අනාගත විපතක පෙරනිමිති දක්වන අයිස්ලන්ත ගිනි කඳු පිපිරීම්

උතුරු යුරෝපා කලාපයේ රටක් වන අයිස්ලන්තය, උත්තර ධ්‍රැවයට වඩාත් සමීපයෙන් පිහිටා තිබෙනවා. එනිසා එරට පවතින්නේ අධික ශීතල දේශගුණයක්. එම ශීතල දේශගුණය නිසා ප්‍රමාණයෙන් විශාල ග්ලැසියර කිහිපයක්  අයිස්ලන්තය ආශ්‍රිත ව දක්නට ලැබෙනවා. 

ඒ අතුරින් ප්‍රසිද්ධ ම ග්ලැසියර වන්නේ වට්නයෝකුල්, මර්ඩල්ස්යෝකුල්, ලැන්යෝකුල්, ස්නෙෆෙල්ස්යෝකුල් යන ග්ලැසියර් හතර යි.  

 වට්නයෝකුල් ග්ලැසියරය – gettyimages.com

ග්ලැසියරවලට අමතර ව ගිනිකඳු, වැලිකඳු, උණු දිය උල්පත්, ලාවා තැන්පත් වුණු ප්‍රදේශ ආදී ස්වභාවික භූ ලක්ෂණ අයිස්ලන්තය තුළ දක්නට ලැබෙනවා. ඒ අතුරින් අයිස්ලන්තයට වැඩි ම හානි සිදුවන්නේ විටින් විට සිදු වන ගිනිකඳු පිපිරීම් නිසා යි.

එරට සිදුවුණු නවත ම ගිනිකඳු පිපිරීම පසුගිය අගෝස්තු 3 වැනි දින වාර්තා වුණා. ඒ ෆැග්‍රඩල් ගිනි කන්ද ආශ්‍රිත ව යි. පසුගිය වසරේ මාර්තු-සැප්තැම්බර් අතර කාලයේ ද මෙම ගිනි කන්ද මේ ආකාරයෙන් ම කිහිප වරක් පුපුරා ගියා.  මෙම පිපිරීම ද එයට බොහෝ සෙයින් සමාන බව වාර්තා වෙනවා.

 පුපුරා ගිය ෆැග්‍රඩල් ගිනි කන්ද – gettyimages.com

 

ෆැග්‍රඩල් ගිනි කන්දේ පිපිරුම් ඉතිහාසය

ෆැග්‍රඩල් ගිනි කන්ද ප්ලයිස්ටොසීන යුගයේ අයිස් තට්ටුවට යටින් ඇති වුණු පිපිරීමකින් නිර්මාණය වුණු බවට භූ විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. මෙම ගිනි කන්ද ආශ්‍රිත ව මීට වසර 6343කට පෙර විශාල පිපිරුමක් ඇති වුණු බවට සාක්ෂ්‍ය හමු ව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ දී ද ෆැග්‍රඩල් ගිනි කන්ද විදාරණය වන්නට ඇතැයි භූ විද්‍යාඥයන් අනුමාන කරනවා.

එම පිපුරුමෙන් පසුව වසර 870ක කාලයක් මෙම ගිනි කන්ද අක්‍රීය තත්ත්වයේ පැවතුණා. එලෙස අක්‍රීය තත්ත්වයේ පැවති ගිනි කන්ද යළි සක්‍රීය තත්ත්වයට පත් වුණේ 2021 මාර්තු මාසයේ දී යි. ඉන් පසුව මෙම ගිනි කන්ද සැප්තැම්බර් මාසය දක්වා ම විටින් විට පුපුරා ගියා. එම මහා පිපුරුම සිදු වී වසරකට ආසන්න කාලයක් ගතවෙද්දී ෆැග්‍රඩල් ගිනි කන්ද යළි සක්‍රිය තත්ත්වයට පත් ව තිබෙනවා.

2021 දී ගිනි කන්ද පුපුරා ගිය ආකාරය – gettyimages.com

 

නව පිපුරුම් මාලාවේ ආරම්භය 

ෆැග්‍රඩල් ගිනි කන්දේ නැගෙනහිර පෙදෙසේ රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් පසුගිය අගෝස්තු 3 වැනිදා උදෑසන  සිදු වුණා. එම භූමිකම්පාව සිදු වී පැය කිහිපයක් ගත වෙද්දී ගිනි කන්ද පුපුරා යාම ආරම්භ වුණා. එහි මුල් ම පිපිරීම අයිස්ලන්ත වේලාවෙන් පස්වරු 1.18ට වාර්තා වුණා. ඉන් අනතුරු ව ගිනි කන්ද ආශ්‍රිත ව තවත් පිපුරුම් මාලාවක් සිදුවුණා.

එම පිපිරුම් මාලාවෙන් පසු ව ගිනි කන්දෙන් පිටතට පැමිණි ලාවා ජනාවාස නොවුණු මෙරදලිර් නිම්නය වෙත ගලා ගියා. එලෙස සක්‍රීය වුණු ෆැග්‍රඩල් ගිනි කන්ද නැරඹීම සඳහා අයිස්ලන්ත වැසියන් මෙන් ම සංචාරකයන් ද වැල නොකැඩී පැමිණියා. ඔවුන් ගිනි කන්දෙන් ලාවා පිටවන ආකාරය නිරීක්ෂණය කරන ඡායාරූප පසුගිය දිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ජාලවල ද පළ වුණා. 

පිපිරීමෙන් පසුව ගිනි කන්දෙන් ලාවා ගලා ගිය ආකාරය -gettyimages.com

ලාවා ගලා එන්නේ අලුතින් නිර්මාණය වුණු විවරයකින් 

2021 මාර්තු මාසයේ පිපිරීම සිදු වුණු ප්‍රදේශයට කිලෝමීටරයක් ඊසාන දෙසින්  මෙම පිපිරීම සිදු වුණා. මෙම පිපිරීමෙන් පසුව ලාවා ගලා එන්නේ මෙරදර්ලි නිම්නයේ මුල් ආවාටවලට ඊසාන දෙසින් පිහිටි මීටර් 300ක පමණ නව විවරයකින් බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙම පිපිරීම සිදු වුණු මොහොතේ තත්පරයට ඝන මීටර් 32ක් තරම් ඉහළ ශීඝ්‍රතාවකින් ලාවා විමෝචනය වුණා. පසුව එය තත්පරයට ඝන මීටර් 11ක් දක්වා අඩු වුණා. 

පසුගිය පිපිරීම් දෙක සිදුවුණු ප්‍රදේශ – earthobservatory.nasa.gov

 

පසුගිය අගෝස්තු 16 වැනිදා වන විට එහි ලාවා විමෝචනය වීමේ ශීඝ්‍රතාව තත්පරයට ඝන මීටර් 2ක් දක්වා අඩු වී තිබුණා. 2021 මාර්තු සිදු වුණු පිපිරීමෙන් සති 3ක් යන තුරු තත්පරයට ඝන මීටර් 5-10 අතර ශීඝ්‍රතාවකින් ලාවා විමෝචනය සිදු වුණා. එහි දී ලාවා ගලා ගියේ මීටර් 500ක් තරම් විශාල විවරයකින්.

එයින් පැහැදිලි වන්නේ මෙවර ලාවා විමෝචනය වීමේ ශීඝ්‍රතාව තරමක් දුරට අඩු වී ඇති බව යි. අගෝස්තු 3 වැනිදා සිදු වුණු පිපිරීමෙන් පසුව දිගින් දිගට ම ලාවා ගලා ඒම හේතුවෙන් අගෝස්තු 15 වැනිදා වන විට වර්ග කිලෝමීටර් 1.25ක ප්‍රදේශයක් ආවරණය කරමින් ඝන මීටර් මිලියන 10.6ක ලාවා ප්‍රමාණයක් තැන්පත් වී තිබුණා. 

තැන්පත් වී ඇති ලාවා – gettyimages.com

 

කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ 

ගිනිකඳු පිපිරීම් නිසා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු අවස්ථා පිළිබඳ ව අප මීට පෙර අසා තිබෙනවා. මෙම පිපිරීමෙන් පසුව ලාවා ගලා යන්නේ මෙරදර්ලි නිම්නය වෙතට යි. එය තවමත් ජනාවාස වී නැති නිසා මේ ගිනිකඳු පිපිරීමෙන් ජීවිතවලට කිසිදු තර්ජනයක් නැහැ. එරට ජනතාව මෙම පිපිරීම සිදු වුණු ප්‍රදේශය නැරඹීම සඳහා විශාල වශයෙන් පැමිණෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අයිස්ලන්ත රජය සිය රටේ  ජනතාවගෙන් ඉල්ලා  සිටියේ ගිනි කඳු පිපිරීම සිදු වුණු ප්‍රදේශයට පැමිණීමෙන් වලකින ලෙස යි. එහි දී රජය වැඩිදුරටත් පවසා සිටියේ පිපිරීම සිදු වුණු ස්ථානය අවදානම් කලාපයක් නිසා  එහි තත්ත්වයන් ඉක්මනින්  වෙනස් විය හැකි බව යි. 

පිපිරුණු ගිනි කන්ද නැරඹීමට පැමිණි ජනතාව – gettyimages.com

 

මෙම පිපිරීම සිදු වුණු ස්ථානය කෙෆ්ලාවික් ගුවන්තොටුපොළේ සිට කිලෝමීටර් 15ක දුරින් ද, රෙක්ජාවික් අග නගරයේ සිට කිලෝමීටර් 25ක දුරින් ද පිහිටා තිබෙනවා. දැනට අයිස්ලන්තය තුළ සිදු වන ගුවන් ගමන්වලට මෙම පිපිරීම හේතුවෙන් කිසිදු බාධාවක් එල්ල වී නැහැ. ගිනිකඳු පිපිරීම හේතුවෙන් පරිසරයට විෂ වායු එකතු වී ඇති නිසා එම ප්‍රදේශය නැරඹීම සඳහා යන ජනතාවට ප්‍රවේශම් වන ලෙස දන්වමින් පසුගිය දිනයක එරට සිවිල් ආරක්ෂක සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් ද නිකුත් කළා. 

අයිස්ලන්තයට මෙය අමුතු අත්දැකීමක් නොවෙයි 

21 වන සියවසේ දී ද අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීම් කිහිපයක් සිදු වුණා. ඒ අතුරින් මුල් ම ගිනිකදු පිපිරීම වාර්තා වුණේ 2004 වසරේ දී යි. එහි දී පුපුරා ගියේ ග්‍රිම්ස්වොට්න් නම් ගිනි කන්ද යි.

ඉන් වසර 6කට පසුව එනම් 2010 වසරේ දී එයියාෆියෙත්ලායේකිතුල් ගිනි කන්ද පුපුරා ගියා. එම පිපිරීම තරමක් විශාල එකක් වුණා. 2011 දී ග්‍රිම්ස්වොට්න් ගිනි කන්ද යළි පුපුරා ගියා. එම පුපුරා යාම වයඹ දිග යුරෝපයේ ගුවන් ගමන් සඳහා විශාල බාධාවක් එල්ල කළා. 

2011 දී ග්‍රිම්ස්වොට්න් ගිනි කන්ද පුපුරා ගිය ආකාරය – gettyimages.com

 

2014 දී පුපුරා ගිය හොලුරෝන් ගිනි කන්ද මාස 6කට ආසන්න කාලයක් සක්‍රිය ව පැවතුණා. අවසන් වරට පුපුරා ගිය අයිස්ලන්ත ගිනි කන්ද බවට පත් වුණේ ෆැග්‍රඩල් ගිනි කන්ද යි. එය 2021 සහ 2022 වසරවල දී පුපුරා ගියා. එයින් පැහදිලි වන්නේ ගිනි කඳු පිපිරීම අයිස්ලන්තයේ ජීවත් වන ජනතාවට අමුතු අත්දැකීමක් නොවන බව යි. 

නව ගිනිකඳු පිපිරීම පිළිබඳව විද්‍යාඥ මතය 

ෆැග්‍රඩල් ගිනි කන්ද ආශ්‍රිත ව සිදු වුණු පිපිරීම පිළිබඳ ව විද්‍යාඥයන් කිහිපදෙනෙක් ම සිය අදහස් පළ කොට තිබෙනවා. ඒ අතුරින් ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥයකු වන ඩේව් මැක්ගාර්වි පවසන්නේ මෙය ඉදිරි අනාගතයේ මෙම කලාපයේ සිදුවිය හැකි ගිනිකඳු පිපිරීම් මාලාවක ආරම්භයක් දැයි සැකයක් පවතින බව යි.

එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි කාලයේ දී මෙම ප්‍රදේශය ලොව වඩාත් ක්‍රියාකාරී ම ගිනිකඳු ඇති ප්‍රදේශය බවට පත්වීමට ඉඩ ඇති බව යි. 

ඩේව් මැක්ගාර්වි – research.lancs.ac.uk

 

මෙම පිපිරීම පිළිබඳ අදහස් දැක්වූ අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥ ටෝබියාස් ඩුරිග් පවසා සිටියේ මෙම කලාපයේ පිහිටි ගිනිකඳු දිගු කාලයක් තිස්සේ අක්‍රීයව පැවතුණ ද, දිගු කාලයක් තිස්සේ එහි අභ්‍යන්තරයේ වෙනස්වීම් සිදුවන්නට ඇති බව යි. එම වෙනස්වීම් හේතුවෙන් පසුගිය කාලයේ මෙම ගිනි කන්ද ආශ්‍රිතව පිපිරීම් සිදුවන්නට ඇති බවට ද ඔහු අනුමාන කරනවා. ඉදිරි කාලයේ දීත් මෙම ගිනි කන්ද ආශ්‍රිත ව එවැනි පිපිරීම් මාලාවක් සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. 

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥ ටොම් වින්ඩර් මේ පිළිබඳ ව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම පිපිරීම් මාලාව 2021 දී සිදු වුණු පිපිරීම් මාලාවට බොහෝ දුරට සමාන බව යි. එනිසා ඉදිරි වසර කිහිපයේ දීත් මෙම කලාපය ආශ්‍රිත ව මෙවැනි පිපිරීම් ඇතිවන්නට පුළුවන් බව ඔහුගේ මතය යි. දිගින් දිගට ම එවැනි පිපිරීම් සිදුවීමට හේතුව දැන ගැනීමට නම් ඒ පිළිබඳව වැඩි දුර විමර්ශනයක් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු බව ගිනිකඳු විද්‍යාඥ වින්ඩර් වැඩිදුරටත් පවසා සිටියා. 

ටොම් වින්ඩර් – twitter.com

 

අයිස්ලන්තය අනාගතයේ ගින්දර දේශයක් වෙයි ද?

වර්තමානය වන විට අයිස්ලන්තය වැඩි වශයෙන් ග්ලැසියරවලින් වැසී තිබෙන රටක්. ඉදිරි අනාගතයේ දී අයිස්ලන්තය ආශ්‍රිත ව දිගින් දිගට ම ගිනි කඳු පුපුරා යා හැකි බව ගිනිකඳු විද්‍යාඥයන්ගේ මතය යි. ඉදිරියේ දී ගිනිකඳු පිපිරීම් සිදුවන කාලයක් හෝ ස්ථානයක් පිළිබඳ ව කලින් අනාවැකි කීම අපහසු බව ද ඔවුන් පවසනවා. එහි දී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ එක් වර ම පිපිරීම් කිහිපයක් පවා සිදුවිය හැකි බව යි. ඉදිරි අනාගතයේ දී දිගින් දිගට ම එවැනි ගිනි කඳු පිපිරීම් සිදුවුණොත් අයිස්ලන්තය ගින්දර දේශයක් බවට පත්වනු ඇති. 

දේශගුණික විපර්යාස සිදුවීමේ අවදානමක් 

අයිස්ලන්තය ආශ්‍රිත ව ග්ලැසියර විශාල ප්‍රමාණයක් තිබෙන බව මෙම ලිපියේ ඉහත අප සඳහන් කළා. දිගින් දිගට ම සිදුවන මහා ගිනි කඳු පිපිරීම් හරහා එම රට ගින්දර දේශයක් වුණොත් එරට වායුගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාම වලක්වන්නට බැහැ. එවිට එම ප්‍රදේශවල තිබෙන ග්ලැසියර තට්ටු දිය වී යාමේ අවදානමක් ද පවතිනවා. 

ග්ලැසියර් දියවීම (physicsworld.com)

 

එහි ප්‍රතිඵලයක් ලෙසින් මුහුදු ජල මට්ටම ඉහළ ගොස් ලෝකයේ බොහෝ රටවල් ජලයෙන් යටවනු ඇති. එනිසා අයිස්ලන්තය තුළ දිගින් දිගට ම සිදු වුණු ගිනි කඳු පිපිරීම් භයානක විපතක පෙරනිමිත්තක් ද යන කාරණය මේ වන විට අවධානයට ලක් ව තිබෙනවා. ඒ පිළිබඳ ව මේ වන විට විද්‍යාඥයන් ද පරීක්ෂණ පවත්වමින් සිටිනවා. එනිසා ඉදිරි අනාගතයේ දී අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමට හේතුව සහ ලෝකයේ පැවැත්මට එයින් ඇති විය හැකි අවදානම අනාවරණය වනු ඇති. 

කවරයේ ඡායාරූපය- පුපුරා ගිය ෆැග්‍රඩල් ගිනි කන්ද - gettyimages.com

මූලාශ්‍ර:

reuters.com

nytimes.com

nationalgeographic.com

theconversation.com

abcnews.go.com

earthobservatory.nasa.gov

afar.com 

Related Articles