වසර අනූදහසකට පෙර විසූ දෙමුහුන් මානව පුරුක: ඩෙනී

ජාන ඉංජිනේරු විද්‍යාව මේ වන විට ඉතා ම ප්‍රබල ය. DNA විශ්ලේෂණ කාර්යයභාර්ය නිසා ඇසට නොපෙනෙන ඉතා ම ක්ෂුද්‍ර සාම්පලයකින් පවා ඉතා විශාල දිගු කතන්දරයක් මතු කරගන්නට අද නවීන විද්‍යාව සමත් වී තිබේ. මානව පරිනාමයේ මෙතෙක් අසන්නට නොලැබුණු, කුතුහලය දනවන ඉතිහාස කතාවක් ඒ මගින් පර්යේෂකයන් හෙළි කර ගෙන තිබේ. ඒ කතාවේ කථා නායිකාවට ඔවුන් ඩෙනී යන නම තබා ඇත. ඇ‌ය මිය යන විට ඇගේ වයස අවුරුදු 13කි. ඇය ජීවත්ව සිටියේ අදින් වසර අනූදාහකටත් ලක්ෂයකටත් පමණ පෙරාතුව ය. ඇය වෙනස් මානව වංශ දෙකකට දෙමුහුන් ව ඉපදුණු දැරියක් බව හෙළිදරව් වී තිබීම මෙහි අපූර්වත්වය යි.

හෝඩුවාව සහ පසුබිම

මහාචාර්ය බෙන්ස් වියෝලා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්, රුසියාවේ සයිබීරියාවේ තිබෙන ඩෙනිසෝවා නම් වූ ගුහාවකින් වර්ෂ 2012 දී අස්ථි කොටස්, දත් සහ තවත් අවශේෂ සොයා ගන්නට සමත් විය.  එහි වයස නිර්ණය කිරීම සඳහා මුල් වූ විද්‍යාඥයන් වඳ වී ගිය මානව විශේෂයක් පිළිබඳ නව සොයාගැනීමක් සිදුකොට ඇත. ප්‍රකාශයට පත් කළ පර්යේෂණ වාර්තාවකින් රුසියාවේ අල්ටයි කඳු පාමුල පිහිටි ඩෙනිසෝවා ගුහාවේ තිබුණු අස්ථි පොසිලවලින් පමණක් දන්නා “ඩෙනිසෝවාන්ස්” නම් මානව විශේෂය පිළිබඳව කරුනු හෙළිදරව් වී තිබේ.

රුසියාවේ Denisova ගුහාව – www.thoughtco.com

 

ඩෙනිසෝවන් යනු කවුරුන්ද?

ඩෙනිසෝවන් යනු සයිබීරියාවේ සහ නැගෙනහිර ආසියාවේ ජීවත් වූ, නූතන මිනිසාට සම්බන්ධ වඳ වී ගිය මානව විශේෂයකි. ඩෙනිසෝවන් යනු අපගේ හෝමෝසාපියන්ස් ගණයේ ම, නව විශේෂයක් බව සමහර විද්වතුන් තර්ක කර ඇත. සමහර අය සිතන්නේ ඔවුන් හුදෙක් නැගෙනහිර නියැන්ඩර්තාල්වරුන් බව යි. ඩෙනිසෝවන් ගේ ෆොසිල විද්‍යාඥයන් සතු ව ඇත්තේ ඉතා ස්වල්පයක් බැවින් ඔවුන් අපේ පෘථිවියේ ඇවිද ගිය නිශ්චිත කාල පරිච්ඡේදය දැන ගැනීම දුෂ්කර ය.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සතු ව ඇති පොසිල පෙන්නුම් කරන්නේ ඔවුන් වසර 50,000 ත් 200,000 ත් අතර කාලයකට පෙර දකුණු සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවේ (එබැවින් ‘ඩෙනිසෝවන්’) වාසය කළ බව යි. මීට අමතරව, ටිබෙට් සානුවේ ගුහාවකින් සොයා ගත් ඩෙනිසෝවන් අවම වශයෙන් වසර 160,000 කට පෙර විසූවන් බව අනුමානය යි. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ඩෙනිසෝවන් යනු වසර 300,000 කට පමණ පෙර මුලින්ම මතු වූ නියැන්ඩර්තාල්වරුන්ගේ සහ හෝමෝ සේපියන්ස්ලාගේ සමකාලීනයන් බව යි. DNA සාක්ෂි පෙන්වා දෙන්නේ නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් යන දෙදෙනා ම ඩෙනිසෝවා ගුහාව ඇසුරු කරගෙන ජීවත් වූ නමුත් ඒ බොහෝ විට එක ම කාලයක දී නොවන බව යි.

ඩෙනිසෝවන් සොයාගත්තේ කෙසේද?

ඩෙනිසෝවන් යනු මානව DNA මත පමණක් පදනම් ව සොයාගත් පළමු මානව කණ්ඩායම යි.  ඇත්තෙන් ම මෙය බොහෝ දුරට අහම්බයක් විය. 2010 දී, ජර්මානු ජාන විද්‍යාඥ මහාචාර්ය ජොහැන්නස් ක්‍රවුස් ඩෙනිසෝවා ගුහාවෙන් සොයා ගත් නියැන්ඩර්තාල් ඇඟිලි අස්ථියක් යැයි ඔහු සිතූ දෙයින් මයිටොකොන්ඩ්‍රියල් ඩීඑන්ඒ නිස්සාරණය කරමින් සිටියේ ය. ඒ නියැන්ඩර්තාල් අස්ථියක් නොවේ. එය මෙතෙක් ලෝකයට හෙළිදරව් නොවී තිබූ වෙනස් මානව වර්ගයක් බවට ඍජු නිගමනයකට පැමිණියේ ඉන් පසුව ය.

මෙම සොයාගැනීම සඳහා පර්යේෂකයන්ට කුඩා අස්ථි කොටස්, දත් කිහිපයක් සහ එක් රෝස පැහැති අස්ථියක් හැරුණු විට වෙනත් එකදු සැලකිය යුතු ශාක්ෂියක් නොතිබිණි. ඩෙනිසෝවන් පිළිබඳ සමස්ත කතන්දරය ම ජානමය අනුක්‍රමණය කිරීමේ අමුතු හා පෙර නොවූ විරූ තත්වයකින් සිදුවිය. ටිබෙට් සානුවේ බයිෂියා කාර්ස්ට් ගුහාවෙන් 1980 ගණන්වල සොයා ගත් අවශේෂ විශ්ලේෂණය කෙරිණි. එයින් DNA නිස්සාරණය කළ නොහැකි වුව ද, ප්‍රෝටීන් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ එය ඩෙනිසෝවන්ට අයත් වන බව යි. විශ්ලේෂණය කළ නැගෙනහිර ආසියානු මානව පොසිල ගණනාවක් ද ඩෙනිසෝවන් බවට එහිදී තහවුරු විය.

අන්තර් අභිජනනය ජාන ප්‍රවාහයට හෝ ජානමය තොරතුරු මාරු කිරීමට ඩෙනිසොවන් මානවයා දායක  වූවාද?-  www.ibtimes.com

 අස්ථි කැබැල්ලකින් වසර දහස් ගණනක මානව ඉතිහාසය  

 නියැන්ඩර්තාල්වරුන් මීට වසර 40,000 කට පමණ පෙර පෘථිවියේ ජීවත් වූ අතර, නූතන මිනිසුන් සමඟ ඔවුන් හෝමෝ ඉරෙක්ටස් වෙතින් පරිණාමය වූ බව පිළිගත් මතය යි. ඩෙනිසෝවන්වරුක්, නියැන්ඩර්තාල්වරුන්ගෙන් අපසරණය වූ බව තහවුරු කර ගත්ත ද, සයිබීරියාවේ අල්ටයි කඳුකරයේ ඩෙනිසෝවා ගුහාවක තිබී ඔවුන්ගේ පාදවල අස්ථි කොටස්වලින් ලබා ගත් තොරතුරුවලට අමතර ව ඔවුන් ගැන තොරතුරු ඇත්තේ අල්ප වශයෙනි.

පර්යේෂකයන් 2012 දී ඩෙනිසෝවා ගුහාවෙන් වලසෙකුගේ හෝ සිංහයෙකුගේ කොටසක් යැයි සිතූ සාමාන්‍ය හා කුඩා අස්ථි කැබැල්ලක් සොයා ගත් විට, ඒ ගැන වැඩි සැලකිල්ලක් යොමු නුවූයේ එබැවිනි. මේ අස්ථි කොටස සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසු, කොලජන් පරීක්ෂණය සඳහා එම කොටස් විශ්ලේෂණය කෙරිණි. DNA නිස්සාරණ ක්‍රමය අනුව මෙම අස්ථිය වයස අවුරුදු 13 පමණ ගැහැනු සත්වයකුගේ බව සහ ඇගේ සියලු අතීත තොරතුරු අනාවරණය විය.

 

අන්තර් අභිජනන ජාන ප්‍රවාහය

මීට පෙර කිසිදා නෑසූ මෙම දෙමුහුන් මානවිකාව සොයා ගැනීම පර්යේෂකයන්ට අපගේ සමීපත ම පැරණි මානව ඥාතීන්ගේ ජීවිත තේරුම් ගැනීමට උත්සාහ කිරීමට ඉඩ සලසයි. අප දන්නා හෝමෝ ඉරෙක්ටස්, නියැන්ඩර්තාල් සහ වර්තමාන මිනිසා වන හෝමෝ සේපියන්ස් යන මානව කුලක අතර එකතුවකින් දෙමුහුන් පරම්පරාවක් බිහිවී ද? නූතන මානවයන් වන හෝමෝ සේපියන්ස් වන අප, නියැන්ඩර්තාල් මානවයන් සිටි බොහෝ ස්ථානවල ම බොහෝ කාලයක් ගත කළ බවත්, මානව වර්ග දෙක එකට මිශ්‍ර වූ බවත් මේ වන විට හොඳින් තහවුරු වී ඇති, නමුත් එතරම් ප්‍රසිද්ධ නැති සත්‍යයකි.

අන්තර් අභිජනනය මගින් නූතන මිනිසුන් ද ඉතිහාසයේ අඩුම තරමින් දෙවතාවක් හෝ ඩෙනිසෝවන් නම් තවත් පැරණි මානව විශේෂයක් සමඟ ළදරුවන් බිහි කළ බව පෙනේ. රුසියාවේ සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවෙන් සොයා ගත් අස්ථි කොටස් හෝමෝ සේපියන්ස් හෝ හෝමෝ නියැන්ඩර්තාල්ගේ නොවන බව විද්‍යාඥයන් පැවසූ විට ඒ ඩෙනිසෝවාන්ස්ගේ පැවැත්ම බව 2010 දී ප්‍රකාශයට පත් විය. Cell සඟරාවේ ප්‍රකාශයට පත් කළ පර්යේෂණ පත්‍රිකාවක, පර්යේෂකයන් පැහැදිලි කළේ, ජාන අන්තර් මිශ්‍ර කිරීමේ හෝ මිශ්‍ර වීමේ වෙනස් කථාංග දෙකක් හෝමෝ සේපියන්ස් සහ ඩෙනිසෝවන් අතර සිදුවන්නට ඇති බවත්, ඔවුන් සමහර විට නූතන මිනිසුන්ගේ උප විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් ය.

 ඩෙනිසෝවන් පරම්පරාවේ ධාරා දෙකක් වර්තමාන මිනිසුන් හැඩගස්වා ඇති ආකාරය-.  www.ibtimes.com 

 

වර්තමාන මිනිසා තුළ අතීත මානවයාගේ ජාන

මව නියැන්ඩර්තාල් මානව වර්ගය සහ පියා ඩෙනිසෝවන් මානව වර්ගය වූ මාපියන්ට දාව වසර 100,000 කට පමණ පෙර උපන් දැරිය පිළිබඳ හෙළිදරව්වෙන් විස්තර කළේ අන්තර් අභිජනනය පිළිබඳ සාක්ෂියකි. සියැටල් හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මෙම නිගමනයට පැමිණ ඇත්තේ ඩෙනිසෝවන් සමඟ නූතන මිනිසුන්ගේ සමස්ත ජානමය අනුපිළිවෙළ සංසන්දනය කරමිනි. ඔවුන් සංසන්දනය කිරීම සඳහා වර්තමාන නැගෙනහිර ආසියාවේ සහ ඕෂනියා (ඔස්ට්‍රේලියානු කලාපය)  ප්‍රදේශවලින් ජනගහනය තෝරා ගත්තේ, එම ජනගහණයේ ඩෙනිසෝවන් ජාන ඇති බැවිනි. දැනටමත් දැන සිටි දෙය නම්, ඕෂනියානු පුද්ගලයන්, විශේෂයෙන් පැපුවාන් පුද්ගලයන්, සැලකිය යුතු ප්‍රමාණයක ඩෙනිසෝවන් ජාන පරම්පරාවක් ඇති බවයි.

නූතන පැපුවාන් පුද්ගලයන්ගේ ප්‍රවේණිකවල ඩෙනිසෝවන් ජාන පරම්පරාවෙන් සියයට 5 ක් පමණ අඩංගු වේ යැයි සොයාගෙන තිබේ. ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ඩෙනිසෝවන් ජානමය පැවැත්මට හේතු වූයේ ඕෂනියාවෙන් සිදු වූ සංක්‍රමණය යි. පර්යේෂකයන් ඩෙනිසෝවන් ජාන රටාව සමඟ පැපුවා වාසීන්ගේ DNA කොටස් සංසන්දනය කළ විට, බොහෝ දේ අනුපිළිවෙළට එකිනෙකට ගැළපිය හැකි ලෙසට සමාන විය. නූතන නැගෙනහිර ආසියානු ජනගහන ජාන පැපුවාහි මිනිසුන්ට වඩා ඩෙනිසෝවන් ජාන සමඟ සමීප වේ. නැගෙනහිර ආසියාතිකයන්ගේ, විශේෂයෙන් Han Chinese, Chinese Dai සහ ජපන් ජාතිකයන්ගේ DNA අනුපිළිවෙළ ඩෙනිසෝවන් ජාන සමඟ වඩාත් සමීප විය.

නූතන මානව ජනගහනය සමඟ මිශ්‍ර වීම

ඒ අනුව පර්යේෂකයන් නිගමනය කළේ දකුණු ඩෙනිසෝවන් කණ්ඩායමක් ඕෂනියාවේ නූතන මානවයන් සමඟ බද්ධ වූ අතර, උතුරු ඩෙනිසෝවන් කණ්ඩායමක් නැගෙනහිර ආසියානු නූතන මානව ජනගහනය සමඟ මිශ්‍ර ව ඇති බව යි. පර්යේෂකයන් දැන් ලොව පුරා සිටින අනෙකුත් මානව ජනගහන අධ්‍යයනය කිරීමට සූදානම් වන්නේ නූතන සහ පුරාතන මානවයන් අතර අන්තර් අභිජනනය පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට උත්සාහ කිරීමට ය. ඔවුන් නූතන මානවයා වන හෝමෝ සේපියන්ස් තුළ වන ජානමය සලකුණු මේ වනවිට තහවුරු කර ගෙන ඇත.

පැපුවා නිව්ගිනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනගහනය අතර ඩෙනිසෝවන් DNA සැලකිය යුතු ප්‍රතිශතයක් දක්නට ඇත. අතීත අන්තර් අභිජනනය පිළිබඳ සාක්ෂි ඒයින් ගම්‍ය වේ. නූතන ටිබෙට් ජාතිකයන්ට සහ ෂර්පාවරුන්ට ඩෙනිසෝවාන්ගෙන් උරුම වූ EPAS1 ජාන ප්‍රභේදය, ඉහළ උන්නතාංශවල ජීවත් වීම සඳහා ඔවුන් වඩාත් හොඳින් අනුවර්තනය කරයි. ඔවුන් හයිපොක්සියාවලින් (ශරීරයේ පටකවල ඔක්සිජන් නොමැති තත්ත්වය) ආරක්ෂා කරයි. ඒ හා සමානව, ඕෂනියාවේ සමහර නවීන ජනගහන තුළ වන, ඩෙනිසෝවාන්ස් වෙතින් ලබාගත් DNA මගින් අර්ධ වශයෙන් සංකේතනය කළ  සහ ශක්තිමත් කළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

නූතන පැපුවා නිව්ගිනි යුවතියන්- www.globalcitizen.org

 

මානව අතීතය තව දුරටත් විශ්ලේශණයට

අවම වශයෙන් වසර 200,000 සිට 50,000 දක්වා කාලයකට පෙර ඩෙනිසෝවන්, එම ගුහාවේ සිටි බව ෆොසිල සහ DNA අංශු මගින් පෙන්නුම් කර ඇත. සමීපව සම්බන්ධව සිට වඳවී ගිය මානව විශේෂයක් වන නියැන්ඩර්තාල් මීට වසර 200,000 ත් 80,000 ත් අතර කාලයකට පෙර එහි සිටි බව නව පර්යේෂණයකින් හෙළි විය. ගල් මෙවලම් පෙන්වා දී ඇත්තේ වසර 300,000කට පෙර සිට එම මානව විශේෂ එකක් හෝ දෙක ම ගුහාව ඇසුරු කරගෙන සිටි බව යි.

ටිබෙට් සානුවෙන් සොයාගත් දළ වශයෙන් වසර 160,000 ක් පැරණි අර්ධ හකු පොසීල, පිලිපීනයේ වසර 50,000කට හෝ ඊට වැඩි කාලයකට පෙර ෆොසිල ඇත්ත වශයෙන් ම ඩෙනිසෝවන් නියෝජනය කරනවා විය හැකි ය. නමුත් ඩෙනිසෝවාන්ස්ගේ පෙනුම කෙබඳු ද යන්න පිළිබඳ සම්මුතියක් නොමැතිකම නිසා එම පොසිලවල පරිණාමීය අනන්‍යතාව අවිනිශ්චිත වේ.

ෂර්පා කාන්තාවක් – news.globallandscapesforum.org

 

ඩෙනිසෝවන් යනු ප්‍රධාන වශයෙන් පුරාණ DNA සාම්පල සහ පැරණි හෝමෝ සේපියන්ස් මානවයා සමඟ බෙදාගත් DNA වල අංශුවලින් මතු වූ නොපෙනෙන පොකුරකි. ඔවුන් දැන් අග්නිදිග ආසියානු දූපත්, පැපුවා නිව්ගිනියාව සහ ඕස්ට්‍රේලියාව අසල ජීවත් වන මිනිසුන් මත ඔවුන්ගේ විශාලත ම ජානමය මුද්‍රාව තබා ඇත. පිලිපීන නෙග්‍රිටෝ ජනවාර්ගික කණ්ඩායමකට සියල්ලට ම වඩා ඩෙනිසෝවන් පරම්පරාව උරුම වී ඇති බව ජානමය සාක්ෂි දැන් පෙන්නුම් කරයි. Ayta Magbukon නමින් හැඳින්වෙන ආදිවාසීන් ඔවුන්ගේ DNAවලින් සියයට 5 ක් පමණ ඩෙනිසෝවන් මානවයා වෙතින් ලබා ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ තිබී සොයා ගත් වසර 200,000කට ආසන්න පැරණි ගල් ආයුධ ඩෙනිසෝවන් සෑදූ ඒවා විය හැකි ය. වසර 50,000කට පමණ පෙර හෝ ඊට වැඩි කාලයකට පෙර පැමිණීමට පටන් ගත් හොමෝ සේපියන්ස් කණ්ඩායම් පසුව පදිංචි වූ ඩෙනිසෝවන් සමඟ බද්ධ වී ඇත. ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජාන විද්‍යාඥයන් වන මැක්සිමිලියන් ලැරේනා සහ මැටියස් ජැකොබ්සන් සහ ඔවුන්ගේ කණ්ඩායම නව සාක්ෂි තහවුරු කරමින් මෙම මතය ඉදිරිපත් කරයි.

වර්තමාන අයිටා මග්බුකොන් ජනතාව -ncip.gov.ph 

 

අග්නිදිග ආසියාවේ පුරාණ අන්තර් අභිජනනයේ සංකීර්ණතා පැහැදිලි වන විටත්, ඩෙනිසෝවන් අද්භූත මානව සමූහයක් ලෙස පැවතිණි. ප්‍රධාන භූමියේ සහ අග්නිදිග ආසියානු දූපත්වල විවිධ ඩෙනිසෝවන් කණ්ඩායම් එකිනෙකාට සම්බන්ධ වූයේ කෙසේ ද සහ ඒවා කෙතරම් ජානමය වශයෙන් විවිධ වූවා ද යන්න අපැහැදිලි යැයි ජැකොබ්සන් පවසයි. පැපුවා නිව්ගිනියා කඳුකර වැසියන් නව අධ්‍යයනයේ දී ඩෙනිසෝවන් ගේ ඩීඑන්ඒ සියයට 4කට ආසන්න ප්‍රමාණයක් දරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 

අයිටා මග්බුකොන් ජනයා පැපුවා නිව්ගිනියා කඳුකර වැසියන්ට සහ ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට වඩා දළ වශයෙන් සියයට 30 සිට 40 දක්වා වැඩි ඩෙනිසෝවන් පරම්පරාවක් ප්‍රදර්ශනය කරන බව ජැකොබ්සන් පවසයි. එම ගණනය කිරීම් මගින් ඩෙනිසෝවන් උරුමය විවිධ මට්ටම්වලට තනුක කළ අයිටා මග්බුකොන් ඇතුළු පිලිපීන නෙග්‍රිටෝ කණ්ඩායම් සමඟ නැගෙනහිර ආසියාතිකයන් මෑතකාලීන ව අන්තර් අභිජනනයේ යෙදී ඇති බව තහවුරු වන්නකි. අනෙකුත් පිලිපීන නෙග්‍රිටෝ කණ්ඩායම්වලට වඩා තරමක් වැඩි ඩෙනිසෝවන් ජාන පරම්පරාවක් අයිටා මග්බුකොන් ජනතාව රඳවා ගන්නා බව ජාන විශ්ලේෂණවලින් පෙනී යන බව විද්‍යාඥයෝ පවසති.

ඩෙනිසෝවන් මානවයාගේ යැයි සැලකෙන සිතුවමක්- www.newscientist.com 

ඔවුන්ගේ ප්‍රවේණි විශ්ලේෂණ තුළ ඩෙනිසෝවන් සහ නියැන්ඩර්ටල්වරුන්ගේ පුරාණ DNA හා පිලිපීනයේ ජනවාර්ගික කණ්ඩායම් 118ක පුද්ගලයන් 1,107ක් සමඟ සසඳා ඇත. පසුව වර්තමාන පැපුවා නිව්ගිනියා කඳුකර වැසියන්ගෙන් සහ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගෙන් කලින් එකතු කළ DNA සමඟ සැසඳීම් සිදු කර ඇත.  “අදටත් සම්පූර්ණයෙන්ම ජානමය වශයෙන් විස්තර කර නැති ජනගහණයක් පවතින බවත් ඩෙනිසෝවන් භූගෝලීය වශයෙන් පැතිරී සිටි බවත්” නව පර්යේෂණයේ කොටසක් නොවූ ජර්මනියේ ටුබින්ගන් විශ්ව විද්‍යාලයේ පැලියෝජෙනටිස්ට් විද්‍යාඥ කොසිමෝ පෝස්ට් පවසයි.

ඩෙනිසෝවන්වරුන්ගේ පෙනුම කෙබඳු ද?

ඩෙනිසෝවන්වරුන්ගේ පෙනුම කෙබඳුදැයි සොයා බැලීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර වුව ද, සමහර ඉඟි තිබේ. පර්යේෂකයන් සතු ව ඇති ෆොසිල කිහිපයෙන් ඇඟවෙන්නේ ඩෙනිසෝවන්වරුන්ට විශාල දත්, විශාල හකු සහ සමහර විට පැතලි හා පුළුල් ස්නායු ක්‍රේනියම් (මොළයේ) තිබූ බව යි. පුදුමයට කරුණක් නම්, DNA  භාවිතයෙන් නව තාක්ෂණයක් හරහා ඔවුන්ගේ පෙනුම අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ය. විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ ඩෙනිසෝවන්ට පුළුල් ශ්‍රෝණියක්, විශාල ඉළ ඇට සහ සන්ධි මතුපිටක්, පහත් නළල සහ පුළුල් හිස් කබලක් ඇති බව යි. පාරිසරික ව්‍යසනයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැතිව ඩෙනිසෝවන්වරුන් වඳවී ගියේ කෙසේදැයි නිශ්චිත මතයක් දැනට නැත. හෝමෝ සේපියන්ස් නිසැකව ම ඩෙනිසෝවන් අභිබවා යන්නට ඇත. වසර 15,000-30,000 කට පෙර නිව් ගිනියාවේ හෝ ඒ අවට දූපත්වල ජීවත් වන්නට ඇතැයි සිතන ඩෙනිසෝවන්වරුන් තුරන් ව ගියේ කවදාදැයි තවමත් නිශ්චය කර නැත.

කවරයේ ඡායාරූපය- ඩෙනී - www.bbc.com 

මූලාශ්‍ර:

 www.sciencenews.org

 www.reuters.com

 www.ibtimes.com 

 thevarsity.ca 

www.sciencefocus.com

www.science.org

www.nature.com

Related Articles