙස කෘෂිකර්මාන්තයෙන් සිය දිවි සරි කරගන්නා ගොවීන් පමණක් නොව සමස්ත ජනගහනය ම අද වනවිට පීඩාවට පත්ව ඇත.

පළිබෝධනාශක ඉසින අයුරු – www.panha.org

රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 2021 අප්‍රේල් 27 දින රසායනික පොහොර සහ පළිබෝධනාශක වර්ග මෙරටට ආනයනය තහනම් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව 2021 වසරේ මැයි මස රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කරමින් ගැසට් නිවේදනයක් ද පළ විය.

ගොවීන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් දිගින් දිගට ම චෝදනා කළේ රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම පැනවීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශය හෝ අනිකුත් අදාළ බලධාරීන් තමන්ගෙන් අදහස් විමසීමක් සිදු නොකළ බව ය. කෘෂිකර්ම ක්ෂේත්‍රයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති වෙනත් පුද්ගලයන් රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ඉදිරියෙන් ම සිටිමින් බලධාරීන්ට උපදෙස් දෙන අයුරු ද දක්නට ලැබිණි.

එවක කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ දැඩි විරෝධය -www.newsfirst.lk

දිගින් දිගට ම එල්ල වූ විරෝධය

2021/ 2022 මහා කන්නයේ සිට පූර්ණ වශයෙන් කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමට රජය ගත් තීරණය ගොවීන්ගේ සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

2021 මැයි මස පටන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීහු රසායනික පොහොර සහ පළිබෝධනාශක ඉල්ලා විරෝධතාවල නිරත වූහ. ඔවුන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරූ පවා සකස් කර ඒවාට ගිනි තැබුවේ රජයේ තීරණයට සිය දැඩි විරෝධය පළ කරමිනි. ගොවීන් දිගින් දිගට ම චෝදනා කළේ රසායනික පොහොර සහ පළිබෝධනාශක වෙනුවට කාබනික යෙදවුම් 100%ක් යෙදීමෙන් සාමාන්‍ය පරිදි අස්වැන්නක් ලබාගත නොහැකි බව ය.

කෘෂිකර්ම අමාත්‍යංශය චීනය සහ ඉන්දියාව වැනි රටවල්වලින් ආනයනය කළ කාබනික දියර පොහොර සහ ඝන පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාහැරීමට කටයුතු කළ ද ගොවීන් දිගින් දිගට ම චෝදනා කළේ එම යෙදවුම්වලින් වගාවන්ට ලැබෙන පෝෂණය ප්‍රමාණවත් නොවන බව යි. ඒ ආකාරයෙන් බෙදාහැරි දියර පොහොර අධික දුර්ගන්ධයකින් යුතු වීම වැනි හේතු නිසා ඒවා යෙදූ වගා සුනඛයන් පවා ආහාරයට ගන්නා බවට ඔවුහු චෝදනා කළහ.

පළිබෝධනාශක හිඟය නිසා වී වගාවන්ට හානි සිදු වී ඇති අයුරු – www.dailymirror.lk

 ගෝලීය තලයේ විද්‍යාත්මක කරුණු සහ සාක්ෂිවලට අනුව කාබනික කෘෂිකර්මාන්තයෙන් පමණක් රටක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත්තු පැවැසූහ. ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ රටක ආහාර සුරක්ෂිතතාව, ජාතික ආරක්ෂාවේම කොටසක් බැවින් ඊට තර්ජනයක් වී ඇති මෙම තහනම වහාම ඉවත් කරන ලෙස යි.

විරෝධතා සහ වගා අසාර්ථක වීම හමුවේ තහනම හකුළා ගැනීම

මේ ආකාරයෙන් දිගින් දිගට ම එල්ල වූ විරෝධතා සහ කාබනික යෙදවුම් යෙදූ වගාවල අස්වැන්න ශීඝ්‍රයෙන් අඩු වූ පසුබිම තුළ රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය මත පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කළේ ය. ඒ අනුව 2021 නොවැම්බර් 24 දින සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික අංශයට රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය කිරීමට අවසර ලැබිණි.

 මෑතකදී සිදු කළ ප්‍රකාශයක් අතරතුර ජනාධිපතිවරයා සඳහන් කළේ රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීමට ගත් තීරණය, නොගත යුතු ව තිබූ එකක් බව යි. ගොවීන්ට එම යෙදවුම් ලබා නොදීමට ගත් තීරණය වරදක් බව තමන් පිළිගන්නා බවත්, ගොවීන්ට නැවතත්  හැකි ඉක්මනින් ඒවා ලබා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

රසායනික පොහොර වෙනුවට ගොවීන්ට ලැබුණු දියර පොහොර – www.dailymirror.lk

රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනමේ පසු බලපෑම 

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හසළ දැනුමක් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් ‘ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව’ පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීමත් සමග ඇති වූ බලපෑම පිළිබඳ ව දීර්ඝ වශයෙන් කතාබහට ලක් විය.

වී වගාව

එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය මේ වන විට අත්විඳින්නේ මිනිසා නිර්මාණය කළ ව්‍යසනයක ප්‍රතිපල බව යි. විශේෂයෙන් ම රසායනික පොහොර ලබා නොදීම වරදක් බවට ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය මගින්, රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයේ අයහපත් බලපෑම කෙතරම් ද යන්න පිළිබිඹු වන බව ද ඔහු සඳහන් කළේ ය.

“මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.3-2.4 අතර වෙනවා. ශ්‍රී ලංකාව දිගු නියඟයකට මුහුණ දුන් 2016 සහ 2017 යන වසරවලදී හැර, 2008 වසරේ සිට මෙරට සහල් නිෂ්පාදනය රටේ අවශ්‍යතාව ඉක්මවා යන තත්ත්වයක පැවැතුණා. කෙසේ වෙතත් 2021/ 2022 මහ කන්නයේ සිට මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත සහ දරුණු ලෙස වෙනස් වුණා. මෙරට ජනතාවගේ දෛනික අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය සහල් මියන්මාරය, පාකිස්තානය, ඉන්දියාව සහ චීනය වැනි රටවලින් ආනයනය කිරීමට සිදුවීම එහි බලපෑම පෙන්නුම් කරන අවස්ථාවක්. සමස්තයක් වශයෙන් මෙම තීරණයත් සමග මෙරට වී අස්වැන්න 45%ක් වැනි ප්‍රමාණයකින් අඩු වුණා.” යැයි ඔහු සඳහන් කළේ ය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අමුද්‍රව්‍ය අතර වී සහල් බවට පත් කිරීමේ දී ඉතිරි වන කොටස් සහ බඩ ඉරිඟු ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත් පසුගිය කන්නයේ දී වී අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බැසීම සමඟ මෙරට තුළ සහල් නිෂ්පාදනය සිදු වූයේ මඳ වශයෙනි. ඊට අමතර ව පොහොර සහ පළිබෝධනාශක නොලැබීම නිසා බඩ ඉරිඟු අස්වැන්න 75%ක් වැනි ප්‍රමාණයකින් අඩු විය.

මෙවැනි හේතු නිසා මෙරට සත්ත්ව ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස කුකුළු මස් සහ බිත්තර වැනි භාණ්ඩවල මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙරට තුළ සත්ත්ව ආහාර නිෂ්පාදනය අඩු වී ඇති තත්ත්වය  හමුවේ සත්ත්ව ආහාර වෙනත් රටවලින් ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට ද සිදු වේ.

පොහොර ඉල්ලා විරෝධතාවල යෙදුණු ගොවීහු – www.dailymirror.lk

තේ වගාව

මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව මෙරට විදෙස් මුදල් සංචිත පහළ යාම බව නිරන්තරයෙන් කතාබහට ලක් වේ. එම තත්ත්වය තුළ රටට විදේශ විනිමය උපයාගත හැකි මාර්ග තව තවත් වැඩි කළ යුතුය යන්න ඉතා සරල කරුණකි. කෙසේ වෙතත් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන තේ අපනයනට එල්ල වී ඇත්තේ විශාල බලපෑමකි.

නිසි පරිදි පොහොර නොලැබීම නිසා මෙරට තේ වගාවන්හි අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇත. 2021 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙක තුළ මෙරට තේ නිෂ්පාදනය, ඊට පෙර වසරේ, එනම් 2020 වසරේ එම කාලය තුළ සිදු වූ තේ නිෂ්පාදනයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 12කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති අතර එමගින් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ගොවීන් සහ පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු

වගාවලින් ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබීම නිසා ගොවීන්ට ද ආදායම් මාර්ග අහිමි වී තිබේ. යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් ආහාර සඳහා අවශ්‍ය වී ප්‍රමාණය පමණක් තමන් සන්තකයේ තබාගෙන ඉතිරිය අලෙවි කිරීමට පුරුදු වී සිටි ගොවීන්ට මේ වන විට අලෙවි කිරීමට තබා ආහාරයට ගැනීමටවත් ප්‍රමාණවත් තරම් වී අස්වැන්නක් නොලැබේ. මෙම තත්ත්වය තුළ ණය ලබා ගෙන වගා කටයුතුවල නිරත වූ ගොවීන්ට එම ණය ආපසු ගෙවා ගත නොහැකි තත්ත්වයක් ද උදා වී ඇත.

සහල් සඳහා වෙළෙඳපොළේ දැනට පවතින මිලටත් වැඩියෙන් පාලන මිල ගණන් පනවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය – www.document.lk

 මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති සහල් හිඟය හමුවේ දිනෙන් දින ඉහළ යන සහල් මිල නිසා පරිභෝගිකයන් ද විශාල වශයෙන් අපහසුතාවට පත් වී ඇත. මීට වසර දෙකක් වැනි කාලයකට පෙර රුපියල් 100කටත් අඩු මුදලකට මිල දී ගත හැකිව තිබූ නාඩු සහල් කිලෝවක මිල මේ වන විට රුපියල් 200ද ඉක්මවා ගොස් ඇත. මේ තත්ත්වය තුළ දිනකට සහල් කිලෝවක් හෝ මිල දී ගැනීමට තරම් වත්කමක් නොමැති පවුල් ලක්ෂ පහක් පමණ රට තුළ සිටින බව ද පසුගිය දා වාර්තා විය.

 මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ද රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම නිසා අපහසුතාවට පත් වී තිබේ. මේ වන විට වී අස්වැන්න විශාල වශයෙන් පහළ බැසීමත් සමඟ දේශීය වශයෙන් සහල් නිෂ්පාදනය නොවන බැවින් බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 200කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇත. ඒවායේ සේවය කළ බොහෝ දෙනකුට රැකියා අහිමි වී ඇති අතර මෝල් හිමියන් ද බැංකු ණය ආපසු ගෙවීමට නොහැකි වීම වැනි ගැටලු රැසකට මුහුණ පාමින් සිටිති.

කවරයේ ඡායාරූපය- රසායනික පොහොර භාවිතය - www.greenspherelawn.com

මූලාශ්‍ර:

පුවත්පත් වාර්තා

 කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් සැක් වූ අදහස්

ගොවීන්ගෙන් ලබාගත් අදහස්

Related Articles