ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ඉන්දීය ගම් දෙක

 ශ්‍රීලංකාව සමකයට වඩාත් ආසන්න ව පිහිටා තිබෙනවා. එනිසා  සමහර කාලවල දී අප රටට අධික වර්ෂාවක් ලැබෙනවා. එහි දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් වන වටවල, ගිනිගත්හේන, මාලිබොඩ, උඩ මාලිබොඩ වැනි ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබෙනවා. එම ප්‍රදේශවලට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3200 ඉක්මවා යනවා.

ශ්‍රී ලංකාවේ වැඩි ම වර්ෂාවක් ලැබෙන ප්‍රදේශවල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3200 ඉක්මවා යද්දී සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 11,500 ඉක්මවා යන ප්‍රදේශ ලෝකයේ ඇතැම් රටවල්වලින් අපට හමුවනවා. ඒ අතුරින් වැඩි ම වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ගම් ද්විත්වය ඉන්දියාවේ පිහිටා තිබෙනවා. ඒ එකම ප්‍රදේශයක පිහිටි චෙරාපුංජි සහ මවුසින්රාම් යන ගම්. වර්තමානය වන විට ලෝකයේ තෙත් ම ස්ථානය බවට පත්වීම සඳහා සටන් කරන එම ගම් ද්විත්වය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

චෙරාපුංජි ප්‍රදේශය – gettyimages.com

පිහිටා තිබෙන ප්‍රදේශය

මේඝාලය ඉන්දියාවේ ඊසානදිග කොටසට අයත් වන ප්‍රාන්තයක්. 1972 ජනවාරි 21 වැනිදා ඇසෑම් ප්‍රාන්තයෙන් කැඩුණු කොටස්වලින් මේඝාලය නිර්මාණය වුණා. ගාරෝ, ඛාසි සහ ජයින්තියා යන කඳුකර ප්‍රදේශ මේඝාලයට අයත් ප්‍රධාන පළාත් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඒ අතුරින් ඛාසි පළාත තවත් දිස්ත්‍රික්ක 5කට බෙදෙනවා. එයින් නැගෙනහිර ඛාසි කඳුකර ප්‍රදේශය ඛාසි පළාතේ ප්‍රධානත ම දිස්ත්‍රික්කය යි.

මෙම ලිපිය තුළ කතා කරන චිරාපුංජි සහ මවුසින්රාම් යන ගම් ද්විත්වය පිහිටා තිබෙන්නේ එම දිස්ත්‍රික්කය තුළ යි. මවුසින්රාම් සහ  චිරාපුංජි අතර සරල රේඛීය දුර කිලෝ මීටර් 15ක් පමණ වෙනවා. එම කඳුකර ප්‍රදේශ හරහා මහාමාර්ග ඉදිකර නැහැ. එනිසා වාහනයකින් චෙරාපුංජි සිට මවුසින්රාම් වෙත ළඟාවීම සඳහා කිලෝ මීටර් 81ක දුරක් ගමන් කළ යුතු යි. මෙම ගම් දෙක අතර ගමන් කිරීම සඳහා සාමාන්‍යයෙන් විනාඩි 90ක පමණ කාලයක් ගතවෙනවා. 

මවුසින්රාම් ප්‍රදේශය – blog.untravel.com

 

වාර්ෂික වර්ෂාපතන රටාව 

චෙරාපුංජි ගමේ සාමාන්‍ය උෂ්ණත්වය නොවැම්බර්-පෙබරවාරි කාල සමයේ අවම අගයක් ගන්නවා. එය සාමාන්‍යයෙන් සෙල්සියස් 5-20 අගයක් අතර දෝලනය වෙනවා. සමහර වසරවල ජනවාරි මාසයේ දී ඍණ උෂ්ණත්ව පවා වාර්තා වී තිබෙනවා. ඉතිරි මාසවල දී චෙරාපුංජි හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 11-24 අතර පවතිනවා. සමහර අවස්ථාවන්වල දී එම උෂ්ණත්වය සෙල්සියස් 30 ඉක්මවා යනවා. චෙරාපුංජි ගමේ වාර්ෂික වර්ෂාපතන රටාව නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිව ම පෙනීයන්නේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා ගෙවෙන මාස 8 දී එයට සැලකිය යුතු තරම් වර්ෂාවක් ලැබෙන බවයි.

ඒ අතුරින් උපරිම වර්ෂාවක් ලැබෙන්නේ ජූනි සහ ජූලි යන මාසවල දී යි. එම මාසවල දී මෙම ප්‍රදේශයේ වර්ෂාපතනය මිලි මීටර් 2500 ඉක්මවා යනවා. මෙහි අවම වර්ෂාපතනය වාර්තා වන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී යි. සාමාන්‍යයෙන් එම මාසවල දී චෙරාපුංජිවලට ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් 20ක පමණ අගයක් ගන්නවා. 

චෙරාපුංජිවල වර්ෂා කාලය – skymetweather.com

 

මවුසින්රාම් සහ චෙරාපුංජි ගම්වල වාර්ෂික උෂ්ණත්ව වෙනස්වීමේ රටාවේ සමානත්වයක් දක්නට ලැබෙනවා. මවුසින්රාම් ගමේ වාර්ෂික වර්ෂාපතන රටාව චෙරාපුංජිවලට වඩා තරමක් වෙනස්. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මවුසින්රාම් ප්‍රදේශයට අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා ගෙවෙන මාසවල දී අධික වර්ෂාවක් ලැබෙනවා. එහි දී ජූනි සහ ජූලි මාසවල දී මිලි මීටර් 2350 ඉක්මවා ගිය උපරිම වර්ෂාපතනයක් ලැබෙනවා. මෙම ගමට අවම වර්ෂාපතනය ලැබෙන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී යි.

එම මාස දෙකේ දී මවුසින්රාම්වලට ලැබෙන වර්ෂා ප්‍රමාණය මිලි මීටර් 17 ටත් වඩා අඩු අගයක් ගන්නවා. අද වන විට චෙරාපුංජිවලට වඩා මවුසින්රාම්වලට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව චෙරාපුංජිවලට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 11,777ක් ලෙසින් සටහන් වෙද්දී මවුසින්රාම්වලට ලැබෙන  සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 11,871ක් ලෙසින් සටහන් වෙනවා. එම අගයන් සමහර වසරවල දී අඩු වැඩි වන බවත් මෙහි දී කිව යුතු යි.

මවුසින්රාම්වල වර්ෂා කාලය – timesofindia.indiatimes.com

 

අධික වර්ෂාපතනයක් ලැබුණු වර්ෂ 

1974 වසරේ දී චෙරාපුංජි ප්‍රදේශයට උපරිම වර්ෂාපතනයක් ලැබුණා. එම අගය මිලි මීටර් 24,554ක් ලෙසින් සටහන් වුණා. එය දිගු කාලයක් තිස්සේ වසරක දී යම් ප්‍රදේශයකට ලැබුණු වැඩි ම වර්ෂා ප්‍රමාණය බවට පත්ව තිබුණා. 1861 වසරේ දී චෙරාපුංජිවලට මිලි මීටර් 22,987ක් තරම් වැඩි වර්ෂාපතනයක් ලැබුණා. එහි දී ජූලි මාසයේ පමණක් මිලි මීටර් 9300ක වර්ෂාවක් ලැබී තිබුණා.

එය යම් ප්‍රදේශයකට එක් මාසයක දී ලැබුණු වැඩි ම වර්ෂා ප්‍රමාණය බවට පත්වුණා. චෙරාපුංජිවලට 1995 ජූනි 16 වැනිදා මිලි මීටර් 1563ක වර්ෂාවක් පතිත වුණා. එය චෙරාපුංජිවලට එක් දිනක දී ලැබුණු වැඩි ම වර්ෂා ප්‍රමාණය බවට පත්වුණා. 

වර්ෂා සමයට චෙරාපුංජි හි සුන්දරත්වය – youtube.com

 

මවුන්සින්රාම් ප්‍රදේශයට 1985 වසරේ දී  මිලි මීටර් 26,000ක් තරම් ඉහළ වර්ෂාපතනයක් ලැබුණා. එය වසරක දී ලෝකයේ ඕනෑම තැනකට ලැබුණු වැඩි ම වර්ෂාපතනය ලෙසින් සටහන් වෙනවා. ඒ වාගේ ම 1984 වසරේ දී මවුසින්රාම්වලට මිලි මීටර් 25,613ක වර්ෂාපතනයක් ලැබුණා. මවුසින්රාම් ප්‍රදේශයට 2015 වසරේ අගෝස්තු 19 වැනි දින මිලි මීටර් 745ක වර්ෂාපතනයක් ලැබුණා.

එය එම ප්‍රදේශයට එක් දිනයක දී ලැබුණු ඉහළ ම වර්ෂා ප්‍රමාණය ලෙසින් සටහන් වෙනවා. 1984 සහ 1985 වසරවල දී මවුසින්රාම්වලට ඊට වඩා වැසි ප්‍රමාණයක් ලැබුණු දින තිබෙන්නට පුළුවන්. ඒ පිළිබඳව දත්ත නොමැති වීම විශාල අඩුපාඩුවක්. 

වර්ෂා සමයට මවුසින්රාම් ප්‍රදේශය – pinterest.com

 

එතරම් වර්ෂාපතනයක් ලැබීමට හේතුව  

මවුසින්රාම් සහ චෙරාපුංජි යන ගම් ද්විත්වය මුහුදු මට්ටමේ සිට මීටර් 1400කට වඩා ඉහළින් පිහිටා තිබෙනවා. එම ගම් පිහිටා තිබෙන්නේ මුහුදට තරමක් සමීප ව යි. එම ප්‍රදේශය ඛාසි, ගාරෝ සහ ජයින්තියා කඳුවලින් වට වී තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඉන්දීය උප මහද්වීපයට අයත් ප්‍රදේශවලට නිරිතදිග මෝසමෙන් මඟින් වැඩි වර්ෂා ප්‍රමාණයක් ලැබෙනවා.

මෙම ගම් පිහිටා තිබෙන ඊසානදිග ඉන්දියාවට බෙංගාල බොක්ක හරහා මෝසම් සුළං වායු ධාරා පැමිණෙනවා. එම සුළං විශාල මුහුදු ප්‍රදේශයක් ආවරණය කරමින් ගොඩබිම දෙසට ළඟා වන නිසා වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගු වෙනවා. 

ඕරොග්‍රැෆික් වර්ෂාව ඇතිවන ආකාරය – asapeducate.weebly.com

 

එලෙස ගොඩබිම දෙසට පැමිණෙන මෝසම් සුළං වායු ධාරාවලට ඛාසි කඳුකරය බාධකයක් සේ ක්‍රියා කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධික ජල වාෂ්ප ප්‍රමාණයක් සහිත මෝසං සුළං වායු ධාරා කඳුවල හැපී ඉහළට ගමන් කරනවා. ඉන් අනතුරු ව කඳුකරයට ඉහළින් තෙතමනය අධික වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙනවා. එම වලාකුළු ඕරොග්‍රැෆික් වලාකුළු ලෙසින් හඳුන්වනුවා. එම වලාකුළු මඟින් ඇතිවන වර්ෂාව ඕරොග්‍රැෆික් වර්ෂාව ලෙසින් හඳුන්වනවා. මවුසින්රාම් සහ චෙරාපුංජි යන ප්‍රදේශවලට වැඩිපුර ලැබෙන්නේ ඕරොග්‍රැෆික් වර්ෂාව යි. මෙම ප්‍රදේශවල සුවිශේෂී භූගෝලීය පිහිටීම එතරම් විශාල වර්ෂාපතනයක් ලැබීමට හේතුව යි. 

මිනිසුන් ගත කරන දුෂ්කර ජීවිතය 

අධික වර්ෂාවක් ලැබෙන ජූනි සහ ජූලි මාසවල දී මෙම ප්‍රදේශවල ජනතාවට නිවසින් එළියට යාමට පවා අපහසු යි. එම කාලයේ දී මිනිසුන්ට රැකියාවල නිරතවීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙනවා. දරුවන්ට පාසල් නොගොස් ගෙදර සිටීමට බොහෝ දිනවල සිදුවෙනවා. එම කාලයට ඇඳුම් වියළා ගැනීම ඉතාමත් අසීරු කාර්යයක්.

එනිසා ඇඳුම් වියළා ගැනීම සඳහා විදුලි හීටර් සහ ලෝහ වියළන යන්ත්‍ර භාවිත කරනවා. මෙම ප්‍රදේශ ආශ්‍රිත ව එතරම් දියුණු මට්ටමේ නිවාස දක්නට ලැබෙන්නේ නැහැ. එනිසා වර්ෂා කාලයට නිවාස ඇතුළත සමහර ස්ථාන තෙමෙන නිසා එහි ජීවත්වන උදවියට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවෙනවා. 

වර්ෂා කාලයට වෙළෙඳාමේ නිරත වන චිරාපුංජි හි මිනිසුන් – gettyimages.com

 

සාමාන්‍යයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා ගෙවෙන මාස 5ක කාලය තුළ මෙම ප්‍රදේශවලට මිලි මීටර් 1000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. එනිසා විවිධ වගාවල නිරත වන උදවිය ගැටලු රැසකට මුහුණ දෙනවා. මෙම ප්‍රදේශවල ජීවත් වන උදවිය අභියෝග මධ්‍යයේ වුවත් දොඩම්, අන්නාසි, කපු,  බුලත්, පුවක්, සහල්, මෙනේරි, ඉරිඟු, අමු මිරිස්, ගම්මිරිස්, ජූට්, අර්තාපල්, ඉඟුරු, අඹ වැනි බෝග වගා කරනවා.

ඒ වාගේම උණ බම්බු සහ වේවැල් කර්මාන්තයත් එම ප්‍රදේශ ආශ්‍රිත ව ප්‍රචලිත ව තිබෙනවා. මෙම ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් ස්වභාවධර්මයට අභියෝග කරමින් සිය ජීවන අරගලය ඉදිරියට ගෙනයාමට දරන උත්සාහය අප කාටත් කදිම  ආදර්ශයක්. 

කවරයේ ඡායාරූපය- වර්ෂා කාලයට චෙරාපුංජි ප්‍රදේශයේ සුන්දරත්වය - medium.com

මූලාශ්‍ර: 

worldatlas.com 

thehindubusinessline.com 

sohra.gov.in 

cherrapunjee.com 

crunchstories.in 

Related Articles