අගමැති නිවසක මීයන් අල්ලන, “ලැරී”

එක්සත් රාජධානියේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැ යි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබට පිළිතුරක් දෙන්නට පුළුවන් වේවි. නමුත් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය නිල නිවස තුළ ප්‍රධාන මීයන් දඩයම් කරන්නා කවුරුන්දැ යි කියා ඇසුවොත් ඔබට පිළිතුරක් ලබාදිය හැකි ද? 

එයාට කවුරුත් කියන්නේ “ලැරී” කියලා. ලැරී ඇත්තටම හුරතල්, පුෂ්ටිමත් බළලෙක්. සමහරවිට ලැරීගේ වාසස්ථානය ලෝක දේශපාලනයේ ප්‍රබල තැනක තිබෙන නිසා පොඩිපහේ ආඩම්බරකාර ගතියකුත් එයාට ඇති. ලැරී ජීවත් වෙන්නේ ලන්ඩනයේ, ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ යි. අගමැති නිල නිවසට පැමිණෙන විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයින්, නායකයින් හා නිලධාරීන් සමග පවා සුරතල් වෙන්න ලැරී පසුබට වෙන්නේ නැහැ. කාටත් නැති වරමක් ලැරීට හිමිවෙලා තියෙන නිසා බළලුන් අතර බලවත්ම බළලා ලැරී වෙන්නත් පුළුවන්. 

එක්සත් රාජධානියේ, කැබිනට් කාර්යාලයේ ප්‍රධාන මීයන් දඩයම් කරන්නා, “ලැරී”/nationalpost.com/

නිල නිවසේ බළල් තනතුර

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය නිල නිවසේ වෙසෙන ලැරීට විශේෂ තනතුරක් ලබා දීලා තිබෙනවා. ඇත්තටම ලැරී කියන්නෙත් අගමැති නිවසේ සිටින අනෙකුත් සේවකයන් වගේම සේවකයෙක්. මේ තනතුර, “කැබිනට් කාර්යාලයේ ප්‍රධාන මීයන් දඩයම් කරන්නා” වශයෙන් තමයි නම් කරලා තිබෙන්නේ. ඒ අනුව ලැරීට කලින් බළලුන් කිහිපදෙනෙකුම අගමැති නිවසේ මීයන් අල්ලන්නට යොදවා තිබෙනවා. සාමාන්‍ය නිවෙස් මෙන්ම එක්සත් රාජධානියේ අගමැති නිවසත් මීයන්ගේ කරදරයෙන් පීඩාවට පත්වුණ තැනක්. නමුත් අධික මුදලක් වැය කෙරෙන තාක්ෂණික ක්‍රම මඟින් අගමැති නිවසේ මී ගහණය පාලනය කරනවා වෙනුවට, ඔවුන් අතීතයේ සිටම භාවිතා කොට ඇත්තේ සරල සහ සාම්ප්‍රදායික ක්‍රමයක්.

ඒ අනුව, නම් කළ තනතුරක් යටතේ අගමැති නිවසට බළලෙකු සේවයට ගැනීම වර්ෂ 1929 දක්වා ඈතට විහිදී යනවා. කාර්යක්ෂම බළලෙකු නඩත්තු කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් යම් මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් වූ වාර්තා මෙම තනතුරේ ඉතිහාසය ගැන සාක්ෂ්‍ය සපයනවා. සාමාන්‍යයෙන් මෙලෙස සේවයට බඳවාගන්නා බළලෙක්, අගමැතිවරුන් කිහිපදෙනෙකු යටතේ වුණත් සේවය කරනවා. උදාහරණයක් ලෙස 1946-1964 කාලය තුළ අගමැති නිවස්නයේ ප්‍රධාන මීයන් දඩයම්කරු තනතුරේ සිටි තුන්වැනි පීටර් නම් බළලා පිළිවෙලින් ක්ලෙමන්ට් ඇට්ලී, වින්ස්ටන් චර්චිල්, ඇන්තනී ඒඩන්, හැරල්ඩ් මැක්මිලන්, සහ ඇලෙක් ඩග්ලස්-හෝම් යන අගමැතිවරුන් යටතේ සේවය කර තිබෙනවා. අගමැතිවරුන් සිය බලය අහිමිවීම හෝ ධුර කාලය අවසන්වීම වැනි කාරණා මත නිල නිවසින් ඉවත්ව ගියත්, කාර්යක්ෂම ලෙස මීයන් දඩයම් කිරීමට හැකියාව තිබෙන තාක් කල් මේ තනතුරට පත්වෙන බළලුන්ට අගමැති නිවසේ සිය බලය රැකගෙන වාසය කරන්න පුළුවන්.

වර්තමානයේ මෙම තනතුර හොබවන ලැරී පවා අගමැතිවරුන් කිහිපදෙනෙකුට සිය සේවය සපයා තිබෙනවා. ලැරීව මේ තනතුරට බඳවාගෙන තිබෙන්නේ 2011 පෙබරවාරි මස 15 වැනි දින බව සඳහන්. එවකට අගමැති ධුරය දැරූ ඩේවිඩ් කැමරන් සිය නිල නිවසේ වූ මී කරදරය අවසාන කර ගැනීමට ලැරීව ගෙන්වා ගත්තා.

පොලිස් ආරක්ෂකයෙකු සමග සුරතල් වන ලැරී/reddit.com/r/pics

එක්සත් රාජධානියේ රාජ්‍ය නිල නිවෙස්වල බළලුන් සේවයට ගැනීමේ ඉතිහාසය, 16 වන සියවසේ 8 වන හෙන්රි රජුගේ පාලන සමය දක්වා ඈතට දිව යනවා. ඔහුගේ රාජ්‍ය පාලන සමයේ දී චාන්ස්ලර් සාමිවර නම් තනතුරට පත්කළ තෝමස් වොල්සි නම් සාමිවරයා බළල් ලෝලියෙකු වූ බවත්, ඔහුගේ බළලුන්ගෙන් එකෙකු වර්තමානයේ ලැරී පරිද්දෙන් එක්සත් රාජධානියේ රාජ්‍ය නිල නිවසක සේවය කළ ප්‍රථම බළලා විය හැකි බවත් විශ්වාස කරනවා.

ලැරී අගමැති නිවසට ආවේ මෙහෙමයි

2010 දී ඩේවිඩ් කැමරන් බලයට පත්වන විට අගමැති නිල නිවසේ මෙලෙස බළල් තනතුරක් තිබුණේ නැහැ. මීට පෙර නිල නිවසේ මීයන් දඩයම් කෙරූ සිබිල් විශ්‍රාම ගොස් තිබුණේ, එවකට අගමැති ධුරය හෙබවූ ගෝර්ඩන් බ්‍රවුන් සිබිල්ට අකමැති වූ නිසා යි. 2011 මුල් භාගයේ ප්‍රවෘත්ති වාර්තා කිහිපයකින් අගමැති නිල නිවස සහ කර්යාලය අවට මීයන් සැරිසරන අයුරු පෙන්වා දෙන තුරු, අගමැති ඩේවිඩ් කැමරන් වුවත් අගමැති නිවසේ බළල් තනතුරට අළුත් බළලෙකු බඳවාගැනීමට උත්සුක වුණේ නැහැ. එම වසරේ පෙබරවාරි මාසයේ දී ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ පවුලේ අය “බැටර්සියා” නම් සුනඛ සහ බළලුන්ට රැකවරණය දෙන අනාථ නිවාසයට ගොස් ලැරීව ඇතිදැඩි කරන්න බාරගත්තා.

බ්‍රිතාන්‍යයේ විවිධ රජයේ කාර්යාලවල වසර ගණනාවක් මීයන් දඩයම් කිරීමට පුරුදු වී සිටින බළලුන් කොතෙක් සිටියත්, අගමැති ලැරීවම තෝරාගෙන තිබුණේ ලැරී මීට පෙර අයාලේ ගිය බළලෙකු නිසා යි. මේ හේතුව නිසාම ලැරීට ඉහළ ලුහුබැඳීමේ හැකියාවක් සහ දඩයම් කිරීමේ සහජ බුද්ධියක් තිබෙන බව අගමැති වෙනුවෙන් වූ නිල ප්‍රකාශයන් පවසා තිබුණා.

ලැරී සිය වර්තමාන හාම්පුතු වන අගමැති බොරිස් ජොන්සන් සමග/bbc.com

ලැරී රාජකාරී බාරගත් පළමු දවසේ එය වාර්තා කිරීමට ITV ප්‍රවෘත්ති වාර්තාකරු ලුසි මැනිං අගමැති කාර්යාලයට පැමිණි අතර, මාධ්‍ය අවධානය එකල ලැරීට අමුතු දෙයක් වූ නිසා ඔහු එයට කැමති වුණේ නැහැ. අවසානයේ දී ලැරී ලුසී මැනිංගේ අත සතර වතාවක් සූරා මේසයක් යටට ගොස් සැඟවී, පිටතට පැමිණීම ප්‍රතික්ෂේප කළා. ලැරී පලමු දවසේ රාජකාරී පටන් ගත්තේ ඒ වගේ පොඩි කලබලයක් කරලා.

ලැරීට සහජ බුද්ධියක් සහ දක්ෂතාවයක් තිබුණත්, ලැරී සිය ධුර කාලයේ ප්‍රථම මාස දෙක තුළ කිසිදු දඩයමක් කිරීමට අපොහොසත් වුණා. නමුත් පසුව කුඩා මීයෙකු මරා ඩේවිඩ් කැමරන්ගේ ලේකම්වරයෙකුගේ පාමුල තැබීමට ඔහු සමත් වෙනවා. ලැරී අවස්ථා කිහිපයක දීම රාජකාරිය අතරතුර නිදාගෙන සිටින බව නිර්නාමික ආරංචි මාර්ග මඟින් හෙළිකළ විට, ඔහුගේ ආචාරධර්ම හා කුසලතාවන් තවදුරටත් විමර්ෂණයට ලක්විය යුතු බව තීරණය වුණා. ලැරීගේ ධුර කාලය වසරක් පමණ පැරණි වන විට මාධ්‍ය නිලධාරියෙකු ලැරීගේ රාජකාරියට මීයන් ඇල්ලීම පමණක් නොව, අගමැති නිවසට අමුත්තන් පිළිගැනීම, ආරක්ෂක විධි විධාන පරික්ෂා කිරීම, පැරණි ගෘහ භාණ්ඩවල සැප පහසුව පරික්ෂා කිරීම වැනි සේවයන් පවා අයිති බව ජනතාවට පැහැදිලි කර දුන්නා.

ඔබාමාට කැමති, නෙතන්යාහුට අකමැති

බැරක් ඔබාමා සමග සුරතල් වන ලැරී/femestella.com

 

ලැරී මීයන් දඩයම් කිරීමට යුහුසුළු නොවුණත්, අමුත්තන්ට ආචාර කිරීම, විනෝදාස්වාදය ලබාදීම වැනි සුවිශේෂී දක්ෂතා දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. විශේෂයෙන්ම ඩේවිඩ් කැමරන්ට වඩා ඔහුගේ දරුවන්ට ලැරී කැමැත්තක් දක්වනවා. වැඩිහිටි පුරුෂ පාර්ශවය ඉදිරියේ ලැරී තරමක් පසුබට වන බව පැවසෙනවා. වරක්වත් හමු නොවූ කෙනෙකු සමග ලැරී බොහොම ඉක්මණින් කුළුපග වෙන්නේ නැහැ. නමුත් බැරක් ඔබාමා සහ ලැරී ප්‍රථම වතාවට හමුවූ විට, එම හමුවීම බොහෝ මිත්‍රශීලී එකක් බවට පත්වුණා. ඊට වෙනස්ව, ලැරී වරක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හට නිල නිවසට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර, අවසානයේ දී පොලිස් නිලධාරියෙකුගේ මැදිහත්වීමකින් ලැරීව ඉවත්කොට ඊශ්‍රායල අගමැතිට නිල නිවස්නයට ඇතුළු වීමට අවකාශ ලබා දුන්නා. 

පොලීසියත් මැදිහත් වූ බළල් රණ්ඩුව

19 වන සියවසේ අගමැති පාමර්ස්ටන් සාමිවරයාගේ නමින් නම් කරන ලද කළු-සුදු පැහැති බළලෙකු වන පාමර්ස්ටන්, 2016 දී විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ මීයන් දඩයම් කරන තනතුරේ වැඩ බාරගත්තා. ලැරී මෙන්ම පාමර්ස්ටන් ද බල්ලන් සහ බළලුන්ට රැකවරණ දෙන බැටර්සියා නිවාසයෙන් පැමිණි බළලෙක්. විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පිහිටා තිබෙන්නේත් අගමැති නිල නිවස සහ කාර්යාලය පිහිටි ඩවුනින් වීදිය අවටම යි. ඒ වනවිට ඩවුනින් වීදියේ බළලුන් කිහිපදෙනෙකුම සිටි නිසා අළුත පැමිණි පාමර්ස්ටන් සමග කෝලාහල කිහිපයක්ම ඇති වුණා. එම ගැටුම් අතරින් ප්‍රධානම ගැටුම 2016 වර්ෂයේ අගෝස්තු මස දිනයක සිදු වූ අතර, එම ගැටුමට අපේ කතා නායක ලැරීත් මැදිවුණා. සටනේ දී ලැරීට ඔහුගේ කරපටිය අහිමි වූ අතර පාමර්ස්ටන්ගේ කන්වලට හානි සිදු වුණා. මේ බළල් ගැටුම කොතරම් දරුණු වුණා ද යත්, පොලීසියට පවා ගැටුමට මැදිහත්වීමට සිදු වුණ අතර, ලැරීට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණා.

ලැරී, පාර්මස්ටන් සමග දබර කරමින්/outlookindia.com

 

ලැරීටත් ට්වීටර් ගිණුමක් තියෙනවා!

ලැරීට බොහෝම සක්‍රීය ආකාරයෙන් පවත්වා ගෙන යන ට්වීටර් ගිණුමක් තිබෙනවා. නමුත් මේ ගිණුම බොහෝ විට ලැරී සම්බන්ධකොට තැනූ හාස්‍ය රසය කැවූ දේශපාලනික ලිපි, ඡායාරූපවලින් සමන්විත වන අතර, ලැරීගේ වර්තමාන හාම්පුතා වන අගමැති බොරිස් ජොන්සන් සම්බන්ධ කරමින් පවා විහිළු තහළු පළවෙනවා. ඇතැම් විටෙක අධ්‍යාපනික වශයෙන් වැදගත් දැන්වීම් ද ලැරීව සම්බන්ධ කොට මෙහි පළකෙරෙනවා.  ලැරී මේ වනවිට වයස අවුරුදු දහයකටත් වඩා වයසැති බළලෙක්. ඒ අනුව දැන් ඔහු දැන් ගත කරමින් සිටිනේ ජීවිතයේ සැන්දෑ සමය යි. නමුත් ඔහුගේ ජනප්‍රියත්වය දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ.

Cover photo: dailymail.co.uk/

මූලාශ්‍රයයන්: mentalfloss.com/

todayifoundout.com/

hindustantimes.com/

Related Articles