අදටත් නොවිසඳුණු පේරු රටේ නැස්කා රේඛා අභිරහස

දකුණු අමෙරිකාවේ පේරු රටේ ලීමා නගරයේ සිට සැතපුම් 200 ක් ගිනිකොන දෙසින් පිහිටි නස්කා හි එක්තරා විශාල භූමි භාගයක පොළොව පුරා විසිරුණු රේඛා සමූහයක් සොයා ගැනිණි. සරල රේඛා 800 කට වඩා ප්‍රමාණයක් සහිත ව ජ්‍යාමිතික රූප 300 ක් සහ ජෛව රූප ලෙස හඳුන්වන සත්ව හා ශාක මෝස්තර 70 ක් එහි අන්තර්ගත ව ඇත. සමහර සරල රේඛා සැතපුම් 30 ක් දක්වා දිව යන අතර ජෛව රූපවල දිග අඩි 50 සිට 1200 දක්වා වෙනස් වේ. මකුළුවෙක්, හමිං බර්ඩ් කුරුල්ලෙක්, පතොක් ශාකයක්, වඳුරකු, තල්මසකු, ලාමාවකු, තාරාවකු, මල්, ගසක්, කටුස්සකු සහ බල්ලකු යන සතුන් සහ ශාක නිරූපණ ඒ රේඛා සමූහයට අයත් ය. වඩාත් ම අසාමාන්‍ය දෙය නම් ‘ගගනගාමියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මානුෂීය රූපයක් ද එහි දෙපසින් ඇඳ තිබීම සහ හඳුනාගත නොහැකි නිරූපණ කිහිපයක් ද තිබීම යි.

නැස්කා රේඛාවල අන්තර්ගතය

දැවැන්ත නැස්කා රේඛා මීට වසර 2000 කට පෙර ජීවත්ව සිටි පැරණි මිනිසුන් නිර්මාණය කළ බවට අනුමාන කරන අතර අද දක්වා කිසිදු හානියක් නොමැතිව ඒවා පවතී. මෙම ජ්‍යාමිතික හැඩතල සහ රේඛාවල තේරුම සම්පූර්ණයෙන් ම පැහැදිලි කිරීමට අදටත් කිසිවකුට හැකියාවක් ලැබී නොමැත. මෙම රේඛා බිම් මට්ටමේ සිට හඳුනා ගැනීමට නොහැකි වන අතර, ඒවා පැහැදිලි ව දිස්වනුයේ ඉහළ අහසට ය. මෙම දැවැන්ත අද්භූත රේඛා පිළිබඳ ප්‍රථමයෙන් ලෝකයා දැනුම්වත් කළේ වාණිජ ගුවන් යානා පියාසර කිරීම ඇරඹුමෙන් පසුව ගුවන් නියමුවන් ය.

කාන්තාරය පුරා විහිදුණු රේඛා ගුවනට දිස්වන අයුරු  – escales.ponant.com 

 

නැස්කා රේඛාවලින් සන්නිවේදනය වන අරමුණ 

මෙම සුප්‍රසිද්ධ නැස්කා රේඛා සොයා ගෙන දැනට වසර 80 කට වැඩි කාලයක් ගතවුව ද එදා සිට අද දක්වා එය අභිරහස් විෂයයකි. මේවා ඉහළ අහසට පෙනෙන අයුරින් දැවැන්ත ව මහපොළොව මත නිර්මාණය කළේ කෙසේ ද? කුමන අරමුණක් සඳහා ද? පිටසක්වළ ජීවීන්ගේ කිසියම් සම්බන්ධයක් මෙහි තිබේ ද? එය කිසියම් පිටසක්වළ ජීවීන් කොට්ඨාශයකට දෙන පණිවිඩයක් ද? 1930 ගණන්වල අගභාගයේ දී අමෙරිකානු ඉතිහාසඥ පෝල් කොසොක් අහසින් සහ පොළොවෙන් යන දෙදිසාවෙන් ම මෙම රේඛා විමර්ශනය කිරීමට පටන් ගත්තේ ය. කොසොක්ගෙන් පසුව, 1940 ගණන්වල දී, ජර්මානු පුරාවිද්‍යාඥවරියක වන Maria Reiche වසර 40ක් තිස්සේ කළ විමර්ශනය හේතුවෙන් ”රේඛාවේ ආර්යාව” ලෙස ඇය හැඳින්වූවා ය.

රේඛාවේ ආර්යාව සිදු කළ විමර්ශනවලින් පසු එම රේඛාවලට තාරකා විද්‍යාත්මක සහ දින දර්ශක අර්ථයක් ඇති බවට මතයක් ද එකතු විය. ඇයට අනුව, සමහර සත්ව භූ රූප අහසේ තරු කණ්ඩායම් නියෝජනය කළේ ය. අනෙක් අයගෙන් කැපී පෙනෙන සහ විශාල අවධානයක් දිනා ගත් තවත් න්‍යායාත්මක මතයක් වූයේ, ස්වීඩන් ලේඛක එරිච් වොන් ඩැනිකන් ඔහුගේ “චාරියට්ස් ඔෆ් ද ගෝඩ්ස්” (1968) නම් පොතේ කියා සිටි මෙම රේඛා හඳුනා නොගත් පිටසක්වළ (UFO) යානා සඳහා ගොඩබෑමේ ස්ථානයක් බව යි. පුරාණ ජනයා පිටසක්වළ ජීවීන් “පිටසක්වළ දෙවිවරුන්” ලෙස සැලකූහ. අනෙකුත් පිටසක්වළ ආශ්‍රිත න්‍යායන් සමාන උපකල්පන යෝජනා කරන්නේ එම හැඩතල පිටසක්වල ජීවීන් නිම කළ ඒවා බවත්, ඒවා ඔවුන්ගේ අභ්‍යවකාශ යානා මෙහෙයවීමට සහ ගොඩබෑමේ ධාවන පථ ලෙස භාවිත කළ බවත් ය.

දකුණු පේරු හි නස්කා නගරය අසල කාන්තාරයේ බෑවුමක යෝධ බළල් රූපයක් – www.japantimes.co.jp 

 නිර්මාණ තාක්ෂණය, කාල නීර්ණය සහ නිර්මාණ කරුවෝ

විද්‍යාඥයන්ට අනුව, රේඛා නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1 සිට 700 දක්වා වූ කාලය තුළ දියු ණු සමෘද්ධිමත් ජනතාවක් ව විසූ නැස්කාවරුන් ය. මේ රේඛා සතුන්, ශාක සහ මිනිසුන්ගේ ශෛලීගත චිත්‍ර අවට ඇති කාන්තාර සහ කඳුකරය හරහා වන පූජනීය ස්ථාන සම්බන්ධ කරන හෝ ජල මූලාශ්‍ර පෙන්වා දෙන සරල රේඛා විය හැකි යැයි උපකල්පනය කෙරේ.

ඔවුන්ගේ නිශ්චිත අරමුණ මතභේදයට තුඩු දී ඇති නමුත් වඩාත් පුළුල් ලෙස පවතින න්‍යාය වන්නේ ඒවා ආගමික වතාවත්වල සහ පෙරහරවල කොටසක් ලෙස සැලසුම් කර ඇති බව යි. මෙම පෞරාණික රේඛා ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සාදා ඇත්තේ ළා පැහැති කාන්තාර පොළොවේ මතුපිට සමීප ව විසිරී ඇති ඔක්සිකරණය වූ අඳුරු පාෂාණ ඉවත් කිරීමෙනි.

රේඛාවේ ආර්යාව හෙවත් ජර්මානු පුරාවිද්‍යාඥවරියක වන Maria Reiche- www.peru-explorer.com

බොහෝ මෝස්තර දැකිය හැක්කේ අහසේ සිට පමණි.  සමහර ඒවා කඳු බෑවුම්වල නිම කර ඇති අතර ඒවා බිම සිට ඇස් මට්ටමින් දැකිය හැකි ය. මෙම රේඛා තනි සෘජු සහ වක්‍ර හෝ කාණ්ඩ වශයෙන් වන අතර සංකීර්ණ ජාල තුළ එකිනෙක හරහා ඇඳ ඇත. රේඛාවල පළල සහ දිග වෙනස් වන අතර දිග ම සරල රේඛාවක් කිලෝමීටර 20 ක් දිගට දිවේ. 

නැස්කා රේඛාවල මුළු දිග කිලෝමීටර් 1,300 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇත. නිශ්චිත හැඩයක් විස්තර කිරීමට භාවිත කළ එම රේඛා සාමාන්‍යයෙන් තනි අඛණ්ඩ රේඛාවකින් සමන්විත වේ. මෝස්තරවල පරිමාණය විශාල ය. බොහෝ ඒවා අව ම වශයෙන් ක්‍රීඩා පිටියක ප්‍රමාණයට සමාන වේ. ඒවා ශතවර්ෂ ගණනාවක් පුරා සිදු කළ ඒවා ය. බොහෝ විට නව නිර්මාණ අතිච්ඡාදනය වී පැරණි ඒවා නොසලකා හැර තිබෙන බව ද දිස් වේ. එබැවින් ඒවා විවිධ කණ්ඩායම්, විවිධ කාලවලදී සාදන ලද බව පෙනේ.

නැස්කාවරු යනු කවුද?

ක්‍රිස්තු පූර්ව 100 සිට ක්‍රිස්තු වර්ෂ 800 දක්වා කාලයේ පේරු හි ශුෂ්ක දකුණු වෙරළ තීරය අසල නැස්කාවරුන් ජීවත් වූ බව පැවසේ. මුල් නාස්කා සමාජය සමන්විත වූයේ ප්‍රාදේශීය ප්‍රධානීන්ගෙන් සහ ප්‍රාදේශීය බල මධ්‍යස්ථානවලිනි. මෙම ශුෂ්ක දේශගුණය තුළ නගර සහ කෘෂිකර්මාන්තය පවත්වා ගැනීම සඳහා නැස්කාවරුන් puquios ලෙස නම් කළ භූගත ජලධාරා ක්‍රමය සංවර්ධනය කර තිබිණි. ඒවායින් බොහොමයක් අදටත් ක්‍රියාත්මක වේ. ඔවුහු තම කෘෂිකාර්මික හා පූජා සම්ප්‍රදායය පිළිබිඹු කරන සංකීර්ණ රෙදිපිළි සහ පිඟන් මැටි නිර්මාණ ද සිදු කළහ.

නැස්කා කෞතුක භාණ්ඩ -www.khanacademy.org 

 

සමාජය සහ ආගම

පරිසරයේ ශුෂ්ක හා ආන්තික ස්වභාවයට සම්බන්ධ විය හැකි නස්කා ආගමික විශ්වාස කෘෂිකර්මාන්තය සහ සාරවත් බව මත පදනම් විය. බොහෝ නස්කා චිත්‍රවල මිථ්‍යා මිනීමරු තල්මසා, අස්වනු නෙළන්නන්, මිථ්‍යා තිත් සහිත බළලා, හමිං බර්ඩ් කුරුල්ලා සහ සර්පයා වැනි බලවත් ස්වභාව දෙවිවරුන් නිරූපණය කර තිබිණි.  මුල් නාස්කා සංස්කෘතිය ඉරිඟු කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත යැපුම් සහිත ග්‍රාමීය ගම්මානවල ලිහිල් කණ්ඩායමක් ලෙස පැන නැඟුණු බව විද්වත්හු විශ්වාස කරති.

ගම්වලට සුවිශේෂී කලා විලාසයක්, විශේෂිත චාරිත්‍ර වාරිත්‍ර සහ භූමදාන සිරිත් විරිත් තිබිණි. මධ්‍ය නාස්කා යුගයේ සමහර විට දිගු නියඟයක් නිසා බොහෝ වෙනස්කම් සිදුවූවා මෙන් ම ජනාවාස රටා සහ යැපුම් වාරිමාර්ග භාවිතය වෙනස් වන්නට ඇති බවට මත පළ වේ. නාස්කා යුගයේ අග භාගය වන විට, සමාජ සංකීර්ණත්වය සහ යුද්ධය නිසා මිනිසුන් ග්‍රාමීය ගොවිපළවලින් ඉවත් වී වෙනත් වෙනත් ඉසව් කරා ගමන් කිරීමට හේතු වන්නට ඇත.

නැස්කා පැරණි සුසාන භූමියක හිස් කබල්- www.istockphoto.com 

ජාතික නේවාසික  භූගෝල විද්‍යා ගවේෂකයෙකු වන ජොහාන් රයින්හාර්ඩ්, රේඛා විශ්ලේෂණය සඳහා බහුවිධ ප්‍රවේශයක් ගෙන ආවේ ය. වසරකට විනාඩි 20ක පමණ අවම වර්ෂාපතනයක් ලැබෙන ශුෂ්ක ප්‍රදේශයක පැහැදිලිව ම ජලය වැදගත් සාධකයක් බවත්, නැස්කා අවට විශාල පරිසර පද්ධතිය දෙස විමසිල්ලෙන් බැලීමෙන් නැස්කාවරුන් සිටියේ කොතැනක ද යන්න සිතිය යුතු බවත්  ඔහු ප්‍රකාශ කරයි.

රයින්හාඩ් පෙන්වා දෙන්නේ සර්පිලාකාර මෝස්තර සහ තේමා අනෙකුත් පුරාණ පේරු ස්ථානවල ද සොයාගෙන ඇති බව යි. සත්ව සංකේතවාදය ඇන්ඩීස් ජනාවාස පුරා බහුල ව දක්නට ලැබෙන අතර එම සංකේත නැස්කා තැනිතලාවේ ඇඳි ජෛව රූපවල ද දක්නට ලැබේ. මකුළුවන් වර්ෂාපතනයේ සංකේතයක් ලෙස විශ්වාස කෙරෙන අතර හමිං බර්ඩ් කුරුල්ලන් සශ්‍රීකත්වය සමඟ සම්බන්ධ වන අතර වඳුරන් බහුල ව ජලය ඇති ප්‍රදේශයක් වන ඇමේසන් හි දක්නට ලැබේ.

මේ කිසිදු ඇගැයීමකින් නැස්කා රේඛා පිළිබඳ පැහැදිලි සත්‍යයක් හෙළි ව නැත. පුරා විද්‍යාව, ජනවාර්ගික ඉතිහාසය සහ මානව විද්‍යාව යන දෙකෙහි එකතුව ශක්තිමත් විනිශ්චයක් ගොඩනඟනු ඇති බැව් රයින්හාර්ඩ් පවසයි. මෙතෙක් ඉදිරිපත් ව ඇති න්‍යායාත්මක කරුණුවලට නව තාක්‍ෂණික පර්යේෂණ එක් කොට නැස්කා රේඛා පිළිබඳ ලෝකයේ අවබෝධය අඛණ්ඩ ව වර්ධනය කළ හැකි බවට ද රයින්හාර්ඩ් ඉඟි පළ කරයි.

 කවරයේ ඡායාරූපය- ඉහළ අහසට දිස් වන නැස්කා රේඛා -joshuashawnmichaelhehe.medium.com

 මූලාශ්‍ර:

 www.worldhistory.org

www.thoughtco.com

www.nationalgeographic.com

courses.lumenlearning.com

www.trtworld.com

Related Articles